සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 63 කොටස

“මිසිස් වික්‍රමසිංහ …. මේ දරුවා ඇත්තම කියනවා නම් ගොඩක් හොඳ වැඩියි “ මැද වයසේ මනෝ වෛද්‍ය වරයා සමුදිගේ මුහුණ බැලුවේ සුහදව.

“ඒ කීවේ ඩොක්ටර් ?” සමුදී ඇසුවේ පුදුම වෙලා.

“ නැහැ… මම කියන්නේ පැය භාගයක්ම මම යෝශිතා මධුවන්ති එක්ක කතා කළා. මිසිස් වික්‍රමසිංහගේ දරුවෙක් නොවුනට මෙයා ඊටත් වඩා ඔයාට ලැදියි. ඔයාගේ තනි වීම එක්ක මෙයා යටි හිතෙන් හිතාගෙන ඉන්නවා මල්ලිලා දෙන්න සහ අම්මා අසරණයි කියල. මෙයාව හොඳ ජීවිතෙකට ගෙනාවේ මිසිස් වික්‍රමසිංහ කියන එක ගැන මෙයාගේ හිතේ ලොකු ගෞරවයක් තියනවා. එයා පොඩි මොලෙන් හිතන්නේ ඔය තුන් දෙනාවම බලාගන්න ඕනේ එයා කියල. විවාහ වෙන්න වත් කිසිම කැමැත්තක් නැත්තේ ඒකයි. අනික ඔයාගේ හස්බන්ඩ් හිටපු විදිහට එක පාරටම දාල ගිහාම මෙයා පොඩි ළමයෙක් නිසා ගොඩක් බය වුනා. එයාගේ විවාහ ජීවිතේ අසර්ථක වුනොත් එයාටත් මිසිස් වික්‍රමසිංහ විඳපු දුක උරුම වේවි කියල ගොඩක් බයයි. “

“ අනේ ඩොක්ට මම කොහොමද මේ ලමයව සාමන්‍ය කරන්නේ ? “ සමුදී එවර බයෙන් ඇහුවා.

සමුදිගේ විලාසයට වෛද්‍ය වරයා කාරුණිකව සිනා සුනා. ඇයට මානසික අවපීඩනය තිබෙනවා. හැල හැප්පිලි එක්ක ඔහොම තමා. මම මාස කීපයක් සුළුවෙන් බෙහෙත් දෙනවා. ඊට අමතරව අපි මෙයාට කවුන්සලින් කරවන්න ඕනේ සති තුනකට වරක් “

“හොඳයි ඩොක්ට” ..සමුදී එකඟ වුනා.

“ මේකනේ මිසිස් වික්‍රමසිංහ මේ අපේ රටවල මිනිස්සුන්ට මානසික ප්‍රශ්න වලට උපදේශන ප්‍රතිකාර ගන්න එක ආගන්තුක වුනාට වෙන රටවල එහම නැහැ. හැමෝම වුර්තීය සහය ගන්නවා. “ ඔහු වැඩි දුරටත් පැහැදිලි කරා.

“ දැන් බලන්න මම වැඩ කරන අංගොඩ මානසික සෞක්‍ය වෛද්‍ය ආයතනය කියන්නේ දකුණු ආසියාවේ හොඳම තැනක්. හොඳම වෛද්‍යවරු ඉන්නවා අපිට. නමුත් මේ රටේ සියදිවි හානි කර ගැනීම් ගොඩක් වැඩියි. පවුල් ජීවිත වල අසතුට බෝ වෙලා. මොකද මිනිස්සු මානසික ප්‍රතිකාර ගැනීමට මැලි වෙනවා. මේ සේරටම පුංචි විසඳුමක් තියෙද්දී මිනිස්සු නිකරුනේ වද විඳිනවා. “

“එක හේතුවක් තමා මානසික ප්‍රතිකාර ගැන තිබෙන වැරදි ජන මතය. අංගොඩ ඉන්නවා සම්පූර්ණයෙන් සුව වුනත් ගෙදරින් ගෙනියන්න එන්නේ නැති රෝගීන්. ඔවුන් අපිට උපකාර කරමින් ජීවිත කාලෙම එතන ඉන්නවා. අපේ රටේ තාමත් මේවා ගැන ගොඩක් දුර්මත තිබෙනවා. මානසික අවපීඩනය නැත්නම් depression කියන්නේ බොහොම සුලභ ලෙඩක්. එයට වුනත් ප්‍රතිකාර ගත්තා නම් ඒ මනුස්සයා හංවඩු ගහනවා. අඩුම ගානේ ඒ පවුලෙන් විවාහ වෙන්නවත් කැමති නැහැ. “ වෛද්‍ය තුමා දිගටම ඔහුගේ වේදනාව කියාගෙන ගියා.

මේ වෙනුවෙන් තමන්ට යමක් කල නොහැකිද කියා සමුදී කල්පනා කරමින් සිටියේ. ඇය ෆැක්ටරිය කරන අවට ගම් වල දැන් අම්මලා රට යාම අඩුයි. නමුත් දැන් මාස කීපෙකට පෙර අසන්න ලැබුනා ගිනිතියාගෙන මැරුණ තරුණ කාන්තාවක් ගැන. ඇත්තටම මේ රටේ මානසික සෞක්‍ය ගැන ඇති ආකල්ප වෙනස් වුනා නම් මේ නිකරුනේ වෙන මරණ සංඛ්‍යාව අඩු වෙනවා නේද කියා සමුදී කල්පනා කළා. “ කොතන හරි පටන් ගැන්මක් තිබෙන්න ඕනේ” සමුදී සිතුවා.

“ ඩොක්ට මම VVL එකේ අයිතිකාරියක්. අපේ ආයතනයෙන් මානසික සෞක්‍ය ආයතනය වෙතට යමක් වෙන්න ඕනේ නම් දන්වන්න” කියා ඇයගේ විසිටින් කාර්ඩ් එක ඔහු අතේ තැබුවා.

සැහැල්ලු සිතෙන් ඇය ගෙදර එන්න පිටත් වුනේ එළියේ සිටි යෝශිතා කැටිවයි. ඇයට පවරා ඇති වැඩ අඩු කරන්න සමුදී තීරණය කළා. පුරා වසර තුනක් තමන් එක්ක හරි හරියට ජීවිතේ බර කර ගහන ඇය ගැන සමුදිට ඇති වුනේ පුදුම දුකක්. “ කමක් නැහැ. මම වගේම එයත් නොසැලෙන, අභිමානවත් ගැහැනියක් වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ පස්සෙන් එල්ලී එල්ලී යන ටීනලා වගේ ගැහැණු වැඩි ලෝකෙක මගේ යෝෂි හොඳට හැදුනා. “ ඇය ආඩම්බරෙන් හිතුවා.


ඊළඟ සතියේ සමුදීලා මානසික වෛද්‍ය ආයතනයට ගියා. එහෙට ඕනේ කරන දේවල් රාශියක් ලබා දුන්නා. යෝෂි සහ මල්ලිලා දෙන්න ගොඩක් කම්පා වුනා මිනිස්සුන්ට ඇති රෝග ගැන දැකල. ඒ හොඳ වැඩ වලට දායක වෙද්දී ඔවුන් තුන් දෙනාත් ගොඩක් වෙනස් වෙනවා සමුදී දැක්කා. විහස්ට මනෝ වෛද්‍ය වරයෙක් වෙන්න ආස හිතුණා. යෝෂි වුනත් ප්‍රතිකාර වෙද්දී තරහ මරහ යාම් අඩු වෙනවා සමුදී දැක්කා.

ඇත්තටම සති දෙකක් ගෙවෙද්දී පවුලේ තත්වය සම්පූර්ණයෙන්ම යහපත් වුනා. ඇල්බට් කොනලි දිනපතා සමුදී එක්ක කතා බහ කළා. ඔහුගේ කාර්ය බහුල ජීවිතේ හොඳින් සතුටින් ගෙවුනා. සමුදී ජීවිතේ කාලෙකින් තමන්ට හවස විස්තර කියන්න කෙනෙක් ඉන්න එකේ තෘප්තිය වින්දා. ඔවුන් දෙන්නා බොහොම සංයමයකින්, දයාවෙන් එකිනෙකා එක්ක ගනුදෙනු කරා. පොඩි හරි බහින් බස් වීම් ඇති වුනේ එකිනෙකා සෞක්‍ය ගැන නොහිතා වැඩ වල නිරත වෙද්දී විතරයි. ඒ සුළු වචන හුවමාරු මොහොතින් නැති වුනා. ඊළඟ මාසයේ දුවනියත් කැටිව ලංකාවට එන්න ඔහු හිතුවා. දුවගේ නිවාඩුව ලංකාවේ ගෙවන්න බොහොම ආසාවෙන් ඇය හිටියේ. ඇගේ පෙම්වතා ලංකාවට ගොඩක් කැමතියි.


මේ අතරේ තාරිකගේ හැමදාම ප්‍රමාද, අපිළිවෙල, ගැටුම් කාරී ගෘහ ජීවිතේ ඉදිරියට ගියා. දැන් ඔහු අපිළිවෙලට හොඳින් හුරු වෙලා සිටියේ. නිතරම සේවකයෝ මාරු වුන නිසා කඩෙන් කෑම ගැනීම ඔහුට ජීවිතේ කොටසක් වුණා. ටීනා යහළුවන් හම්බ වෙන්න යන්න දෙන්නේ නැති නිසා ඔහු තනි වුණා. පිරිමියෙක්ට ගෙදර කොතරම් හොඳ වුනත් ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න නම් තමන්ගේ යහළුවෝ හම්බ වෙන්න ඕනේ. දඩයම් යුගයේ ඉඳල එන ස්වභාවික ගතියක් නිසා මේ දේවල් වලක්වන්න උත්සහ දරද්දී පිරිමින්ගේ සිත් වල පීඩනය වැඩි වෙනවා. එතකොට ඔවුන් වෙන වෙන ක්‍රම වලින් වරදට පෙළඹෙනවා.

තාරික දැන් ව්‍යායාම නොකරන නිසා සහ කඩෙන් කන නිසා ගොඩක් මහතයි. ඔහුගේ පීඩනය ආහාර රුචිය තවත් වැඩි කරා. පෑදීගෙන එන තට්ටය නිසා ඔහුගේ විශාල සිරුර තවත් කැපී පෙනුණා. ඔහු කොහොමත් සරු ආහාරයකට කැමතියි. සමුදිගේ තද ආහාර රටා සහ ව්‍යායාම ඔහුගේ සෞක්‍ය තත්වය රඳවා ගත්තත් පසුගිය වසර 4 තුල ඔහු ශරීරයෙන් පිරිහුණා. නමුත් ටීනා පෙර වගේම ඉතාම කෙට්ටුවට ලස්සනට හිටියා. දබර ජීවිතේම කොටසක් කර ගත් ගැහැණු කාණ්ඩයක් ඉන්නවා. ඔවුන්ට රණ්ඩු කිරීම කියන්නේ ලොකු දෙයක් නෙවේ. ඇත්තටම ඒ නිසා ටීන සැහැල්ලුවෙන් සිටියේ. ඇයට ලැබුන මුල්‍ය වාසි සේරම අගේ සිත ආනන්දයට පත් කළා. සමුදී තාරිකගෙන් මුදල් නොගන්නා නිසා ඇය රිසි සේ ඔහුගේ මුදල් වැය කළා.

මේ අතරේ තාරික තමන්ට ඇති ගැටළු, ප්‍රශ්න, දරුවෝ දෙන්න නැතිකම මේ සේරම ගැටළු ඔහුගේ ලේඛම් තුමිය එක්ක බෙදා ගන්න හුරු වුණා. ඉතාම ගුණ යහපත් ගැහැනියක් වුන චාමිලා තමන්ගේ ප්‍රධානියාට හොඳින් සැලකුවේ සැබෑම අනුකම්පාවෙන්. ඇතැම් විට ආහාර නොගෙන වැඩට එන ඔහුට ගෙදරින් ඇය ගෙනෙන කොළ කැඳ කෝප්පේ පවා දීමට තරම් කාරුණික වුණා. චාමිලා කවදාවත් ඔහුගේ ගැටළු කාටවත් කීවේ නැහැ. ඒ ගැටළු පාවිච්චි කරලා වාසි ගන්නත් උත්සහ කළේ නැහැ.

තාරික චාමිලා කෙරෙහි ඇති හිතවත් කම ටීනට නම් රිස්සුවේ නැහැ. ඇය වෙලාවක් බලමින් හිටියේ චාමිලාට නිසි තැන පෙන්වන්න. නමුත් ඉතාම වැදගත් විදිහට ඇය වැඩ කල නිසා ටීනට වරදක් අල්ලා ගන්න බැරි වුණා. දවසක් දහවල් ටීනා තාරිකගේ ඔෆිස් එකට ගියේ ඔහු සමග අලුත් වාහනයක් බලන්න යන්නයි. වාහනේ ඉන්න කීවත් ඇය ටිකකින් කඩාගෙන තාරිකගේ කාමරේට ආවා. එද්දී එන්න ඕනේ චාමිලාගේ මේසය පසු කරගෙන. තාරික ගේ කාමරය ඉදිරිපිට අගේ කුටිය තිබ්බා. පිටුපා ඉන්න චමිලා එදා ඇඳගෙන හිටියේ මදක් කෙටි ගවොමක්. මේක දුටු විගසම ටීනට හොඳටම තරහා ගියා. පුද්ගලික අංශයේ ආයතන වල වැඩ කරන පිළිවෙල ටීනට හුරු නැහැ. රජයේ රෝහලේ සියලු දෙනාම ඇයට බය වුන නිසා ඇය හිතෙවේ පුද්ගලික අංශයේත් වැඩ වෙන්නේ ඒ පිළිවෙලට කියල. චාමිලා තාරිකට කතා කරෙත් නමෙන්.

ඇය ආව බව දුටු චමිලා හොඳින් හිනා වුනා..

“ මිසිස් අලහකෝන් …ඔහු වැඩක ඉන්නේ . මම කතා කරන්නම්. එතකන් ඉඳගන්න “ කියා ඉතාම ගරු සරුවට ටීනට ඇමතුවා.

ඉන් පස්සේ ඉක්මනින් දුරකථනය අරගෙන “ තාරික ඔබේ බිරිඳ ඇවිත් ඉන්නවා “ කියා තාරිකට ඉංග්‍රීසි බසින් කීවා.

මේ සේරටම ටීනට අමනාපය දරා ගන්න බැහැ.

“මම ආවේ එයාව හම්බ වෙන්න නෙවෙයි. ඔයාව හම්බ වෙන්න “ තරහෙන් ඇය චාමිලාට කීවා.

“ඒ මොකද ? “ කියා පුදුම වුන චාමිලා ඇහුවා.

පුටුවෙන් නැගිට්ට ටීනා. ….” කාරනා දෙකක් තිබෙනවා. පලවෙනි එක ඔයා මගේ හස්බන්ඩ්ට නැත්නම් ඔයාගේ බොස්ට නම කියල කතා කරන්න එපා. එයාට සර් කියන්න. නැත්නම් මිස්ට අලහකෝන් කියන්න. එයා ඔයාගේ යාලුවෙක් නෙවේනේ” කියා සැරෙන් කීවා.

“ Mrs. Alahakoon I didn’t get you” කියල චාමිලා ගොත ගහද්දි ටීනා හිතුවා ඇය බය වුනා කියල.

“ ඒ වගේම මින් පස්සේ මේ විදිහට ඇඳගෙන වැඩට එන්න එපා. ටිකක් වැදගත් විදිහට වැඩට එන්න. ඔයා විශ්ව විද්‍යාලේ ගියා නේද ?”

මේ වෙලේ පියවි සිහියට ආව චාමිලා මේ උග්‍ර අපහාසයෙන් දැඩි කෝපයට පත් වුනා.

“ ඔයා කවුද මෙතනට ඇවිත් මගේ පුද්ගලික දේවල් ගැන කතා කරන්න ? ඉක්මනින් නොගියොත් දැන්ම මම සිකුරිටි එකට කතා කරලා එලියට දානවා “ කියා සැරෙන් කීවා. කියල දොර ඇඟිල්ලෙන් පෙන්නුවා.

නමුත් තමන්ට උන අපහාසයට ටීනට හොඳටම තරහා ගියා.

“ තමුන් දැන ගන්නවා. මම මේක ලේසියෙන් අතහරින්නේ නැහැ. තමන්ගේ රස්සාව නැති කරනවා” කියා චාමිලා දෙසට හැරුණා.

මේ වෙලේ චාමිලාට නැගුනේ ලොකු තරහක්. “ පුළුවන් දෙයක් කරන්න මිසිස් අලහකෝන්. මම ඔයා වගේ තර්ඩ් ක්ලාස් ගෑනියෙක් නෙවේ. ඔයා හිතන්න එපා ඔයා වගේ හැමෝම බැඳපු මිනිස්සු ලවා දරුවෝ හදාගෙන පවුල් කඩනවා කියල “ බොහොම උපහාසයෙන් කීවා.

“කරුණාකරලා බහින්න එලියට “ කියා තවත් තදින් කීවා.

මේ අපහාසයෙන් හැපින්නක් වගේ කිපුණ ටීනා ඉස්සරහට පැනල චාමිලාට ගැහුවා. චමිලාගේ නහයේ ඇටේ පහරට කැඩිලා හෝ ගාල ලේ ගලන්න ගත්තා. ඇය බෙල් එක ගහද්දි සිකුරිටි එක සහ අහල පහල කාමර වල අය දුවගෙන ආවා.

තාරිකත් දුවගෙන ආවා. ලේ ගලන මූණෙන් සහ සැට්ටයෙන් යුතුව කෑ ගහන චාමිලා සහ එතන හිටගෙන හිටි ටීනා දුටු ඔහු “ මෙයා මොකද මෙතන “කල්පනා කලේ අසිහියෙන් වගේ. කොහොම වුනත් ඔහුගේ ආත්ම ගෞරවයට හානි වෙලා බව ඉවෙන් වගේ ඔහුට දැනුණා.

( ලබන සතියට )