සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 66 කොටස

“ උඹ දැන් යනවාද ? නැද්ද ?” අසමින් යක්දෙස්සා මතුරපු පොල් මලෙන් තාරිකට ගහගෙන ගහගෙන ගියා. ඉන් පස්සේ ඔහු කැත්ත ටීනගේ අතට දීලා කීවා පොල් ගෙඩිය දෙපලු වෙන්න කොටන්න කියා. බෙර කාරයෝ උමතු ලෙස බෙර ගැහුවා. එදා තමා මේ ගෙදර මැතිරිල්ල සිදු වුනේ. අම්මගෙයි තාත්තගෙයි මේ විකාර වැඩ නිසා පුංචි රායට හරියට කෑමක් බීමක්, පිළිවෙල ගේ දොරක්, ආදරයක් සෙනෙහසක් නිසි ලෙස ලැබුනේ නැහැ. ටීනගේ කපටි උගුලක අහිංසක ඇම වුන රායා පුංචි ඇස් දෙක ජිල් බෝල දෙකක් වගේ පුළුල් කරගෙන අවට බැලුවා.

එදා තාරික හිටියේ ගොඩක් මහන්සියෙන්. මොකද මේ තොවිලයේ බඩු ගෙන එන්න ඔහු යුහුසුළු වුනා. ඒ වගේම මේ තොවිලෙන් පස්සේ සේරම හරියන බවත් සමුදී කියන යක්ෂනී විනාශ වෙලා යන බවත් යක්දෙස්සා තහවුරු කළා. මේ ගැන තාරික සහ ටීනා හිටියේ ගොඩක් සතුටින්. නමුත් දෙතුන් වරක් ඔහුගේ පපුව කඩියෙක් කනවා වගේ නොදැනුනා නෙවෙයි.

තාරිකට කිරි වලින් නාවලා පොල් මලෙන් ගහද්දි එක වරම ඔහු පහත් වුණා.

“ අන්න යක්ෂයා යන බවට සලකුණක් “ කියමින් ඔවුන් දිගටම බෙර ගහමින් මැතිරුවා. විනාඩි 15 කට පස්සේ ටීනා නැගිට්ටවා බලද්දී තාරිකගේ හදවත නැවතිලා. වේගයෙන් රෝහලට ගියත් ඒ වෙද්දීත් 48 හැවිරිදි තාරික අකාලයේ නිහඬ හදවත් අකර්මණ්‍යතාවයකට ගොදුරු වෙලා හිටියේ. මනුස්සයෙක් ලෙස දරපු අධික මානසික පීඩනය, මත්පැන් පානය, ව්‍යාම රහිත ජීවිතය සහ කඩවල ආහාර ඔහුට මේ ඉක්මන් මරණය ගෙන්නුවා. ඔහු සැලකිලිමත් නොවුනට ඔහුගේ පියා පවා මියගියේ හදවත් ආබාධයකින්. මේ තත්වය දැනගෙන සමුදී දිනපතා ඔහුගේ ආහාර පාලනය කෙරෙවුවා. ව්‍යායාම වලට යැවුවා. නමුත් පසුව ඇගේ ග්‍රහණයෙන් මිදුනහම ටීනා කලේ තාරිකගෙන් වැඩ ගැනීම හැර තාරික බලා ගැනීම නෙවේ.


මරණය ගැන දැනගත් මොහොතේ සමුදී දුකෙන් හඬා වැටුණා. ඒත් මොකක් නිසාද ඇයට වැටහුනේ නැහැ.

“ පල් බුරුවා …මගේ හැම උත්සාහයක්ම…උඹට දුන්න හැම හොඳක්ම මඩේ දාලා පෑගුවා…. අන්තිමට මේ විදිහට මලා… මම වැරදි නැහැ… හැමෝම දන්නවා …” කියමින් ඈ වැලපුණා. විහස් සහ විමාශ මේ වෙලේ අධිකව වේදනාවට පත් වුනා. නමුත් පසුගිය වසර දෙක තුන තුල ඔවුන් ඈත් වෙලා සිටීම සමුදිගේ සිතට සහනයක් ගෙනාව. නැත්නම් මේ වියෝව දරුවන්ගේ ළඟ එන උසස් පෙළ විභාගයට නරක ලෙස බලපාන්න තිබුනා.

විහස් සහ විමාශ අවමංගල උත්සවයට සහභාගී වුනාට සමුදී සහභාගී නොවෙන්න තීරණය කළා. ඒ වෙන මොකක්වත් නිසා නෙවේ මල ගෙදරදී තමාට අවමන් වෙන විදිහට හැසිරෙන්න ටීනා පසුබට නොවෙන නිසා. මේ අලුත්ම හූනියම් කතාව සමුදිගේ සිත සසල කළා.

“ අන්තිමේ ඒකටත් වැරදි කාරී කරේ පැත්තක සිටි අසරණ මාව “ යයි ඇය සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත්තා.

තමාගේ පවුලේ කිසිම කෙනෙක්ට අවමගුලට සහභාගී වෙන්න සමුදී ඉඩක් තිබ්බේ නැහැ. මොකද තාරික කල ද්‍රෝහී කම් වල හැටියට එහෙම කිරීම අවශ්‍ය නැතුවා වගේම ටීනා වගේ කාන්තාවක් එක්ක සෙල්ලම් කිරීම සුදුසු නැති බව ඇය දන්නවා.


කිසිවක් තනිවම කර ගත නොහැකි කාන්තාවක් වුන ටීනා මේ මරණය එක්ක අසීමිතව අසරණ වුණා. ඒ සමගම අගේ ආඩම්බර ප්‍රතිපත්ති නිසා ඇගේම නෑයෝ පවා ඇය ලංකර ගන්න බය වුනා. කුඩා රායා පියාගේ මරණය ගැන ලොකුවට තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ඇයට ඇය ඉන්න තත්වය වැටහුනෙත් නැහැ.

තාරිකගේ පොතේ තිබුන මුදල් ටීනා ලබා ගත්තා. නමුත් ඔහුගේ ETF අරමුදල් දරුවෝ තුන් දෙනාටම ලියා තැබීම ගැන තාරික එක්ක හුඟක් අමනාප වුණා.

“අරකිගේ ළමයි දෙන්නට මොකටද සල්ලි ? මේ වගේ කාලකන්නියෙක් “ කියමින් ඇය මියගිය මිනිසාට සාප කළා. ඒ වගේම ඇය සොයා බැලුවා සමුදී පදිංචි නිවාස විවාහයේ අයිතියට තමා වෙත පවරා ගැනීමට හැකිද කියා. එයත් කල නොහැකි වුනේ තාරික බොහෝ කලකට පෙර එය දරුවන් දෙදෙනාගේ නමට ලියා තිබුන නිසයි.


විහස් සහ විමාශ හිතුවට වඩා වේගෙන් හිත හදා ගත්තා. ඔවුන් දෙදෙනා මාස පහකින් පැවැත්වෙන උසස් පෙළ විභාගයට සූදානම් වුණා. ලංකාවට ආව ශාක්‍ය සමුදිගේ සියලු වගකීම් ඔහු මතට අරගෙන වැඩ පටන් ගත්තා. සමුදිට එයින් ලොකු නිදහසක් ලැබුනා. තමන්ගේ 25% කොටස් සමුදිටම ආපසු විකුණුව කුසුමා ආගමික වැඩ කරගන්න කියා ව්‍යාපාරයෙන් ඉවත් වුනා. ඇයට නිතර වැළඳෙන ආර්තරයිටිස් රෝගය නිසා බොහෝ පීඩා විඳිමින් සිටි කාලයක්. ඉතුරු කාලේ ජීවත් වෙන්න යහමින් මුදලක් ඇය අතට ආවා. වෙන්ව යන දවසේ වයසින් වැඩිමල් කුසුමා සමුදිගේ දෙපා බදාගෙන අඬා වැටුනේ පොඩි දරුවෙක් වගේ.

වසර ගණනක් තමා එක්ක ව්‍යාපාරය ගොඩනැගු මේ දිරිය ගැහැණිය වැළඳගත් සමුදී ඉකි ගසා හැඬුවා.


යෝශිතා අධ්‍යාපන කටයුතු ඉවර වෙලා ශාක්‍ය එක්කම ව්‍යාපාරයේ වැඩ කළා. සමුදිගේ තද පුහුණුව යටතේ ලොකු වුන ඇයට කවුරුත් කීවේ පොඩි සමුදී කියල. පවුලෙන් විශාල ධනයක් හිමි ශාක්‍යා ආචාර්ය උපාධිය අවසන් කළ උගතෙක්. ඔහු යෝශිට වඩා වසර 15 ක් විතර වැඩිමහල්. නමුත් ඔහුගේ පෙනුම තාම තරුණයෙක් වගේ. සමුදී වෙත දැඩි ලෙස ආදරෙන් මුල් කාලේ සිටියත් ඇල්බට් කොනලි මැති තුමා ඇගේ ජීවිතයට පැමිණීම එක්ක ඔහු ඇයට ආදරය කිරීම අතහැර දැමුවා.

“ එයාට ගැලපෙන්නේ ඒ වගේ උසස් මනුස්සයෙක්” කියා ශාක්‍ය ඔහුටම කියා ගත්තා. මේ වෙද්දී ශාක්යාගේ දෙමාපියෝ දෙන්නම මහලුයි. ඔහුට ගේ දොර බලා ගන්න, තමාට සහය වෙන්න. දෙමාපියෝ දෙන්නට බලන්න බිරිඳක් ඕනේ වුනා. ඒ වගේම ඔහුගේ කල වයස පැනල තිබ්බේ.

ඉතින් යෝෂි විවාහ කර ගන්න ඕනේ කියන එක ඔහුගේ හිතට ඇතුල් වුනා. “ පරහකට තියෙන්නේ මේ ළමයා ගොඩක් පොඩි එක විතරයි. ඒත් එයා මට කැමති නම් ? “ ඔහු රාත්‍රියේ ඇඳේ එහෙ මෙහෙ පෙරළෙමින් කල්පනා කළා.

වැඩි දුර හිතද්දී තමන්ගේ වර්තමාන තත්වය එක්ක හරියටම හරියන්නේ යෝෂි වගේ කෙල්ලෙක් බව ඔහු සිතුවා. ඒ නිසා මේ ගැන යෝෂි එක්ක කතා බහ කරන්න ඔහු තීරණය කළා.

මේ යෝජනාවට යෝෂි කීවේ “ මමීගෙන් අහන්න “කියලයි.

“ ඒ කියන්නේ මමී කැමති වුනොත් යෝශිතා මාව බඳින්න කැමතියි” කියමින් ශාක්‍ය සිනා සුනා.

හිනා වෙමින් ඇය ඉවත ගියා.


ඊළඟ සතියේ සමුදී ගමට ගිහින් යෝශිගේ දෙමාපියෝ හම්බ වෙලා මගුලට අවසර ගත්තා, මේ වගේ වැදගත් මහත්තයෙක් දුවට ලැබීම ගැන ඒ දෙමාපියෝ ගොඩක් සතුටු වුනා. ඉන් පස්සේ ශාක්‍යගේ ගෙදර ගිහින් මගුල තීන්දු කළා. ඉතාම ඉක්මනින් ගෙදර මංගල ප්‍රීතියෙන් වැහුනා.

විභාගය ඉවර කල විහස් සහ විමාශ දවසක් පුදුම වුනේ අම්මා රාත්‍රියේ ඔවුන් දෙන්නව යහනට කැඳවන ලද නිසයි. කුඩා කල ඔවුන් දෙදෙනා එහි නිතර ගියත් දැන් නම් වැඩිය අම්මගේ කාමරේට ඔවුන් රාත්‍රියේ ගියේ නැහැ. නිදි ඇඳුම් නොවේ සාමන්‍ය ඇඳුම් ඇඳගෙන සමුදී සැහැල්ලු ලෙස ඇගේ සොඵාවේ වාඩි වෙලා සිටියා. ඔවුන් දෙන්නා මවිත වුනේ මොන කාරනේකට ඔවුන්ට කතා කලාද කියලයි.

ඉතාම උස දරුවෝ දෙන්නා පිලිවෙලින් අම්මගේ කම්මුල් දෙක සිප ගත්තා. ඔවුන් දෙන්නගේ සමේ සහ දහදිය වල තාරිකව මතක් කරන මොකද්දෝ සුවඳක් තැවරුනා. ඔවුන් ඇය වගේ පැහැපත් වුනාට තාරික වගේ විශාලයි. දෙන්නගෙම දෙනෙත් අම්මිගේ වගේ ලා දුඹුරු පාටින් තෙත්ව තිබුණා. ඒ ළදරු මුහුණු දෙකට එයින් එක් වුනේ ආධ්‍යාත්මික බවක්.

“ මගේ රත්තරන්… වාඩි වෙන්න….” ඇය ඔවුනට කීවා .

“ මගේ පුතාල දෙන්න තව මාස තුනකින් රට යාවි. ඉන් පස්සේ අපි එකට ඉන්න එක අඩු වේවි. ඒත් අම්මි එන්නම් ඔය දෙන්න බලන්න “ සමුදී නතර වුනේ දෙනෙත් දිගේ කඳුළු රූරා වැටුන නිසයි.

“ අම්මි දුක් වෙන්න එපා. ඇල්බට් අන්කල් ඒවි නේ අම්මි එක්ක ඉන්න ? “ විහස් ඇහුවේ ඇගේ අතක් අරගෙන සිප ගනිමින්.

“ ඔවු පුතා. අපි හැමෝටම ලොකු වාසනාවක් ඒක.. ඒත් පුතේ මට පොරොන්දුවක් වෙන්න ඕනේ.”

“ මොකද්ද අම්මි ?” විමාශ ඇහුවේ කුතුහලෙන්.

“ ඔයාලගේ තාත්ති සහ තාත්තිගේ තාත්ති සීය දෙන්නටම හදවත් ආබාධ වැළඳුනා. ඔය දෙන්න වැඩිහිටියෝ ලෙස ඒ ගැන හිතන්න ඕනේ. සලකන්න ඕනේ. අපි උපන්නා නම් මැරෙනවා. නමුත් පුතේ තමන්ට උපතින් ලෙඩ තිබෙද්දී ඔයාල ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි එක්ක ගෙදර හිටියා නම් තාත්ති තාම ජීවතුන් අතර …..” කියමින් ඇය ඉකි ගසමින් හඬා වැටුණා.

“ නැහැ අම්මි..ඒ තාත්තිගේ දෛවය… අම්මිගේ වරදක් නිසා නෙවේ එහෙම වුනේ “ විමාශ ඇය අස්වැසුවා.

පුතුන් දෙන්නා දෙපැත්තෙන් ඇවිත් අම්මිව බදා ගනිද්දී සමුදී ඒ දරු සුවේ ගිලුනා.

“ මට අමතක වුනා පුතේ “ කියමින් ඇය නැවත ඔවුන් දෙදෙනා ඉවත් කළා.

“ ඔයාලගේ තාත්තිට වැරදුනා ජීවිතේ. නමුත් එයා ඔයාලට ආදරේ කරා. එයා ETF සල්ලි ඔයාල තුන් දෙනාට සමව බෙදල තියනවා. මට ඒ ලියුම ඊයේ ලැබුනා. ඉතින් පුතේ මම සතුටුයි ඔය දෙන්නට දෙයක් කියල දෙන්න. “

“ ඒ සල්ලි තිබ්බත් නැතත් අම්මි ඔය දෙන්නගේ අධ්‍යාපනයට ඇති තරම් හම්බ කරා. ඉතුරු දේවල් අම්මි පිනට දෙනවා. අපි හිස් අතින් තමා පුතේ මේ සේරම හැදුවේ. මගේ පුතාලත් ඔයාලගේ අනාගතේ හදා ගන්න. තාත්ති මේ ගේ ඔය දෙන්නට ලියුවා. ඔය දෙන්න ගිහාම මම මෙහෙ ඉන්නේ නැහැ. ඔය දෙන්න ලොකු වෙලා කැමැත්තක් කරන්න මේ ගෙට. තව මාස තුනකින් අපි වෙන් වෙනවා මගේ රත්තරන් …..” ඇය විටින් විට කඳුළු සැලුවා.

“ හැබැයි තාත්තිගේ ETF ඔයාල දෙන්නට ඕනේ නැහැ. ඔයාලගේ නංගි රායට 21 පිරුනහම ගන්න ඒ සල්ලි සේරම එයාගේ නමින් ස්ථාවර තැම්පතු දාන්න. හෙට ඔයාල ගිහින් චූටි අම්මව හම්බ වෙන්න. ඒ වගේම නංගි තාම පොඩියි නංගිට මොනා හරි උපකාරයක් ඕනේ වුනොත් මගේ පුතාල දෙන්න දෙපාරක් හිතන්න එපා. තාත්ති නැති එයාව බලන්න ඕනේ ඔය දෙන්නා .”

මේ අයුරින් ඔවුන් කතා කරද්දී යෝශිතා අහගෙන හිටියා. මල්ලිලා ගියාට පස්සේ කාමරේට ආව ඇය සමුදිව බදාගෙන වැලපුණා.

“ ඇයි අම්මි ඔයා ඔච්චර හොඳ ? ඇයි අම්මි අනුන් වෙනුවෙන්ම ජීවත් වන්නේ ?

“ පුතේ අපි මොනා කරත් මැරෙනවා. කවුරු මට මොන වරද කරත් මම ලෝකෙට පෙරලා කරේ ආදරේ. මට ඒ දේවල් ආපසු ලැබුණා. ඉතින් මම දුක් වෙන්නේ නැහැ.”

කොතරම් බලාගෙන සිටියත් දරුවෝ දෙන්න යන්න ලැහැස්ති වෙද්දී, යෝශිතා මගුල් ගෙදරට ලැහැස්ති වෙද්දී සමුදිගේ හිත මොකද්දෝ ලෝබ කමකින් පිරුණා. ඒ වගේම තමා මේ සා කාලයක් විසු, තාරික සමග එක්ව හැදු මේ නිවස හැර දමා යාමත් ඇයට වේදනාවක් ගෙනාවා.

ඕනෙම දෙයක් අල්ලන් ඉද්දි දැනෙන දැඩි පීඩනේ ඇය අත්විඳිමින් හිටියේ.

( අවසාන කොටස ලබන සතියට )