සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


11 කොටස

මානසික විඩාව මෙන්ම දැඩි තදබදයේ රිය පැදවීම නිසා අනීෂා කෙරෙන් දිස් වූයේ වෙහෙසකර පෙනුමකි. ඇය පැමිණ කුස්සියේ මේසයේ පුටුවක් ඇදගෙන වාඩි වූවාය. නෙතුකි අම්මා වෙත පැමිණ ඇගේ ගෙලත් ,මූණත් සිප ගත්තීය.

“ මගේ වස්තුව කොහොමද ?”

“ අපි හොඳින් නේද තාත්ති…? අම්මි අද අපි දෙන්නා හවස පාර්ක් ගියා “

තමා වැලි ගොඩක් ළඟ වැටී වට තුනක් කැරකුණ පුවත අම්මාට විස්තර කරද්දී ගයාන් අනීශාට තේ එකක් හදා පිලිගැන්නුවේය. ඔහුට ස්තුති කළ ඇය දුවගේ කතාව අසන අතරතුර ගයාන් දෙස බලා සිටියාය. ඔහු කෙටි කලිසමක් ඇඳගෙන ලිපේ තිබුන උණු උණු පැස්ටා එකක් හැඳි ගාමින් සිටියේය. ඔලිවු තෙල් බෝතලය ගෙන තව ටිකක් එයට වත් කරන විට කාමරය පුරා සුවඳ පැතිරෙන්නට විය.

හ්ම්ම් …කියමින් එයට ඉව අල්ලන අනීෂා ගයාන්ගේ කඩවසම් කම දෙස හොඳින් බලා සිටියාය. අධිකව වෙහෙසීම සහ තරුණ කාලයේ මුහුණ දුන් ගැටළු නිසා දැනටම තමා වැහැරෙන්න පටන් ගෙන ඇති බව ඇයට පසක් විය. පිරිමියෙක් වන ගයාන් තව වසර 15 ක් වත් දිනෙන් දින කඩවසම් වෙමින් බැබලෙන බව ඇය දනී. අධිකව ව්‍යායාම කරන ඔහුගේ සිරුර වාත්තු කලාක් මෙන් කඩවසම්ය.

මම තව වයසට යද්දී එයාට මාව එපා වේවිද ? කියන කල්පනාව සමග ඇයට නිරෝෂාන් මෙනෙහි වූයේ ඉබේමය. නිරෝෂාන් සමග නම එවැනි ගැටළුවක් පැන නගින්නේ නැහැ නේද යන ප්‍රශ්නය හිතට එද්දීම ඇය තමා ගැන මහත් සේ කෝප වූවාය.

යමක් කියමින් හයියෙන් හිනා වෙමින් සිටි නෙතුකි ගේ අත ගසා දමා “ යන්න ළමයෝ අම්මට මහන්සියි “ කියන විට නෙතුකිගේ මුහුණ හැකිලී ගියේය. ගයාන් වහාම ඇය වඩාගෙන හාදු කීපයක් දී සාලයේ පුටුවක් මතින් තබා ආවේය. මේ අයුරින් නෙතුකිට බැනීම ගයාන් නොරුස්සන බව අනීෂා දනී. මේ වෙලාව තවත් රණ්ඩුවක් අවුලා ගැනීමට සුදුසු වෙලාවක් නොවන බැවින් ගයාන් කට පියාගෙන පාස්තා බඳුන ලිපෙන් බෑවේය.

“ ගයාන්..මම නිරෝෂාන් බලන්න ගියා “

“ ඔවු ඔයා මට කියලනේ ගියේ. කොහොමද නිරෝෂන්ට ? “ ඔහු උනන්දුවක් නොපෙන්වමින් ඇසුවත් හිත යටින් ඒ ගැන දැන ගැනීමේ දැඩි ආශාවක් ඔහුට ඇති විය.

“ එයා මගේ මූණ අතගෑවා. මට අත ගසල දමන්න බැරි වුණා. “ ඇය කීවේ වරදක් පාපොච්ච්රණය කරන වෙසිනි.

මේ කතාව කියූ දොස් සහිත විලාසයට ගයාන්ට හිනා නොවී සිටිය නොහැකි විය. ඔහු ඇය ඔසවා ඔඩොක්කුවේ තබාගෙන මුහුණත් බෙල්ලත් කීප වරක් සිපගෙන “ ඔයා හිතුවේ මම ඒකට තරහ වෙයි කියලද ? “ ඇසුවේය.

“ ඒ කියන්නේ ඔයාට ගානක් නැද්ද මම ගැන? “ එවර අනීෂා බෙහෙවින් කනගාටු වූවාය. වරක් බසයක යන විට කොල්ලෙක් තමාගේ ඇඟේ අහම්බෙන් වැදුනා කියා නිරෝෂාන් මරාගෙන මැරෙන්න ගහගත් අයුරු ඇයට සිහි විය. එතකොට ගයාන් තමාට ආදරේ නැතිද යන ගැටලුව ඇයට ඇති විය.

“ පැටියෝ ඔයාට කෙනෙක් අතවරයක් කරා නම් ඕනෙම පියවරක් ගන්න මිනිහෙක් මම…හැබැයි මේ වෙලේ තමන්ගේ ජීවිතේම අහිමි වුන ඒ මනුස්සයා ඔයාගේ මූණ අතගාල සැනසීමක් ලැබුවා නම් මට ඒක සතුටක්. එහෙම දෙයක් තේරුම් ගන්න බැරි තරම් මුග්ධයෙක් නෙවේ මම. එහෙම දෙකට අකැමති නම් මම කවදාවත් ඔයාට තනියම යන්න දෙන්නේ නැහැනේ. මම දන්නවා අවුරුදු ගානකින් පස්සේ හම්බ වුනහම ඔය දෙන්නට තනියම, පුද්ගලිකව ඒ මොහොත ගෙවන්න දෙන්න ඕනේ කියල….” කියමින් අනීෂාව නැවත නැවත සිප ගත්තේය.

“මනුස්ස සම්බන්ධකම් කියන්නේ එක මොහොතකින් අතහරින්න පුළුවන් දේවල් නම් කොයි තරම් හොඳද ? මගේ බිරිඳ වුනා කියල ඒ ආදරේ ඒ දවසේ හිතෙන් අයින් කරන්න පුළුවන් නම් අපි මැෂින් වෙන්න ඕනේ නේද ?”

ඇය වශී වෙලා වගේ ඔහුගේ මුහුණ දිහා බලා සිටියා. ඒ මුහුණේ මතු වුන සාන්ත බව සහ අව්‍යාජ බවෙන් ඇගේ හිත නිවී ගියා.  මතුපිටින් අපි ජීවිතේ දකින සදාචාර මායිම් කොතරම් පටුද ? මනුස්සකම ඉදිරියේ ඒ හැම දේම දියාරු වෙලා නැති වෙලා යන හැටි ඇයට පැහැදිලිව පෙනුණා.

ඊළඟ සතිය වන විට නිරෝෂාන් තරමක් සුව අතට හැරුණා. කිසිවෙක් ඔහුට සත්‍යය හෙළි නොකරන නිසා තමාම ඔහු හමු වෙන්න ගයාන් තීරණය කළා. ඒ අනුව මේ ගැටලුව විසඳන්න ඔහු දහවල් ලෙඩුන් බලන වෙලාවට පස්සේ රෝහලට පිටත් වුණා. හෙමින් දොරට තට්ටු කරලා ඇතුලට දොර හැරගෙන යද්දී නිරෝෂාන් ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉඳගෙන සිටියා. ඒ වෙද්දී තමා අතුරුදහන් වෙලා වසර 6 ක් ගෙවී ඇති බව ඔහු දැනගෙන සිටියේ.

“ මම ගයාන් … ඔයා එක්ක කතා කරන්න ආවේ “ කියමින් ගයාන් අසල පුටුවේ වාඩි වුණා.

නිරෝෂාන් දුබල ලෙස අතදී ආචාර කරා. මේ වෙද්දී හැරමිටියක ආධාරයෙන් ඔහු ඇවිද්දා. ඒ විතරක් නෙවේ වැසිකිලි යාම වගේ දේවල් අනුන්ගේ අතින් කරන්න අකැමති ඔහු තනිව කර ගැනීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා ගේ දෙනෙත් ගැටුණා. ගයාන් පැහැදිලිවත් කෙටිවත් අනීශාගේ සියලුම තොරතුරු ඔහුට පැවසුවා. තමා සිවු හැවිරිදි දුවෙක්ගේ පියෙක් කියා අහද්දී නිරෝෂාන් ගේ මුහුණ පුදුමයෙන් බර වුණා.

“ දුවෙක් ඉන්නවා…?”

“ ඔවු එයාව මෙච්චර කාලයක් ආදරෙන් හැදුවේ මමයි..මමත් එයාට තාත්තා වගේම ආදරෙයි. හැබැයි ඔබ දකිද්දී මට ඇගේ මුහුණ සිහි වෙන්නේ…ඔබ තමා ඇගේ පියා. ” ගයාන් ශෝකයෙන් භරිතව පැවසුවා.

“ ඇයි මට කවුරුත් කීවේ නැත්තේ ? මගේ දුව ඔයා හැදුවේ ? අපේ පවුලේ කවුරුත් එයාව හදන්න උදවු කරේ නැද්ද ?”

“ නැහැ..ඒ වෙනුවට ඔබේ පවුලේ උදවිය ඇයව එලවා තිබුනා. ඇගේ පවුලෙනුත්. මේ සේරම නරක දේවල් වුනත් අනීෂා තනිව මුහුණ දුන්නා. ඒ අතින් ඇය යකඩ ගැහැණියක්. දරුවා ගබ්සා කරන එක පහසුවෙන් කල හැකිව තිබියදී ඇය අමාරු මාවත තෝරා ගත්තා. මාව හමු වෙද්දී නෙතුකිට අවුරුදු 2 ක් වගේ. එදා සිට මම යම් පමණකින් ඇයට උදවු කරා”

මෙවැනි දෙයක් හීනෙකින් වත් අසන්න බලාපොරොත්තු නොවුන නිරෝෂාන් කුමක් කියන්නද කියා හිතුවා. නෙතුකි ඉපදී බව නොදත් ඔහු මේ වෙද්දීත් අනීෂා වෙන කෙනෙක් විවාහ කරගන්න සූදානමෙන් ඉන්නවා නම් ඇගේ සතුට ගැන සලකලා ඇයට යන්න දෙන්න තීරණය කරලා තිබුණේ. තමාගේ දුබලකම අවියක් කරගෙන ඈ තමා වෙත රඳවා නොගන්න ඔහු තීරණය කර තිබුණා. එහෙත් දැන් දරුවෙක්. දැන් ඇය පමණක් නොවේ තවත් ගැහැණු දරුවෙක්.

හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන තුන් දෙනා එක්කම ස්විට්සර් ලන්තයේ මීදුමින් පිරුන කඳු මුදුන් අතර ඇවිදිනු ඔහුගේ ඔලුවේ මැවී පෙනුණා.

“ මගේ දුව මට බලන්න ගේන්න පුලුවන්ද මහත්මයා ?” ඔහු ඇහුවේ බැගෑපත්ව.

“ එයාගේ භාරකාරයා එයාගේ අම්මා. ඇගේ අවසර ඇතිනම් මම ගේන්නම්. ඒ එක්කම මම ඇගේ හිත හදන්න ඕනේ. දන්නවනේ පොඩි දරුවෝ . මේ වෙද්දී මම ඇගේ ආරක්ෂකයා කියල හිත හදාගෙන ඉවරයි. හැබැයි මම හිතන්නේ නැහැ ඒක බාධාවක් වේවි කියල. ඇගේම පියා මට වඩා ඇයට ආදරේ කරන්න සුදුසු කෙනෙක් “

ගයාන් එදා ගෙදර ගිහින් නෙතුකිත් අනීෂත් ලඟට අරගෙන නෙතුකිට සත්‍යම කීවා. ඇගේ නියම තාත්තා ගැනත්, ඇය වෙනුවෙන් අම්ම මුහුණ දුන් අස්වාභාවික දුක් කරදර ගැනත්. නෙතුකිත් හැකි විදිහට තේරුම් ගන්න උත්සහ දැරුවා.

“ඔයාගේ ජීවිතේ වෙනසක් වෙන්නේ නැහැ. මමත් ඉන්නවා. ඒ අතරේ ඔයාගේ ඇත්තම තාත්තත් ඉන්නවා. ඔයාට අපි දෙන්නම ආදරේ කරනවා. මොනවා වුනත් මම ඔයාට හැමදාම ඉන්නවා.” ගයාන් නිරෝශාන්ට දරුවා පෙන්වන්න පෙර දරුවට හැම අතින්ම විශ්වාසය ලබා දුන්නා. ඒ එක්කම ඇගේ පියාට මෙසේ වුනේ ඔහුගේ වරදක් නිසා නොවෙන බවත් රට වෙනුවෙන් දිවි පුදන්නට ගිය ඔහු වීරවරයෙක් බවත් ගයාන් දුවට පැහැදිලි කළා.

නෙතුකිත් ටික දිනක් වෙද්දී නිරෝශාන්ට හුරු වුණා. හැම දේම සලකලා අනීෂා නිරෝෂාන් එක්ක විවාහ විය යුතු බව ඒ වෙද්දී පසක් වෙමින් තිබුනේ. ගයාන් මේ සත්‍යය ඔවුන්ගේ යහපත වෙනුවෙන් කළ හැකි හොඳම දේ බව සිතුවා. නිරෝශාන්ගේ පවුලේ අයත් නෙතුකිගේ මුහුණ දුටු විගස ඒ නිරෝශාන්ගේ දරුවෙක් බව පැහැදිලි කර ගත්තා විතරක් නෙවේ අනීශාගේ දෙපා මුල වැටුන අම්මා සමාව ඉල්ලුවා. හැමෝම කීවේ වෙන් වුන පවුල යලි එකතු විය යුතු බවයි. අනීශාට වුනත් වැටහුනේ මේ තමයි මේ වෙලේ හැටියට ගන්න ඕනේ හොඳම තීරණේ කියල. නමුත් ගයාන් අතහැර දැමීම ඇගේ හිතේ මහත් දුකක් ඇති කළා.

තුන් මසකට පසු නිරෝෂාන් සුව වෙලා රෝහලෙන් පිට වෙන්න සූදානමෙන් හිටියේ. තමන්ගේ බඩු සේරම ජීප් එකට පටවපු ගයාන් අවසාන වරට නිරෝෂාන් හමු වෙලා අනීශාව හා නෙතුකිව භාර දෙන්න තීරණය කළා. ලස්සනට ඇඳගත් අම්මයි දුවයි ඒ මනහර සෙනසුරාදා ඉකි බිඳිමින් රෝහලට ගියා. වෙන් වෙන්න තුන් දෙනාම ඒ වෙද්දී හිත හදාගෙන හිටියේ.

කිසිම වෙනසක් නොපෙන්වා සිටියේ ගයාන් විතරයි.ඔහු එක් කරගත් දැඩි අධිෂ්ටානයෙන් සියලු දේ සොයා බැලුවා. අවසන් දිනයේත් ගෙදර වහලය ලීක් වෙන තැනක් බලලා හැදුවා. ඒ එක්කම දස ලක්ෂයක මුදලක් අනීශාගේ පොතට දැම්මේ වැඩි හොඳට. ඉදිරියේදී ඇයට තවත් මුදල් ඕනේ වුනොත්, ඕනෙම විදිහක උපකාරයක් ඕනේ වුනොත් තමා වෙත එන ලෙස ඔහු පැහැදිලිව ඇයට කියා දුන්නා.

මග දිගටම අනීෂා සහ නෙතුකි හඬනවා. විටින් විට ගයාන් එක අතක් දිගු කර අනීශාගේ හිස අතගානවා. ඔවුන් තුන් දෙනා රෝහල් කාමරයකට යද්දී ඔවුන් බලාපොරොත්තුවෙන් නිරෝෂාන් හිටියේ. එදා ඔහුට ගොඩක් සතුටු දවසක්.

අනීෂා සහ නෙතුකි ඇඳේ වාඩි වෙලා ඉකි ගසද්දී ගයාන් නොවෙනස් ලෙස නිරෝශාන්ට කතා කළා.

“ මචන්..උඹත් මිනිහෙක් මාත් මිනිහෙක්. මේ දෙන්න ..ඔන්න අම්මයි දුවයි දෙන්නම මම අද උඹට දෙනවා. “ ඔහුගේ උගුර මදක් පැටලුනා.

:” මම මෙච්චර කාලයක් ඇස් දෙක වගේ බලා ගත්තේ. මම වගේම උඹත් බලා ගනියි කියල මම බලාපොරොත්තු වෙනවා. උඹට අයිති දේ මා ගාව තියා ගන්න මට බැහැ.”

නෙතුකි ඇඟේ එල්ලුනොත් තමාගේ දිරිය නැති වෙනු ඇතැයි සිතු ගයාන් ඉක්මනින් පුටුවෙන් නැගිට්ටා. අනීශාගේ පහලට නැමුන හිස අතගෑව ඔහු “ මම යන්නම් අනීෂා “ කියා දොර වෙත ගියා.

අධික කම්පනය නිසා දෙවරක් ඔහුට පාර වැරදුනා. ඒ නිසා රථ ගාල ඇති පැත්තට නෙවේ අනික් පැත්තට ඔහු ගියේ.

විනාඩි කීපයක් නිහඩව සිටි නිරෝෂන් අතේ ඇති ක්ලච් එක ආධාරයෙන් ඇවිදගෙන එලියට ගියේ ගයාන්ව අල්ලා ගැනීමටයි. රථ ගාල වෙත ගියත් ඔහු නුදුටු නිසා නැවත කාමරේට ආවා.

“ එයා පාර්ක් එකේ නැහැ.” ඔහු කීවේ අනීෂට.

“ අපේ තාත්තිට පාර හොයා ගන්න බැහැ. එයා හරි පැත්ත කියල අනික් පැත්තට යන්න ඇති..එයාව එක්කන් එන්න අන්කල් ඩඩා ( ඇය නිරෝෂන්ට කීවේ අන්කල් ඩඩා කියලයි )…. මට එයා නැතුව ඉන්න බැහැ. “ නෙතුකි අම්මගේ උකුලට පැනල හඬන්න පටන් ගත්තා.

කොරිඩෝර අතර සිටි ඔහුත් අතකින් අල්ලාගෙන නිරෝෂන් නැවත කාමරේට ආවා. ඔහුට පුටුවෙන් වාඩි වෙන්න කියල අතින් සන් කළා.

“ මචන්… උඹව මේ පවුලෙන් එලවනවා නම් මගේ ඇති වැඩේ මොකද්ද ? මම නැති අතරේ මට වඩා හොඳට උඹ මගේ දුව බැලුවා. උඹ අනීෂාව කසාද බැඳලා ළමයාගේ වාසගම උඹේ එකට හරවාපන්. මගේ දුව එක්ක තියන සම්බන්ධය කොහොමත් එහෙමයි. ඒ අනුව නීතිය ඉස්සරහ නෙතුකි උඹේම දුව වෙනවා….මගෙත් දුව වෙනවා.”

අනීෂා කට ඇරගෙන බලාගෙන සිටියේ මේ මොකද වෙන්න යන්නේ කියලයි.

“අම්මත් උඹට දෙනවා..ඔය තුන් දෙනා පවුලක් වෙලා සතුටින් ඉන්න. මට දැන් කොයි දේත් එකයි. මගේ ජීවිතේ ගැන හිතන්න එපා.” නිරෝෂාන් කියද්දී ඔහුගේ මුහුණින් පල වුනේ රනවිරුවෙක්ගේ දැඩි ආත්ම ශක්තියයි.

“මට පිට රටකට ගිහින් අලුතින් ජීවිතේ පටන් ගන්න පුළුවන්. මම ජීවත්ව ඉන්නතාක් මගේ දුවට සේරම දේපොළ දෙනවා  සහ මගේ යුතුකම් කරනවා. අවුරුද්දකට පාරක් ඇවිත් දුව බලලා යන්නම් . අපි සොල්දාදුවෝ ඕනෙම අහිමි වීමක් දරා ගන්න සතුටු මිනිස්සු. “

ඊළඟ මාසයේ ගයාන් සහ අනීෂා විවාහ වුණා. සාක්කි අත්සන් කරේ නිරෝෂන්. ඒත් නිරෝෂාන් රට ගියේ නැහැ. සුව වුන ඔහුත් කැටිව ගයාන් ඔවුන් තුන් දෙනාම කුරුනෑගල වතු යායට රැගෙන ගියා. අනීෂා ඇගේ උගත්ම එක්ක මේ ව්‍යාපාරය නගා සිටවලා ගමේ කාන්තාවෝ සහ දරුවෝ වෙනම මාවතකට ගෙනාවා. රෝගයෙන් සුව වෙන්න නිරෝශාන්ට වසර දෙකක් වගේ ගත වුණා. ඔහුත් ගොවි පලේ වැඩ වලට සක්‍රියව දායක වුනා. සාමන්‍ය පවුල් වල එක පිරිමියෙක් සහ ගැහැනියක් සිටියට මේ අමුතු පවුලේ පිරිමි දෙන්නෙක්, එක ගැහැනියක් සහ දරුවෙක් සිටියා. තව දඩෝරි බල්ලෝ හිටියා. හරක් හිටියා. ඔවුන් රජයට බදු ගෙවුවා. රට හදන්න, රටේ නිසරුව තිබුන වියලි ගම්මානයක් හදන්න ඔවුන්ගේ මහන්සිය යෙදවූවා.

ඔවුන්ට රටේ මිනිස්සු කියන කතා ඇහුනෙත් නැහැ. ඇහුනත් ඒවා ගණන් ගත්තෙත් නැහැ.

දවසක් ගයාන්ගේ අම්මා ගොවිපොළට ඇවිත් අනීශාට හොඳටම බැන වැදී ගයාන්ට සාප කර යන්න ගියා.

“ උඹ දැන ගනින් අම්මගේ මිනිය බලන්න වත් ආයෙත් එන්න දෙන්නේ නැහැ කියල. අම්මගේ හිත රිද්දුව උඹට කවදාවත් හරියන්නේ නැහැ “ කියමින් ඇය මිදුලට බැහැල අනීශාගේ පැත්ත හැරිලා ඇයට කෙල ගැහුවා.

“ උඹ මායාකාරී… විනාස කරන්න තෝර ගත්තේ රටක් වටිනා පිරිමි දෙන්නෙක්ව. එකෙක් මදිවට දෙන්නෙක් තියාගෙන ඉන්න ගණිකාව “ කියල නැවත වරක් කෙල ගහල යන්න ගියා. මේ වෙලේ නිරෝෂන් ගෙදර හිටියේ නැහැ.

ගයන් ලඟට ගිහින් අනීශාව වැළඳ ගත්තා.

“ ඉස්සර මට මිනිස්සු කීවේ , දඩාවතේ ගිහින් ළමයෙක් හදා ගත්ත ගණිකාව කියල… දැන් කියන්නේ මිනිස්සු දෙන්නෙක් තියා ගත්ත ගණිකාව කියල..දෙකේම ලොකු වෙනසක් නැහැ ගයාන්. අපේ වැඩක් බලාගම්මු “ ඇය කීවේ සිනාසෙමින්.

“ අපි ජීවත් වෙද්දී අපිට ගැලපෙන මොඩල් එකක් හොයා ගන්න ඕනේ. එක්කෙනෙක්ට හරි දේ තව කෙනෙක්ට හරියන්නේ නැහැ. කොහොම වුනත් අන්තිමේදී මැරෙන නිසා සතුටින් ඉන්න තමා අපි හැම වෙලාවකම උත්සහ කරන්න ඕනේ. තමන්ගේ අතින් වරදක් සිදු නොවෙනවා නම් අපිට අනුන්ගේ වචන අදාලම නැහැ. නිරෝෂාන් කියන්නේ ලෙඩෙක්. මේ රට රකින්න ගිහින් අබ්බගාත වුන මනුස්සයෙක්. ඒ මනුස්සයව එලවල දාන්න මගේ හිත දෙන්නේ නැහැ අනීෂා. පුළුවන් විදිහකට අපි ඒ මනුස්සයා බලාගන්න ඕනේ. සතුටින් තියන්න ඕනේ. ඒ කැපවීම වෙන්න බැරි නම් අපේ මනුස්සකම මොකද්ද ?”

සුසුමක් හෙලලා ඔවුන් දෙන්නා ගෙට ගියා.

( නිමි )