සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


10 කොටස

කොටින්ගේ කඳවුරක සිටි වසර 5 ක කාලය තුල ඔහු අධිකව තාඩන පීඩන වලට මුහුණ දුන්නා. ඔවුන්ගේ කෙළවරක් නැති ප්‍රශ්න කිරීම් ඉදිරියේ මුනිවත රකිද්දී අධිකව පහර දීම් ඇතුළු ශාරීරික වේදනා වලට දිනපතාම පාහේ මුහුණ දුන්නා. පර පීඩක කාමයෙන් මැඩී සිටි ත්‍රස්තවාදී තරුණයෝ නිරෝශාන්ට වද වේදනා දීම විනෝදාංශයක් කොට සැලකුවා. මේ බිහිසුණු කාලයේදී ඔහු කායිකවත් මානසිකවත් පිරිහෙද්දී අනීෂා රළු , දැඩි ගැහැනියක් වුණා. එදා සිටි නිරෝෂන් ගේ මුදුමොලොක් පෙම්වතිය වෙනුවට සැර , තද ගැහැණියක් බවට පත් වුණා.

මේ සේරම දුක් කම්කටොලු මැද ජීවත් වීමට ඇය දිරියක් ගත්තේ කුඩා නෙතුකි. ඇය ලොකු මහත් කරගැනීම ජීවිතේ එකම අරමුණ කරගත් අනීෂා තමාගේ ජීවිතේ ලද බිහිසුණු අත්දැකීම් එක්ක දරඳඩු ගැහැනියක් වීම පුදුමයක් නෙවේ. ගයාන්ගේ මුදු මොලොක් ස්නේහය ඇයට ලොකු හයියක් වුණා. ඔහුත් නෙතුකිත් තමාගෙන් යැපෙන කුඩා දරුවෝ බවයි අනීෂට දැනුණේ. නමුත් ඔහු වචනයෙන් කියා ගත නොහැකි තරම් සත්පුරුෂයෙක් බව ඇය දැන සිටියා. අනුන්ගේ ළමයෙක් එක්ක තමා විවාහ කර ගැනීම නිරෝෂන් නම් කවදාවත් නොකරන බව ඇය දැන සිටියා.

“ මම ඔයාට වැඳලා කියන්නම් අනීෂා ..ඔච්චර දරුණු වෙන්න එපා” ගයාන් කීවේ රෝහලට යාමට ඇය නම්මා ගැනීමටයි.

“ මට බැහැ කිවුවොත් බැහැ . පාරක් කීවනේ “

“ මම කියන්නේ ඔයා ගේ හිතේ තියන වේදනාව අඩු වේවි…මා එක්ක එන්න බැරි නම් තනියම යන්න. ඒ මනුස්සයට සිහිය ගන්න උදවු කරන්න . ඊට පස්සේ තීරණය කරන්න මොකද කරන්නේ කියල “

ඇය ඔහුගේ පුවට තුරුල් වෙලා මෙච්චර දවසක් තරහෙන් හන්ගන් සිටි වේදනාව කඳුළු ගංගාවක් ලෙස මුදා හැරියා. ඔහු නිහඩව සිටියේ මෙහෙම අඬන එක ඇගේ හිත සැහැල්ලු කරවන්න හේතු වෙන නිසයි.

“ ගයාන්… නිරෝෂාන් මගේ පලවෙනි ආදරේ. ඇත්තටම කීවොත් මගේ ජීවිතේ. එයා ඉන්න තත්වේ එක්ක මම කාවද තොර ගන්නේ ගයාන් ? මම මොකද්ද කරන්නේ ? ඔය දෙන්නම මාව දෙපැත්තට අදිනවා. අනේ දෙවියනේ මගේ කෙල්ල එක්කම එදා මොනා හරි කර ගත්තා නම් කොයි තරම් හොඳද ? “කියමින් ඇය වැළපුනාය.

මාස තුනක බඩක් එක්ක මනුස්සයා මැරුණ ගෑනියක් ලෙස එදා ගෙදරින් එලවා දැමුණ මොහොතේ රෙදි පෙරෙදි සහ කුඩා ආයිත්තම් ටිකක් එක්ක බෑගය පුරවාගෙන කොළඹ ආවේ නැවත යන්න නෙවේ. ඇය ගෙදරින් ගිහින් බව දැනගත් ඇගේ අම්මා හඬා වැටුණා.

“ අනේ මහත්තයා..දුව මොනා හරි කර ගනී. ..අපි එයාව එක්ක එමු “ කියමින් අම්මා වලපුනත් සහෝදරයන්ගේ කූට පෙළඹවීම් එක්ක රදලයෙක් වුන පියා හොඳටම තරහෙන් හිටියේ.

“ ඕකි මලා කියල මම හිතාන ඉන්නේ . හෙට අනිද්දට දානයක් දෙනවා . මීට පස්සේ කවුරුත් ඒ ගැන කතා නොකලොත් හොඳයි “ කියමින් ධනසංඛ ඇහැලේපොල බුරා හැලුනා.

“ අපොයි අපේ මහත්තයා ..ඔයා තමා මේ දරුව මේ ගානට දරදඬු කෙනෙක් කරේ. “ කියමින් අම්මා කඳුළු සැලුවා.

මේ අම්මා සොරාට විටින් විට රන් භාණ්ඩ, මුදල් එක එක්කෙනා අතේ අනීශාට සහ නෙතුකිට එවුවා. කීප දිනක් හොරෙන් ඇවිත් බලලා ගියා. දුව හොඳින් ඉන්නවා දැකල අම්ම සතුටු වුනා.

එදා ගෙදරින් ආව දවසේ ඇය මග සිට නිම්මිට කතා කළා. කුදාකලම නිල්මිගේ පියා මැරිලා. අගේ මව හරි කාරුණික කාන්තාවක්. දෙන්නම අනීශාට ආදරෙන් කතා කරලා ඔවුන්ගේ ගෙදරට එන්න පොළඹවා ගත්තේ මේ වෙලේ ඇය අනතුරක් කර ගනීවි කියල.

කඩුවෙලින් බැහැපු ඇය කැළණි ගඟේ පාලම උඩ ඉඳගෙන ගලායන මහා ජලස්කන්ධය දිහා බලාගෙන කල්පනා කළා. මේ මොහොතේ ඇයට යාමට ඇත්තේ මාවත් දෙකකි. එකක් දරුවා හදාගෙන ජීවිතේට කෙසේ හෝ මුහුණ දීමයි. මෙවැනි රටක එය අතිශය අසීරු කර්තව්‍යක් බව ඇයට වැටහුණා. දෙවන මාර්ගය පහසුයි. ඒ නම් මේ ජල තලයට දරුවා සමගම බිලි වීමයි.

මට අත්දෙක නැති වුනේ නැහැ, කොන්ද කැඩුනේ නැහැ, මගේ අධ්‍යාපනේ නැති කරන්න කාටවත් බැහැ…. මම තනියම මගේ දරුවා හදනවා. මාව පන්නපු මිනිස්සුන්ට දවසක ඒ ගැන දුක හිතෙන විදිහට මාත් හැදෙනවා. දරුවත් හදනවා. දැඩි අධිෂ්ටනය පෙරටු කොටගෙන ඇය 177 බසයට ගොඩවුවාය.

අනීශාගේ සහෝදරයෝ හිතුවේ ඇය අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගණිකා මඩමක නතර වේවි කියලයි. නමුත් ඒ සේරම මතයන් බොරු කරමින් ඇය පළමු පෙළ සාමාර්ථයක් අරගෙන සමත් වුනා. විශ්ව විද්‍යාල ආචාර්ය වරියක් වුණා. තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතපු ඇය කවදාවත් මොන රෑ වුනත් බසයකින් හෝ කැබ් එකකින් ගියා හැර කාගේ වත් කාර් වලට නගින්න ගියේ නැහැ. උදවු දෙන්න පස්සෙන් එන පිරිමි ලාදුරු රෝගීන් වගේ මගහැර ගියා. ඇත්තටම ඇය කවුරුත් ඇසුරු නොකරන ගුප්ත ගැහැනියක් වුණා.

මේ සේරම අද ඇයට මතක් වුනේ මේ මතුවෙලා ඇති තත්වය නිසයි. එදා තමා පාලමෙන් පැන්නා නම් මේ දුක් මුකුත් නැහැ නේද ? ඇය සිතුවාය. ඒ සමගම නෙතුකිගේ ප්‍රශ්නාර්ථයෙන් ගැහෙන කුඩා දෙනෙත මතක් වීමෙන් ඇගේ දෙනෙත නැවත තෙත් වී ගියේය. එසේ නම් තමා පමණක් නොව ඇයත් ජල රකුසාට බිලි වෙනවා නොවේද ? කොහොම වුනත් මේ සේරම පහව යාවි. අපේ ජීවිත නැවතත් හිටි අඩියටම වැටේවි. ඇය කල්පනා කළාය.

ඊළඟ දවසේ ගයාන් නැතුව ඇය තනිව රෝහල වෙත ගියාය. ඒ වන විට නිරෝෂාන් දැඩි සත්කාරයෙන් ඉවත් කොට විශේෂ කාමරයක දමා තිබුණි. ඔහුගේ නිදි බෙහෙත් ඉවත්ව තිබුනද ඔහු සිටියේ අඩ නින්දෙනි. තමා බේරාගෙන ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂ වී තිබුණි. පවුලේ සාමාජිකයන් හැමෝම පැමිණියත් අනීෂා තමා සොයා දුවගෙන නොපැමිණීම ඔහුට පුදුමයකි. වසර 5 ක් ගත වුන බව හෙතෙම නොදත්තේය. තව මාස දෙකක් වත් නේවාසික ප්‍රතිකාර ලැබිය යුතු බව වෛද්‍ය වරු නිර්දේශ කර තිබුණි.

මේ ගැන දහවල පැමිණි අම්මගෙන් ඔහු විමසා සිටියේය . සත්‍ය තත්වය දැනගතහොත් පුතා නැවත මානසිකව වැටේවි යන බයෙන් අම්මා මුනිවත රැක්කාය. ඒ සමගම පුතා කෙසේ හෝ ඉතාම නුදුරේදේ සත්‍යය දන ගන්නා බව අම්මාට වැටහිණි. ඒ වෙලේ අනීෂා පන්නා ගැනීමන් තමා කල වරද දත් ඇගේ බය වැඩුනේය. බාගදා පුතා ජීවිත කාලයටම තමා සමග අමනාප වනු ඇත.

ඇත්තටම මට ඒ වෙලේ ඒ ළමයා ගැන සාධාරණව හිතන්න බැරි වුනේ ඇයි ? ඇගේ හිතේ තෙරපෙන්නට විය.

ලෙඩුන් බලන්න යන වෙලාව වේලාසනින්ම මගහල අනීෂා විශ්ව විද්‍යාලය ඇරී තනිවම රෝහල බලා පිටත් වූවාය. ගයාන් නෙතුකි අරගෙන ගෙදර ගියේය. නිරෝෂාන් අඩ නින්දේ සිටියදී ඇය කාමරයට ඇතුළු වුනේ ගැහෙන හදිනි. ඔහුගේ දුක් විඳි කටුක මුහුණ සහ පිළිස්සුන සම දුටු ඇයට නොහඩා සිටිය නොහැකි විය. ශබ්ද නැගෙතියි අතින් කට වසා ගනිද්දී හීන් කෙඳිරිය අසාඅ නිරෝෂාන් පිබිදුණේය. ඔවුන් දෙදෙනා කතාවක් නැතුව බොහෝ වෙලා එකිනෙකා අත් අල්ලාගෙන සිටියහ. අනීෂා මහත් වී ඇති බව සහ වෙනස් වී ඇති බව කීමට ඔහුගේ සිතට ආවත් තමා දැන් සිටින හැටි මෙනෙහි කළ ඔහු වචනයක් වත් නොකීවේය. ඒ වෙනුවට ඔහුගේ අතින් ඇගේ මුහුණ අතගෑවේය. අනීෂා ගයාන් නිසා හටගත් දෝෂ සහගත හැගීමෙන් මඩනා ලද්දේ ඔහුට තමා අතගෑමට ඉඩ දී නිහඩව සිටියාය.

ඔහුට ඇගෙන් අසන්නට ගැටළු රාශියක් තිබුනේය. නමුත් කොතනින් පටන් ගන්නද ?

“ මම සනීප වුන ගමන් අපේ වෙඩින් එක ගමු “ ඔහු අසරණ විලාසයෙන් ඇයට කීවේය. සමාව යදින බැල්මක් ඔහුගේ දෙනෙතේ විය. ඔහුගේ බැල්ම දුටු ඇයට නෙතුකි අනුස්මරණය වූයෙන් ඇය ජනේලය අල්ලා ගත්තාය. අගේ දෙනෙතම කඳුලින් බොඳ විය. දරුවා ගැන ඔහු නොදනී. තමාට දුවෙක් සිටිනා බව ඔහු කෙසේ භාර ගනීද ඇය මොහොතකට කල්පනාවට වැටුනාය.

“ ඔයා දැන් කසාද බැඳලද ? “ ඔහු ඇසුවේ ඇගෙන් පිළිතුරක් නොලද හෙයිනි.

“ අපි හැම දේම කතා කරමු නිරෝෂාන්. ඔයා ටිකක් සනීප වුනාම”

ළඟදීම ඔහුට සත්‍යය හෙළි වූ විට සියල්ල කණපිට ගසන බව ඇය දන සිටියාය. ඔහු දරුවා තමාගෙන් ගන්න හැදුවොත් ? ඒ වගේම ගයාන් සහ නිරෝෂාන් අතර සිරවන නෙතුකිට එය කෙසේ බලපානු ඇතිද ?

දැනටම ගයාන්ව සිය පියා ලෙස සතුටින් පිළිගෙන සිටින ඇය නිරෝෂාන් කෙරෙහි කවර නම් ආකල්පයක් දක්වනු ඇතිද ? දැනටත් ඇතැම් දිනවල ඉරිදා හවස ගයාන් ගිය පසු ඇය තනිව කාමරයට වී ටෙඩියා බදාගෙන වැලපේ. මවට වඩා ගයාන් වුවමනා වුනේ නෙතුකිටයි. මේ බැඳීම රෝගී නිරෝෂාන් කොයි අයුරකින් දකීවිද ?

“ මට කියන්න ඔයා බැදලද ? “ ඔහු කොවින් ඇසුවේය.

“ නැහැ නිරෝෂාන්. මම බැඳලා නැහැ. හැබැයි ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා” ඇය ඔහුගේ හිත නොරිදෙන්න කීවා.

“ ඒ කියන්නේ ඔයා මාව අමතක කරලද ?”

ඇය ඔවු නොකීවා පමණකි.

“දැන් වෙලාව පරක්කු වෙනවා නිරෝෂාන් ඉඩක් ලැබුන ගමන් මම එන්නම්” කියූ ඇය ඔරලෝසුව දෙස බැලුවේ නිරෝෂාන්ගේ අම්මා ඒමට පෙර එලියට යාමේ චේතනාවෙන්. මොන හේතුවකට වුනත් ඇය හමු වුනොත් තමාගේ තරහ පුපුරා ගොස් ආරවුලක් හටගත හැකි බව ඇය දැන සිටියා.

( ලබන සතියට )