සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 65 කොටස

ඇත්තටම ටීනා තාරිකව තමන්ගේ ජීවිතේ කොටසක් කර ගන්න යොදපු ඇම වුනේ කුඩා රායා. ඇය දියණියට ආදරේ කළා. නමුත් දැන් දැන් තාරිකගේ හැසිරීම් එක්ක සහ ඔහුගේ තත්වය එක්ක ඇයට තව දුරටත් ඔහුව ඉස්සර වගේ වටිනාකමෙන් අඩු වුනා. ඇයට හැමෝටම පෙන්වන්න ලොකු මිනිහෙක් ඕනේ වුනේ. නමුත් දැන් ඒ කිසිම දෙයක් තාරික ළඟ තව දුරටත් නැහැ. ඒ වගේම ඔහුගේ මානසික අවපීඩනය මේ වෙද්දී ගොඩක් වැඩි වෙලා තිබුනේ. මත්පැන් ගැනීම මේ තත්වය තවත් උග්‍ර කරා.

තාරිකව මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත ගෙනියන්න ටීනා කැමති වුනේ නැහැ. “ කට්ටිය දැන ගත්තොත් මට වස ලැජ්ජාව වෙන්නේ” කියා ඇය හිතුවා. ඒ වගේම තාරිකගෙන් වෙනදා ලැබෙන ආදරය , අවධානය නොලබද්දී ඇයට ඔහුව එපා වුනා. නමුත් දාල යන්න බැහැ. හැමෝම තමාට හිනා වේවි කියා ඇය ඔහු සමග දිගටම හිටියා.

කුඩා රායා එක්ක තාරික එදා හවස ගියේ ටීනව එක්කන් එන්න. ඔහු ජීප් එකත් විකුණලා තිබ්බේ ඒ වෙද්දී. කාර්යාලයෙන් පෙට්‍රල් නොලැබෙන නිසා ඒ වගේ ලොකු වාහනේක යාම තාරිකට දැන් දරා ගන්න බැහැ. නමුත් ටීනට නම් පොඩි කාර් එකක යන එක විශාල මදි පුංචි කමක් වුනා. ඉස්සර ආඩම්බරෙන් හැමෝටම පෙන්නුව තාරික දැන් ඇයට ලැජ්ජාවට කාරනාවක්. ඒ අතරේ ඇය සායි බබා මධ්‍යස්ථානයට සහ දන්නා කියන දේවාල කීපෙකට ගියා.

සායි සෙන්ටර් එකේදී ඇය චාමිලාට හෙන වදින්න කියා යාඥා කළා. තමාගේ ජීවිතේ වුන මේ අභාග්‍යට ලොකුම හේතුව චාමිලා කියා ඇය හිතුවේ. ඉන් පස්සේ ගිය දේවාල දෙකකින්ම කීවේ සමුදී ඔවුන්ට හූනියමක් කර ඇති බවයි.

ගැහෙමින් ආවේශ වෙන කට්ටඩියා දෙස ටීනා බලාගෙන සිටියේ බයෙන්.

“ දරුවා..උඹට ගොඩක් ඇස්වහ කටවහ…උඹේම එවුන්ගෙන්… හා….හා… හා….. “ ඔහු රතු රෙද්ද ගසමින් හිස වැනුවා.

“ඔවු ..දෙවියනේ …”

“උඹ ආවේ පරාන කාරයෙක් ගැන අහන්න “ හා… හා… හා….

“ නෑ දෙවියනේ ..මගේ ස්වාමියා ගැන “

“ ඒක තමා මා කියන්නේ..පරාන කාරයා කියන්නේ යුෂ්මතීගේ මිනිහා තමා…” ඉන් පස්සේ ඔහු නටමින්ම දේවාලයේ පහන වෙත ගියා. ආවතේව කාරයා සාම්බ්‍රානි අහුරක් ගිනි අඟුරු වලට දැම්මා. දුමෙන් ටීනාගේ ඇස් දෙකේ කඳුළු නැගුනා.

“ හා …හා ..හා…ඔන්න උඹලට නීච කුල බන්ධනයක් කොරල තියනවා. කැපුවේ නැත්තන් පවුලම ඉවරයි “

“ කවුද දෙවියනේ …” ඇය ඇහුවේ බයෙන් ගැහෙමින්.

“ ඉස්තිරි පරානයක්….. කොන්ඩේ කොටත් නැහැ දිගත් නැහැ. තලෙලුයි. මහත නැහැ කෙට්ටු නැහැ…ගානට ඉන්නේ…..”

“වයස කීයක් වගේද “ ටීනා ඇහුවේ චාමිලාද, නැත්නම් සමුදීද බලන්න.

එවර යක් දෙස්සා සීරුවෙන් ඇය දෙස බැලුවේ වයස ගණනය කර ගන්න. ඉන් පස්සේ තව වටයක් ඔලුව හොලොලා මෙහෙම කීවා.

“ තරුණ කෙනෙක් නෙවේ. මහලුත් නැහැ..උඹේ මතකෙට එනවද ? “

“ඔවු දෙවියනේ ඔවු ….”

“ ක, ස, ග කියන අකුරු තුනෙන් එකකින් නේද නම පටන් ගන්නේ ? “

“ ඔවු දෙවියනේ ….” කියා ඇය කීවේ මේ නම් සමුදී බව සැක හැර දැනගෙන.

“ උඹලා එක්ක ලොකු තරහකින් ඉන්නේ. උඹලාගේ ජීවිත දැන් මාර දෙවියාට කැපයි. ඒ නිසා ඉක්මනින් කපන්න වෙනවා. තව දෙපෝයක් මෙහෙම ගියොත් ඔක්කොම ඉවරයි. “

හොඳටම බය වුන ටීනා ගෙදර ආවේ සමුදිට දහ අතේ සාප කරමින්. ඒ වගේම ඉතුරුම් කොටසක් යොදවල මේ කොඩිවිනේ කැපීම කල යුතුම බව ඇය සිතුවා. ඊළඟ සතියම තාරිකට සිදු වුනේ එහෙ මෙහෙ යමින් පුහුල් ගෙඩි, දෙහි, සහල්, බුලත්, කස්තුරි, සුවඳ දුම්, පොල් මල් වගේ දේවල් එකතු කරන්න. ඒ වගේම කට්ටඩියාගේ කුලිය ලෙස ලක්ෂ 2 ක් සහ බෙර කරුවන් සහ ආවතේව වෙනුවෙන් තව ලක්ෂයක් වැය කරන්න සිදු වෙනවා.

ටීනා කියන දේ ඔහු විශ්වාස කරෙත් නැහැ. අවිශ්වාස කරෙත් නැහැ. සමුදී අඩුම ගානේ හඳහනක් වත් නොබලන තරම් ඕවට ගැති නැති ගැහැනියක් බව ඔහු දන්නවා. ඒ වගේම ඇය ගෙදරට එන කූඹින්ට වහ ගහන්නේ වත් නැති තරමට සත්ව ඝාතනයෙන් වැළකුණ ගැහැණියක්. නමුත් දැන් ඇය තමාට විරුද්ධව වැඩ කරනවා ඇති කියා ඔහු හිතුවා.

ආත්ම ශක්තිය ගිලිහෙන වෙලාවට මිනිස්සු හරිම කැමතියි මිත්‍යා වල පිහිට පතන්න. ඒ වගේම තමන් කල වරදකින් ජීවිතේ වැරදුනහම ඒ වරද පිළිගෙන හදා ගැනීම පැත්තක තියල බොහෝ මිනිස්සු වෙනත් කෙනෙක්ට වරද පටවනවා. මිනිස්සු මිත්‍යාවලට වැටීම ගොඩක් හානි දායකයි.


මොන ගැටළු ඇති වුනත් සමුදී ජීවිතේ අමාරු කාල නිර්භීතව තරණය කළා. ඇගේ දරුවෝ දෙන්නට හානි අවම වෙන විදිහට සිය වරක් හිතල තමා ඇය අසීරු කලේ වැඩ කළේ. ඇල්බට් කොනලි මැති තුමාගේ ආගමනය එක්ක සමුදිට පුදුම ප්‍රීතිමත් කාලයක් උදා වුනා. සරල ගැහැණු ළමයෙක් වුන අනීසා අතට අහු වෙන හැම දේම කාට හරි දෙන අන්දමේ කෙනෙක්. ඇය ගොඩක් ආසාවෙන් සමුදී හදපු VVL එකේ කපු රෙදි ඇඳුම් ඇන්දා. බතික් වල නෙක වර්ණ වලින් ඇගේ සිත පිනා ගියා. වාසනාවට විහස් සහ විමාශ අනීෂා සහ අගේ පෙම්වතා එක්ක ගොඩක් යාලු වුනා. යෝෂි අක්කිත් අරගෙන ඔවුන් පස් දෙනා රට පුරාම ඇවිද්දේ සමුදිගේ රියදුරා එක්ක. මේ නිසා ඇල්බට් සහ සමුදී තනි වුනා. තාරික විසින් හදපු නිවසට තමා යාම සුදුසු නැති බව සිතු ඇල්බට් ඔහු වෙනුවෙන් ක්‍රෙස්කැට් එකේ මාසෙකට කුලී පදනම යටතේ අපූරු අපාර්ට්මන්ට් එකක් ගත්තා. ඔවුන් දෙදෙනා බොහෝ විට හමු වුනේ එහිදීයි.

ඇල්බට් සමග විවාහා වීමට සමුදී කැමැත්ත පල කළා. තව නොබෝ දිනකින් දරුවෝ රටින් පිට වෙනවා. ඔවුන් නැවත ලංකාවේ පදිංචි වීමත් සැක සහිතයි. යෝෂි ඊට පෙර විවාහ කර දිය යුතු බවත් ව්‍යාපාරය ලොකු මුදලකට විකුණා 25% ක් මුදල් කුසුමට දීල තමාත් නිදහස් විය යුතු බවත් ඇය තීරණය කළා. කුසුමට ජීවිත කාලෙම හොඳින් ඉන්න ඒ මුදල ඕනෙවට වඩා වැඩියි. තමා පාලනයෙන් ඉවත් වුනොත් කුසුමට ව්‍යාපාරය තනිව ගෙනියන්න බැහැ කියා ඇය තීරණය කළා.

ඒ වගේම රට හැර යාමට ඇයට තිබුනේ ලොකු අකමැත්තක්. මොකද ඇමරිකාවේ ශීත ඍතුව ඇයට අමාරුයි. ඇල්බට් වුනත් හිතමින් සිටියේ නිව්යෝකය අතහැර දැඩි ශීතල නැති ප්‍රාන්තෙක වයස ගිහාම පදිංචි වෙන්න. ඇමරිකානුවන් ලාංකික අපි වගේ උපන් රටට ඇලුන ගැලුන අය නොවේ. ඒ වගේම මහාචාර්ය තුමාගේ පොත් ලිවීමේ කටයුතු වලට සදා කාලික සමර් එකක් තියන ශ්‍රී ලංකාව අපූරු බව ඔහුත් සිතුවා. ඔහුගේ උපදේශන සේවා සැපයීම මේ තාක්ෂනය දියුණු සමයේ ටෙලි කොන් වලින් කල හැකියි.

මේ සේරම කතා කරමින් ඔවුන් දෙන්නා බැස යන හිරුගේ රශ්මිය ජනේලයෙන් විඳිමින් එකිනෙකා බදාගෙන ඇඳ උඩට වෙලා අනාගතේ සැලසුම් කළා. ජීවිතේ අසීමිතව වෙහෙසුන ගොඩක් දුක් කරදර මැද මෙතනට පැමිණි ඇයට වුවමනා වුනේ මේ දේවල් විඳින්න. ඇයට ලැජ්ජාව දනවන ආසාවක් තිබුනා. ඒක ඇල්බට්ට කීවොත් තමා ගැන වරදවා හිතාවි කියා බයෙන් අය හිටියේ. මේ වෙලේ එය කියන්න සුදුසු බව ඇය සිතුවා.

“ මම දෙයක් කීවොත් හිනා වෙන්නේ නැද්ද ?” ඇය ඇහුවේ ඔහුගේ කටට ඇඟිල්ලක් තබා තද කරමින්.

“ මම ..මම කවදාද ඔයාට හිනා වුනේ ..කියන්නකෝ…” ඔහු ඇගේ එක කනක් සපන්න උත්සහ දැරුවා.

“ නවත්වන්න අනේ… කියමින් සමුදී තව තව ඔහු වෙත ගුලි වුනා “

“ මම තාරික එක්ක විවාහ වුනේ සල්ලි නැති කාලේ. ඒ කාලේ මට වෙඩින් එකක් ගන්න බැරි වුනා. මම කියන්නේ මනමාලියක් ලෙස අඳින්න බැරි වුනා. ඔබ එක්ක මට ජීවිතේ පලවෙනි සහ අන්තිම වතාවට මනාලියක් ලෙස අඳින්න පුලුවන්ද ?”

පිළිතුර ලෙස ඔහු ඇගේ කෙහෙ රැලි අතරට ඇඟිලි තුඩු යවමින් අගේ මුහුණ සහ බෙල්ල සිය වතාවකට වඩා සිප ගත්තා.

“ සීදේවි …මගේ ඩාලින් ඕක කොයි තරම් සුළු දෙයක්ද ? අපි ලස්සන ලොකු විවාහ උත්සවයක් ගමු. “ ඔහු ඇය අස්වසුවා.

ලංකාවේ ගැහැණු තමන්ගේ සතුට පසෙක තියල පවුලේ යහපත නිතරම හිතනවා. ඔවුන් තමන්ගේ ආශා වලට ඉඩ දීම පාපයක් ලෙස සලකන්නේ ඇයි කියා ඔහු නිහඩව කල්පනා කළා.

ඇල්බට් කොනලි නිසා අගේ හිත නැවත වරක් සන්සුන් ආදරණීය වුනා. කන්දක් නැග්ගොත් පල්ලමක් එනවා. ජීවිතේ වුනත් එහෙමයි. මොන කරදරය වුනත් සමුදී කවදාවත් තමාගේ ගුණ යහපත් කම අමතක කර ජීවිත් වුනේ නැහැ. ඒ වගේම කවුරුවත් ගැන නොසලකා ඇය ඉදිරියටම ඇදුනා. වියදම් කරන්නට මුදල් ඇති, දරුවන් හදා ඉවර වුන නිදහස් මනුස්සයෝ දෙන්නෙක් වගේ ඔවුන් දෙන්නා ජීවිතේ නියම සැහැල්ලුව අත් වින්දා. ඇල්බට එක්ක දරුවෝ අලුතින් නොහදන බවට දෙදෙනාම එකඟ වුනා. “දරුවෙක් කියන්නේ තව කොයි තරම් ලොකු වගකීමක්ද ? දැන් අපි දෙන්නම මහලු වැඩියි” ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මේ වෙලේම සමුදිගේ දුරකථනය නාද වුනා. ඇය පුදුම වුනේ ශාක්‍යා ඇයට කතා කරන නිසා. හදිස්සිය මොකද්ද බලන්න ඇය පිළිතුරු දුන්නා.

“ මැඩම්… මම තව මාස තුනකින් ලංකාවට එනවා. දැන් හිටියා ඇති .” ඔහු කීවා.

“ ඇයි ශාක්‍යා ..මොකද වුනේ ? “ සමුදී ඇහුවේ සාවධානව.

“ නැහැ .. අම්මායි තාත්තයි අසනීපෙන් . ඒ දෙන්න මම නැතුව පාලුවෙන් ඉන්නේ. දැන් මට එන්න කාලේ හරි”

සමුදිගේ සිත ප්‍රීතියෙන් ඔකඳ වුනා. ඇය මේ වැඩ ගොඩ කාගේ පිට පටවා නිදහස් වෙන්නද හිතමින් සිටියේ.

“ ශාක්‍යා.. ඔයා ලංකාවට ආව ගමන් මා ගාව වැඩට එනවා නේද ? මම ස්ටෙප් ඩවුන් කරන්නම්. ඔයා Managing Director වෙන්න. මගේ පැකේජ් එක ඔයාට ලැබේවි. “

“ අනිවාර්යයෙන් ..මම එන්නම්. “ ඔහු දුරකථනය තිබ්බේ මේ අපූරු යෝජනාව නිසා ගොඩක් ප්‍රීතියෙන්. ඔහුට පලවෙනි දවසේ සිටම කරන්න වැඩ තිබෙනවා. ඒ වගේම VVL එකට දැන් නව කළමනාකාරීත්වයක් ඇති විය යුතු බව සමුදී පිළිගැනීම ගැනත් ඔහු සතුටු වුනා.

පිම්මකින් ඇල්බට් වෙතට පැන්න ඇය ශාක්‍යාගේ පැමිණීම ගැන ඔහුට කියා සිටියා. ඔහුත් ඒ ගැන ගොඩක් සතුටු වුනා.

එතුමා නැවත දියණිය කැටිව මවු රට බලා ගියේ පිළිවෙල කර ගත යුතු දේවල් පිළිවෙල කරන්න. තව අවුරුදු එක හමාරක් වගේ කාලයකින් ඔවුන් විවාහ වෙන්න තීරණය කර තිබුනා.

( ලබන සතියට )