සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 58 කොටස

VVL එකේ වැඩ දැන් උගත් බුද්ධිමත් කළමණාකරුවන්ට පවරලා තිබුනේ. නමුත් හැම දේකදිම කිසියම් ඉඩක් ලැබෙන තැන යමක් මගහැරෙන බව සමුදිට වැටහුණා. කොතෙක් උගන්වා පුහුණු කලත් දැන් ළමයින්ගේ ආකල්ප එතරම් යහපත් මට්ටමක නැහැ කියන සත්‍යය සමුදී නිතරම මෙනෙහි කළා. ඔවුන්ට ආයතනය ගැන කොතරම් හිතවත් කමක් තිබුනත් මිනිසුන් ඉවත් වීම ඉක්මනින් සිදු වුණා. විශේෂයෙන්ම වැඩ අංශ වල සිටි ළමයි. ඔවුන්ගේ ජීවිතේ අරමුණ වුනේ අවුරුදු දෙක තුනක් රැකියාවක් කරලා සල්ලි ටිකක් හොයාගෙන විවාහ වෙලා ගෙදර නතර වී ගෘහනියක් වීමයි. මේ නිසා ඔවුන්ට පුහුණු කරවන්න ආයතනය කල කැප වීම් නිකන්ම වතුරේ ගියා. සමුදී මාස තුනකට වරක් උපදේශකයෝ ගෙන්වලා ඔවුන්ගේ මේ වැරදි ආකල්ප නැති කරන්න ගොඩක් වෙහෙසුනා.

ගාමන්ට් එකක වැඩ ගොඩක් වෙහෙසකරයි. ඒ නිසා ඔවුන්ගේ මානසික සතුට උපරිම කරවන ක්‍රියාකාරකම් නිතර කළා. පුද්ගලික ගැටළු වලට පවා ආයතනය මැදිහත් වුනා. මේ වෙනුවෙන් විශාල ලෙස අරමුදල් වැය කිරීම සිදු වුණා. කාර්මික දැනුම තිබුනත් කළමනාකරණය ගැන නොදත් කුසුමා හැම විටම තීරණ ගත්තේ හදවතින්. ඒ නිසා සමුදී දැන් වැඩි වැඩියෙන් ඔට්ටු වුනේ පිරිස් කළමනාකරණය සහ මානව සම්පත් රැක ගැනීම ගැනයි. මහාචාර්ය ඇල්බට් කොනලි විසින් තෑගී දුන්න ඔහුගේ අලුත්ම පොතේ මුල් පිටපතක් සමුදිගේ මේසේ උඩ තිබුණා. Compassionate HRM යනුවෙන් හැඳීන්වුන එහි එක case study එකක සමුදිගේ කුඩා ව්‍යාපාරය ගැනත් සඳහන් කරලා තිබීම ගැන සමුදිට දැනුණේ ආඩම්බරයක්. එහිම පලවෙනි පිටුවේ ඇයට ඔහුගේ අත් අකුරින් ලියා තිබුන අත්සන සහ වාක්‍යය සිය වෙනි වරටත් බලා පොත වසා තිබ්බා.

ඔහු ගිහින් දැන් දවස් 5 ක් වෙනවා. සමුදී කවදත් කරදර කරමින් පිරිමි පස්සේ යන ගැහැණියක් නොවේ. “මම හොඳයි නම් මා වෙතට ආවදෙන් කියන ආකල්පයෙන්” තමා ඇය හැම වෙලේම වැඩ කරේ. තාරික යද්දී ඔහු නවත්වන්න උත්සහ නොදැරුවෙත් “ මගේ ගෙදර ඉන්න කැමති නැත්නම් බලෙන් නවත්වන්න ඕනේ නැහැ “ කියන සරල වැටහීමෙන්. ඇල්බට් කොනලි තමන්ට කතා කලොත් එහෙමයි. නැත්නම් ඕනේ නැහැ කියන තීරණය මත ඇය නිහඩව සිටියා. රෑ හීනෙන් දුටු හීනයක් නැවත නැවත මතක් කරනවා වගේ ඇගේ හිත හුදෙකලා වෙලාවල ඔහුව මතක් කළා.

“ ඔවු…. ඒක හරිම සුන්දර දවසක් ……මම ආයෙත් නම් ඒ ගැන මතක් කරන්නේ නැහැ “ ඇය තමාටම කියා ගත්තා.

සමුදිගේ ප්‍රමුදිත හැසිරීම, ඇය දේශනයට නොගියත් ඇල්බට් ගේ පොතක් ලැබීම සහ හේතුවක් නැතුව පහුගිය සතියේ නිවාඩු දැමීම කුසුමාගේ හිතේ ලොකු සැකයක් ඇති කරලා තිබුනේ. කොයි එකටත් ඒ සේරම හාරා බලන්න වෙලාවක් නැති වුනේ කුසුමා විශාල ඕඩර් එකකට හිර වෙලා සිටි නිසා. ඒ වගේම අද තවත් එක ඉතාම දක්ෂ ගැහැණු ළමයෙක් අයින් වෙලා යන බවට නෝටිස් දීම නිසා උදේ සිටම ඇය සන්නිපාත රෝගියෙක් වගේ ගැහෙමින් හිටියේ. ඒ නිසා මේ ගැන සමුදිට පැමිණිලි කරන්න කාර්යාලයට ගියා.

දාඩිය නාගෙන ඔසරි පොටින් පවන් සලමින් එන කුසුමා කාමරයට එන තුරුම සමුදීට තේරුනේ නැහැ. ඇය පොත අතගාමින් සිටියේ.

“ හපොයි දෙවියනේ ඉර 7 ක් පායාගෙන එනවද කොහේදෝ …මේ රස්නේ මට ඉන්න බැහැ. “

සමුදී හිනා වෙලා කුසුමට වාඩි වෙන්න කීවා. ඉන් පස්සේ බෙල් එක ගහල සේවකයෙන් කැඳවල පලතුරු යුෂ ටිකක් ගේන්න කියා යෙදෙවුවා.

වායු සමනය කල කාමරයේ සීතල එක්ක කුසුමා ටිකක් සැහැල්ලු වුණා. ලැබුන පලතුරු යුෂ තොල ගාමින් දෙදෙනා කතාවට වැටුනා “

“කටින් සෙක්ෂන් එකේ ප්‍රබෝධා…. අයින් වෙනවලු “

“ කවුද ප්‍රබෝධා ? “ සමුදිට නම් අමතකයි.

“ ඇයි අනේ අර ගිය අවුරුද්දේ අපි ඉන්දියාවට යැවුවේ “

“ අඃ ට්‍රේනින් එකට ලක්ෂ 5 ක් විතර ගියා නේද ? “

“ඔවු ..මම හැමදාම කියනවා ට්‍රේනින් වලට යවන එවුන් ගෙන් බොන්ඩ් අස්සන් කර ගන්න කියල. කොහෙද ..කනකට ගන්නේ නැහැනේ. දැන් තියෙන්නේ “ කුසුමා සමුදී වෙත කඩා පැන්නා.

සමුදිගේ නළලේ රැලි කීපයක් මතු වුනා. යන්න මොකක් හෝ හේතුවක් ඇති. හැකි විදිහකින් නවතා ගත හැකි නම්…දැන් මම මොකද කරන්නේ… මේ වෙද්දීත් කුසුමා පැනල ඒ ළමයට බැන්නද දන්නේ නැහැ…..

“ඔයා හේතුවක් ඇහුවද ඒ ළමයට යන්න ?”

“ඔවු…ඔය හදන්නේ මිනිහෙක් හොයාන කුස්සි අම්මෙක් වෙන්න…උන්ගේ ආකල්ප වෙනස් කරන්න වර්ක් ෂොප් තියල සල්ලි වියදම් කරනවට වඩා හොඳයි බල්ලන්ට ආප්ප අරගෙන දුන්නා නම්”

සේවකයන්ගේ දියුණුව වෙනුවෙන් පුහුණු කිරීම් කරනවට කුසුම කොහෙත්ම කැමති වුනේ නැහැ. ඇයට ලොකු උගත්කමක්වත් දැනුමක්වත් නොතිබීම ගොඩක් වෙලාවල මතගැටුම් වලට පවා හේතු වුණා. ලොකු තීරණ ගනිද්දී සමුදිට මහා හුදෙකලාවක් දැනුණා.

“එහෙනම් මම ඒ ළමයට කතා කරන්නම්. ඔයා හවසට මා ගාවට එවන්න.” සමුදී කීවේ තව කෙනෙක් පුහුණු කර ගන්නා තුරු ඇය නවත්වා ගන්නා හැටියක් ගැන හිතමින්.

ලංකාවේ ගැහැණු ගොඩ දෙනෙක් අද පවා හීන දකින්නේ විවාහ වෙලා හොඳ බිරිඳක් ලෙස ගෙදර ඉන්න. ගොඩක් පිරිමි යාලු වුන ගමන්ම නීති දානවා. විවාහයෙන් පස්සේ රැකියා කිරීම තහනම් කියල. අද කාලේ එක්කෙනක් විතරක් උපයල පවුලකට සැපෙන් ඉන්න නම් එක්කෝ පරම්පරාගත ලොකු ධනයක් තිබෙන්න ඕනේ නැත්නම් සැමියා ලොකු ආදායමක් ලබන්න ඕනේ. මේ දෙකම නැති සාමාන්‍ය පවුලකට එක්කෙනක් රැකියාවක් කිරීම මදි. අනික බිරිඳටත් යුතුකම් කරන්න පවුලක් තිබෙනවා. ඒ වගේම හැමදේටම සැමියාගෙන් ඉල්ලන එක සුදුසුත් නැහැ. නමුත් ආදරේට අන්ධ වෙලා ගොඩක් ගැහැණු ළමයි විවාහ වුන විගසම රැකියාවෙන් ඉවත් වෙනවා. ඉන් පස්සේ ජීවිතේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දෙනවා. ආර්ථික ශක්තියක් නැති ගැහැණියකට සැමියාගෙන් වුනත් ඔහුගේ පවුලෙන් වුනත් විය හැකි කරදර සාපේක්ෂව වැඩියි. නමුත් රැකියාවක් කරන ගැහැණියකට හිරිහැර කරන්න කවුරු වුනත් දෙපාරක් හිතනවා. ගැහැනියක් වුනාම අනිවාර්යයෙන්ම මූල්‍යමය අතින් ස්වාධීන විය යුතු බව සමුදී තරයේ විශ්වාස කළා. මේ ගැන මේ ළමයි වඩා හොඳින් දැනුමත් කළ යුතු බවට සමුදී සිතුවා.

මේ අතරේ කුසුමා මෙසේ උඩ තිබ්බ පොත පෙරලලා බැලුවා.

“ මේකේ අකුරු ගෙවෙයි … බලන තරමට “ ඇය උපහාසයෙන් හිනා වුණා. ඇයට යමක් ඉව වැටී ඇති බව සමුදිට වැටහුණා.

“ යන්න අනේ ..මෙතන ඔයා හිතන විදිහේ දෙයක් නැහැ. මම විතරද මේකේ ඔයත් අයිතිකාරියක්නේ. හැම රුපියලකින්ම සත 25 ක් ඔයාගේ…ඉතින් මේකේ අපේ VVL එකේ නම ගිහාම මට විතරද සතුටු ? ඔයාට සතුටු නැද්ද ?” සමුදී ඇහුවේ හිනා වෙමින්.

“හාකෝ …හාකෝ….අනේ ඉතින් මටනේ මේවා කියන්නේ “ කියමින් කුසුමා තවත් හිනා වුනා. “

“ හැබැයි ඉතින් අපේ ලංකාවේ අයට වඩා පිට රටවල පිරිමි හොඳයි. අපේ එකෙක් එක්ක කතාවත් කෙරුවා නම් පහුවෙනිදා රෝයිටරේ වගේ පත්තු කරාවි. අන්න සමුදී නෝනා හෙන අසහනෙන් ඉන්නේ මම ටෝක් කරා. උඹලත් කරපල්ලා. කියල හතර වටේම නම කැත කරාවි. එහෙම එකේ එක අතකට ඔයාට හරියන්නේ සුද්දෙක් තමා “ කුසුමා කීවේ වේදනාවෙන්.

ඔවු. ඒක ඇත්ත කුසුමා. අපේ රටවල මිනිස්සුන්ගේ ආදරය, ගෞරවය වගේ සියුම් දේවල් ගොඩක් අඩුයි. මම යකඩ වෙස් මූණක් දාගෙන ඉන්නේ ආදරේ විඳින්න ආස නැති නිසා නෙවේ. කාගේවත් ගොදුරක් වෙනවට අකමැති නිසා. දැන් මේ හරිහම්බ කරගත් දේවල් එක්ක තවත් අනතුරක මම ඉන්නේ……. “සමුදිගේ දෙනෙත් තෙත් වුනා.

“මිනිහා මැරුනොත්, දීගේ ඇරුණොත් වටේ ඉන්න පිරිමි හිතන්නේ ඇරිච්ච සේප්පුවක් කියල. හැම එකාලම බලන්නේ විනාශ කරන්න. එහෙම කරගන්න බැරි වුනාම කට කතාවක් හරි කියන්න. මේ වගේ රටවල ජීවත් වෙන එකත් හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් සමුදී. “

කුසුමා ජීවන අත්දැකීම් එක්ක පිරිමින්ට වෛර කළා. නමුත් මේ කියන කතාව හුදු වෛරයෙන් එහාට ගිය සත්‍යක් නෙවේද සමුදිට කල්පනා වුණා. එදා සිදුවුණ සිදුවීමෙන් පස්සේ ඇගේ යටි සිත ඔහු නැවත ඒවි යයි අපේක්ෂා කළත් එය එසේ වීමේ සම්භාවිතාව අඩු බව ඇගේ බුද්ධිය ඇයට කීවා. ෆෝන් එක රින්ග් වෙන හැම වෙලාවකම ඇය ඒ වෙතට ගියේ ඒ ඔහු කියා ගැහෙන හදින්. නමුත් ඒ වෙනත් ඇමතුමක් වුනා. පස් වෙනි දවසේ ඇය ඒ ගැන නැවත බලාපොරොත්තු නොවෙනවා කියන තීරණය උඩ ගෙදර යාමට පිටත් වුණා.


දුරින් ලොකු හාමිනේගේ නෑ වෙන ගැහැණියක් ටික කාලෙකට ගෙදර ගෙන්වා ගන්න තාරික සමත් වුණා. මේ නිසා මේ දවස් ටිකේ ඔහුගේ ජීවිතේ යහපත් වෙන්න ගත්තා. ගේ දොර පිළිවෙල වුණා. ඔහුගේ ආහාර වෙලාවට ලැබුනා. දරුවත් හොඳින්. පුතුන් දෙන්න මේ සතියේ හවස එහෙ ගෙන එන්න ඔහු තීරණය කළා. තාරික කලාතුරකින් සතුටින් සිටි කාලයක් මේක. මේ ටිකේ ලෙඩින් නිසා තාරිකගේ අවධානය නොමදව ලබපු ටීනා වුනත් ඔහු එක්ක රණ්ඩු කරන එක කලේ නැහැ. අවධානය ගොඩක් අපේක්ෂා කරන කාන්තාවන් අවධානය ලැබෙද්දී කෑ ගහන එක, රණ්ඩු කරන එක අඩු කරනවා. ගොඩක් භාර්යාවන් කරදර කාරියන් වෙන්නේ සැමියාගේ අල්ප අවධානය නිසා කියා ලඟදි තාරික පොතකින් කියවා තිබුනා.

සමුදිව මොහොතින් දාල ආව තමා ඇත්තටම ඇයි ටීනා වෙනුවෙන් මෙතරම් කැප වෙන්නේ කියා ඔහු වරෙක හිතුවා. එක අතකින් ලැජ්ජාව නිසා ඔහුට මේ විවාහය අතහරින්න බැහැ. ලෝකේ මිනිස්සු හැමෝම තමාට හිනා වෙන්න බලාගෙන සිටින බව ඔහු දැන සිටියා. අනික් අතින් බිලිඳු දරුවාට රැකවරණය තනිවම දීමට ටීනා අසමත්. ඒ වගේම සමුදිට හැමෝම ගරු කිරීම සහ ඇය නැවත විවාහ නොවීමත් තාරිකට නිකන් සැනසිල්ලක් වගේ හැගීමක් වුණා.

“එයා කවදාවත් බඳින එකක් නැහැ. යකඩ ගැහැණියක්.. “ ඔහු සමුදී ගැන හිතුවේ එහෙමයි.


ඇල්බට් කොනලි මහතා අතරමගදී ප්ලේන් එකෙන් මාරු වෙන්න දෝහා වලින් බැස්සා. එතන පැය 5 ක් රැඳෙන්න වුන නිසා ඔහු පොඩි නින්දක් දැමුවා. ඇමරිකාවට ගිහින් සමුදිට කතා කරන්න හිටියේ. පැය 25 ක් පමණ එක දිගට ගමන් කල නිසා අධික වෙහෙසට පත් වුනා. අතර මගදී නොයෙක් වර ඔහුට සමුදිව මතක් වුණා. නමුත් එය තරුණ කාලේ ඇති වෙනවා වගේ දැඩි ආශාවක් නෙවෙයි. නමුත් රටට ගිහින් ඇයට දැන්වීම ඔහුගේ යුතුකම් කියා ඔහු සිතුවා. බොස්ටන් වලට සැපත් වුන ඔහු නිව්යෝර්ක් කරා අභ්‍යන්තර ගුවන් මගින් පිටත් වුණා. කොහොම වුනත් ගෙදර එද්දී දැඩි මහන්සියක් දැනුණ එතුමා විගසින් නින්දට වැටුනා.

රෑ මැද ඔහු පිබිදුනේ දැඩි උණකින් පීඩා විඳිමින්. තමන් ලංකාවේ සංචාරය කරලා ආව නිසා බය වුන ඔහු වහාම රෝහලට ඇතුලත් වුනා. රෝහලේදී ඔහුට ඩෙංගු රෝගය වැළදී ඇති බව සොයා ගත්තා. එරට වෛද්‍යවරු මේ රෝගයට ගොඩක් බය වුනා. මදුරුවන්ගෙන් බෝ වෙන රෝග ඔවුනට ආගන්තුකයි. ඇල්බට් කොනලි මැතිතුමාත් ගොඩක් බය වුනා. උණෙන් සහල වෙලා වැටිලා සිටි ඔහුට සමුදිට කතා කරන්න බැරි වුනා.

ඔහුගේ උන ගතිය බැහැර වෙලා ගිය විගසම දියණියට කතා කළා. එතුමාගේ ලේඛම් තුමිය අවශ්‍ය කටයුතු කර තිබුණා. ඉන් පස්සේ ඔහු පළමුවෙන්ම කතා කරේ සමුදිට. සමුදී මොනවා හිතන්න ඇතිද ? ඔහු කල්පනා කළා. ඔහුගේ පියා කෙන්ටකී ප්‍රාන්තයේ දක්ෂ ගොවියෙක් ඒ වගේම එහි ප්‍රාන්ත සෙනෙට් එකේ සාමජිකයෙක්. ඔහු විශේෂයෙන් තරුණ කාලයේ ඇල්බට් කොනලිට උගන්වා තිබුනා ගැහැනියක් විෂයෙහි හැසිරෙන පිළිවෙල. සුදු ජාතිකයන් තුල පවා දැන් දැන් මේ උදාර ගති ගුණ දිය වෙමින් පැවතුනා. නමුත් පරණ තාලේ එතුමා සිතුවේ තමා දුරකතනයෙන් කතා නොකිරීමෙන් සමුදිට ලොකු මදි පුංචි කමක් කළා කියලයි. මගේ මැරිච්ච තාත්තා දැන ගත්තා නම් මා එක්ක හොඳටම අමනාප වේවි. ඔහු කනස්සල්ලෙන් හිතුවා.

( ලබන සතියට )