සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 62 කොටස

මහාචාර්ය ඇල්බට් කොනලි මේ සතිය පුරාම විවිධ ආහාර වල රස බැලුවා. සමුදිගේ ලංකාවේ රෙසිපි, තායි රෙසිපි, ඉන්දියානු රෙසිපි සේරටම ඔහු ගොඩක් කැමති වුනා. ඒ අතරේ ඔහුත් එක දවසක් සමුදී වෙනුවෙන් රාත්‍රී ආහාරය පිළියෙළ කළා. එතකොට සතියක් ගිහින් සෑහෙන්න සුවයක් ඔහුට දැනෙමින් තිබ්බේ. ඒත් සමුදී අකමැති වුනා ඔහුව මහන්සි කරන්නට. ඔවුන් දෙන්නා හෙටක් ගැන කිසිම අදහසක් නැතුව වුනත් සැහැල්ලු ප්‍රේමයක බැඳිලා හිටියේ. ඔවුන් කිසිම වගකීමක් නැති සැහැල්ලුවෙන්, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන්, භක්තියෙන් බැදී සිටියා.

පලවෙනි සතිය බොහොම කරදරයක් නැතුව ගෙවී ගියා. ගෙදර තොරතුරුත් සාමන්‍ය ලෙස සිදුවුනා. විහස් සහ විමාශ වාර විභාග වලට සූදානම් වෙමින් හිටියේ. කුසුමා මේ දරුවෝ දෙන්නගේ කරදරයක් නැති හැදියාව දැකල මවිත වුනා. “ මේ වගේ දරුවෝ නම් 10 ක් උපන්නත් මොකද ?. ඒකට මට උපන් ණයකාරයෝ” කියමින් ඇය බාල දුවගේ ක්‍රියාකලාපය මතක් කර නැවත රොස් වුනා.

යෝශිතා වුනත් මේ ටිකේ සැහැල්ලුවෙන් ඉන්න බව කාටත් පෙනුණා. ඒ නිසා සමුදිගේ හිත සාමෙන් පිරී ගිහින් තිබ්බේ. කාලෙකින් ඇය මේ තරම් ප්‍රීතියෙන් හිටියේ නැහැ.


සමුදී ආපසු යන්න දවස් දෙකක් තියා මහාචාර්ය තුමා අමුතුම ප්‍රීතියකින් ඉන්නවා සමුදිට පෙනුණා. බාගදා දුව එනවා ඇති එතුමාව බලන්න. එදා උදේම ඔහු ඇයට කීවා ඔවුන් දෙන්නා එලියට යා යුතු බව. ඒ ගමන වෙනුවෙන් ඔහු අති අලංකාර වටිනා ගවොමක් සහ සපත්තු දෙකක් ඔර්ඩර් කර තිබුණා. ඒ දෙක දැක්කම සමුදිට පුදුමයි. උදේම ඔහු වරුවක්ම එලියට ගිහින් හිටියේ මේකට එහෙනම්. ඇයට හිනා ගියා.

තාරික නම් ගැහැණුන්ට ඇඳුම් තෝරන්න දන්නේ නැහැ. ඔහු ඇය ඇඳුම් ගන්නා තුරු මුල් කාලේ පිපිරී පිපිරී පැත්තකට වෙලා බලාගෙන ඉන්න නිසා පස්සේ සමුදී ඔහුට කරදර කරේ නැහැ.

“ අප්පෝ මෙයාල ඇඳුම් තෝරන්න ගිහාම සංසාරේ එපා වෙනවා” කියමින් ඔහු සමුදී ඉදිරියේම යාළුවො එක්ක හිනා වුනා. ඒ නිසා ඇය හිතුවා මෙය තාරිකට කරදරයක් කියල. ඒ නිසා ඇය තනියම යන්න හුරු වුනා.

“ඇයි මේවා ? “ ඇය ඇහුවේ සතුටින් වගේම පුදුමයෙන්.

“ ඔයා වෙනුවෙන් …” ඔහු ආදරෙන් ඇගේ නළල සිප ගත්තා. “මේ සති දෙකේ මා වෙනුවෙන් අසීමිතව වෙහෙසුන ඔයාට මේ වගේ දෙයක් දෙන්න මට බැරිද ? “ ඔහු ඇසුවේ ඇය ගේ කළු කොන්ඩ රැල්ලක් පසුපසට කර මුහුණ දෙස හොඳින් බලමින්.

“ හෙට මම ඔයාව එක්කන් යනවා ඩේට් එකකට. අපි දෙන්න හෙට දවස සමරමු” ඔහු ඇයට ආදරෙන් කීවා.

යාමට සිදු වීම ගැන සමුදී දුක් වුනත් මේ වෙද්දී ඇගේ සිත දරුවෝ දෙන්නා සහ ව්‍යාපාරය මතක් වෙලා ගින්නේ ලූ බටර් වගේ උණු වෙමින් තිබ්බේ. ගෙදර යන තුරු ඇයට ඉවසිල්ලක් නැති වුනා.

පහු වෙනිදා ඔවුන් දෙන්නා ඇලඩින් ගීත නාටකය බලන්න ගියා. ඊළඟ සැරේ චිකාගෝ බලන්න යන්න දෙදෙනාම කතා වුනා. ඉන් පසු ඔහු රිට්ස් කාල්ටන් හෝටලයේ ඔවුන් දෙන්නට රාත්‍රී ආහාරයට මේසයක් වෙන් කර තිබුණා. මේ හෝටලයට ගෙන ඒමෙන් එතුමා තමාට කල ගෞරවය ගැන සමුදී හිටියේ අසීමිත ප්‍රීතියෙන්. ඉස්සර විශ්ව විද්‍යාලයේ ඉද්දි දැන් වගේම සමුදී තාරිකට අසනීප වෙලා ඔහුගේ බෝඩිමට ගිහින් කාටත් හොරෙන් ඔහු එක්ක රැයක් පහන් කළා. කවුරු හරි දැන ගත්තා නම් අපේ වගේ ආසියාතික රටක ලොකු අගෞරවයක් ඇයට වෙන්න තිබුනා. නමුත් ඒ වෙනුවෙන් ඇයට කිසිවක් දෙන්න ඔහුට මතක් වුනේ නැහැ.

ආසියාතික පිරිමින්ව අම්මල හදන්නේ හැමදේම දීල. ඔවුන් කුඩා කාලේ සිට හැදෙන මේ entitled මානසික තත්වය නිසා ඔවුන් බිරිඳ කරන කිසිම දේකට ස්තුති වන්ත නැහැ. ස්තුතියි කියා නිකම්ම කියන්නවත් ඔවුනට ඕනේ නැහැ. මොකද ඔවුන් හිතන්නේ ඔවුන්ට හැමදේම ලැබිය යුතුයි අනිවාර්යයෙන්ම කියල. ඒ විතරද මුළු මාසෙම බර අදින ගොනෙක් වගේ ගේ දොර වල වැඩ අදින ලාංකික ගැහැණු රැකියාවට ගිහින් තමා උපයන මුදලින් ඇඳුමක් ගනිද්දී ඒකට පවා විහිලු කරලා හිනා වෙන තරම් මුග්ධ පිරිමි ඉන්න රටක් නේද අපේ රට කියා සමුදී හිතුවා. අපේ රට වල පිරිමි වැඩ කරන මහන්සිය නිවා ගන්න යාළුවො හම්බ වෙලා අඩියක් ගැහුවට, ඒක සාධාරනීකරය කරාට බිරිඳ වැරදිලාවත් මහා ගෙදර ගියත් මුහුණ පුළුටු කර ගැනීම ඔවුනගේ ස්වභාවය වුනා. මෙහෙම වෙද්දී ඉතින් පුදුමයක් නැහැ ගැහැණු පීඩනෙට යකින්නියෝ වගේ හැසිරෙනවා.

බර කල්පනාවෙන් ඇය මිදුනේ ඔහු ඇගේ ඇඟිලි තුඩු ගෙන සිප ගනිද්දී. ඉන් පස්සේ වාදක කණ්ඩායම “ Nothings gonna change my love for you “ සින්දුව වාදනය කරද්දී සමුදී ගේ මුහුණ හිනාවෙන් බර වුනා. ජීවත් වෙනවා කියන්නේ මේක නේද ? එසැනින් ඔහු සාක්කුවේ තිබ්බ මුදුව ඇරලා එය ඇයට පිළිගන්වමින් බොහොම ගෞරවයෙන් “ ඔබ මාව විවාහ කර ගන්නවද ?” කියා ඇහුවා.

පුදුමයෙන් පුදුමයට පත් වුන සමුදී කර කියා ගත හැකි දෙයක් නැතිව අසරණ වෙලා ඔහු දෙස බලා සිටියා.

ඉන් පස්සේ “ ඔබතුමා මා වගේ කෙනෙක්ට විවාහ යෝජනා කිරීම මට ලොකු ගෞරවයක්..ඒත් මට පොඩි කාලයක් ඕනේ “ කියමින් ගොත ගැහුවා.

එතුමා තමා එක්ක කෝප වේවි කියා බයෙන් ගැහෙමින් ඔහු දෙස බලද්දී ඔහු නැවත ඈ දෙස බලා සිනා සුනා.” මට තේරෙනවා …ඔයා ලැහැස්ති දවස වෙනකම් මම මේක මගේ ළඟ තියා ගන්නම්. මම දන්නවා තාමත් ඒකට ඉක්මන් වැඩියි කියල “ කියමින් සමුදිගේ ඇඟිලි තුඩු පිරිමදිමින් ඇයව සැනසුවා.


මේ සති දෙකේදී ඔහු පුදුම විදිහට සමුදී ගැන පැහැදුණා. හැමදේටම වඩා තමන්ට කරන සැලකීම.

“ ඇයට පෙරලා වෙන කිසිම විදිහකින් ගරු කල නොහැකි බව එදා උදේ ඔහු ප්‍රත්‍යක්ෂ කළා. සැමියෙක්ගේ ආදරයක් නැති කෙල්ලෙක්ට සැමියෙක් ලැබෙනවා කියන්නේ ලොකු හයියක්. ඒ වගේම මටත් අවසාන කාලයේ කොතරම් සතුටින් සැපෙන් ඉන්න පුලුවනිද ? ඔහු කල්පනා කළා. තුන් වෙනි ලෝකයේ පුංචි රටක මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායිකාවක් වුනත් සමුදී තුල තිබ්බ උසස් ගති ගුණ ඔහුව අමන්දානයට පත් කළා”

රාත්‍රියේ ඔවුන් නිදා ගන්න යද්දී සමුදී ගොඩක් දේවල් ඔහුට කීවා. තමන් ජීවිතේ එක්ක හැප්පුන හැටි. තාරිකට ප්‍රේම කල හැටි. වසර 5 ක් දැන සිටි ඔහු තමා අතහැර යාම විතරක් නෙවේ ලඟදි වෙච්ච කණගාටුදායක සිදුවීම පවා ඇය ඔහුට කීවා.

“ මම තුවාල වෙලා බිඳිලා ඉන්නේ. ඔබට දෙන්න දෙයක් මා ළඟ ඇති කියා හිතන්න බැහැ. මම ඔබට ආදරෙයි. මා දන්නේ එච්චරයි” ඇය ඔහුව තුරුල් කර ගත්තා.

“ අපි දෙන්නට බෙදා ගන්න ගොඩක් දේවල් තියනවා සමුදිතා. මම වුනත් විවාහයට බයයි. වෙන දෙයක් නිසා නෙවේ. බෙරිල්ගේ මරණය මගේ ජීවිතේ මහා දුකකට පත් කල නිසා. නමුත් ජීවිතේ එක කනගාටුදායක දේකින් නවතින්නේ නැහැ. අපි ඉදිරියට යන්න ඕනේ.” ඔහු ඇයට පැහැදිලි කළා.

ඊළඟ නිවාඩුව ලංකාවේ දිගු කාලයක් ගෙවන්න එතුමා පොරොන්දු වුනා. එතකොට ඔවුන් දෙන්න එකිනකාව වඩා හොඳින් තේරුම් ගනීවි කියන බලාපොරොත්තුව ඔහුගේ හිතේ තිබුනා.

පහු වෙනිදා ගුවන් තොටට ඇය ඇරලුව ඔහු ගෙදර ගියේ දැඩි පාලුවකින් සහ හිස් කමකින් මිරිකෙමින්. ඔවුන් දෙදෙනා විවාහ වුනොත් කොයි රටේ පදිංචි වෙන්නද ඔහු කල්පනා කළා. ඔහු එක්ක ඇමරිකාවට එන්න සමුදිට අමාරුයි. ඒ වගේම ඔහුටත් මේ දේවල් දාල එන්න අමාරුයි. ඒ ගැන නිශ්චිත තීරණයකට එළඹෙන්න ඔහුට බැරි වුණා. නමුත් සමුදී විවාහයට සතුටු නම් කොහොම හරි මේ ගැටලු වලට විසඳුම් තිබේවි කියා ඔහු බලාපොරොත්තු වුනා.


ගුවන් යානයේ ඉඳගත්තු වෙලේ සිට ඇය කල්පනා කළේ තමා විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම කොතරම් හොඳද කියලයි. “ මම ශක්තිමත්. මම ඔහු සමග විවාහ වෙන්නේ අපි දෙන්න අතර ඇති හැගීම් ගැන නිශ්චිතවම දැන ගත්තු දවසටයි. සමහර විට ඔහු වෙන කෙනෙක් එක්ක විවාහ වේවි. එත් කමක් නැහැ. ඔහුට යහපතක් වෙන්න ඕනේ. මට ඔහු සිටීම කොතරම් හොඳ වුනත් තාම ඉක්මන් වැඩියි” ඇය සිතිවිලි අතර පැටලුනා.

වාසනාවට ඇය Singapore Airline වලින් ආවේ. ලංකාවේ Sri Lankan Airlines වලින් ආවා නම් මේ තරම් දිගු ගමනක් අසීමිතව වෙහෙස කාරී වෙන්න තිබුනා. අනික් ගුවන් සේවා වගේ නෙවේ අපේ ගුවන් සේවාවේ වැඩකරන අය ලංකාවේ මගීන්ට එතරම් සැලකිල්ලක් දැක්කුවේ නැහැ. හරියට නිකන් යනවා වගේ. නිසි ලෙස සංග්‍රහ නොකරන නිසා සමුදී කවදාවත් ශ්‍රී ලංකන් වල යන්නේ නැහැ. නමුත් Emirates, Etihad, Singapore වගේ ගුවන් සමාගම් මගීන්ට දෙවියන්ට වගේ සැලකුවා. ඔවුන් සාර්ථක වෙන්නත් අපේ ගුවන් සේවාව පාඩු ලබන්නත් හේතු වුනේ මේ නරක ආකල්ප බව සමුදී දන්නවා. අපේ මිනිස්සු පුංචි කඩයක් කරත්, ලොකු ව්‍යාපාරයක් කලත් පාරිභෝගිකයාට එතරම් ගරු නොකිරීම රටක් ලෙස පිරිහෙන්න ලොකු හේතුවක් බව සමුදී දැන සිටියා.

ගෙදර ගිහින් කරන්න කොයි තරම් වැඩ තිබේද ?යෝශිතා මනෝ වෛද්‍යවරයෙක් වෙත ගෙනයාම, දරුවෝ තුන් දෙනා කොහේ හෝ නිවාඩුවකට එක්ක යාම, ව්‍යාපාරයේ කොතරම් වැඩ ගොඩ ගැහුනද ? ඇය මදක් පීඩනයට ලක් වුනා. සේරම කරන්න ඕනේ දේවල් එකින් එක කොලෙකට ලියල සැලසුම් කිරීම ගුවන් යානයේදීම කළා. දරුවන්ගේ නිවාඩු කාලයේදී පියා සහ මව ගෙන්වා ගන්නත් සමුදී තීරණය කළා.

ඉන් පස්සේ ආහාර ගෙන මදක් නිදා ගත්තා.

( ලබන සතියට )…