සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 57 කොටස

සමුදී එදා ඇඳුම් අඳින්න විශේෂ සැලකිල්ලක් දැක්වූවා. නාල ටවල් එක පිටින් කාමරේට පැමිණි ඇය ප්‍රවේශමෙන් විශාල කන්නාඩියෙන් තමන්ගේ සිරුර සහ මුහුණ පිරික්සුවා. තමන් කෙට්ටුයි, ලස්සනයි කියන සත්‍යය වගේම දැන් වයසට ගිහින් කියන දේත් ඇයට වැටහුනා. දෙනෙත් යට රැලි ලං වෙලා බලද්දී පේනවා. පියයුරු පහළට ඇවිත්. නිමුන්නු දරලා බඩේ ඉතුරු වුන රැලි තාමත් සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ වගේම කවදාවත් නැති නොවේවි. මේ සලකුණු වලට සමුදි හැමදාම ආදරේ කළා. තමා ජීවිතේට ලද ලොකුම ත්‍යාග දෙකේ සිහිවටන ලෙස ආදරෙන් ඒ දෙස බැලීම ඇගේ සිරිතක් වුනා.

“ නොදැනීම කාලේ ගෙවුනා. මටත් දැන් 46 ක් නේද ? ඇය කල්පනා කළා “

මීට අවුරුදු 10 කට පෙර තමා කවදාවත් හිතුවද මෙහෙම දවසක් ඒවි කියල. ඇය හිතාගෙන හිටියේ ව්‍යාපාර ලොකු කරගෙන විහස් සහ විමාශ ලොකු වුනාම තාරික එක්ක ලෝකේ වටේම ඇවිදින්න යනවා කියලයි. නමුත් අද ඇය මොකද කරන්නේ ? ආගන්තුක වෙනත් පිරිමියෙක් හමුවෙන බලාපොරොත්තුවෙන් ඇඳුම් අඳිනවා.

“ අචින්ති තම්පි භවතී – වින්ති තම්පි විනස්සති “ කුඩා කල ඉගෙන ගත් ගාථාව ඇගේ මතකයට එනවා. සිතු දේ නොම වේ – නොසිතු දෙය සිදු වේ. මමත් දැන් වයසට යනවා. තව කාලෙකින් මොනා වේවිද ? පුතාල තව අවුරුදු 5 කින් මගෙන් වෙන් වේවි. මම ලෙඩ වේවි. තනි වේවි. මොනා වුනත් කමක් නැහැ. මම හැමදාම වගේ සතුටින් ජීවිතේට මුහුණ දෙනවා. එයාල මාව රිද්දුවට මම එයාලට රිද්දුවේ නැහැ. මම මගේ ගමන හැමදාම ගියා. දෙනෙත ලාවට තෙත් වුනා වගේ ඇයට දැනුණා.

මම ගොඩක් දුක් වින්දා. මේ ටිකේ සතුටු නොවුනොත් මට සතුටු වෙන්න කාලයක් නැහැ. මහලු වයස එක්ක ලෙඩ දුක් ඕනෙම වෙලාවක එන්න පුළුවන්. ඇගේ මවට දියවැඩියාව තිබුනා. ජාන වලින් එන නිසා ඇය ගොඩක් පරිස්සම් වුනා. ලංකාවේ මිනිස්සුන්ගේ ආහාර වේල අධික කාර්බෝහයිඩ්රේට් ප්‍රමාණයකින් සමන්විතයි. ප්‍රෝටීන් වලින් හීනයි. වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් වෙන්න මේ ආහාර රටාව හේතු වෙන බව සමුදී දන සිටියා. බත් කන ප්‍රමාණය අඩු කරලා මස්, බිත්තර, මාළු, එළවලු සලාද වර්ග වගේ දේවල් ඒ නිසයි ඇය වැඩි වැඩියෙන් ආහාරයට එක් කර ගත්තේ. ඇගේ ශරීරය මහත් වෙන්න නම් ඉඩක් දුන්නෙම නැහැ. ඇගේ වයසේ අනික් අයට වඩා නිරෝගීකමෙන්, තරුනකමෙන් සහ ශක්තියෙන් වැඩි වුනේ දිනපතා ව්‍යායාම වල යෙදුන නිසයි.

සමුදී ඇඳුම් ඇඳගෙන මේකප් දාද්දි දොරට තට්ටු කරන සද්දේ ඇහුණා.

“ අම්මි මම එන්නද ? “ විහස් දොර ළඟ.

“ ඉන්න රත්තරන් මිනිත්තුවක් … “ කියූ සමුදී වහාම ඇඳිවත හොඳින් හදා ගත්තා. ඔවුන් කුඩා කාලේ සිට කවදාවත් ඇය දරුවන්ට පේන්න ඇඳුම් මාරු කළේ නැහැ. දරුවන්ට පේන්න ඇඳුම් ගලවද්දී ශරීරය පුද්ගලිකයි කියන අදහස දරුවන්ගෙන් දුරු වෙනවා. බොහෝ දරුවෝ කාමාතුරයන්ට ගොදුරු වෙන්නේ දෙමාපියෝ මේ වගේ නොසැලකිල්ලෙන් දරුවෝ හැදුවහම තමයි.

හිනා වෙලා විහස් සමුදිගේ කාමරේ සෝෆාවෙන් වාඩි වුනා. ඔහුට අම්මා එක්ක කතා කරන්න ඕනේ වෙලා තිබුනේ. ඔහු හිතුවේ ඔහු තමා අම්මිගේ භාරකාරයා කියල. 16 හැවිරිදි ඔහුගේ සිහින් නිර්භීත මුහුණ පියාගේ වගේ වුනාට තවමත් සම්පූර්ණයෙන් වෙනස් නොවුන කටහඬ ගැහැණු පිරිමි අතරමැද ලාමක බවක් පෙනුණා.

“ඔයාට කොහොමද මගේ පුතේ ?” සමුදී ඇහුවේ ඔහුගේ හිස පිරිමදිමින්. පාසල් ඇරිලා ඇවිත් නෑව නිසා දිග කොන්ඩේ තාම තෙතයි. ඔවුන් දෙන්නම උරිස්ස දක්වා කොණ්ඩය වවාගෙන සිටියේ. එය අමුතුවෙන් කඩවසම් බවක් ඔවුනගේ ළදරු මුහුණු වලට එක් කළා. ෆුට් බෝල් තරඟ වලට යද්දී ඔවුන් ඒ කොන්ඩ ගොතනවා. මේ නවමු කඩවසම් බව සහ විලාසිතා නිසා ඔවුන් දෙන්න මේ වෙද්දී ගැහැණු ළමයි අතරත් සෑහෙන්න ජනප්‍රිය වෙලා හිටියේ. එකම ඇඳුම් ඇඳගෙන එක වගේ ඇවිදින මේ කොල්ලෝ දෙන්නා කුඩා කාලේ සිට ගොඩක් අවධානය ලැබුවා. ඒ ඔවුන් දෙන්නා කාබන් කොපි දෙකක් වගේ එක සමාන නිසා. නමුත් සමුදිට සහ තාරිකට නම් මේ දෙන්නව වෙන් කරලා හඳුනාගන්න අමාරු නැහැ.

“ අම්මි ..මම හොඳින්.. ඔයා ඊයේ දැක්කේ නැති නිසා මම අප්සෙට් ගියා “ ඔහු කීවා..

සුසුමක් හෙළුව සමුදී “ ඔවු රත්තරන් ඊයේ දවස හරි දිග දවසක් . හරියට හීනයක් වගේ “ කියා විහස් ලඟින් වාඩි වුනා. ඔහු සමුදිට වඩා අඩියක් විතර උසයි. සිහින් අත් අම්මගේ උරිස්ස වටේට දාගෙන අම්ම තුරුල් කර ගත්තු ඔහු සමුදිගේ බෙල්ලේ උපන් ලප වලට කුඩා කාලේ වගේම හාද්දක් දුන්නා. ඉස්සර ඔවුන් දෙන්නා තරඟෙට සමුදිගේ දිග කළු කෙස් වැටිය ඉඹිනවා. නමුත් තාරික ගියාට පස්සේ පීඩනෙන් ඉද්දි සමුදී ඒ කෙස් වැටියට වෛර කරා. ඒ නිසා කොට වෙන්න කපා දැමුවා.

“ ඔයා කොහේ හරි යන්නද හදන්නේ අම්මි ? “

“ ඔවු පුතේ…. මම ටිකක් රෑ වේවි. ඔය දෙන්න කාල නිදා ගන්න. “ ඔහු හිතුවේ අම්මා ඔහුට යමක් කියාවි කියලා. ඒ නිසා සමුදිගේ මූණ දිහා එක එල්ලේම බලා සිටියා. සමුදී නොකියන තැන ඔහු කට අරින්න තීරණය කළා.

“ ඔයාට තියනවද අලුත් ආරංචියක් එහෙම මට කියන්න ? “ ඔහු එවර ඉංග්‍රීසි බසට මාරු වුනා. සාමාන්‍යයෙන් අපහසු දෙයක් කියද්දී ඔවුන් දෙන්නම ඉංග්‍රීසියෙන් කතා කිරීම සිරිතක්.

මද සිනා පෑව සමුදී “මෙයාල ඉතින් මගේම පුත්තුනේ . බල්ලන්ට වගේ ඉව තියනවා” කියා හිතෙන් හිතුවා. ඒ හිතුවිල්ල එක්ක සාවද්‍ය සිනාවක් ඇගේ මුවට නැගුනා. ඔරලෝසුව දෙස බලා වෙලා ඇති බව සැක හැර දැනගෙන ඇය නැවත ඔහු ලඟින් වාඩි වුනා.

“රත්තරන්…මම බිස්නස් කරද්දී ඔයාලගේ තාත්ති නිකන්ම මාව දාල ගියා. ඔය දෙන්න පොඩිනේ එතකොට. ඔය දෙන්නත් රැකගෙන මම තනියම හැමදේම කර ගත්තා පුතේ . “

“ මම ඒක දන්නවා අම්මි “ කියල විහස් කීවේ සමුදී දැන් දැන් හඬන්න පටන් ගනීවි කියන බයටයි.

“ ඉතින් මට හරි මහන්සියි පුතේ. මට තනියි. ඔය දෙන්න දැන් ලොකු නිසා මට බයක් නැහැ. මම කාවවත් ඇසුරු කරනවා වුනත් ඔය දෙන්නට කවදාවත් තියන තැන වෙනස් වෙන්නේ නැහැ. එකම දේ මම සතුටු වෙනවා. එකෙන් ඔය දෙන්නට කිසිම බලපෑමක් නැහැ. තේරුනාද ? අම්මි සතුටින් ඉන්නවා නම් ඔයාලගේ ජීවිතේ වුනත් ලේසි වේවි.”

ඇය හැදුවේ සංකීර්ණ කතාවක් විහස්ට තේරෙන විදිහට සරල කරන්න.

“ඔයා කරදරේක වැටෙයි කියල මට බයයි අම්මි “ ඔහු කඳුළු මෝදු වෙන දෙනෙතින් සමුදී දෙස බැලුවා. සමුදිත් ඔහුගේ අතක් අල්ල ගත්තා.

“ මගේ රත්තරන් ජීවිතේ ගැටළුවක් වෙන්න තිබෙනවා නම් වෙනවා. එහෙම කියල අපි රිස්ක් එකක් නොගෙන ඉන්න එක සුදුසු නැහැ නේද ? ජීවිතේට බයෙන් දෙයක් නොකර ඉන්න මිනිස්සු එක තැන පල් වෙනවා පුතේ. මොන පරාජය ලැබුනත් මම ඒක අත්දැකීමක් විදිහට ගන්නේ. …තාත්තියි මායි කවදාවත් වෙන් වෙන්න තුන් හිතකවත් තිබ්බේ නැහැ. ඒත් අපි වෙන් වුනා. පුතාට මතකනේ ඒ කාලේ ? “

විහස් බොඳ වුන අතීත මතක වෑයමින් මතක් කර ගන්න උත්සහ දැරුවා. සමුදී දැන් ඇතැම් වෙලාවට පුත්තු දෙන්නට බනිනවා. ඇය මෙහෙම අස්තානයේ කෝප වෙන්න පටන් ගත්තේ තාරික ගිය පසු නේද කියා විහස් කල්පනා කළා.

“ මම ඔයාට සදාකාලිකවම ආදරෙයි අම්මි “ කියා ඔහු කීවේ ගීතවත්ව forever කියන වචනෙට බර දෙමින්. සමුදිට ඇල්බට් කොනලි මතක් වුනා. විහස්ලාගේ ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරයා ඉතාම සාර්ථකව ඔවුන් දෙන්නට ඉංග්‍රීසි හසුරවන්න කියා දී ඇති බව සමුදිට වැටහුනා.

මොහොතක් ඔහුව බදාගෙන සිටි සමුදී. … “ රත්තරන් අම්මි දැන් ලැහැස්ති වෙන්න ඕනේ” කියා නැගිට්ටා. විහස් කාමරේට ගිහින් දොර වහගෙන ඇඳ උඩ වාඩි වෙලා ඉකි බින්දා. ඔහුට තේරුනේ නැහැ ඔහු මොන දේකට කනගාටු වෙනවද කියල. ඔහුගේ හිතේ බයක් තිබුණා. ඒ අතරේ පන්තියේ යාළුවො ඔහුට නම් කියා විහිලු කරන අයානා මතක් වුනා. අයානත් ටිකක් අම්මි වගේ. ඔහු හිතුවා. හවස ටෙනිස් ගහන්න යන එක නොකර මල්ලි එක්ක ඉන්නවා කියා අවසානයේ ඔහු තීරණය කළා.


සැහැල්ලු කුඩා ගවොමක් ඇඳගත් සමුදී ගෝල ෆේස් හෝටලයේ ලොබියේ වාඩි වෙලා සිටියේ. ඇල්බට් කොනලි එතනට ආවේ විනාඩි දෙක තුනකට පස්සේ. ඇගෙන් සමාව ඉල්ලලා ඔහු ඇහුවේ හැන්දෑව ගෙවන්න කැමති තැනක් තිබේද කියලයි.

“ ඔබේ කාමරයට යමුද “ සමුදී මුදු හඩින් ඇසුවා.

“ අම්මෝ …අද බැහැ…. මම වයසක මිනිහෙක්……. “ කියමින් මහා හඬින් ඔහු සිනා සුනා. ඔහුගේ විහිලුවට සමුදී බිම බලා ගත්තා. ඇගේ ලඟින් වාඩි වෙලා ඔහු ඇයට හැන්දෑවේ සැලසුම විස්තර කළා.

“ ඔයා සතුටු නම් අපි එලියට යමු. නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට. ඩිනර් අරගෙන මම ඔයාව බස්සවන්නම්” ඔහු කීවා.

ඔවුන් දෙදෙනා කොකෝ වැරන්ඩා වෙත ගිහින් කෝපි බොන අතරේ පැය තුනක් විතර කතා බහ කළා. ඔහු හෙට උදේ 10 ට ප්ලේන් එකට නගිනවා. ඔහු ඔහුගේ ජීවිතේ ගැන ඇයට කීවා. තරුණයෙක් වගේ දිනපතා වැඩෙහි යෙදෙන ඔහු පොත් ලිවීමෙත් යෙදුනා. විශ්ව විද්‍යාල ගණනාවක ඉගැන්නුවා. Fortune 500 සමාගම් කීපෙක උපදේශක ලෙස කටයුතු කළා. මේ දේශනය වෙනුවෙන් ලැබුන ආරාධනාව පිළිගන්න එක හේතුවක් වුනෙත් නැවත සමුදී දැකීමේ වුවමනාව බව ඔහු ඇයට කීවා.

“ ඒ කියන්නේ ඔබ එදාම මට ආදරය කලාද ?”

ඔහුගේ නළලේ රැලි මතු වුනා “ ආදරය නෙවේ..මා ඔබට ගොඩක් කැමතියි. මොකද්දෝ දේකට පහුගිය අවුරුද්දේ ඔබ මාව හම්බ වුනාම, ඔබේ ව්‍යාපාරය මිනිස්සුන්ගේ දියුණුව වෙනුවෙන් යොදවන හැටි ඇහුවහම ඔබ ගැන ගැඹුරු ගෞරවයක් මට ඇති වුනා. “ ඔහු කීවී සත්‍යවාදීව. බොරු තෙපලන්න තරම් හෝ ආදරේ ගැන දිවුරුම් දෙන්න තරම් ලාබාල හෝ බොළඳ වයසක ඔවුන් දෙදෙනා සිටියේ නැහැ.

ඔහු සහ ඇය අතීතය, වර්තමානය, දෙදෙනාගේ බලාපොරොත්තු ගැන කතා කළා. ඔහුට ඕනේ වුනේ මියෙන තුරුම තමන්ගේ දැනුම බෙදා දෙන්න. ඒ එක්කම අප්‍රිකාව හෝ ආසියාව වගේ සෞක්‍ය පහසුකම් අඩු රටකට බෙරිල් කොනලි මැතිනිය සිහිවීම වෙනුවෙන් පියයුරු පිළිකා මර්ධන වැඩසටහනක් ආරම්භ කරන්න ඕනේ වුනා. පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමෙන් නිට්ටාවට සුව කල හැකියි. බොහෝ කාන්තාවෝ Mammogram පරීක්ෂණයට යනවා ගොඩක් අඩුයි. ඉතින් පිළිකාව හඳුනා ගනිද්දී පරක්කු වැඩියි.

සමුදිට ඕනේ වුනේ දරුවෝ දෙන්න හොඳින් හදා ගන්න සහ ව්‍යාපාරය තව දියුණු කර ගන්නයි. ඒ එක්කම ආදරය කරන කෙනෙක් ජීවිතේට සහකාරයෙක් ලෙස සොයා ගැනීම ඇයට ඕනේ වුනා. තාත්තෙක් එක්ක වගේ බොහොම ලෙන්ගතුව ඇය අගේ පාළුව පීඩනය ඔහුට කීවා. ඔහු සාවධානව අසා සිටියා.

“ මේ රටේ මගේ තත්වේ එක්ක පිරිමියෙක් හොයා ගන්න එක අමාරු නැහැ. හැබැයි ගොඩ දෙනෙක් මර ආදරේට නෙවේ එන්නේ. මගේ මුදල් බලාගෙන. අන්තිමට මගේ දරුවොත් ලොකු අමාරුවක වට්ටවන්න පුළුවන්. අන්න ඒ නිසයි මම මෙතරම් කාලයක් තනිව හිටියේ “ ඇය කීවා.

ඔහු කාරුණිකව ඇය තුරුල් කරගෙන හිස අතගෑවේ අවංක කණගාටුවෙන්. නිදහස් රටක ජීවත් වුන එතුමා බේරිල් කොනලි මැතිනිය මල පසු වේදනාවෙන් සිටියේ. ඔහුට ඒ තැනට වෙන කෙනෙක් ගේන්න බැරි වුනා. නමුත් ඉඳහිට ඔහු කාන්තාවන් කීප දෙනෙක් එක්ක හදිස්සි සම්බන්ධකම් තබා ගෙන තිබුනා. එකක් වත් ආදරය දක්වා ගියේ නැහැ. ඒකට කාලේ වැඩි බව ඔහු සිතුවා.

ඔහුට බඩු ලැහැස්ති කර ගන්න ඕනේ නිසා ඔහු කීවා ඇයව ගෙදර ඇරලා එන්නම් කියා. ඔවුන් දෙදෙනා රාත්‍රී අහාරය එකට ගත්තා.

“ මම නැවත එන්නම් . අපි කොහේ හරි විනෝද ගමනක් යමු “ ඔහු ඈව සිපින අතරේ කීවා.

“ මම ගොඩක් කාලෙකින් ආදරේ වින්දේ…ඔබතුමාගේ කාරුණික කමට ගොඩක් ස්තුතියි. “ ඇය දෙනෙත් වල කඳුළු මෝදු වෙද්දී ඔහුව බදා ගත්තා. මොනා කරන්නද ? දුක කාට කියන්නද ? ඔහුට යන්න එපා කියන්නද ?

ඔහු පුදුම උනා. ආසියාතික ගැහැණු මෙතරම් අහිංසක යයි ඔහු හිතුවේ නැහැ. ඇගේ අවංක කම. තමන් වෙත පෙන්නුව කෘතඥතාවය දැක ඔහු පුදුම වුනා. පිරිමියෙක් කියන්නේ මේ රටේ හොයාගන්න බැරි මෙච්චර වටිනා සම්පතක්ද කියා ඔහු කල්පනා කළා.

හෝටලේට එන අතරේ ඔහුට කීප වරක්ම සමුදිගේ ලස්සන, ආදරණීය මදහස … අවංක කම හැමදේම මතක් වුනා. එත් හෝටලයට බැස්සට පස්සේ ඔහු ඊමේල් බැලීම් වල සහ අනෙකුත් පැකින් වල යෙදුනා.

ගෙදර ගිය සමුදී ඇඳට වෙලා හාන්සි වෙලා ඉඳල බොහෝ වෙලාවකින් නින්දට වැටුනා.

( ලබන සතියට )