සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – Part 67 – අවසන් කොටස

වසර 10 කට පසු ….විහස් ගේ ලිපිය

හිතවත් ඔබ සැමට,

ඔබ විසින් මගේ අම්මාගේ චරිත කතාව ආදරෙන් වැළඳ ගත් බව දැනෙන විට පුතෙක් ලෙස මට ආඩම්බරයක් දැනේ. ඒ සුන්දර කාන්තාව ගැන මට නම් කවරමදාකමවත් කඩදාසි කොලයක සටහන් කිරීමෙන් සෑහීමකට පත් විය නොහැක්කේය. නමුත් මේ කතාව අවසන් කළ යුතුය. මගෙත් මල්ලිගේත් රට යාමෙන් පසු ඇය හා ඇය සමග එකට සිටි අයගේ ජීවිත වෙනස් වූ අයුරු ගැන ඔබට දැන්වීම මගේ වගකීමයි.

අපේ අම්මා මහාචාර්ය ඇල්බට් කොනලි සමග ඉතාම ඉහලින් විවාහ වූයේ මිරිස්සේ මුහුදු වෙරලේදීය. එය ඉතාම අලංකාර විවාහ උත්සවයක් වුන අතර මමත්, මල්ලීත් දෙවන මනාලයන් ලෙසත් ඇල්බට් අන්කල්ගේ දුව සහ යෝෂි අක්කි දෙවන මනාලියන් ලෙසත් උත්සවයට සහභාගී විය. ඉන් පසු ඇල්බට් අන්කල් විසින් මිරිස්සේ කුඩා කඳු ගැටයක් මිලට ගෙන ඉතාම අධික වියදමකින් කළාගාරයක් බඳු නිවසක් අම්මිට ජීවත් වනු පිණිස ඉදි කලේය. අවුරුදු පතා ඉගෙන ගන්නා කාලයේ අපි ගියේ ඒ නිවසටය.

සේවකයන් 10 ක් පමණ සිටි ඒ කඳුකර බංගලාවේ ජීවත් වෙමින් අම්මා සහ ඇල්බට් අන්කල් විසින් පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා මර්ධනය කිරීමේ වැඩසටහනක් කළහ. ඒ වගේම ඉන් පසු ඇල්බට් කොනලි විසින් ලියන හැම පොතකම පිදුම “ To my dearest wife Samudi Conely “ වශයෙන් සටහන් විය. ඇය ව්‍යාපාරය විකුණා ලද මුදල් වලින් 50 % ක් අපිට පරිත්‍යාග කළ අතර කොටසක් අනීෂා අක්කිට දුන්නාය. අම්මිගේ ව්‍යාපාරය මිලට ගත්තේ ශාක්‍යා අන්කල් විසින් වුන අතර අපේ අක්කි ඔහුගේ බිරිඳ ලෙස දැඩිව ව්‍යාපාරය සහ ගේ දොර පාලනය කරමින් සතුටින් ජීවත් වන බව දන්වනු කැමැත්තෙමු. දැන් යෝෂි අක්කිට පිරිමි දරුවන් දෙදෙනක් සිටින අතර තුන් වෙනියා ලෙස අපේ පවුලට මාස දෙකකින් තවත් දුවෙක් එකතු වෙනු ඇත.

මම මනෝ වෛද්‍ය අංශයෙන් අධ්‍යාපන කටයුතු කළ අතර මල්ලි ගණකාධිකාර වරයෙක් ලෙස දැන් කැනඩාවේ ජීවත් වේ. ඔහු විවාහ වූයේ එහි සිටි සුදු ජාතික වැන්දඹුවක් සමගය. ඉතාම කාරුණික ගැහැනියක් වූ ඇයගේ පෙර විවාහයේ දරුවා හදා වඩා ගනිමින් මල්ලි ඉතාම සාර්ථකව එහි ජීවත් වේ. මාගේ ප්‍රේම සම්බන්ධතා දෙකක්ම අසාර්ථක විය. ඒ සියල්ලම අම්මිගේ ජීවිතයේ හැල හැප්පිලි සහ ඇය ඒවාට මුහුණ දුන් උපේක්ෂාව සිහි වන විට දරා ගැනීම මට අසීරු නැත.

පසුගිය වසරේ අම්මා සහ ඇල්බට් අන්කල් කාසල්රී ජලාශයේ මනහර හවසක ඔරු පදිමින් සිටින අතරතුර අනතුරට ලක් වී දෙදෙනාම එකට අවසන් ගමන් ගියහ. ඒ වන විටද පිළිකා මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් තම දේපොළ ඔවුන් දෙදෙනා විසින් පවරා තිබිණි. ඒ නිසා අපිට කිසිම කරදරයක් නොවීය. අම්මි අකාලයේ මිය ගියේ 57 වැනි වියේදීය. මට ඒ ගැන කනගාටුවක් නැත.

අපේ අම්මි ජීවත් වුනේ සම්පූර්ණ ජීවිතයකි. ඕනෙම වෙලාවක යන්න සූදානම් සැහැල්ලු ගැහැනියක ලෙසිනි. කිසිඳු වෙලාවක ලෙඩ වී ජරා වී ජීවත් නොවුන ඇය අවට සිටින සියල්ලටම ආලෝකය දුන්න පහනක් වැන්න. හැම විටම හැමෝ ගැනම සිතු ඇයට ජීවිතය හැම විටම දුන්නේ සුන්දර දේ පමණක් නොවේ. ඇයගේ ජීවිතයේ අන්තිම වසර 10 පුදුමාකාර සතුටකින් සිටි අම්මි ගැන මතක් වන විට මම ඇල්බට් අන්කල්ට හිතෙන් දහස් වරක් ස්තුති කරමි.

මිරිස්සේ කන්ද පාමුල ඔවුන්ගේ මෘත ශරීර භූමිදානය කල අතර විමාශ සහ මා විසින් එහි සුඳු හඳුන් පැල දෙකක් රෝපණය කළෙමු. අම්මිගේ ජීවිතයද සඳුන් ගහක් වැනි නොවේද මට වරෙක සිතේ.

“ සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ ….” ලෙස කියූ කවියක් මට මතක් වේ. අම්මිද තමාට ගැහුවත්, බැන්නත් සිය සාධු චරිතය මොහොතකට වත් දූෂ්‍ය කර ගත් ගැහැනියක් නොවේ.

පියාගේ මරණයෙන් තනි වූ චූටි අම්මා නිසා රායා නොයෙක් ගැහැට වලට පත් වූවාය. අපිටද කළ හැකි දෙයක් නොවීය. ඇය 18 වෙනි වියට පා තැබූ විගසම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මා සිටිනා ඇමරිකාව වෙත ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි. රායාද සිටින්නේ ගොඩක් ආසාවෙනි. චූටි අම්මාගේ නපුරුකම් වලින් වඩාම පීඩාවට ලක් වූයේ අහිංසක නංගිය. අපි මෙතරම් ශක්තිමත්ව හැදී වැඩුනේ අපේ අම්මිගේ නොපසුබට උත්සාහය සහ කැප වීම නිසාම බව වැටහෙන විට මට නංගි ගැන මහත් දුකක් දැනේ.

දිනක් අම්මා ඩයනා කුමරියගේ මරණය අරබයා අපූරු අදහසක් දැක්කුවාය.

“ පුතේ තරුවක් වුනාම ඉක්මනින් යනවා. ඒක ලෝක ධර්මතාවයක්. “ කියමින් ඕ සැහැල්ලුවෙන් සිනා සුනාය.

කෙනෙක් මිය ගියද ඔවුන් අපගේ සිත් තුල බොහෝ කල් ජීවත් වේ. අම්මි අපේ සිත් තුල පමණක් නොව බොහෝ දෙනෙක්ගේ සිත් තුල ජීවත් වීමට වාසනාවන්ත වූයේ ඇගේ අසමාන පෞර්ෂය නිසාය. උපන් සියලු සත්වයාම මිය යති. ඇත්තටම ජීවිතය යනු දුක සැප දෙකේ සංකලනයකි.

ජීවිතය මේ වගේය……( නිමි )