සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


02 කොටස

එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන් අන්කල් තාම නින්දේය. සිකුරාදා හවස විල්සන් ගස් වල ගඩා ගෙඩි, හොඳම මී කිරි හට්ටි කීපයක් වැනි දේවල් ගයාන් ගේ ඇඳුම් සමග සූදානම් කර තබයි. ඒ සේරම “පොඩි බේබි” ලෙස හඳුන්වන නෙතුකි වෙනුවෙනි. ගයාන්ගේ ඇඳුම් , ව්‍යායාම වලට අඳින විශේෂ ඇඳුම්, පිරිසිඳු තුවා සියල්ල අකුරට නූලට මැද නවා තැබිය යුතුය.

තේ එකක් විතරක් පානය කර ගයාන් පාන්දර තුනයි තිහ වන විට පිට වුනේය. කුරුනෑගල ඈත ගම් පියසක ඇති සිය වතු යාය හැර යන විට පාරේ දඩාවතේ යන බලු රංචුව ඔහුගේ වේගවත් ජීප් රථයට බුරා හැලේ. මෙය වතු යායේ සුවිශාල භූමි භාගය සිසාරා ඇවිදීමට ඔහුට උපකාර වන රළු ජීප් රථයකි. ඔහුට ඇති එකම වාහනයද මෙයයි. අනික්වා ට්‍රැක්ටර් රථ, බූතයෝ, ලෑන්ඩ් මාස්ටර් වැනි ගොවි බිමට ඇවැසි උපකරණයි.

ගයාන් යනු සිරුරින් අඩි හයයි අඟල් දෙකක් විෂාල දැවැන්තයෙකි. ඔහුගේ මේ විශාලත්වය කැපී පෙනුනේ දිනපතා ඔහු අධිකව ව්‍යායාම කරන බැවිනි. දහවල ඇතැම් විට හෙතෙම අවුවේ වැඩ කරන මිනිසුන් සමග හරි හරියට කුඹුරට බැස උදලු ගෑවේය. ගාල කඩාගෙන වත්ත පුරා දුවන දරුණු ගොනෙක් දකින ඔහු ඇතැම් විට මෝටර් සයිකලයෙන් පන්නා ගොසින් මදු ගසා මේ විසාල ගොනුන් මෙල්ල කළේය. උදේට පැයක් දිවීමත් ගොවිපල වැඩ ඉවර කර හවස ව්‍යායාම කිරීමත් ඔහුගේ මේ යකඩ වැනි මාංශ පේශීන්ට හේතු වූයේය.

ඔහු සහ අනීෂා නගරයේ ෂොපින් යන ඇතැම් අවස්ථා වල කඩවසම් ඔහු දෙස ගැහැණු නිතර බලන බව අනීෂා දනී. මේ කිසිවක් ගැන හාන්කවිසියක් නැති ඔහුට ඇඟිල්ලෙන් අනින ඇය “ අන්න බලන්න අර ලස්සන ගැහැණු ළමයා ඔයා දිහා බලනවා “ යයි කනට කොඳුරයි. ලජ්ජාවෙන් විලි වැදෙන ඔහු ගොරකා ගෙඩියක් මෙන් මුහුණ රතු කරගෙන වහා එතනින් ඉවත් වේ.

“ අර නාකි ගෑනියෙක් එක්ක ලස්සන කොල්ලා මොනවට ඉන්නවද කියල ඔය මිනිස්සු බලන්නේ “ අනීෂා බොහෝ විට ඔහුට විහිලු කරයි.

ගයාන් යනු වචනයේ පරිසමාප්ත අරුතින්ම අහිංසක පිරිමියෙකි. ඔහුගේ මොලයේ ඇති ඔටිසම් , ADHD තත්වයෝ ඔහු අසාමාන්‍ය දක්ෂයෙක් කළා සේම ඇදහිය නොහැකි පෞර්ෂ ආබාධ ඔහුට උරුම කළේය. ඇතැම් විට නින්දෙන් නැගිටින ඔහු ඇඳේ බහින පැත්ත කල්පනා කරමින් බොහෝ වෙලා ගෙවයි. හොඳටම හුරු පුරුදු පාරක් හැර පාරවල් ඔහුගේ මතකයේ නැත්තේමය. Google Maps නොවන්නට ඔහුට කොහේ වත් තනිවම යා නොහැකිය. මෙතරම් ශක්තිමත් කයක් තිබුනද ඇතැම් විට ශබ්දයක් ඇසෙන විට ඔහු කුලප්පු වේ. බාහිර පරිසරේ ඇති දැඩි උත්තේජ වලට ඔහු කලබල වේ.

අවුරුදු 18 දී ඔහු විසින් මෝටර් වාහන වල අනතුරු අඩු වන ආකාරයට සොයා ගත් සෙන්සරයකට පේටන්ට් අයිතිය විදේශ සමාගමකට මිලියන ගණනකට විකුණුවේය. ඉන් ලද සුවිශාල ධනය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉවර වෙන තුරු තැම්පත් කරගෙන සිටි හෙතෙම සිය පළමු පන්තියේ ගෞරව සාමාර්ථය ලබාගෙන ගොවි පලක් කිරීමට ආයෝජනය කළේය. ඔහු විශ්ව විද්‍යාලයේ ආචාර්ය මන්ඩලයට සම්බන්ධ කර ගැනීම ගුරු වරුන්ගේ කැමැත්ත වී තිබුන අතර විශ්ව විද්‍යාලයට පැමිණි බහු ජාතික සමාගම් කීපයක්ම ඔහුට රැකියාවට ආරාධනා කළහ. ඔහු ඒ සියල්ලම හැර දමා පාලු මූකලානක හුදෙකලා පොළවක් සශ්‍රීක කිරීමෙන් සිය මනදොල සපුරා ගත්තේය.

අනීෂා කෙදිනක වත් ඔහුගේ කැමැත්තට අකුල් හෙළුවේ නැත.

“ ඔයාට තවම වයස 23 යි නේ..ඕක වැරදුනොත් සල්ලි සේරම ඉවර වෙනවා. එහෙම වුනොත් අපි දෙන්නා මොනා හරි කරමු. බය නැතුව පටන් ගන්න . “ අනීෂා ඔහුට රුකුල් දුන්නාය.

නමුත් ගයාන්ගේ මව පුතුට එක පයින් විරුද්ධ වූවාය. “ මේ සේරටම මුල අර අවලමේ ගිහින් ළමයි හදා ගත්ත නාකි ගෑනි. ඔය ගෑනි තමා මේ දරුවට විස කවන්නේ. “ කියමින් දහ අතේ බැන වැදුනාය. නමුත් අනීෂා ඔහු සමග හැම තැනම ඇවිද මේ අක්කර 150 ක මහා මූකලාන සොයා ගත්තාය. පලවෙනි වසර ඔවුන් දෙදෙනාට හමු වීමට පවා බැරි වෙන තරමට ඔහු කාර්ය බහුල විය. දෙවෙනි වසරේදී දෙදෙනාගේම ජීවිත යම් තරමකට යහපත් විය. ඔහු සිකුරාදා හවස හෝ සෙනසුරාද උදේ කොළඹට පිටත් වේ. සෙනසුරාදා අනීෂා මුළු දවසම සිය ආචාර්ය උපාධියේ වැඩ කරන නිසාත් , ඩේ කෙයා වසා ඇති නිසාත් ගයාන් උදේ 7 වෙද්දී ගෙදර ඇවිත් නෙතුකි භාර ගනී. අද මේ කුරුණෑගලින් පිට වූයේද එසේ නෙතුකි බලා ගැනීමටයි.

බිම එලිය යාන්තම් වැටෙන විට ඔහු නිට්ටඹුවට ලඟා විය. වේලාසනින්ම රඹුටන් වෙළෙන්දෙක් පාරේ සිටී. එයින් රඹුටන් මල්ලක් ගත් ඔහු වේගයෙන් රිය නාවල දක්වා ධාවනය කළේය.

අනීෂා ඇඳ පැළඳගෙන ඔහු එන තුරු බලා සිටියේ විශ්ව විද්‍යාලයට යාමටයි. ඔහු දුටු විගස හාද්දක් දුන් ඇය “ මහන්සිද ? “ ඇසුවාය. ගෙන ආ සියල්ලම කුස්සියේ මේසය මත තැබූ ඔහු ඇයට සිප ගනු පිණිස නැවත වරක් පහත් වී සිය කම්මුල පෑවේය. අනීෂා මහත් සෙනෙහසින් ඔහුගේ කම්මුල් දෙකම දැඩිව අල්ලා මුහුණ කීප වරක්ම සිප ගත්තාය. නෙතුකි කෙරෙහි හටගන්නා ප්‍රේමය මෙන්ම ඇගේ සිතේ ඔහු කෙරෙහි හට ගත්තේද අඹු සැමි ප්‍රේමය හා දාරක ස්නේහය අතර මැද හැගීමකි.

ඔහුගේ ලාබාල කමත්, අසාමන්‍යය ළමා බවත් අනීශාගේ හදවත නිරන්තරවම තෙත් කරන්නට සමත් විය. අනීෂා ඔහුට වඩා සමේ වර්ණයෙන් තදය. කෙට්ටුය. ඇගේ ශරීරය අඩි 5 උස වුවත් ඔහුගේ දැවැන්ත කම සමග ඉතාම කුඩා බව ඔහුට දැනේ. ඔහු එන දවසට කුඩා නෙතුකි ඉතාම කැමැතිය. අම්ම ගිය විගස ඔවුන් දෙන්නගේ නාඩගම් පොළ පටන් ගන්න බැවිනි. නෙතුකි තාම නින්දේය.

අත් දෙක සබන් ගා හෝදා පිහගත් ගයාන් කුස්සියේ කුඩා රවුම් මේසයේ වාඩි විය. අනීෂා ඔහු වෙත පැමිණ ඔහුගේ ඔඩොක්කුවේ වාඩි වූවාය. සම්පූර්ණයෙන් බූ ගාන ලද රැවුල සහිත සිනිදු මුහුණ ඇය අතගාන්නට පටන් ගත්තාය.

“ ඔයාට බඩගිනිද ? මම අද ඔයා කැමතිම පෑන් කේක් හැදුවා. නෙතුකි එක්ක කන්න. “

ඔහු ඇගේ කොණ්ඩය පස්සට කර මුහුණ දෙස බලා සිටියේය. මේ වෙලේ සිහින් වලාකුලක් මුහුණේ ඇතිවී නැතිවී යනු අනිෂා දුටුවාය . රන්මලී අනුන්සමරණය වුන බව ඇයට අවබෝධ විය. ඔහු සුසුමක් හෙලීමට පෙර ඇය ඔහුගේ බෙල්ල බදාගෙන දෙතොලට දෙතොල ලං කළාය. ඔහු තරුණයෙකි. යොවුන් විය යන්තම් පසු කල තාරුන්‍යයේය. විනාඩි දෙකකින් ඔහු ඈව ඉතා පහසුවෙන් වඩාගෙන ඔසවා ගත්තේය. ඔහුගේ හද ගැහෙන වේගය වැඩි වී ඇති බවද හයියෙන් හුස්ම ගන්නා බවද ඇයට දැනුණි. මොහොතකින් ඔහු කල්පනාව ලද්දාක් මෙන් “ ඔයාට පරක්කු වෙයි නේද ?” ඇසුවේ වරදක් කල එකෙක් මෙනි..

“ නැහැ පැටියෝ..අපි යමු අපේ කාමරේට. දුව නිදි. “ අනීෂා කාරුණිකව තෙපලාය. තමා වෙනුවෙන් මෙතරම් වෙහෙසෙන , තමාට ආදරය කරන, අබමල් රේණුවකින් වත් තමාට වංචාවක් නොකරන ඔහු සැනසීම තමාගේ වගකීමක් බව අනීෂා නිතරම සිතුවාය. ඔහුට හැකි හැම විටම කාරුනිකවම සලකන්නට ඇය පෙළඹුනේ එබැවිනි.

ඇඳෙන් නැගිටගත් ගයාන් අනීෂා ගේ රෙදි පිලි වහාම පිළිවෙලක් කළේය. ඇඳේ රෙද්ද එක ඉරක් නැති වෙන්න සැකසුවේය. මේ අසාමාන්‍ය පිළිවෙල මුලදී අනීශාට හිරිහැරයක් වුවත් පසුව ඒ ඔහුගේ රෝගග්‍රස්ත මොලයේ සැකැස්ම බව වටහාගෙන ඇය ඔහු ගේ කල් ක්‍රියා සමග හොඳින් අනුවර්තනය වූවාය. මෙතරම් කාරුණික මිනිසෙක් වෙනුවෙන් එවැනි දේ දරා ගත නොහැක්කේ ඇයි?

ඇය විශ්ව විද්‍යාලයට යන විට හෙතෙම බිම් මහල දක්වාම ඇය එක්ක ගියේය. කාර් එක නොපෙනී යන විට නෙතුකි තනියම නිදි බව මතක් කළ හෙතෙම ලිෆ්ට් එක එන තුරු නොසිට වේගයෙන් ගෙට දිවුවේය.

නෙතුකි තාම නිදි බව දැක සැනසුම් සුසුමක් හෙලු ඔහු තමා රැගෙන ආ ආහාර එකින් එක අඩුක් කළේය.

එලිය වැටෙනකම් නිදා ගත් කුඩා නෙතුකි කුස්සියේ ශබ්ද අසා ගයාන් පැමිණ ඇති බව දැන ගත්තී ඔහුට විහිළුවක් කිරීමට හොරෙන්ම කුස්සියට ගියාය. වැඩ කරමින් පිටුපා සිටින ඔහු දුටු ඇය හිනා වෙමින් තප්පර කීපයක් ඔහු දෙස බලා සිටියාය.

“ ගයාන් අන්කල් ….. තාත්තේ…. “ ඈ ඔහු වෙත දුවගෙන අවුත් කරේ එල්ලුනාය.

වරෙක ඇය ඔහුට “ගයාන් අන්කල්” කිවූ අතර වරෙක “තාත්තේ” කීවාය. ගයාන් මේ දෙකටම කිසිම වෙනසක් නොපෙන්නුවේය. කාත් කවුරුත් නෑයෙක් නැති අසරණ ඇයට ගයාන් යනු මේ ලෝකයේ ඉන්න ලොකුම වීර වරයා විය. ඔහු තරම් හොඳ, ඔහු තරම් ලස්සන, ඔහු තරම් දක්ෂ තාත්තලා අනික් යාලුවන්ට නැති බව ඕ තරයේ විශ්වාස කළාය.

අනීෂා කෙරෙහි ඔහුගේ දෙමාපියන් මෙන්ම මිතුරන් පවා උරන වීමට ලොකුම හේතුව වූයේ කුඩා නෙතුකිය.

“ මොකද දැන් ඉපදුන ළමයා මට මරන්නද කියන්නේ ? “ අසමින් හෙතෙම සිය දෙමාපියන් සමග කළහ කළේය. ඔවුන් තාමත් විවාහ වී නැති හෙයින් ඉක්මනින් මේ සම්බන්ධයෙන් ගැලවී යනු ඇතියි විශ්වාස කල ගයාන්ගේ අම්මා සති පතා පොල් ගැසුවාය.

“ නෝනා ..ඔය පොල් ටික දුප්පත් මනුස්සයෙක්ට දුන්නා නම් ලොරි කීපයක් මේ වෙද්දී පුරවලා “ කියමින් ගයාන්ගේ පියා ඇයට විහිලු කළේය. නමුත් නොසැලුන ඇය සාර්ථක තුන් වෙනි අවුරුද්ද වූ මේ වන විටද දේවාල වලට දාස් ගානක් වැය කරමින් සිටියාය.

“ මගේ කොල්ලගේ සල්ලි දැකල තමා ඔය නාකි හුටන වහ වැටුනේ .. “කියමින් අනීශාට සහ නෙතුකිට දෙස් දෙවොල් තැබීම ඇගේ දිනචරියාවේ කොටසක් විය.

නෙතුකිට ඇඟ සෝදා සූදානම් වී එන ලෙස දැන්වූ ගයාන් ඇයට කිරි හදා මේසයට පෑන් කේක් තබා ස්ට්‍රෝබෙරි කපා ක්‍රීම් ඒ මත ලස්සන රටාවකට වක් කළේය. චොක්ලට් සෝස් එක නොදමා මේසය මත තැබුවේ නෙතුකි විසින්ම සෝස් දමා ගැනීමට කැමති නිසාය. ඉන් පසු දෙදෙනාම ඉතාම සතුටින් උදේ ආහාරය ගත් අතර නෙතුකි දවස් පහේ ඕපදූප සියල්ලම ඔහුට කියා සිටියාය. ගිය සතියේ තමාට පූල් එකට බහින්න නොදීම වැනි අම්මගේ වැරදි සියල්ලම එක හුස්මට කියා සිටියේ අද දවසේ සැපට මේ සියල්ලම කරන්නට ලැබෙන හෙයිනි.

උදේ වරුව දෙදෙනා පොත් බලති. ගයාන් ඇගේ පොත් සේරම බැලුවේය. මේවා බලන්නට අනීශාට වෙලාවක් නැත. ඉන් පසු අපාර්ට්මන්ට් එකේ වහලය මත වූ පූල් එකට ගිය ඔවුන් දෙදෙනා ගිනි මද්දහනේ පීනුහ. ඔහු ඇදුම රෝගය ඇති දරුවා ට කිමිදීම හුරු කළේ එයින් ඇදුමට යම් සහනයක් ලැබෙනු ඇතැයි සිතාය. කඩෙන් කෑම ගෙන්වා කැවූ පසු බොහෝ වේලා පීනීම නිසාත් සරු ආහාරය නිසාත් නෙතුකි නින්දට වැටුණාය. කාටූන් එක ඔෆ් කල ඔහු ඇයව උස්සාගෙන ඇඳට ගෙනත් දැමුවේය.

ඇගේ කාමරයෙන් ඔහු එලියට ගියේ සුසුමක් හෙලමිනි. අනීෂා ඔහුට හමු වූයේ අහම්බෙනි. රන්මලීගේ මරණයෙන් හුදෙකලාව සිටි ඔහුට අනීෂා නෙතට රසඳුනක් විය. වසර තුනක්ම නෙත් නොපියා ඇය දෙස බලා සිටියේ රන්මලී ගැන සිතමිනි. ඉක්බිති අවසාන වසරේ ව්‍යාපෘතියේදී ඔවුන් දෙදෙනා එකට වැටීම දෛවයම බව ඔහු විශ්වාස කළේය. ඔවුන් දෙදෙනා එකිනෙකා පිළිගත් අතර තමාගේ ජීවිතේ රහස අනීෂා ඔහුට කීවේ වහා ඇයව හැර දමා යාවි යන බලාපොරොත්තුවෙනි. නමුත් ඔහු එයින් වෙනසක් නොවීය.

“ ඔයා හිතන්නේ මම ඕක දන්නේ නැහැ කියලද ? “ ඔහු සිනා සෙමින් ඇසුවේය.

පළමු වරට තුන් හැවිරිදි නෙතුකි දකින ඔහු “ අහෝ…” යන නිගමනයට බැස ගත්තේය. නෙතුකිත් ඔහුව වහා පිලි ගත්තාය. ඔහුගේ විශාල සිරුර නිසා සත්ව උද්‍යානයේ ඉන්න යෝධ ගෝරිල්ලෙක් වැනි ආදරනීය බවක් ඇගේ සිතට එකතු විය. එදා සිට සිඟිත්තිය හදා වඩා ගැනීමට ඔහු අනීශාට අත්වැල වූයේය.

අවසන් වසරේ සිසුවෝ ඇතැම් විට ඔහුට වදින්නට ඇනුම්පද කීහ. ඉවසා බැරිම තැන එක දිනක ඔහුගේ කෝපය පුපුරා ගියේය.

“ යකෝ ඒ ළමයෙක් මිස නයෙක් , පොලගෙක් නෙවේ. තොපිට හම්බවෙන්නේ කක්ක චූ අතගාන්න ළමයි. මට මෙච්චර ලස්සන ළමයෙක් ලැබුනේ පිනට. පාහරයෝ…..” පුටුවක් පොලවේ ගසා බෙරිහන් දීමෙන් පසු කිසිවෙක් මේ ගැන ඉඟි කිරීම නොකළහ.

අතීතය ආවර්ජනය කළ ඔහු ..” කන්න අඹ ගෙඩියක් ගනිද්දී අපි හැදිච්ච වත්ත හොයන්නේ නැහැනේ “ යයි සිතුවේය.