සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 64 කොටස

මනෝ උපදේශක තුමිය අවවාද කළ විදිහට යෝශිතා තමන්ගේ සිතිවිලි පොතක ලියන්න පටන් ගත්තා. ඒ ක්‍රමයට කියන්නේ journaling කියලනේ. එය අපූරු විනෝදාංශයක් බව ඇයට වැටහුනා. ඒ වගේම ලිවීම සහ උපදේශනය ඇගේ හිත සැහැල්ලු කරද්දී තරහ යාමත් ටිකෙන් ටික අඩු වුනා. ඒ හැමදේම එක්ක සමුදී කියන්නේ කොයි තරම් යහපත් ගැහැනියක්ද කියන එක තව තව යෝශිගේ හිතේ පැලපදියම් වුනා. ඒ වගේම ඇල්බට් කොනලි මහතාගේ සම්බන්ධය මුළු පවුලේම තත්වය සමනය කළා. සමුදී තනි නැති බව තේරුම් ගත්තු දරුවෝ සමුදිගේ සතුට ගැන අවන්කවම සතුටු වුණා. විහස් විතරක් ටිකක් බය වුනා. මේකත් අසාර්ථක වුනොත් අම්මි තව පාරක් දුක් වෙනවා නේද කියල.

සති අන්තයේ ඔවුන් හතර දෙනාම නැවත වරක් අංගොඩ ගියා. මහලු රෝගීන්ට අවශ්‍ය විශේෂ ඩයපර් වර්ගයක් හදන්න VVL එකෙන් පටන් ගත්තා. ඒ සේරම බොහොම උජාරුවෙන් ගිහින් බාර දුන්නේ කුසුමා. සමුදී සහ දරුවෝ එහි හෙද මහත්මීන් සමග කතා කළා.

Borderline Personality Disorder එක ගැන පොතකින් කියවපු විහස් හිතුවේ චූටි අම්මට මේ ලෙඩේ තියනවා කියල. ඒ ගැන ඔහු මල්ලිටත් කිවුවා. මේ දෙන්නගේ කුසු කුසුව ඇහුව සමුදී දැරුවේ වෙනම අදහසක්.

“ පුතේ චූටි අම්මට ලෙඩක් ඇත්නම් බෙහෙත් කරන්න ඕනේ තාත්ති. අපිට අයිතියක් නැහැ ඒ ගැන කතා කරන්න. ඒ නිසා පොත් කියෙවුවට කමක් නැහැ නිකන් කට තිබ්බට එක එක්කෙනාට මානසික ලෙඩ කියල කියන්න එපා. එහෙම හුරු වෙන එක ඔයාලට හොඳ නැහැ. “ සමුදී එවෙලේම දෙන්නට අවවාද කළා.


රෝහල් ගත කළ චාමිලා පහර දීම ගැන නොපැකිලව පැමිණිලි කළා. අසිහියෙන් වගේ ටීනව ඇදගෙන ගෙදර ආව තාරික දවසම කාමරේ දොර වසාගෙන අසිහියෙන් ගත කළා. දැන් හැමෝටම ආරංචි වෙලා ඇති. හැමෝම ඉස්සරහ තමා විහිළුවක් වී ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂ වුනා. ඔහු චාමිලා බලන්න පහු වෙනිදා ගිහින් ඇගෙන් සහ ඇගේ මාපියන්ගෙන් සමාව ගත්තේ පුදුම වේදනාවකින්. ඒ මිනිස්සු වැදගත් මිනිස්සු නිසාත් තාරිකගේ තත්වය නිසාත් පොලිස් පැමිණිල්ල අයින් කරගෙන ගොඩින් බේරා ගන්න එකඟ වුනා.

මේ කටයුතු මෙසේ වුනත් ටීනා කොහෙත්ම කැමති වුනේ නැහැ ඇය වැරදි බව පිළිගන්න. ඇගේ මතය වුනේ තමාගෙන් බැනුම් අහගෙන චමිලාට කට වහගෙන නිකන් ඉන්න තිබුනා කියන එකයි.

“ මම එයාගේ බෝස්ගේ වයිෆ්. එයා මගේ තත්වේ නෙවේනේ. එයාට තිබ්බේ ..හා මැඩම් කියල සද්ද නැතුව ඉන්න නේද ? “ ඇය හැමෝටම එහෙම කියමින් තර්ක කරා.

“ එයා කවුද මගේ මහත්තයට නම කියල කතා කරන්න. අනික අඳින පිළිවෙල. ගණිකාවෝ ඔෆිස් වල තියා ගන්න එක ලැජ්ජාවක් නෙවේද ?” කියමින් චාමිලාට කටට එන පලියට නින්දා කළා.

ටීනට අනුව ඇය ඇර අනික් හැම ගැහැනියක්ම ගණිකාවක්. නැත්නම් නරක ගැහැනියක්. හැමෝ කෙරෙහිම දොස් දකින මේ ආකල්පය දැක දැකත් කට පියාගෙන සිටීමේ ආදීනව කියල තාරිකට හිතුණා.

ටීනා කුඩා කල අමාරු පරිසරේක හැදිලා තිබුන කෙනෙක්. ඔවුන් ගමේ කඩ වලට ඉඳි ආප්ප ගිහින් දැම්මා. ඉතින් මේ තත්වෙන් සිටි ඇය වෛද්‍ය විද්‍යාලයට තේරුනහම එක වරම ඇය මහන්තත්වය වර්ධනය කර ගත්තා. අගේ රූපයත් එයට එක හේතුවක්. පසුව ඇය රෝහලේ රෝගීන්ට විතරක් නෙවේ, ස්ටාෆ් එකේ හැමෝටම සැරෙන් කතා කළා. ඔවුන් රෝහල් වල වැඩ කළේ ඉතාම නපුරු ලෙස. ඇයට මැඩම් හෝ දොස්තර නෝනා මහත්තයෝ කීවේ නැතිව මිස් කියපු රෝගීන්ව බැනල එලියට පවා දැම්මා. ඇය හිතුවා රටේ පුද්ගලික ආයතන වල තත්වය වුනත් මේ වගේ කියල. ඒ නිසයි තාරිකට චාමිලා නම කියද්දී කිපිලා ගිහින් එක වරම බැන වැදුනේ.

ටීනා බලාපොරොත්තු වුනේ රජයේ රෝහලේදී වගේ චාමිලා කට වහගෙන “ හොඳයි මැඩම් “ කියා පිළිතුරු දෙවි කියල.


වහාම ක්‍රියාත්මක වෙන පරිදි චාමිලා වෙනත් අංශයකට මාරු කරන්න පරිපාලනය තීරණය කළා. පරණ කෙනෙක් නිසා තාරික ගැන විනය ක්‍රියාමාර්ග ගන්නත් අයිතිකාරයා කැමති වුනේ නැහැ. නමුත් හැමෝම තමා පිළිකුල් කරන බවත් උපහාසයෙන් තමාට හිනා වෙන බවත් ඔහුට වැටහුණා. ඊළඟ සතියේ සිකුරාදා ඔහු කාර්යාලයේ නැවතුණා. තමා විසි වසරකට ආසන්න කාලයක් වැඩ කල, Trainee කෙනෙක්ගේ සිට අධ්‍යක්ෂක මණ්ඩලය දක්වා තමා ඉහලට ගිය ආයතනයෙන් සමු දීමේ ලිපිය ඊ මේල් කරලා සැහැල්ලු සිතෙන් කාර්යාලයෙන් පිටමන් වුනා.

වේදනාව, වුර්තීය ජීවිතේ බිඳ වැටීම එක්ක කම්පනය දරා ගත නොහැකි ඔහු මත්පැන් සලට ගිහින් ඇති තරම් බීවා. ටීනා කෝල් කරන නිසා ෆෝන් එක ඔෆ් කරා. රාත්‍රී 2 ට ඔහු වැනි වැනී ගෙදර එද්දී ඇය පිබිදිලා සිටියේ. ඔහුට බනින්න කට අරිද්දීම තාරික ඇයව තදින් අල්ලලා පුටුවක වාඩි කරා.

“ මම රස්සාවෙන් අස් වුනා” ඔහු කීවේ යකෙක් වගේ ඇය දෙස බලාගෙන.

“ ඒ මොකද ? අරකිවනේ අස් කරවන්න තිබ්බේ ?” ඇය ඇහුවේ කෝපයෙන්.

“ ඔවු අස් කිරීම කෙසේ වෙතත් ඒ ළමයා පොලිස් පැමිණිල්ල අයින් කරා. මම නිසා. නැත්නම් තමුසේට තිබ්බා හිරේ යන්න. නැත්නම් අපහාසෙට වන්දි ගෙවන්න. “ ඔහු ටයි පට ගලවා දැමුවා.

දමල ඉස්සරහ කාමරේට ගිහින් දොර තද කර ගත්තා. එසැනින් කපා හල කෙසෙල් ගසක් වගේ බිම ඇද වැටුන ඔහු ඒ ලෙසම නිදා ගත්තා. පහු වෙනිදා උදේ ඔහු නැගිටිද්දී ඉර එලිය හොඳටම වැටිලා. හිසේ කැක්කුම තදින් දැනුණා. දැන් සඳුදා සිට තමා මුකුත් නැති නිකමෙක් නේද කියන සිතිවිල්ල ඔහුගේ හිතට වේදනාවක් ගෙනාවා. මේ අපකීර්තිමත් සිද්ධිය මුළු රටටම මේ වෙද්දී ආරංචි වී ඇති බව ඔහුට වැටහුණා. දැන් මේ නරක නාමය එක්ක ලංකාවේ තව තැනක වැඩට යාමත් ඔහුට ප්‍රශ්නයක් වුනා. නැගිට්ට ගමන් නාල, ෆ්‍රිජ් එකේ තිබුන කෑමක් රත් කර ගත්තු ඔහු තව විස්කි බෝතලයක් පතුල පේන තුරුම තනිවම බීවා. ප්‍රකුර්ති සිහියෙන් සිටීම ඔහුට වේදනාකාරී වුනා.

ඔහු ලඟට එන්නට පවා ටීනට බිය ජනක අත්දැකීමක් වුණා. මේ විදිහට දවස් කීපයක් ගත වුන තැන තමන් මේ අයුරින් ගත කිරීම සුදුසු නැති බව විටින් විට ඔහු කල්පනා කළා. ලඟට ඇවිත් බැන වැදීම් හැර දරුවා අරගෙන යනවා කියා තර්ජන හැර වෙන විදිහක මානසික සහනයක් ඔහුට දෙන්න ටීනා අසමත් වුනා.

කුඩා රායාගේ පැමිණීම විතරයි තාරික මේ ලෝකෙට ගෙනාවේ. වෙරි හිඳුන වෙලාවක ඔහු පුංචි දියණිය ඇඳ උඩ තබාගෙන ඇගේ ලපටි මුහුණ දෙස බලාගෙන කල්පනා කළා.

“මේ ලෝකේ මට අතහරින්න බැරි මෙයා තාම පුංචි නිසයි” ඔහු තමාටම කියා ගත්තා. මොළකැටි දියණිය තවම කුඩා වැඩියි. යාන්තම් මොන්ටිසෝරි යන්න පටන් ගත්තා විතරයි. පුතුන් දෙන්නා නම් තව වසර දෙකකින් වැඩිහිටියෝ. ඔවුන් දෙන්නා දැනටම දක්ෂයි. අපූරුයි.ඒ වගේම සමුදී ඔවුන් වෙනුවෙන් හැම දේම තමාට වඩා හොඳින් කරන බව ඔහු දන සිටියා. නමුත් දියණියගේ තත්වය හරිම ශෝචනීයයි. ඇය…. කිසිවක් නොදන්නා අහිංසක ඇය මේ හැමදේකම බිල්ලක් වෙනවා.

තමාගේ ජීවිතේට යමක් සිදු වේවි කියන බය ඔහුට දැනුණා. ඊළඟ සතියේ ඔහු සිය පාරිතෝෂික ලෙස කාර්යාලයෙන් මිලියන 12 ක මුදලක් ලබා ගත්තා. ඒ මුදල් ඔහුගේ බැංකු පොතේ තැම්පත් කළා. ETF මුදල් දරුවන් තිදෙනාගේ නමට ලිවුවා. විහස් සහ විමාශ වෙනුවෙන් සමුදිගේ මුදල් ලැබුනත් නැතත් ..ඔහු ජීවත් වුනත් නැතත්……. උසස් අධ්‍යාපනයට අවැසි මුදල් එතන ඇති බව ඔහු දැන සිටියා.

ඒත් ඔහුගේ හිත දියණිය ගැන හිතන හැම මොහොතේම වේදනාවට පත් වුනා.

“ උඹව වැදුවේ එළදෙනක්. අයියලව වැදුවේ දේවතාවියක්. මගේ පුතේ උඹ ඒ අතින් හරිම අවාසනාවන්තයි. මම ඊටත් වඩා අවාසනාවන්තයි “ කියමින් මත් පැනින් සප්පායම් වෙලා ඉකි බිඳිමින් වැලපුනා. “


තාරික රැකියාවෙන් ඉවත් වෙලා මාස දෙකකින් ටීනා පුද්ගලික රෝහලක සේවයට ගියා. දැන් තාරිකට මාස් පතා ලැබෙන විශාල වැටුප නැති වුනත් ටීනා ලබන පොඩි වැටුපෙන් වියදම් පිරිමසා ගන්න ඔවුනට සිදු වුණා. ඒ අතරේ තාරිකගේ බීමත්කම සහ රැකියාවකට යාමට ඇති අකමැත්ත ටීනා කෙරෙහි තරහක් ලෙස නිතරම පිට වුණා.


පියාගේ ජීවිතේ ඇති ප්‍රශ්න එක්ක විහස් සහ විමාශ දුක් නොවුනා නෙවෙයි. නමුත් ඒ ප්‍රශ්න තමන්ගේ සුන්දර නිවස්නයට ගෙනත් ඒ නිවාස විනාශ කිරීම සුදුසු නැති බව යෝෂි ඔවුන්ට තදින්ම අවවාද කළා.

ඒ වෙද්දී විහස් සහ විමාශ ලොකු වෙමින් සිටියේ. ඔවුන් දෙන්නා ඇමරිකාව නමැති නිදහසේ දේශය කරා යන්න ඇඟිලි ගනිමින් සිටියා. ඒ වගේම අයානා විවාහ කර ගන්නත් විහස් පොරොන්දු වෙලා සිටියේ. ඔවුන් දෙන්නා දවසට දැන් පැයක් විතර පාඩම් කරන අතරේ චැට් කරා. විමාශ කැමති කෙල්ල ඔහුට කැමති නැහැ. ඒ නිසා ඔහු ඇය යාලු කර ගන්නා හැටි ගැන උප්පරවැට්ටි යෙදුවා. මේ සේරම දැන ගත්තත් සමුදී හිනා වෙලා මගහැරියා. යෝෂි ඉඳහිට පැමිණිලි කරොත් සමුදී ඒවා විහිලු බවටම හැරෙවුවා.

“ අම්ම දන්නේ නැහැනේ අර අම්ම රටින් ගෙනාව චොක්ලට් වලට මොකද වුනේ කියල ?” ඇය දවසක් ආවේ මේ වැදගත් සොයා ගැනීම දන්වන්න.

“ මොකෝ වුනේ පුතේ ?” සමුදිත් වැඩ අස්සේ ඇහුවා.

“ අපේ ලොකු මල්ලි අර අයානා කියන කෙල්ලට දීලනේ. අම්මිත් අහල බලන්නකෝ “ ඇය කීවා.

“ ඉතින් බෙදාගෙන කන එක කොයි තරම් දෙයක්ද ? “ සමුදී කීවේ නොදැනුනා වගේ. එයින් කෝප වුන යෝශිතා සමුදිට පැහැදිලි කරන්න පටන් ගත්තා ඔවුන් දෙන්නා කෙල්ලන් කෙරෙහි මේ දවස් වල වැඩි සැලකිල්ලක් දක්වන්න පටන් අරගෙන කියල.

“ පුතේ මල්ලිලා දෙන්න කන්නේ බත් මාළු. හඳුන්කූරු කාල හැදෙන්නේ නැහැ. ඒ ළමයි දෙන්න ස්වභාවිකව හෝර්මෝන උද්දීපනය වෙන වයසේ ඉන්නේ. මටත් ඔහොම කාලයක් තිබ්බා. එයාලා මේ වයසේදී විරුද්ධ ලිංගික ඇසුරට කැමති වෙනවා. ඉතින් එක වයසේ කෙල්ලෝ එක්ක හිතවත් නොවී කොල්ලෝ එක්ක හිතවත් වෙන්නද ? “ සමුදී ඇහුවේ මේ කතාව නවත්වන්න.

“ එහෙම නෙවේ අම්මා . මෙයාල තාම ඉගෙන ගන්නවා. මෙයාලට වටිනවද කෙල්ලෝ එක්ක යාලු වෙන්න ?”

“ නැහැ පුතේ ඒක වැරදි මතයක්. ඉස්සර කාලේ ද්විතීක ලිංගික ලක්ෂණ පහල වුන ගමන්ම අඩු වයසින් මිනිස්සු විවාහ වුනා. හැබැයි දැන් අපි ස්වභාවික චර්යාවලින් ඉවත් වෙලා. ඉගෙනීම නිසා විවාහය සහ ආදරය පස්සට වැටිලා. එහෙම එකේ එයාල කෙල්ලෙක් එක්ක යාලු වීමට විරුද්ධව නීති දැම්මොත් ඒ ළමයි මොන නොමගට යාවිද දන්නේ නැහැ. අද කාලේ දෙමාපියෝ, බොරු විනය ගැන හිතන ගුරුවරු හරියට යක්කු වගේ. ඔවුන් කරන්න පුළුවන් සේරම දේවල් කරාට මොකද දරුවෙක්ට කෙල්ලෙක්, කොල්ලෙක් කතා කළත් ඉවරයි. මේ වැරදි ආකල්ප නිසා අපේ රටේ දරුවෝ කී දෙනෙක් මැරුණද ? අපි මේ වගේ වෙලාවට අපේ බාල කාලේ මතක් කරගෙන කරුණාවෙන් ඉන්න ඕනේ. “ කියල සමුදී කියද්දී යෝශිතා කල්පනාවට වැටුණා.

“ අනේ මටත් මේ වගේ අම්මෙක් ගාව ඉපදෙන්න තිබුනා නම් කොයි තරම් හොඳද ? අද කාලේ ඉන්න තරුණ අයට වඩා මමී කොයි තරම් සිතුවිලි වලින් නවීනද ? “ කියා කල්පනා කරමින් යෝෂි කාමරේට ගියා.

ඇල්බට් කොනලි මැතිතුමා මේ වර ලංකාවට ආවේ අප්‍රිකාව හරහා. දියණිය කැටිව මෙහි එන්න ඔහු අප්‍රිකාවෙන් බැස්සා. ජෛව විවිධත්වය වැඩි අඳුරු මහද්වීපයේ සුන්දරත්වයෙන් වශී වෙලා තිබුන දියණිය ලංකාවට එක්කන් එනකන් ඔහුට විසුමක් තිබ්බේ නැහැ. සත්ව විද්‍යාඥ වරියක් වුන ඇය වනෝද්‍යාන නරඹන්න යන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ ගමන් වලට සමුදී සහ පුතුන් දෙදෙනාත් කැටිව යන්න ඇල්බට් හිතුවා. සමුදිට දියණිය පළමු වරට මුණ ගස්වන එක ඔහුගේ හිතේ ඇති කලේ ආනන්දයක්. ඔවුන් දෙදෙනා එකිනෙකාට කැමැති වෙන බව ඔහුට විශ්වාසයි.

ළමා මනෝ වෛද්‍ය වරියක් වූ බේරිල් කොනලි මැතිනිය අනීෂා හදා වඩා ගත්තේ ගොඩක් පරිස්සමෙන්. නිදහස් අදහස් ඇති ගැහැණු ළමයෙක් ලෙස ඇය හැදී වැඩුනා. ඒ වගේම අනීෂා සතුටු නම් බේරිල් කොනලි මැතිනිය වෙනුවෙන් අරමුදලක් ලංකාවේ පිහිටුවන්න ඔහු තීරණය කළා.

තරුණ කාලෙක වගේ කායිකව හැසිරීම පලවෙනි තැන නොතිබුනත් ශක්ති සම්පන්න පුරුෂයෙක් වුන එතුමා සමුදිව හමුවීම ඉතාම උණුසුම් ලෙස බලාපොරොත්තු වුනා. ඔවුන් දෙන්නා හුදෙකලා වන මොහොත ගැන ඔහු හීන දකිමින් හිටියේ. ඒ වගේම තමාගේ සැපතට වඩා ඔහුගේ සතුට ගැන හීන දකිමින් සමුදී ඔහු එනතුරු බලාගෙන සිටියා.

( ලබන සතියට )