සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 61 කොටස

“ එතකොට ඔයා මල්ලිලා දෙන්න හැදුවේ ඇත්තටමද ? “ යෝශිතා ඇහුවේ නළල වෙතට දෙනෙත උස්සමින්. ළමයි පාසල් යවල ඔවුන් දෙන්නා කටුනායකට යාමට පිටත් වුනා. සමුදිගේ රියදුරා රිය පදවද්දී ඔවුන් දෙන්නා පසුපස ආසනයේ හොඳින් කයිය ගසමින් හිටියේ. ඊයේ රාත්‍රියේ වුන දේ ගැන කතා කරමින් ඉද්දි තමා යෝශිතා මේ ගැන ඇහුවේ.

“මොන පිස්සුද පුතේ ? හොඳට තියේවි. මගේ කොල්ලෝ දෙන්නගේ ජීවිතෙත් විනාස වෙනවා. ඔය වගේ වගකීමක් නැති මිනිස්සු දෙන්නෙක් ගාව හැදුනොත්. “ සමුදී කීවේ හිනා වෙමින්.

“ එහෙනම් ඇයි ඔයා බොරුවට යවන්න හැදුවේ . බැරි වෙලා වත් මල්ලිලාව ගෙනිච්චා නම් එහෙම ?”

සමුදී අපූරු ලෙස සිනා සුනා. ආවේගශීලී බාල තරුණියක් වන යෝශිතා තමා වගේ පරිනත කමක් නැති කෙනෙක් බව ඇය දන්නවා.

“ පුතේ මගේ ලයිබ්‍රරි එකේ තියන පොත් බලන්නේ නැද්ද ? Negotiation Techniques පොත මම එද්දී කියවල තියන්නකෝ, ඔයාට තේරෙයි එතකොට. එවෙලේ තාරික අන්කල්ට ඕනේ වුනේ මාව නවත්වන්න. එයා හිතුවා දරුවෝ දෙන්න ගන්නවා කියා තර්ජනය කල පමණින් මම නවතීවි කියලයි. මම එවෙලේ බිත්තිය පැත්තට හැරිලා හෙමින් කල්පනා කළා. වැරදිලාවත් එවෙලේ මල්ලිලා ගන්න එකට බය වුනා නම් එහෙම නැත්නම් මම කලබලෙන් උත්තර දුන්නා නම් එයාගේ පස්ස බිම අනින්න වෙන්නේ නැහැ. Respond කියන එකයි react කියන එකයි දෙකක්. ඕනෙම අනතුරකදී අපිට කල්පනා කරලා බලල උත්තර හොයන්න පුළුවන්. එවෙලේ මම කල්පනා කළා. ඇත්තටම තාරිකට මේ ළමයි දෙන්න ගෙනියල හදා ගන්න පුලුවන්ද කියල. බැරි බව මට තේරුනා. ඌරගෙ මාළු උගේ ඇඟේ තියලම කපනවා කියන්නේ ඕකටයි “

යෝශිතා හයියෙන් හිනා වුණා.

“ඔන්න බලන්න අපි මොලෙන් වැඩ කරද්දී කොච්චර ලේසිද කියල. සිද්ධියකදී කෙස් වලු පටලාගෙන දඟලන්නේ බුද්ධියක් නැති ගැහැණු. කෙනෙක්ගෙන් හිරිහැර වෙද්දී එක ගානකට ඉවසන්න ඕනේ. ඉන් පස්සේ මොලේ කල්පනා කරලා හිතල බලල ආයෙත් නොවරදින්නම ගහන්න ඕනේ “

දෙන්නම සතුටින් චොක්ලට් පෙත්තක් බැගින් කටේ දා ගත්තා.


යෝශිගෙන් සමු ගෙන යානය පැය 25 ක ගමනක් සඳහා පිට වෙද්දී සමුදී නිදහසේ කල්පනා කරන්න පටන් ගත්තා. විහස් සහ විමාශ ඇගේ යාම ගැන අකැමති වුනේ නැහැ. ඔවුන් දෙන්නා දැනගෙන සිටියා ඇය තනිවෙලා ඉන්නේ කියල. ඒ වගේම ඇය කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ තාරික මේ විදිහට හැසිරේවි කියල. ඔහු ඉස්සර සිටම ඔය වගේ ගති ගුණ තිබුණා. නමුත් තමා ආදරය නිසා ඒ දේවල් නොසලකා සිටි බව ඇය තේරුම් ගත්තා.

දරුවෙක් ලැබෙන්න ඉන්න එක සලකලා ලේසියෙන් දික්කසාදේ පවා දුන්න තමාට මේ විදිහට කරාවි කියල ඇය මොහොතකට වත් හිතුවේ නැහැ. නමුත් බලාගෙන යද්දී ඔහුගේ පහත් ගති එන්න එන්නම මතු වෙනවා.

ජීවිතේ කියන්නේ පුදුම දෙයක් නෙවේද ? සමුදී කල්පනා කළා. ඇයගේ හිතේ ඇල්බට් කොනලි මැතිතුමා කෙරෙහි ඇත්තේ කොයි වගේ හැගීමක් ද කියා සමුදී දැන සිටියේ නැහැ. පාලුවෙන් පිරුන සමුදිගේ ලෝකයට හදිස්සියේ ආව ඔහු හරියට කාන්තාරෙකට වැටුන වැස්සක් වගේ. ඒ ආදරෙන් ඇය ප්‍රබෝධමත් වුනා. බඩගින්නේ ඉන්න මනුස්සයෙක්ට කෑමට තරු 5 හෝටලයක් ලැබුනා වගේ හැගීමක් ඇයට ඇති වුනා.

ඔහුව විවාහ කර ගන්න හෝ අයිති කර ගන්න බලාපොරොත්තුවක් සමුදිට තිබුනේ නැහැ. එදා වගේම අදත් ඇයගේ හිතේ තිබුනේ ආදරය කරන මිනිසා වෙනුවෙන් කැප වීම විතරමයි. විදේශිකයෙක් වුන එතුමා විශ්වාසයට ගන්න හැකි කම සමුදිට ලොකු සහනයක් වුණා.

“ අපේ රටක එකෙක් නම්, මේ වෙද්දීත් රට වටේ කියාගෙන යාවි. ” මන් අන්න සමුදිට ගැහුවා. මාර අසහනෙන් ඉන්නේ. නියම කඳ..ඒ වගේම සල්ලි ගොඩ…” ඔය වගේ අපහාසාත්මක වචන කාර්යාලයේදී ඇගේ කනට ඇහිලා තිබෙනවා. වෙන ගැහැණු ළමයි ගැන පිරිමි කතා වෙනවා. මේවා ඇහිලා ඇගේ හිත ආදරය කිරීම ගැන බය වුනා. විශේෂයෙන්ම අපේ රටේ පිරිමි ගැන. තාරික වුනත් ඇයට සියළු වැරදි කරලා අවසානයේ ලෝකේ තිබෙන හැම අසීලාචාර කතාවක්ම කියල සමුදිට අපහාස කළා.

“ ඒ මිනිහා එක්ක නිදියල මම දරුවෝ දෙන්නෙක් වැදුවා “ කියා හිතද්දී සමුදිගේ දෙනෙතින් කඳුළු රූරා වැටුණා. ඒ එක්කම 18 සම්පූර්ණ කරලා දරුවෝ දෙන්න රට යවන්නත් ඉන් පසු තමන් මේ ගෙදර දරුවන්ගේ නමට ලියල දීල වෙනම ගෙදරක පදිංචියට යන්නත් සමුදී තීරණය කළා.

“ එපා… එපා…මට ඒ ජරා මිනිහගේ ගෙදරක ඉන්න ඕනේ නැහැ. මට එයාගේ දේවල් ජාති ජාතිත් එපා “ කියා දැඩි තීරනේකට ආවා.

සමුදිගේ සම්බන්ධයෙ අනාගතය සමුදී දැන සිටියේ නැහැ. මොකක් වුනත් ඇයට වැඩක් නැහැ. මහාචාර්ය තුමා ගැන හිතද්දී ඇගේ සිත ප්‍රීතියෙන් පිනා ගියා. අතරමග ට්‍රාන්සිට් එකට දෝහා වලින් බැහැල පොඩි විවේකයක් ගන්න අතරේ ඇය ඔහුට කතා කළා.

නුපුරුදු උණ සහ ශරීර වේදනාව නිසා මහාචාර්ය තුමා ඇත්තටම බෙල හීන වෙලා හිටියේ. එතුමා මතක ඇති කාලෙක මේ තරම් අසරණ වුනේ නැහැ. බේරිල් කොනලි මැතිනිය මලාට පස්සේ මේ වගේ ලොකු ලෙඩක් වැළඳුන පළමුවෙනි වතාව. ඔහු හිතෙන් දහස් වරක් බෙරිල් ගැන හිතලා දුක් වුනා.

ඔහුට මතකයි ඇය ලෙඩ ඇඳේ අන්තිම දින කීපය ගතකරද්දීත් ඔහුගේ ආහාර ගැන කරදර වෙනවා. රෝගී වෙලා ඔලුවේ එක කෙස් ගසක් නැතුව තමාගේ මුහුණ සවසට ආදරෙන් පිරිමදිනවා ඔහුට මතක් වුනා. ඇය මියගිය පිළිවෙල. රාත්‍රී මැද නැගිට ඔහුගෙන් වතුර ඉල්ලුවා. ඔහු වහා නැගිට වීදුරුවකට ජලය ගෙන ඇයට පොවනවා මතකයි. ඒ වෙද්දී අවසාන දවස් නිසා හැමදාම ඔහු නිදියන්නේ හෙට ඇය එළිවෙලා දෙනෙත් නොඅරීවී කියන ගින්දරෙන්. ඉන් පස්සේ ඔහුගේ උකුලේ හිස තබාගෙන හිනා වෙලා මූණත අතගාමින් ඔහු දීහා බැලුව හැටි මතක් වෙද්දී ඔහුට දරා ගන්නම බැහැ. ඉන් මාස තුනකට පසු බලවත් දුකෙන් සිටි අනීෂා පෙම්වතා එක්ක අප්‍රිකාවට ගියා. ඔහු විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් එක්ක හිතාමතාම බිසී වුනා.

එතුමාට සමුදී හම්බ වුනේ තනිකඩව වෙසෙන තුන් වෙනි වසරේ. දැන් තමා අසරණ වුන වෙලේ ඇය මේ දුර ගෙවාගෙන තමා වෙත එන එක ඔහු ගොඩක් අගය කළා. සමුදී සමග රෝහලෙන් පිට වෙන්න තීරණය කල ඔහු තව දිනක් එහි නතර වුනා.


මේ අතරේ තාරික හිටියේ හරියට පොරේකට ගිහින් කරමල කඩාගත්තු කුකුලෙක් වගේ. ඔහු දන්නවා සමුදී ආයේ කවදාවත් තමාට සමාවක් නොදෙන බව. කිසිම දේකට ඔහුගේ මූණ බලයිද කියා පවා ඔහුට සැකයක් ඇති වුනා. සමුදී කොහොමත් තද හිතක් ඇති ගැහැනියක්. සමුදී වගේ ගැහැණියක්ට පෙම් බඳින මිනිහෙක් ලේසියෙන් ඇගෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම සමුදී මෙතරම් වැදගත් ලෝක පූජිත මිනිහෙක් සමග යාලු වීම ඔහුට කොහෙත්ම දරා ගන්න බැරි වුනා. සාමන්‍ය කෙනෙක් වුනා නම් ඔහුට මෙතරම් වේදනාවක් දැනෙන්නේ නැහැ.

තමා පිරිමියෙක් වගේ කියල නින්දා කරලා ඔහේ දාල ආව ඇයට තව ජීවිතයක් ගෙවීමට අයිතියක් ඇති බව ඔහුගේ මොලේ පිළිගත්තත් හදවත නිතරම වේදනාවෙන් පෙලුනා. එදා වැඩට නොගිය ඔහු දියණිය එක්ක උදේ වරුවම ගත කළා. එයින් ඔහුගේ වේදනාව සමනය වුනා. හවස සේරම අමතක කල ඔහු ටීනා සහ බබා එක්ක මුහුදු වෙරළට ගියා. ඔවුන් තුන් දෙනා සතුටින් සිටිද්දී, සමුදි ඒ විදිහට විදේශිකයෙක් විවාහ කර ගැනීම වරදක් බව ඔහු තීරණය කළා.

“ තාරික අයියේ ..මම කිවුවේ නැද්ද ඔය ගෑනි මුල ඉඳලම ඔය මිනිහා එක්ක නැටුවා. මොකෝ සුද්දෝ අහසින් පාත් වෙනවද ?” ටීනත් තව තව පොහොර දැම්මා.

“ඔය සුද්දා ඔය ගෑනිව බඳින්නේ නැහැ. මම දන්නේ නැද්ද ? “ තාරික එසේ කියා සැනසුණා.

“පිස්සුද තාරික අයියේ..දැන් හැමෝම මටනේ වරද පැටෙවුවේ. හැමෝටම දැන් තේරේවි”කියා ටීනත් සැනසුම් සුසුමක් හෙලුවා.


සමුදිට වුන පොරොන්දුව නිසා යෝශිතා මේ සති දෙක මොන හේතුවක් නිසා වත් මල්ලිලා දෙන්නට නොගහන්න තීරණය කළා. මේ දවස් වල විහස් ලොකු දේකට වහ වැටිලා සිටියේ. ගිය සතියේ ආයානා ඔහුට කාර්ඩ් එකක් දීල තිබුණා. අම්මිගේ ප්‍රශ්න නිසා ඔහුට ඒ ගැන කිසිවක්ම අම්මිට කියන්නත් බැරි වෙලා තිබ්බේ. ඇමරිකාවේ සිට එද්දී අයානාට දෙන්න හොඳ තෑග්ගක් ගේන්න කියා අම්මිට කියන්න ඔහු තීරණය කළා. විමාශ කැමති තුර්කි කුමාරියක් වුන අලෝශාට නමුත් අලෝෂා කැමති වුනේ මාර්ක් කියන ළමයට. මේ විදිහට ඔවුන් දෙන්නගේ පුංචි ආදර ලෝකත් ගොඩ නැගෙමින් තිබුණා. මේ සේරම දැන ගත්තත් සමුදී ඒවා කනකට ගත්තේ නැහැ. නමුත් යෝශිතා හොර බල්ලෙක් වගේ මල්ලිලා පස්සෙන් උදේ හවස පැන්නුවා. නමුත් අක්කිට ගානට හංගන්න ඔවුන් දෙන්නම එකසේ සමත් වුනා.


ඉතාම මහන්සියෙන් නිව්යෝර්ක් බලා ලඟා වුන සමුදී මහාචාර්ය තුමා සමග රෝහලෙන් පිට වුනේ ඔහුගේ apartment එකටයි. එහි ගිහින් ඔවූන් දෙදෙනා විවේක ගත්තා. මහාචාර්ය තුමා හවස පුරාම නිදා ගත්තා. අත් වල බෙහෙත් විදපු තුවාල එක්ක ඔහු ගොඩක් වේදනාවෙන් සිටියේ. සමුදී ඔහුට රාත්‍රියට කන්න සුප් එකක් සහ සැලඩ් එකක් හැදුවා. පාන් ටිකකුත් ටෝස්ට් කරා.

රාත්‍රී 7 ට පමණ ඔහු පිබිදුනාම සමුදිගේ උපකාරයෙන් ඇඟ හොදා ගත්තා. රාත්‍රියේ වැඩ කරන්න සූදානම් වෙද්දී සමුදී තදින් කීවා විවේක ගන්නා ලෙස. නමුත් ඔහු මගහැරුණ නිබන්ධන කීපයක් හදන්න ඕනේ කීවා.

“ මට ඉන්නේ ඔයා විතරයි. ඔට ඔයාවත් නැති කරගන්න බැහැ “ කියා අවසානයේ සමුදී මහා හඬින් කෑ ගසා හැඬුවා.

මේ ඇසුන ඇල්බට් කොනලි මැතිතුමා බලවත් ලෙස ශෝකයට පත් වුණා. ඔහු වැඩ කිරීම නවත්වලා ඔහුගේ ඇඳ සමීපයේ සමුදී වාඩි කරවාගෙන තුරුල් කරගෙන ඇගේ හිස අතගෑවා. කඳුලු බින්දු බින්දු ඇගේ නෙතින් වැටෙද්දී ඔහු ඇය සමග වැතිරිලා තදින් බදාගෙන සිටියා.

“ පවු… අහිංසක කෙල්ල. ඇත්තටම මාව ඕනේ නිසානේ මෙච්චර දුරක් ආවේ. ඇගේ හිත රිදවන්න හොඳ නැහැ. “ ඔහු සමුදී ගැන කනගාටු වුණා. ආසියාවේ ගැහැණු හැමෝම මෙහෙමයි කියා ඔහු පොත් වල කියවා තිබුනා. ඔවුන් කොතරම් මානසිකව පිරිමින්ට වහල් වෙලා ඉන්නවද ?

සමුදිත් විටින් විට ඔහුගේ නළල සිප ගනිමින් මදක් සුදු පැහැයට ලං වුන ඔහුගේ පපුවේ කෙස් රොදවල් අතරේ ඇගේ මුහුණ ඔබා ගත්තා. අවසානයේ ඔවුන් දෙන්නට එහෙම්ම නින්ද ගියා.

( ලබන සතියට )