සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


01 කොටස

අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ. ඇය නාවල පාරට හැරෙවුවේ හැමදාම වගේ හිතේ දැඩි පීඩනෙකින්. අගේ අලුත්ම නිසාන් ලීෆ් රථය වැඩිය කරදරයක් නොකර ඉදිරියට ඇදුනා.

අනිෂා මේ වේගෙන් යන්නේ දුව නෙතුකි ව ගන්න. හැමදාම වගේ එදත් වෙහෙසකර දවසක්. උදේ ඉඳල විශ්ව විද්‍යාල දෙකක උගන්වන ඇය අද හවස තවත් consultancy වැඩකට ගියා. ඒ මීටින් එක සාර්ථකයි. අමතරව මුදලක් උපයන්න ඕනේ. ඒ වගේම මේ කාලයේදී තමන්ගේ නම හොඳින් හදා ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. හැම දේටම වඩා තනියම දරුවෙක් හදන්න ඕනේ. මොන තරම් බරක්ද ඇගේ හිතේ තිබ්බේ. මේ හැම දේම ඇය මැසිවිල්ලක් නොනගා ඇදගෙන ගියා.

හතට විනාඩියක් තියෙද්දී ඇයට ඩේ කෙයා එකේ මිදුලේ පාර්ක්‌ කර ගන්න යන්තම් ඉඩක් ලැබුණා. මේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය මිලෙන් ඉතාම වැඩියි. මාසෙකට රුපියල තිස්දාහක් ගෙවන්න වුනත් නෙතුකිව මෙතෙන්ටම දාන්න ඕනේ වුනේ ඇගේ ආරක්ෂාව ගැන වගේම එතනින් ලබන අධ්‍යාපනය ගැනත් හිතලා. මේක කළේ මිසිස් සිගේරා කියල ඉංග්‍රීසි ළමා මනෝ වෛද්‍ය වරියක්. එහි සිටි මනාව පුහුණු කල සේවිකාවෝ හැමෝම දරුවන්ට නිසි ඉගෙනීමක් වගේම පුහුණුවක් දුන්නා.

මෙතන ඉන්න දරුවන්ගෙන් හැමදාම අන්තිමට ගන්නේ නෙතුකිව. ඒ වගේම උදේම බස්සවන්නෙත් නෙතුකිව. නෙතුකි කියන්නේ හීනි කම්මුල් තිබෙන මදක් තලෙළු දැරියක්. පියෙක් ජීවිතේට වත් දැකල නැති සිවු හැවිරිදි ඇය සිය අත්තම්මාගෙන් සහ සීයාගෙන් පවා වෙන් වෙලා හිටියේ. තමන්ගේ පියා ගැන අහන හැම වතාවකම “ ඔයා ලොකු වුනාම අපි ඒ ගැන කතා කරමු “ කියල අනීෂා මගහැරියා. ඒ නිසා කුඩා ඇය පියා ගැන අසමින් අම්මට වද දුන්නේ නැහැ.

සාරියේ පොට ඉනේ ගහගෙන සෙරෙප්පු දෙක නැතුවම අනීෂා කාර් එකෙන් බිමට පැනලා ඉක්මනින් ඩේ කෙයා එක වෙතට ගියා. නෙතුකි එක්ක බලාගෙන සිටි සේවිකාවට “ Bye Aunty Jennifer “ කියල නෙතුකි අම්මිගේ ඇඟට පැනගත්තා. දැන් ඉතින් දවසම හරි. කුඩා ඇය තදින් අම්මගේ බෙල්ලත් මූණත් සිපගෙන කිසිල්ලෙන් එන ඩියෝඩ්රන්ඩ් සහ දහදිය එකට කැටි වුන සුවඳට ඉව කළා. ඇයගේ සිඟිති මුව කමල මදක් ඈත් කල අනිෂා කම්මුල් දෙකත් දෙතොලත් තදින් සිප ගත්තා.

“ මගේ රත්තරන් … යමු ගෙදර “


නෙතුකිට වයස 4 ට වැඩි වුනත් අනීෂා හැම වෙලේම කාර් එකේ පිටුපස සවි කර තිබුන බේබි සිටර් එකේ දාල පටි තද කරනවා. දුව කොතරම් අකමැති වුනත් ඉස්සරහට ගන්නේ නැහැ. නෙතුකි ගෙන් දවසේ විස්තර අහන්නේ මේ වෙලාවට තමයි. ගෙදර යන පැය භාගය සහ උදේ විනාඩි 45 මේ අම්මගෙයි දුවගෙයි කතා කරන වෙලාව වුනා.

තමා අද නාදින්කා එක්ක සෙල්ලම් කරමින් ඉද්දි වැටිලා වට තුනක් රෝල් වුන එක ගැන අනීෂට විස්තර කරමින් ඉද්දි ඔවුන් දෙන්නා ගෙදරට සැපත් වුණා. නුගේගොඩ තිබුන තට්ටු නිවාස සංකීර්ණයක ගෙයක් ගෙවීමේ පදනමට ගිය වසරේ අනීෂා විසින් අරගත්තේ එහි ඇති සැප පහසුකම් වගේම ආරක්ෂාවත් සලකලා. ඔවුන්ගේ පාකින් ස්ලොට් එකේ කාර් එක දාල ලිෆ්ට් එකෙන් දෙන්නම පස් වෙනි තට්ටුවේ තිබුන ඔවුන්ගේ ගෙදරට ඇතුල් වෙද්දී වෙලාව අටට කිට්ටුයි.

මේ කුඩා නිවස සුඛෝපභෝගියි. නිදන කාමර දෙකකුත්, බැල්කනි , ලොකු පැන්ට්‍රි එකක් ඒ වගේම අම්මටයි දුවටයි හැම සැප පහසුවක්ම මෙහි තිබුනා. මාසෙකට ගෙවන ගණන ඉහල වුනත් දුවට පීනන්න පූල් එකක් , තමන්ට යන්න ජිම් එකක් ඒ වගේම පැය 24 ම ආරක්ෂාව නිසා අනිෂා මේක ගන්න දෙපාරක් හිතුවේ නැහැ. ගිය ගමන් අනීෂා සාරිය නොගලවාම දරුවාට කන්න ආහාර හදන්න පටන් ගත්තා. කුඩා නෙතුකි බාත් රූම් එකට ගිහින් ඇඟ හෝදලා තමන්ගේ රාත්‍රී ඇඳුම් ඇඳගත්තා. ඊට පස්සේ සෙරප්පු දාගෙනම මේසෙට ආවේ කෑම කන්න. කුඩා ඇයට තරමක් බඩගිනියි.

අම්මයි දුවයි එකට ආහාර ගත්තා. ඩේ කෙයා එකේදිම හවසට හෝම් වරක් කරන නිසා කරදරයක් නැහැ. අනීෂා නෙතුකිගේ අත්දෙක හේදුවේ වඩාගෙන. ඒ කරන හැම වතාවකම ඔවුන් දෙන්නා එකිනෙකා සිප ගන්නවා. දැන් නම් ඇය දත් මදින්න හොරයි. අදත් අදිමදි කරනවා. ඒ නිසා අනීෂා ලස්සන කතාවක් ගොතල තිබ්බේ.

“ දැන් පුතා දත් මැද්දේ නැති වුනාම කටේ ඉන්න පණුවන්ට හරිම සතුටුයි. අම්මෝ අද නෙතුකි අක්කි දත් මැදල නැහැ. ඔම්ලට් , නූඩ්ල්ස් ඔක්කොම අපි කනවා. …කියල රෑට ඇවිත් කනවා. එතකොට එයාල අතින් වැරදිලා ඔයාගේ දත් ටිකත් කැවෙයි. “ නෙතුකි මේ කතාව හැමදාම අහන්න ආස කළා. ඒ වගේම අනීෂා හැමදාම අලුතින් යමක් එකතු කරලා මේ කතාව කීවා. එතකොට ඇගේ කම්මැලිකම නැති වෙලා චූටි කටින් හිකි හිකි ගාල හිනා පනිනවා. ඒ අතරේ අනීෂා ඇගේ දත් ටික මද්ද ගන්නවා.

නෙතුකි ඇඳට දැම්මට ගොඩක් වෙලා ඇහැරිලා කරදර කරන්නේ නැහැ. කුඩා කාලේ වත් කකුල් වල තියල නලවන්න වෙලාවක් අනීෂට තිබුනේ නැහැ. ඒ නිසා අනීෂා ලඟින් වාඩි වෙලා කොට්ටෙට තට්ටු කරනවා. විනාඩි දෙකෙන් නෙතුකි නින්දෙන් හිනා වෙනවා. ආයෙත් පාරක් නෙතුකි සිපගෙන අනීෂා කෙලින්ම යන්නේ නාන කාමරයට. උදේ ඇඳ ගත්තු සාරිය ගලවලා ඇය උනු වතුරේ බැහැල සැනසෙනවා. ඉන් පස්සේ තමන්ගේ කාමෙරට එද්දී රාත්‍රී 10 ට විතර ඇති. ඔන්න ඇය ෆෝන් එක අරගෙන ගයාන්ට කතා කරන්නේ TV එකත් දාගෙන. ඔවුන් දෙන්නා ගොඩක් කාර්ය බහුල නිසා දවසට දෙවරක් වගේ තමා කතා කරන්නේ. තමා හොඳින් බවත් දියණිය නිදි බවත් කීවහම ඔවුන් දෙන්නා තව විනාඩි 5 ක් විතර දවසේ තොරතුරු කතා කරනවා. දවසම ෆාම් එකේ වැඩ එක්ක වෙහෙසෙන ඔහුට හොඳටම නිදිමතයි. ඉන් පස්සේ ඔවුන් දෙදෙනා සමු ගන්නවා.

ඉන් පස්සේ ඇය හෙට කරන්න තියන වැඩ ගැන බලනවා. මීටින් ටික බලනවා. අඳින ඇඳුම ගැන හිතනවා. බාල දියණියක් වඩාගෙන තනිවම ජීවිතේ මහ කන්ද නගින අනිෂා කවදාවත් අතීතේ ගැන පසුතැවෙන ගැහැනියක් නොවේ.


විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙද්දීත් ඇය රැකියා කරලා මුදල් උපයාගෙන හිටියේ. පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් අරගෙන සිටි ඇය විවාහයට පෙර ගර්භනී වුන බව දැනගත්ත දෙමාපියෝ ඇයට ගොඩක් හිරිහැර කරා. දරුවා මරා දමන ලෙසට. නමුත් හිතුවක්කාර ඇය මේ දේට එකඟ වුනේ නැහැ. ඒ 2009 වසරේ මුල් භාගය.

සහෝදරයෝ ඇය අතහැර දැම්මා. එයින් උපන් සිත් වේදනාවෙන් මිරිකෙමින් හුදෙකලාව ජීවිත සටනට මුහුණ දෙන්න ඇය ගම්පහ අතහැර කොළඹ ආවා. මුලින්ම විශ්ව විද්‍යාලේ පුරප්පාඩුවකට රැකියාවක් සොයා ගත්තා. කථිකාචාර්ය වරියක් ලෙස හොඳ වැටුපක් ලබන අතරේ ඇය හැමෝටම කීවේ සැමියා මිය ගිහින් කියලයි. වාසනාවට උගතුන් සිටින මේ වගේ පරිසරේක කවුරුත් ඇය ගේ ගර්භනී බව නිසා නින්දා කලේ නැහැ. ඇගේ ගුරුතුමා වුන පීඨාධිපති තුමා ඇයට නොමදව උපකාර කළා. ඇයට නිල නිවාසයක් සරසවිය ඇතුළෙන්ම ලබා දෙන්නත් ඔහු කාරුණික වුණා. අවසන දරුවා ලැබිලා ඇය සේරම කරගත්තේ තනිවම. 60 හැවිරිදි මහලු නන්දාවතී මාතාව මේ අම්ම සහ දුවව බලා ගත්තා. ඇත්තටම ඇය සේවිකාවකට වඩා මවක් වුනා.

අනීෂා ගේ දෙමාපියෝ විටින් විට ඇය බලන්න මෙහි ආවා. නමුත් අනීෂට ගෙදර එන්න නොදෙන්න අනික් වැඩිමල් සහෝදරියෝ සහ සහෝදරයා සහතික වෙලා හිටියේ. ඇත්තටම ඔවුන් මේ ගැන සතුටු වුනා. පරම්පරා ගෙදර සහ ඉඩම දැන් ඔවුන් තුන් දෙනා අතරේ සමව බෙදා ගත හැකියි. ඒ වගේම මෙය තනිවම අයිති කර ගන්න සහෝදරයා මාන බැලුවා. නැත්නම් මේ ගෙදර ලියන්න හිටියේ අනීෂට. ඔවුන් ගම්පහ තරමක වැදගත් පවුලක්. පොල් ඉඩම් අනික් අයට සමව බෙදුවත් ඔවුන්ට ඕනේ වුනේ අනීෂට දෙන්න හිටි මහ ගෙදරයි. එය සියවසක් පමණ පරණ වලවුවක් නිසා හැමෝම මෙයට කෑදර වුනා.

“ මට වත් මගේ දුවට වත් ඔය දේවල් ජාතිත් එපා. අපි අපේ ජීවිතේ ගෙවනවා “ මේ දේවල් මතක් වෙන හැම වතාවකම අනීෂා තමන්ටම කියා ගත්තා. විපතේදී හෙවනල්ලත් තමන් දාල යනවා නේද කියන කුරිරු සත්‍යය ඇය දරුණුවටම අත්වින්දා. නමුත් ජීවිතේ ඉදිරියේ නොසැලී දරුවා යහපත්ව හදා වඩා ගැනීම අගේ එකම පැතුම වුනා.

ඇය මුදල් ඉපයුවා. ඉතුරු කළා. දියණිය අවුරුදු දෙක සම්පූර්ණ වෙද්දී නන්දාවතී මාතාව ගමට ගියා. ඉන් පස්සේ හොඳ ඩේ කෙයා එකක් බලල එයට දැම්මා. ඇයට නිදහසේ ඉන්න ගෙයක් ගන්න ලැබුනේ ගිය අවුරුද්දේ. දුවට වයස අවුරුදු තුනක් වගේ වෙද්දී ඇයට අසීමිතව පෙම් බැන්ද ගයාන් කියන සිසුවා එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. ඇත්තටම ඒ ආදර කතාව ටිකක් වෙනස්.


ගයාන් කාවිංග ගුණසේකර කියන්නේ කොළඹ ලොකු පිරිමි විදුහලක ශිෂ්‍යයෙක්. ඔහුගේ පියා සිවිල් නිලධාරියෙක්. මව ගෘහනියක්. ගයාන්ගේ එකම අයියා විදේශ ගතව අධ්‍යාපනය ලැබුවා. ඔහු කුඩා කල සිට ඉතාම බුද්ධිමත්. හැම දෙයින්ම පළවෙනියා. සම්ස්ත ලන්කා නැටුම් තරඟයේ දක්ෂම වෙස් නැට්ටුවා. දක්ෂම කතිකයා. දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු අරගෙන උසස් පෙළ සමත් වුන ඔහු විශ්ව විද්‍යාලයට එන්න පෙර ඔහුගේ පියාගේ ගමේ ගැහැණු ළමයෙක්ට ආදරේ කළා. බාල වියේ සිට තිබ්බ ඒ ආදරේ එක්ක ඔහු ශක්තිමත් වුනා.

ගයාන් අනික් ළමයින්ට වඩා වෙනස්. ඔහුට හැම වෙලේම ඕනේ වුනේ රට වෙනුවෙන් යමක් කරන්න. අලුත් දෙයක් හොයා ගන්න. ඔහු බොහෝ විට මිනිසුන් ඇසුර එතරම් ලොකුවට කරන්න දක්ෂ කෙනෙක් නෙවේ. නමුත් අසීමිතව ඉගෙන ගන්න දක්ෂ නිසා ඔහුගේ මේ පෞරුෂ ආබාධ කවුරුත් ලොකුවට ගත්තේ නැහැ. ඔහුට හැම වෙලේම අධිකව පිළිවෙල තිබෙන්න ඕනේ. ඉස්සර ඔටිසම් වගේ රෝග තත්වයන් දරුවන්ගෙන් සොයා ගැනීම කරන්න කවුරුත් සැලකිලිමත් වුනේ නැහැ. ඔහු දැන හිටියා තමන් අනුන්ට වඩා වෙනස් කියල. නමුත් ඒ වෙනස මොකද්ද කියල තේරුම් ගන්න ඔහුට බැරි වුනා. ඔහුගේ ජීවිතේ හිටි සමීප එකම කෙනා වුනේ රන්මලී. මේ බොළඳ දරුවෝ දෙන්නා නොයෙක් විට හමු වෙලා ලොකු වෙලා කරන දේ කතා කළා. ඔහු උසස් පෙළ කරලා ඉවර වුනා විතරයි ඒ වෙද්දී එකොළහ වසරේ සිටි රන්මලී ඩෙංගු රෝගය හැදිලා මිය ගියා. ඔහු එයින් තවත් හුදෙකලා වුනා.

විශ්ව විද්‍යාලයට පැමිණි පසු ඔහු අධ්‍යන කටයුතු හොඳින් කළා. ඒ අතරේ දෙවන වසරේදී සිය ආචාර්ය වරියක් වූ අනීෂාව හමු වීම ඔහුට විශේෂ වුනා. අනීෂා කියන්නේ බොහොම තද විනයක් ඇති ගුරුවරියක්. ඔවු ඇය නඩත්තු කරේ එහෙම ප්‍රතිරූපයක්. දරුවෙක් එක්ක තනි වුන ඇය ආත්ම ගෞරවය ගැන ගොඩක් ලොකුවට හිතුවා. ඒ නිසා යකඩ වෙස් මූණක් දාගෙන තමා ඇය සමාජයේ හැසිරුනේ. අනීෂාගේ මුහුණේ රන්මලීගේ මුහුණේ තිබ්බ මොකද්දෝ සමානකමක් තිබ්බා. මේ නිසා ඒ දෙස බලා සිටීම ගයාන්ට පුදුම විදිහට හුරු වුණා. අනීෂත් දැනගෙන හිටියා මේ හැමදාම පළවෙනියා වෙන සුපිරි දක්ෂයා තමන් කෙරෙහි දක්වන අමුතු ආකල්පය.

“ වරෙන්කො කතා කරගෙන …ආවොත් කියනවා හොඳ දෙකක්” කියල ඇය මුලින්ම අධිෂ්ටාන කරගෙන හිටියා. මේ විදිහට මේ හැඩ බැලීම ආදරයක් දක්වා නොයන බව අවුරුද්දක් විතර යද්දී අනීෂට තේරුණා. කාලය ගෙවුණා. ගයාන් කියන්නේ කා එක්කවත් වැඩි කතාවක් නැති හැබැයි හැම දේටම සහභාගී වෙන, සුහද සිසුවෙක් ලෙස කා අතරත් ප්‍රකට වුණා. බොහෝ දෙනෙක් ඔහුගෙන් පාඩම් අහගත්තා. නමුත් ගැහැණු ඉදිරියේ ඔහුගේ සිත පසු බා ගියා. රන්මලීගේ අකල් මරණය ඔහුගේ හදවත වහල දාලයි තිබ්බේ.

එදා වෙහෙසකර බදාදා වක් නිසා ඇයට Good Night කියල පණිවිඩයක් යවල ඔහු එක වරම නින්දට වැටුනා. හෙට දිනයේ කොයි තරම් වැඩද ?

( ලබන සතියට )