සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


03 කොටස

දවල්ට කඩෙන් ආහාර ගත් නිසා අනීශාට යමක් කෑමට පිළියෙළ කළ යුතු බව කාවිංග සිතුවේය. ෆ්‍රිජ් එක ඇර බලා තිබුන අඩුම කුඩුම ටිකක් ලං කරගෙන ඔහු පීසා එකක් හැදීමට පිටි මෝලිය අනන්නට පටන් ගත්තේය. මේ අතර නෙතුකි නින්දෙන් නැගිට දෙනෙත් පිසිමින් ආවාය. දවල්ට නිදා පිබිදෙන ඇය තරමක් අසන්තෝසයෙන් සිටීම සිරිතකි. අම්මා පෙනෙන්න නොසිටීම නිසා යයි ගයාන් හැම විටම කල්පනා කරයි. නෙතුකි ෆ්‍රිජ් එකේ තිබුන කිරි වලට කොර්න් ෆ්ලේක්ස් ටිකක් දමාගෙන පාඩුවේ පුටුවේ ඉඳගෙන කන්නට විය. ගයාන් ඇතැම් විට නොනවත්වා කතා කලත් ඇතැම් විට ගොලුවෙක් මෙන් නිහඩය. ඔහු යමක් කරන විට ඒ දේ හැර වෙන කිසිවක් වෙත අවධානය යොමු නොකරයි. අනීෂා මෙන්ම නෙතුකිද මේ ගති වලට හොඳින් හුරු වී සිටියහ.

නෙතුකි ගෙදර ආවේ වෙහෙසින් පීඩිත වී ගෙනය. සතියේ දින පහක් වැඩ කරන ඇයට සෙනසුරාදා දවසම පන්තියේ ඉඳගෙන සිටීම අධිකව වෙහෙස ගෙන දෙන්නක් විය. ඒ අතර එක් මහාචාර්ය වරයෙක් ඇය වෙත නෙත් හෙලාගෙන සිටියේය. ඒ ආදරය කිරීමට නොවේ. තම බලය පාවිච්චි කොට අනීෂා තමා වෙතට නම්මවා ගැනීමටය.

“ හතර වටේ ගිහින් අවජාතක ළමයි හදාගෙන මට තමා පත්තිනි අම්මා..” මැද වයස පැන සිටි හෙතෙම තරහින් සිතුවේය. බොහෝ පිරිමි එකට එක වූ විට ගැහැණුන්ගේ අතීතය ගැන කතා කරති. ඇගේ පන්තියේ යහළුවෝ කිසිවෙක් හෝ ගෘප් එකේ කිසිවෙක් ඇය ගැන නපුරක් සිතුවේ නැත. නමුත් මේ නාකි මනමාලයා නිතරම උත්සහ දැරුවේ සිය බලය අයුතු ලෙස භාවිතා කිරීමටයි.

ප්‍රොෆෙසර් සමරක්කොඩි සාමන්‍යයෙන් තද කෙනෙක් ලෙස හැම දෙනාම සැලකූහ. ඔහුට බිය වීමට හේතු හැමෝටම තිබුණි. කොතරම් දක්ෂ ශිෂ්‍යයෙක් වුනත් වෛර බැඳ ගත්තොත් අසමත් කිරීම ඔහුගේ සිරිතකි. මේ නිසා අනීෂා ඔහු තරහා නොකර ගැනීමට පරිස්සම් වූවාය.

කොහොමත් ගැහැනියකට ලංකාවේ සමාජය යනු අසීරු තැනකි. දික්කසාද, වැන්දඹු  ගැහැනියකට එය තවත් අසීරුය. නමුත් ඔවුනගේ දැක්මට අනුව අවජාතක දරුවෙක් සිටින තමාගේ තත්වය විස්තර කිරීමට වචන නැති බව ඇය දන සිටියාය. තමාට උදවු උපකාර කිරීමට දාහක් වුනත් සැදී පැහැදී සිටියද විවාහ කර ගැනීමට ආදරය කිරීමට කෙනෙක් නොමැති බව මේ වන විට ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියාය. වරදක් වෙන තැනක සිටගෙන සිටියත් බොහෝ විට ඒ වරද පැටවුනේ අනීෂා වෙතය. ඇතැම් යෙහෙළියන්ගේ දෙමාපියන් ඇය ඇසුරු කිරීම යෙහෙළියන්ට සම්පූර්ණයෙන්ම තහනම් කරවූහ. මේ හැම දේම දැනගෙන පෙර මෙන්ම ඇය වෙනුවෙන් පෙනී සිටියේ ඇගේ එකම යෙහෙළිය නිම්මි පමණකි. නෙතුකිගේ පියා කවුද යන්න නිම්මි කවදාවත් ඇසුවේ නැත. එයින් නිම්මිට වැඩක් තිබුනේ නැත.

ජීවන මගේ එක තැනකදී කවදාවත් නොසිතු ලෙස ගයාන් හමු වුවත් ඔහු ඇයට අපමණ ආදරය සහ උපකාර කලත් ඇගේ හිතේ විවාහය ගැන විශ්වාසයක් තිබුනේ නැත. “ ගිනි පෙනේල්ලෙන් බැට කන මිනිහා ..කණාමැදිරි එළියටත් බයයි “ ඇය සිතුවාය. විවාහය ගැන ලොකු අපේක්ෂාවක් තබාගෙන එය බිඳ වැටුනොත් තමාට එය දරාගත නොහැකි වෙතැයි අගේ හිතේ අධික භීතියක් විය. ඒ නිසා ගයාන් කතා කරන හැම විටම ඇය විවාහය ගැන කතා නොකර සිටියාය.

ගයාන් මේ තත්වය වටහා ගත්තේ ඇය තමා සමග විවාහ වීමට අකැමති බවයි. ඒ වුනත් ඔහුට ඇගෙන් වෙන් වීම සිතා ගත නොහැකි විය. අනීෂා පමණක් නොව කුඩා නෙතුකි පවා ඔහුගේ වගකීමක් ලෙස ඔහු සැලකුවේය. ඔහුට අනීෂා විවාහ කරගෙන නෙතුකි තමාගේ දියණිය ලෙස කුලවද්දා ගැනීමට ඕනා විය. ඒ අතරේ අනීෂා කෙදිනක වත් නෙතුකිගේ පියා ගැන ඔහුට කියා නැත. ඒ මිනිසා මිය ගොස් නැති නම් ? ඔහු කවදා හෝ නැවත ආවොත් තමා පත් වන ඉරණම ගැන ගයාන් බෙහෙවින්ම බිය වූයේය. අනීෂා මේ බලා සිටින්නේ ඔහු නැවත එන තුරුද  යන සැකය ඇතැම් විට ඔහුගේ සිතේ හොල්මන් කරයි.

එදා ඉතාම වෙහෙසකර මෙන්ම පීඩාකාරී දිනයක් නිසා ගෙදර පැමිණි විගසම ඇඳුම් මාරු නොකර අනීෂා සොඵාවේ වැතිරුනාය. ගයාන් ඇගේ සෙරෙප්පු දෙක නිසි ලෙස රාක්කයේ තැම්පත් කළේය. ආහාර ගැනීමෙන් පසු නෙතුකි වේලාසනින්ම නින්දට වැටුන අතර ග්‍රීන් ටී දෙකක් තොල ගාමින් ගයාන් සහ අනීෂා එළියේ බැල්කනියේ තනි වූහ.

ඇය සිටියේ කිව නොහැකි තරම් පීඩාවකින් බව වැටහුනත් කතාව පටන් ගැනීමට හැකියාවක් ගයාන්ට නොවීය. ඒ නිසා ඔහු ඈ ඔඩොක්කුවේ තබාගෙන හිස සහ උරහිස අතගෑවේය.

“ මට ..මට වෙලාවකට මේ තට්ටුවෙන් පහලට පනින්න හිතෙනවා..” ඇය කඳුළු එන්නට ආසන්න වුනත් කඳුළු වලකා ගනිමින් කීවාය. හස්ති රාජයෙක් මෙන් ජීවිතයේ කටුකත්වය සමග ගැටෙන ඇය සංවේදී යුවතියක් බව ඔහු දන සිටියේය. එමෙන්ම ඇය මානසික පීඩාවට පත් වී සිටියාය. මනුස්සයෙක්ට ඇදහිය නොහැකි කටුකත්වයන් රැසකට ඇය අතීතයේ මුහුණ දී තිබිණි. මේ කිසිවකට කුමක් කියන්නද නොදන්නා ගයාන් ගොලුවෙක් මෙන් නිතරම ඇයට ක්‍රියාවෙන් ආදරය කළේය. ආදරය දැනෙන්නට සැලැස්සුවේය.

ඔහු නිසොල්මන්ව යට කතා කරන්නට ඉඩ දුන්නේය.

ඇයට උපාධිය නැවැත්විය නොහැකිය. අගේ අනාගතයට එය අත්‍යවශ්‍ය දෙයකි. ඒ වගේම අර දුෂ්ටයාගේ බල පරාක්‍රමය ඉදිරියේ ඇයට දැනුනේ පිළිකුලකි. ඔහුට හැරී කනට දෙකක් දෙන්න බැරිව නිහඩව සිනා සීමට සිදු වීම ආත්ම අවමානයක් ලෙස සැලකුවාය.

“ කසාද බැඳලා ළමයෙක් හම්බ වුනත් එයාට වුනත් හම්බ වෙන්නේ මම කරපු දේ නිසයි. අයි මේ මිනිස්සු මට පාඩුවේ ඉන්න නොදෙන්නේ ?”

“ මම මගේ දරුවා බඩේදී මැරුවා නම් ? නැත්නම් ඉපදුන ගමන් කාටහරු හදා ගන්න දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. හැබැයි මට මේ හැම එකාම අවමන් කරන්නේ මම මේ දරුවා තනියම හදන නිසයි. නොමරා ඉපද්දුව නිසයි. “

ඔහු සන්සුන් වන ලෙස ඇගේ පිට හරහා මුවට ඔහුගේ ඇගිලි තුඩු රැගෙන ගියේය. ඔ ඔහුගේ ඇඟිලි තුඩු ගෙන සිප ගනිමින් කඳුළු සලමින් වැළපුනාය.

“ මම දන්නවා හැමෝම ඔයාට කියන්නේ පොන්නයා කියල..උගත් පිස්සා කියල…මම දන්නවා හැමෝම ඔයාගේ පිටිපස්සට හිනා වෙනවා කියල. දරුවෙක් ජාතක කරලා අතහරින මිනිහා මේ සමාජයේ පොරක්. හැබැයි ඒ දරුවට ජීවිතේ දුන්න ඔයා වගේ බෝධිසත්ව මිනිහෙක් කියන්නේ පොන්නයෙක්” ඇය භයානක ලෙස ගැහෙමින් ඉකි බිඳියි. ඔහු නිහඩව අගේ හිස අතගායි.

“ අපි බඳිමු ඉක්මනට” ඔහු ඇය අස්වසන්නට කියයි.

“ ඔවු..ඔවු එහෙම කියල තව දරුවෙක් බඩට දීල පනින්නද ?” මේ සැහැසි කතාවෙන් ඔහුගේ හිත රිදී ගියේය. ඔහුගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුනේය. ඒත් ඔහු නිසොල්මන්ය.

“ සමා වෙන්න..මට දහස් වාරයක් සමා වෙන්න ගයාන්. මට ඉන්න එකම මනුස්ස ප්‍රාණය නිසා මම හැම පීඩනෙම ඔයා පිට දානවා. “ ඉක්බිති සන්සුන් වූ ඇය ඔහුගේ බෙල්ල බදා ගනී. ඔහුගේ හිස අතගායි. මේ දරුණු කතාව ගැන කම්පා වේ.

“ ඔයා කොයි තරම් හොඳද කියල ඔයා වත් දන්නේ නැහැ. ඔයා මේ කරගහන්නේ ඔක්කොම මගේ පවු….” ඇය නැවත ඉකි බිඳියි.

( ලබන සතියට )