සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 56 කොටස

“මම ..මේ කොහෙද ඉන්නේ ?” සමුදිගේ ඔලුවට නැගුන පලවෙනි ප්‍රශ්නය එය වුනා. සුදු පාට තිර රෙද්දෙන් ඇතුලට එන මන්දාලෝකය නිසා ඇය මොහොතකට අනික් පැත්තට හැරුනා. ආයෙත් ඇස් දෙක පියාගෙන ඇය මතක් කරා. ඉකුත් දා රාත්‍රිය මතක් වුනා. තමන් වින්ද සතුට, සහනය දැනුණා. ඇය සැහැල්ලු දෙපා බිමින් තියල ඇඳේ වාඩි වුනා. ඇගේ සද්දේ ඇහුන ඇල්බට් කොනලි මහතා ඉක්මනින් දුවගෙන ආවා ඇය වෙතට.

“ ඕ… ඩාලින් නැගිට්ටද ? “ සමුදී ඔහුට සිනා සුනා. ඔහු ආව ගමන් ඇයට හාද්දක් දීල සුබ උදෑසනක් කියල පැතුවා. සමුදිගේ ඇඳුම් ඔක්කොම ඔහු පිළිවෙලට අසුරලා තිබුනේ ඒ වෙද්දීත් ඒ නිසා ඇය ඇඳගන්න යමක් සොයමින් වටපිට බැලුවා. ඇයට හරිම අමුතුයි.

තාරික විශ්ව විද්‍යාලයේ සිට ආදරෙන් ඇසුරු කළ ඇය ඊට පෙර පාසල් කාලයේ පුංචි ආදර සම්බන්ධකම් දෙකක පැටලිලා තිබුනා. නමුත් ඒ ලියුම් දෙන ආදරේට වගේම, තාරික එක්ක වුන විවාහය පදනම් කර ගත් ආදරේට වඩා වෙනස් අත්දැකීමක් නේද මේ කියල ඇය කල්පනා කළා. ඇල්බට් කොනලි මහතා සහ සමුදී එකිනෙකා හමු වුනේ ජීවිතේ මැද වයසේදී. ඔවුන් දෙන්න ඊට පෙර ආදරේ ප්‍රකශ කිරීම් තබා කතා බහක් වත් කරලා තිබුනේ නැහැ. ආදරයක් ගැන මාත්‍රයක කතාවක් නැතුව ආගන්තුකයෝ දෙන්නෙක් එක කාමරයක රැය ගත කිරීම පුදුමයි නේද කියා සමුදී කල්පනා කළා.

මටත් ජීවිතයක් තියෙන්න ඕනේ …ඇය සතුටින් කල්පනා කළා. කවුරු වැරදි හිතන්නද ? කවුරු දොස් කියන්නද ?

ඇල්බට් මේ වෙලේ ඉක්මනින් කාමරේ ජෝග්ගුව ගහල කෝපි දෙයක් හැදුවා. වහාම ඒ කෝපි එක සමුදිට අරගෙන ආව ඔහු ඇයට පිළිගන්වලා ඇගේ උරහිසක් සිප ගත්තා. සමුදී තාම හිටියේ බෙඩ් ශීට් එකෙන් ලය දක්වා වසාගෙනයි.

තාරික ගිය දවසේ ඉඳල වැඩිමල් පුතා වුන විහස් හැම විටම තාරිකගේ තැන අරගෙන වගේ සමුදී ගැන හොයා බැලුවා. ඊයේ රාත්‍රියේ ඇය ගෙදර නොපැමිණි විට කලබල වුන විහස් සමුදිට දුරකතනයෙන් කතා කළා. ඇය සතුටින් යාලුවෙක් එක්ක ඉන්න බව අහපු පුතා “ Mama love…good for you “ කියල ෆෝන් එක තිබ්බේ හිනා වෙමින්. උදේ ඔවුන් පාසල් යන නිසා කෝපි එක පැත්තකින් තියල සමුදී විහස්ට කතා කළා.

විහස් කියන්නේ හැමදේම තේරෙන දරුවෙක්. ඔහු අම්මට බෙහෙවින් ආදරේ කළා.

“ රත්තරන් සුමනා ඇන්ටි කෑම හදල නේද ? “

“ඔවු අම්මි….. අපි දැන් යනවා. හවස හම්බ වෙමු එහෙනම්. “ කියා ඔහු ෆෝන් එක තිබ්බේ යමක් ඉව වැටීමෙන්. ඔහු නිරතුරුවම සමුදිට කතා කලේ නැලවිල්ලෙන් … ඔහුගේ ලාමක හිතට තේරුනා අම්ම සනසන්න කවුරුත් නැහැ කියල. සමුදී වුනත් කුඩා කල සිට ඔවුන්ට කතා කළේ “ විහස් මගේ උක්කුන්, විමාශ මගේ රත්තරන්, විහස් මගේ මැණික් ගල, අම්මිගේ වස්තුව, රත්තරන් පුතේ, මගේ පුතේ “ වගේ ආදර වචන වලින්. විහස් ඒ ආකාරයටම සමුදිට පහුගිය වසර තුන තුල කතා කරන්න පටන් ගත්තා. “ මගේ අම්මි රත්තරන්, මගේ අම්මි වස්තුව, මගේ අම්මි love “ මේ කුඩා දරුවා ඇත්තටම තමන්ගේ අම්මට හදවත පතුලෙන්ම ආදරය කළා. තාත්තා නැතිව තනි වුන ඇයට අනුකම්පා කළා. ඒ නිසා අම්මිගේ වෙනසක් කට හඬේ තිබ්බ බව වත් අම්මි ගොඩක් සතුටින් සිටි බව තමාට තේරුණ බව වත් ඔහු මල්ලිට කියන්න ගියේ නැහැ.

කෝල් එක ඉවර වෙලා සමුදී ඇල්බට් කොනලි දෙස බැලුවේ සමාව යදින්න වගේ.

“ මගේ පුතාලට කතා කරා “ සමුදී කීවේ ඔහුට සිංහල තේරෙන්නේ නැති නිසා.

ඔහු හිනා වෙලා කෝපි එක නැවත ඇගේ අතේ තියල. පුතාල ගැන ඇහුවේ සැදී පැහැදී. ඔවුන් දෙන්නගේ ෆොටෝ බලපු ඔහු ඔවුන් දෙන්නා ලස්සන බව කියමින් වර්ණනා කළා.

මියගිය ඔහුගේ භාර්යාව බෙරිල් කොනලි මැතිනිය දක්ෂ ළමා මනෝ වෛද්‍යවරියක් ඇමරිකාවේ. දහස් ගණන් දරුවන් වෙනුවෙන් කැප උන උදාර කාන්තාවක්. වයස 52 දී පියයුරු පිළිකාවෙන් බලවත් ලෙස ගිලන් වෙලා මියයන්න පෙර ඔවුන් දෙන්නට හිටියේ එකම දරුවෙක් විතරයි. ඇය දැන් සත්ව විද්‍යාඥ වරියක් ලෙස අප්‍රිකාවේ සේවය කරනවා. ඇගේ පෙම්වතාත් ඇය එක්ක අප්‍රිකාවේ එකට ජීවත් වුනේ. පිට රටවල දරුවෝ විශ්ව විද්‍යාලය ඉවර වෙද්දීම දෙමාපියන්ගේ ගෙදරින් වෙන් වෙලා යනවා. ඒ බොහෝ විට පෙම්වතා හෝ පෙම්වතිය එක්ක එකම වහලක් යටට. දෙමාපියෝ දරුවෝ එතන ඉඳල නිදහසේ ඉන්නේ. එකිනෙකාගේ පුද්ගලික ජීවිත ගැන කවුරුත් කරදර වෙන්නේ නැහැ. ඇල්බට් කොනලි මැතිතුමා එකම දියණිය ගැන පුදුම ආදරයක් තිබ්බ පියෙක්. ඔහුට ඕනේ වුනා ඔහුගේ දුව එක්කත් කතා කරන්න. ඔවුන් දෙන්න වීඩියෝ කෝල් එකක් ගද්දි සමුදී හිතුවේ තමා ගැන දැන ගත්තොත් දුව ගොඩක් තරහා වේවි කියලයි.

හදිස්සියේ දුව කෑ ගහන්න පටන් ගත්තා….” ඩඩා ඔයා කෙල්ලෙක් එක්ක නේද ඉන්නේ?” කියල…සමුදී ගල් ගැහෙද්දි ඔහු හිනා වෙමින් ..” ඔයාට බලන්න ඕනෙද ? “ කියා ඇහුවේ ඒ විහිලු රිද්මයෙන්මයි.

සමුදී ඈත් වෙන්නත් පෙරම ඔහු සමුදිගේ නිරුවත් උරහිසෙන් ඇදලා තමන්ගේ වෙතට ගත්තා. එහා පැත්තේ වීඩියෝ කෝල් එකේ ඉන්න දුවට පේන්න…. දුව සමුදී දැකල හයියෙන් කෑ ගහල ඇගේ පෙම්වතා ගෙන්නුවා..ඔවුන් දෙන්නම එහෙ සිට සිනා වෙමින් බලනවා. “ මගේ දුවට හායි කියන්න “ කියල කොනලි මැතිතුමා ඇගේ කනට කර කීවා. බයෙන් තබ්බිරි වෙලා සිටි සමුදී අපහසුවෙන් හිනා වෙමින් ෆෝන් එකේ තිරයට හායි කීවේ තමාගේ නිරුවත රෙද්දෙන් වසන්න උත්සහ කරමින්.

“ Have fun dada …” කියල දුව ෆෝන් එක තිබ්බහම සමුදී සැනසුම් සුසුමක් හෙලුවා.

මේ දරුවෝ කොයි තරම් වෙනස්ද ඇය කල්පනා කළා. මහලු වයසේ ඉන්න අම්ම මැරිච්චි තාත්තා සතුටින් සිටීම ඇයට මොන තරම් ආශ්වාදයක් වුනාද ? නමුත් ලංකාවේ එක ප්‍රසිද්ධ ගායකයෙක් බිරිඳ මැරිලා වසර 13 කින් විවාහයක් කර ගත්තා කියල ඔහුගේ දරුවෝ ඔහුට කරපු හිරිහැර මතක් කල සමුදී අපේ රටවල ඇත්තටම ආදරය, කරුණාව වගේ උසස් ගුණ ධර්ම නැහැ නේද කියා සංවේගයට පත් වුනා. අපේ රටවල ගොඩක් දරුවෝ දෙමාපියන්ගේ අන්තිම සතෙත් හූරගෙන මහලු කාලේ මුණුබුරෝ බලවන්න දාද්දි පිට රටවල දෙමාපියෝ දරුවොන්ගේ වගකීම් වලින් නිදහස් වෙලා ජීවිතේ විඳින්න පටන් ගන්නේ සැන්දෑ සමයේ. ඒ අතින් ඒ මිනිස්සු අපිට වඩා කොතරම් වාසනාවන්තද ?

කාලෙකට පසුව හමු වුන ආදරේ ගැන සමුදී සතුටු වුනා. ඔහු නැවත තමාට හමු නොවේවි. ඒත් මේ මොහොත වැදගත් නොවේද ? ඇය ගොඩක් සතුටින් ඒ ලැබුන ප්‍රේමය මේ වෙලේ අත් වින්දා. මේ වගේ මනහර උදෑසනක ආදරය කරන්න මිනිහෙක් ළඟ සිටීම කොතරම් වාසනාවක්ද ? ඇය නැවත වරක් ඔහුගේ තුරුල්ලේ ගුලි වුණා. වයසින් වැඩි වුනත් ඉතාම ශක්තිමත් කඩවසම් පුරුෂයෙක් වූ එතුමා සමුදිව ගුලි කර ගත්තේ පුංචි බෝනික්කෙක් වගේ. ඔවුන් දෙන්නා උදේ ආහාරය ගන්න එලියට ගියේ නැහැ. එදා සවස ඔහුට ආයෝජන මණ්ඩලයේ දේශනයක් තිබුණා. කාමරයටම ගෙන්නාගෙන ඔවුන් උදේ ආහාරය ගත්තේ ගෝල් ෆේස් හෝටලයේ අරලිය මල් වල සුවඳින් ආකූල වුන කුඩා බැල්කනියේ ඉඳලයි.

ශ්‍රී ලංකාවේ පිරිමි වෙනුවෙන් ගැහැණු හැමදේම කලත් සුද්දෙක් වුන ඔහු හුරු වෙලා හිටියේ කාන්තාවන් වෙනුවෙන් තමා මහත්මයෙක් ලෙස හැසිරෙන්නයි. හැම කුඩා දේම ඔහු සමුදී වෙනුවෙන් කළා. අතට ටිෂු එක දීම, කාමරය තුල ඇවිදින සෙරප්පු දෙක ඇගේ කකුලට දැමීම, ඇඟ සෝදවා පිස දැමීම මේ දේවල් කොතරම් අලුත් වුනාද කීවොත් සමුදී බය වුනා. එදා දේශනයෙන් පස්සේ ඔවුන් දෙන්නා නැවත හමු වෙන්න කතිකා කරගෙන වෙන් වෙද්දී දවල් 11 ට විතර ඇති. වාහනය දක්වා පැමිණි ඔහු ඇයගේ වාහනයේ දොර පවා ඇරියා. මග එන අතර සමුදී කීප විටක් සිනාසෙනවා රියදුරා දැක්කා. ආසියාතික පිරිමින් සහ ඇමරිකන් ජාතිකයන් කොපමණ වෙනස්ද සිතමින් සමුදී ඉකුත් දවසේ සිදුවුණ දේවල් ආදරෙන් මෙනෙහි කළා.

ඔහු ඉක්මනින් යාවි. ආයෙත් කවදාවත් හමු නොවේවි. මින් පස්සේ ව්‍යාපාරය වෙනුවෙන් උදවු ඉල්ලලා ඔහුට කතා නොකළ යුතු බව ඇය තීරණය කළා. තමන් අතර වුන දේ ව්‍යාපාර වලට වුනා කියා ඔහු වැරදිවට හිතුවොත්. ඒ සුන්දර මතකය කොයිම දේකින්වත් කිළුටු නොවී මගේ මරණය දක්වාම පැමිණිය යුතු යයි සමුදී විස්වාස කළා. ඒ වගේම ඇයට දැනුනේ දුකක්.

ගෙදර ගිය විගසම සමුදී ඇඟ හෝදලා කෝල් එකක් දීල ව්‍යාපාරයේ තොරතුරු අසා කිසිම අවුලක් නොවුන බව දැන සැනසුම් සුසුමක් හෙලුවා. තව පැය දෙකකින් විමාශ සහ විහස් ඒවි. ඔවුන් සමග අද දිවා ආහාරය ගන්න පුළුවන්. සමුදී කිචන් එකට ගිහින් විශේෂ කෑම පිළියෙළ කළා. මේ ආහාර ඉවුවේ තාරික ගියාට පස්සේ පලවෙනි වතාවට. සතුටින් ඇය ඒ ආහාර මේසෙට යවන්න සුමනට කීවා. ඉන් පස්සේ යෝශිට කෝල් එකක් දීල බැලුවා. යෝෂි මේ දවස් වල දොම්පේ ෆැක්ටරියේ වැඩ. ඇය ඉතාම සැර පරුෂ ලෙසයි මිනිසුන් පාලනය කළේ. සමුදී කොතරම් එපා කීවත් ඇගේ ගතිගුණ වෙනස් වුනේ නැහැ. අන්තිමේ සමුදී කිවීම නවතා දැමුවා.

බෙරිල් කොනලි මැතිනිය කොතරම් වාසනාවන්ත ගැහැණියක්ද සමුදී මොහොතකට සිතුවා. මෙවැනි ආදරණීය සැමියෙක් ලබන්න. ඒ වගේම පුරා වසර 4 ක් ඇගේ යහන ළඟ වැටී සාත්තු කල ඔහු බිරිඳගේ මරණය ගැන බොහොම සැහැල්ලුවෙන් කතා කළේ. තමාගේ යුතුකම් නියම ලෙස ඉටුකළ අවංක මිනිහෙක්ගේ හදවත කොතරම් නිරවුල්ද ?

තාරික එදා ටීනව රෝහලෙන් ගෙන ගියා. හෙදියෝ දෙන්නෙක් මාරුවෙන් මාරුවට ඇගේ වැඩ කරන අතරේ දියණිය බලා ගත්තා. තාරිකගේ රාජකාරි බොහෝ දුරට මගහැරිලා තිබ්බේ. ඉස්සර ගොඩක් දක්ෂ ලෙස වැඩ කල ඔහු දැන් වැඩ පැහැර හරින එක කළමනාකාරීත්වයට ලොකු ගැටළුවක් වුනා. ඒ ගැන අධ්‍යක්ෂක මණ්ඩලේ කතා පවා ගියා.

“ අර රටක් වටිනා ගෑණි දාල ආව නිසා මිනිහට ගිය කලක් “ කියා පියන්ගේ සිට තාරිකට හිනා වුනා හැමෝම. ගෙදර වැඩ, දරුවාගේ වැඩ එක්කම යාලුවෙක් හම්බ වෙන්න වත් නිදහසක් නැති තාරික දැන් ඉන්නෙත් ගොඩක් පීඩනේකින්. නමුත් ඔහු කොහොම හරි ඒ ජීවිතේ ගෙවා ගත්තා. කටට පන ආව ගමන් ටීනා සමුදිට බනින්න පටන් ගත්තා.

“ අරකි මගේ දරුවට මොනවා කරාද දන්නේ නැහැ. ඔයා හරිම නරකයි තාරික අයියේ ..අයි මගේ දුව ඒකි ගාවට යැවුවේ? ..දුවව පොලේ වත් ගැහුවා නම් …කාට කියන්නද ? ඔය නපුරු මූසල ගෑනි. අනික් එක කිසිම පිරිසිඳු කමක් නැතුව ඇති. ඇයි සයන්ස් දන්නේ නෑනේ …. “

රෝගීව සිටි ඇයට වචනයක් වත් කියන්න තාරික හිතුවේ නැහැ.

“ දැන් එහෙම මුකුත් වුනේ නැහැනේ පැටියෝ “ ඔහු ටීනව සැනසුවා.

“ බලන්න අපි දෙන්නා දැන් අවුරුදු තුනක් සතුටින් පවුලක් ගෙනියනවා. කෝ සමුදිට තාම කවුරුත් සෙට් කර ගන්න බැරි වුනා. ඔයා ඔය මල කැත ගෑනිව තියාගෙන හිටියේ ඇස් දෙක නොපෙනීද ? “

තාරික ඒ කතාවට මද සිනාවක් නැගුවා. සතුට කෙසේ වෙතත් පවුලක් නම් ගෙන යනවා. ඔහු තාමටම කියා ගත්තා.

ඒ වගේම තාරික හිතුවේ ටීනා රෝහලෙන් ඇවිත් සමුදිට ස්තුති කරාවි කියලයි. ඒ වගේ ශීලාචාර ගති ගුන ඇයට පවුල් පසුබිමෙන්ම ලැබිල තිබෙනේ නැහැ. කුඩා කල ගමක ඉදි ආප්ප විකුණන පවුලක හැදී වැඩුන ටීනා පසුව වෛද්‍යවරියක් වීම සමග ගොඩක් අහංකාර වුනා. නමුත් ඇගේ පසුබිමින් පැමිණි නරක ගති හදාගන්න තරම් නිරහංකාර වුනේ නැහැ. ඒ නිසා මේ ලෝකේ අනික් හැමකෙනාම පහත් බවත් තමා අසීමිතව උසස්. උගත්, ලස්සන ගැහැනියක් බවත් විශ්වාස කළා.

( ලබන සතියට )