සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 59 කොටස

සමුදී ගෙදර ගියේ තරමක් හිතේ දුකෙන්. ඇය එදා ජිම් එකට ගියේ නැති නිසා හය වෙද්දී ගෙදරට ලඟා වුනා. යද්දී යෝශිතා සාලේ පුටුවක ඉඳගෙන තරහෙන් පුපුරනවා. තවත් ප්‍රශ්නයක් බව මුහුණෙන් තේරුම් ගත්තු සමුදී ඇගේ ලඟින් වාඩි වුනේ ඔලුවත් අතගාගෙන.

“ ඇයි පුතේ ? “

“ගිහින් අහගන්න එකයි ඇත්තේ. අන්න කාමරේ ඇති. මගෙන් ගුටි කෑවා. “

“කවුද ? “

“විමාශ. අම්මි තමයි මේ දෙන්නව නරක් කරන්නේ …..අනික් දවසේ ගහනවා හම ..” යෝෂි ගෙරෙවුවා.

මට තියන කරදර මදිවට මේ දරුවෝ ගහ ගන්නවා. හිතමින් සමුදී සුසුමක් හෙලලා උඩ තට්ටුවට ගියා. යද්දී විමාශ ඇඳේ මුනින් අත පෙරලිලා. විහස් ඇඳ පාමුල බිම ඉඳගෙන. යෝෂි ගහපු පාරවල් නිසා විමාශගේ එක තොලක් පැලිලා.

සමුදී ඔහුගේ හිස අතගාල ඇගේ කාමරේට ගියා. විහස් අම්මා පස්සෙන් කාමරේට ඇදුනා. ගෙදර දොර වැඩ කටයුතු ගොඩක් කලේ යෝෂි විසින්. කඩේ ගිහින් බඩු ගෙන ඒම, බිල් ගෙවීම, ලොන්ඩරියට රෙදි දැමීම, මල්ලිලාගේ පාසලේ ගෙදර වැඩ ඊට අමතරව සමුදිගේ වෙනත් වැඩ මේ වගේ ලොකු වැඩ රාශියක් කලේ යෝශිතා. ඇයට ගමන් බිමන් යන්න සහ සමුදිගේ රථය නැති දවසට ළමයිට ඉස්කෝලේ යන්න කුඩා ඇල්ටෝ කාර් එකක් ගෙදර තිබුණා. විහස් සහ විමාශ තවම 16 හැවිරිදි වුනාට රිය පදවන්න පුළුවන්.

එදා හවස තාරික කුඩා රායව ටිකකට බලාගන්න එහෙ ගෙනත් දාල. තුන් දෙනා උයනේ සෙල්ලම් කරමින් ඉද්දි යෝෂි ඇවිත්. එදා අවාසනාවට ඇගේ දැඩි ඔලුවේ කැක්කුම හැදුන දවසක්. යෝශිට කූල් වතුර එක්ක පැනඩෝල් පොවපු විමාශට ශෝක් අදහසක් පහල වුනා. අම්මි ජිම් ගිහින් එන්නේ රෑ වෙලා. අක්කිත් ඔලුවේ කැක්කුමට නිදා ගන්නවා. ආයෙත් පහල බහින්නේ නැහැ. ඔහු හොරෙන්ම කාර් එකේ යතුර අරගෙන අයියයි, නංගියි දාගෙන ජපන් මිත්‍රත්ව මාවත දිගේ වේගයෙන් කාර් එක පැදගෙන ගිහින්. එහා ඉවුරේ හමුදාවෙන් කරන රෙස්ටුරන්ට් එකකින් අයිස් ක්‍රීම් කාලා.

තුන් දෙනා වික්‍රමය කරලා ගොඩක් සතුටින් ගෙදර ඇවිත්. කුඩා රායා හුලන් වදිද්දී සන්තෝසෙන් ඉපිලිලා. කාර් එකේ වීදුරු ඇරගෙන හරියට පික්නික් එකක් වගේ. තාරික රායව ගන්න ටිකක් කලින් ඇවිත්. ඉතින් ඔහු ළමයි හොයද්දි නැහැ. සුමනා බය වෙලා ගිහින් ඔලුවේ කැක්කුමෙන් හිටි යෝශිව ඇහැරුවා. ඇයත් බය වෙලා පහලට දුවගෙන ආවා.

කාර් එක නැති නිසා වුන දේ ගැන වටහා ගත්ත ඇය දෙවියන්ට කීවේ මේ තුන් දෙනාට අනතුරක් වෙන්න එපා කියලයි. මේ වෙලාවට පොලිසියෙන් හිටියොත් ලයිෂන් නැති නිසා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ මදිවට කුඩා රායා. ඇයට මොනා හරි වුනොත්. මේ වෙලේම වීරයෝ දෙන්නා නංගිත් අරගෙන ගෙදරට සැපත් වුනා. තාත්තියි, අක්කියි දකිද්දී වැඩේ වැරදිලා කියල තේරුනත් කරන්න දෙයක් නැහැ. අතටම අහු වුනා.

ඉස්සරහට ගිය යෝෂි රායව උදුරලා ගත්තා. අරගෙන තාරික වෙතට ඇවිත් වේගෙන් රායව දුන්නා.

“ තාරික අන්කල් ..නංගි ගේන්න එපා මීට පස්සේ. මේ මී හරක් දෙන්නට ළමයෙක් බලන්න තේරෙන්නේ නැහැ. අනික මල්ලිලා පොඩියි. දැන් දැක්කනේ… මොනවා හරි වුනා නම්” කියා හයියෙන් බැන වැදුණා.

තමන්ගේ තාත්තට බනිනවා අහපු විමාශ “ අක්කි..අක්කි…අනේ මමයි නංගිව ගෙනිච්චේ ..අයියා නෙවේ. “ කියමින් ඉස්සරහට ආවා”

තමන්ගේ අයියලාට සහ තාත්තිට බනින බව දැක්ක රායා ඔවුනට උදවුවට මහා හඬින් අඬන්න පටන් ගත්තා. තාරික මොහොතක් නැවතෙන්නේ නැතුව රායා අරගෙන පිට වුණා. එසැණින් සේරප්පුව ගලවලා ගත්ත යෝශිතා විමාශගේ කනෙන් ඇදගෙන දිගට හරහට ගැහුවා.

“ ඔය දෙන්නා.. මගේ බෑග් එකෙන් යතුර හොරකම් කරා. ඒ මදිවට නංගි අරගෙන පාරවල් වල වාහනේ එලෙවුවා. අද මම නිකන් ඉන්නේ නැහැ කියමින් ඇති පදම් ගැහුවා. සුමනා බලාගෙන ඉන්න බැරිකමට කුස්සියට ගිහින් කඳුළු බේර බේර ඇඩුවා. මල්ලිට ගහන එක නවත්වන්න මැදට පැන්න විහස්ටත් සෙරප්පු පාර වැදුණා. අන්තිමට විමාශ වත්තන් කරගෙන විහස් කාමරේට ගියා. ඔවුන් දෙන්නම අක්කට ගොඩක් බයයි. අම්මගේ තියන කරුණාව ඇය තුල නැති බව ඔවුන් දන්නවා.

මේ ප්‍රශ්නේ අහපු සමුදිට උත්තරයක් නැහැ. ඔවුන් දෙන්නා කලේ ලොකු වරදක්. නමුත් කුඩා දරුවෝ විශේෂයෙන් ඔය වයසේදී ඔය වගේ දේවල් කරනවා. වෙනත් ළමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන ලෝකෙක තමන්ගේ පුතාල දෙන්න කල පොඩි වරද සමුදී නම් බැනල අමතක කරලා දානවා. නමුත් යෝශිතා ලඟදි ඉඳල ගොඩක් තරහා යන දැඩි චරිතයක් වුනා. ඇය ගෙදර, සේවකයන් සහ මල්ලිලා පාලනය කරේ ගොඩක් තදින්. ඇගේ ආදරය උමතුයි. සමුදී දමා ගමට අවුරුද්දකට පාරක් ගමේ වත් යන්න කැමති නැහැ. ගෙදර කිසිම දෙයක් නාස්ති වුනොත් ඇය කැමති නැහැ. මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ කියා සමුදී හැමදාම කල්පනා කළා. විමාශගේ පලු වලට බෙහෙත් ගාල අතගෑව සමුදී දෙන්නට අවවාද කළා.

“ අනේ රත්තරන් පුතේ ඔය දෙන්නත් වරදක්නේ කරලා තියෙන්නේ. අක්කිට තරහා යනවා. ඒ නිසා පාඩුවේ ඉන්න”

කියා ඇය දෙන්නව සැනසුවා. ඒ අතරේ යෝශිගේත් ඔලුවේ බෙහෙත් තෙල් එකක් ගාල හොඳින් අතගෑවා. ඇය තාරිකට බැනල එලෝපු එක හොඳ නැහැ. නමුත් මින් පස්සේ රායව ගෙන ඒම නවතීවි කියා සමුදී හිතුවා.

“ ඔයාගේ තෙතලේ නිසා තමා මේ සේරම. දැන් අපිට වෙන වැඩ නැහැ. මේ දෙන්න මදිවට තව අර ගෑනිගේ දුවත් එවනවා අපිට බලන්න.”

“එහෙම නැහැනේ පුතේ “ සමුදී යෝශිව සැනසුවා.

“ මොකෝ නැත්තේ. ඔයාට ලැජ්ජාව කියල නාමයක් නැද්ද ? ඔය ළමයට මොනා හරි වුනොත් අපි ඔක්කොම ඉවරයි “ කියමින් යෝශිතා රණ්ඩු වුණා.

මේ සේරම ගැන කම්පාවෙන් හිටි විහස් අක්කිට නිදා ගන්න ඇරලා අම්මිව එක්කන් ගියා.

“ අම්මි ..අක්කිට ගොඩක් තරහා යනවා. ලඟදි ඉඳල “ කියා ඔහු සමුදිට කීවා.

“ඔවු පුතේ ..ඒත් මොකද කරන්නේ ? අක්කිට වැඩ වැඩියි . මට තේරෙන්නේ නැහැ පුතේ “ සමුදී කීවේ වේදනාවෙන්.

“ අම්මි අපි අක්කිව මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියමු . මගේ යාලුවෙක්ට ඔහොම වෙලා හරි ගියා. “

“ ඇත්ත නේද ? “ සමුදිට පුදුමයි විහස් කොහොමද මේ තරම් බුද්ධිමත් වුනේ කියල. එන්නම එන්නම ඔහු වෙනස් වෙනවා. සමුදී ඔහු ගැන ආඩම්බර වුනා. එදා මේ සේරම කලබල ඉවර කරලා සමුදී ඇඳට එද්දී 10 ත් පහු වෙලා.


ඇයට ලාවට නින්ද යාගෙන එද්දිම ෆෝන් එක රින්ග් වෙනවා. මේ යක්කු ගස් නගින වෙලාවේ කවුරු වෙන්න පුලුවන්ද ? කවුරු වුනත් මට දැන් නම් බැහැ කියා හිතපු ඇය ෆෝන් එක ගත්තේ නැහැ. මේ වෙලේ අනික් පසින් කතා කල ඇල්බට් තමා කතා නොකිරීම නිසා සමුදී අමනාප වෙලා ඇති කියා හිතුවා. “පුදුමයක් නැහැ . ඇය හිතන්න ඇති මම මහා සිරිත් විරිත් නොදන්නා අමනයෙක් කියල “ ඔහු තමාටම කියා ගත්තා. ඔහුට එවෙලේ උදෑසන. හෙදිය විසින් දුන්න බෙහෙත් එන්නත් නිසා ඔහු යලිත් නින්දට වැටුනා.

පහු වෙනිදා උදේ සමුදී දුරකථනය බලද්දී ඇයට දෙලෝ රත් වුනා. ඇල්බට් කතා කරලා . තමන් ඒ ඇමතුම ගත්තේ නැත්තේ ඇයි කියා ඇය තමාටම දොස් නගා ගත්තා. ඒ නිසා ඇය වැඩට යන අතරේ ඔහු ඇමතුවා.

සතියකට පස්සේ එකිනෙකා අමතද්දී ඔවුන්ට දැනුනේ පුදුමාකාර සතුටක්. ඔහුගේ රෝගය ගැන අහපු සමුදී ගොඩක් කනගාටු වුනා. ඒ එක්කම රෝහලෙන් ටිකට් කැපුවත් ඔහුට ටික දවසක් අමාරු වෙන බව ඇය දැන සිටියා. මේ කරදරේ අස්සෙන් ඇය වැඩට ගියා. සමුදී මුළු දවසම මලානික වෙලා හිටියේ. අන්තිමේදී සිද්ධිය තම ලබැඳි මිතුරිය කුසුමා වෙත හෙළි කරන්න සමුදිට සිදු වුණා.

“ මම සති දෙකක් ඇමරිකා ගිහින් එන්නම්. ඔයා එතකන් අපේ ගෙදර ඇවිත් ළමයි දෙන්න බලාගෙන, බිස්නස් එකත් බලනවද ?” සමුදී ඇහුවේ යටහත් පහත්ව.

කන්නාඩි දෙක නළලේ දාගෙන කුසුමා ටික වෙලාවක් කල්පනා කළා. මේ සම්බන්ධය නිසා ව්‍යාපාරයට වෙන ලාභය ගැන යටි හිතෙන් හිතුව කුසුමා මේකට අනුබල දිය යුතුයි කියා තීරණය කළා.

“ඔයා යන එක නම් කමක් නැහැ. ඒ මනුස්සයත් වැදගත් මහත්තයා නේ. ඒත් ඉතින් ඇයි ළමයි තාරිකට දෙන්න බැරි ?” කුසුමා ඇහුවා.

“ අපෝ ..ඒ මිනිහගේ දුව බලාගන්න බැරි ගෑණියෙක් ළඟට මම කොහොමද මගේ දරුවෝ දෙන්නව යවන්නේ ? ඒ දෙන්නා එහෙ ගියොත් පාඩම් නොකර උදේ හවස ටීනගේ වහල් වැඩ කරයි. ළමයින්ට කන්න නැතුව යයි. “

“ඉතින් ඇයි යෝශිතාට බලන්න බැරි ? “

“ අනේ දෙවියනේ ටීනා ලඟට යවන එක හොඳයි. මගේ දරුවෝ දෙන්නට ගහල මරල තියේවි ඒ කෙල්ල . අනේ කුසුමා මම කවදාවත් ඒ උදවුව අමතක කරන්නේ නැහැ. මේ පාරට විතරක් පුතාල දෙන්න බලා ගන්න. නැත්නම් මම නොයා ඉන්නම් “ සමුදී කනගාටුවෙන් කීවා.

සමුදී සහ ඇල්බට් අතර සම්බන්ධයක් ඇති නොවුනොත් එය පාඩුවක් වෙතියි හිතපු කුසුමා අවසානයේ එයට එකඟ වුනා. ඒ අනුව ඊළඟ දවසේ ඇමරිකාව බලා යන්න සමුදී තීරණය කළා. ඇයගේ වීසා තව අවුරුදු 5 කට වලංගු නිසා යාම ගැටළුවක් වුනේ නැහැ. මේ දේවල් පිළිවෙල කරන්න ඇය වේලාසනින් ගෙදර ගියා.


තමන් හරියට නොහඳුන නමුත් තමා වෙනුවෙන් සියල්ල අතහැර එන්න හදන සමුදී ගැන මහාචාර්ය වරයාට දැනුණේ පුදුමයක්. ඔහුගේ රටේ මිනිස්සු සාමන්‍යයෙන් යාළුවො වෙනුවෙන් මේ වගේ දැඩි කැපවීම් කළේ නැහැ. කල යුතු වැඩ එහි සිට කල හැකි බව සමුදී දන්නවා. ඇයගේ ලොකුම ගැටලුව වුන දරු දෙදෙනා කුසුමා නිසා විසඳුනා.

දරුවෝ දෙන්නා දාල හදිස්සියේ ඇමරිකාව බලා යන බව අහපු තාරික විහස්ට කතා කරලා විපරම් කර බැලුවා. ඇය යන්නේ විදේශික මහාචාර්ය වරයෙක් නිසා බව දන ගත් තාරිකට ඔලුවට හෙන පාරක් වැදුනා වගේ දැනුණා. ඔහු අපේක්ෂා කරේ සමුදී හැමදාම තනිව සිටීවි කියලයි. මේ වෙලේ ඔහුගේ හිතට නැගුන කෝපය කියන්න වචන නැහැ. ඒ කෝපය ඇති වුනේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියා තාරික තමන්ව රවටා ගත්තා.

ඒ අතරේ ටීනා කියන්නේ ඇත්ත බවත් සමුදී ඉතාම නරක ගැහැනියක් නේද කියා ඔහුට හිතුණා. ඔහු දුරකථනය ගත්තේ කොහොම හරි සමුදිට බැනල නවත්තා ගැනීමේ අදහසින්.

( ලබන සතියට )