සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 55 කොටස

තාරික ලොකු දුකකින් ගෙදරින් පිට වුනේ. ඔහු කල්පනා කළා සමුදී එක්ක ජීවත් වුනා නම් තමන්ගේ ජීවිතේ කොයි වගේ වෙන්න තිබුනද කියල. ඔහුගේ යටි සිතේ ඇති වුන ඉරිසියාව පිට වුනේ වෙනත් සමබන්ධයක් පටන් ගැනීමෙන්. සමුදී ජීවිතේ ටිකෙන් ටික ඉහලට යද්දී ඇය හඬමින් තාරිකගෙන් ඉල්ලුවා ඇගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියල. ඒ ඇගේ තිබුන දුර දක්නා බව නිසා කියල තාරිකට දැන් වැටහෙනවා. නමුත් එදා ඔහු කෙල පිඬක් වගේ ඇගේ යෝජනාව උපහාසෙන් බැහැර කළා. තමන් මොනවා කලත් සමුදී ඇගේ ගමන ගිය බව තාරික දන්නවා. යුග ජීවිතේ ආදර මිහිර සොයා ගිය තමා දැන් දුවණිය එක්ක විශාල බරක් ඇදගෙන යන බව ඔහු පසක් කළා. ටීනා එක්ක ගෙවන ජීවිතේ ආදරණීයයි. නමුත් ඔහු නිතරම පීඩනෙන් හිටියේ. ඒ ඇය කොයි මොහොතේ තමාට බනීද කියල. ඒ වගේම ඇයට ගේ දොර කටයුතු දක්ෂ ලෙස සංවිධනය කරගන්න නොහැකියි.

ලෙඩ ඇඳේ වැටිලා ඉන්න ටීනා ගැනත් තාරිකට ඇති වුනේ අනුකම්පාවක්. කොහොම වුනත් ඇය තමා වගේ විවාහක භාර්යාව නෙවෙයිද කියා ඔහු හිතුවා. සමුදී එක්ක හැම වෙලේම හැමදේම බලාපොරොත්තු වුනත් ටීනගේ වැරදි කිසිවක් නොසලකා ඔහු ඇයට ආදරය කළා.

“සමුදිගේ වැරදි මට වැඩියෙන් පේන්න ඇත්තේ ඇත්තටම එයා කිසිම වරදක් නොකරපු ගෑනියෙක් නිසා වෙන්න ඇති . ඇත්තටම එයා කළ වරද මට ජීවිතේ අමාරුව නොපෙන්වපු එකයි. සුදු රෙද්දේ තිතක් වැටුනත් පේනවා. මටත් වුනේ ඒක තමයි.”

ටීනගේ හැම වරදක්ම ඉවසන එක ගැන ඔහු පුදුම වුනා. ටීනා අද හවස සාමන්‍ය කාමරේකට මාරු කරයි කියල ඔහු බලාපොරොත්තු වුනා. ගෙදර ගිහින් ඔහු පොඩි නින්දක් දමන්න තීරණය කළා.

පාසල ඇරිලා ආව විහස් සහ විමාශ රායාව හවස වෙනකන් බලාගත්තා. ඔවුන් තුන් දෙනාගේ කෙලි සෙල්ලම් වලට ඇහැ ගහගෙන සමුදිත් ඊ මේල් ඔක්කොම බලල උත්තර යවල ඉවර කරා. පසුගිය වර ඇමරිකාවේ ගිය විට හමු වුන මහාචාර්ය ඇල්බට් කොන්ලි මැතිතුමා ලංකාවට ඇවිත් ආයෝජන මණ්ඩලයේ දේශනයක් හෙට තිබෙන බව දැක්කත් සමුදිට යන්න බැහැ කියල හිතුනා. රායා එක්ක විනෝදවීම සමුදිගේ පැතුම වුනා.

මහාචාර්ය තුමා පසුගිය වසරේදී ඇය හමු වුනේ ඇමරිකාවේ සිලිකන් නිම්නයේදී. එතුමා විශ්ව විද්‍යාල ගණනාවක උගන්වන කෙනෙක් වගේම සිලිකන් නිම්නයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඔහු සමුදිට හමු වුනේ අහම්බෙන්. එතුමා ව්‍යාපාරය පුළුල් කරන්න සමුදිට උදවු කරන්න පෙළඹුනා. නමුත් ව්‍යාපාරයෙන් ලබන ලාභයට වඩා ඇයට මේ මොහොතේ වැදගත් වුනේ කුඩා රායා. උයන් පල්ලා ගේට්ටුව අරිද්දි සමුදී කලබල වුනා. එක් වරම කුසුමගේ වාහනේ වත්තට ඇතුල් වෙද්දී ඇය සැනසුම් සුසුමක් හෙලුවා.

කෝපයෙන් පිපිරෙමින් සාරි පොට ඉනේ ගහගෙන වාහනෙන් බැස්ස කුසුමා රියදුරාට උස් හඬින් බැන වදින සද්දය සමුදිට ඇසුනා. ඇය තරහා වෙලා ඇත්තේ මේ වෙලාවේ ට්‍රැෆික් එක නිසාද ? නැත්නම් රියදුරා එක්කද ? ව්‍යාපාරයේ කලබලයක් වත්ද කියා සමුදිට බය හිතුනා.

සමුදි ඉන්න තැන අහගෙන ඇය කෙලින්ම ආවේ උද්‍යානයටයි.

“ අන්න අරහේ අර මනුස්සයා ඇමරිකාවෙන් ඇවිත්. කොයි තරම් අමාරුවෙන්ද ගිය පාර හම්බ වුනේ. ඒ මොනවත් නැහැ…මම හිතුවා හරි. දැන් මේ අවලමේ ගිය මිනිහගේ දරුවත් බදාගෙන මෙතනට වෙලා. මම එපාය තනියම අර මල යක්කුන්ගේ කරදර ඔක්කොම ගන්න. “

ලෑජ්ජාවෙන් සමුදී බිම බලා ගත්තා.

“ ඔවු හෙට ඒ මිනිහා ගෑණිව ගෙනාවොත් ගෑනිගේ මල මුත්‍රා අදින්නත් ලැහැස්ති වුනොත් හොඳා. මෙහෙමත් මල සමයන්. “

මේ අතරේ කුසුමා හයියෙන් හිනා වෙන්නේ විහිලුවකට කියල හිතපු කුඩා රායා එහා කොනේ සිට සමුදී වෙතට එන අතරේ පුංචි අත් දෙකෙන් අත්පුඩි ගහ ගහ හිනා වුනා. හරියට ලොකු විහිළුවක් වගේ. කුසුමගේ හෑන්ඩ් ලූම් සාරියත් ඇගේ අවධනය දිනාගෙන වගේ. පැද්දී පැද්දී ඇවිත් ඇය එක වරම කුසුමාගේ සාරි පොටේ මූණ හංගා ගත්තා. ආයෙත් සාරි පොටෙන් මූණ මෑත් කරලා සමුදී දිහා බැලුවා. සමුදිත් ඇයට ප්‍රතිචාර ලෙස “ ” දැක්කා “ කියද්දී දැරියට එය හැංගිමුත්තන් සෙල්ලමක් වුනා.

මේ සේරම කෝලම් දැක්ක කුසුමා දැරිය වඩාගෙන මුහුණ සිප ගත්තා. නමුත් ඇය වහාම කුසුමාගේ උකුලෙන් බැහැලා සමුදී වෙතට ගියා. කුසුමත් තරහා අමතක කර සමාදානෙන් ව්‍යාපාරයේ වැඩ ගැන කතා කළා. ආයෝජන මණ්ඩලයට නොයාම ගැන කුසුමා හිටියේ හොඳටම අමනාපෙන්. මේ අතර කුඩා රායා සමුදිගේ කොන්ඩේ සහ බෙල්ල විටින් විට කෙල නාවමින් සිප ගන්න පටන් ගත්තා.

“ මට එන්න වෙන්නේ නැහැ. මේ පොඩි එකා ගෙනියනකම් කුසුමා. ඒ දේ ගියදෙන්. ලැබෙන්න තියන කන්ට්‍රැක්ට් එකක් නම් ඒවි. නැත්නම් කමක් නැහැ. පොඩි එකෙක් බලන එක වගකීමක්. අනික මොනා වුනත් මේ වෙලේ තාරික තනි වෙලා. අපිත් නැත්නම් එයාට කවුද ඉන්නේ ? “ ඇය කීවේ ඇත්තටම.

හවස තාරික නැවත රෝහලට යද්දී ටීනාට සිහිය ඇවිත්. තාරිකට ලොකු සතුටක් දැනුණා. ඇයට කොයි තරම් වෛර කරත් තමා ඇයට ආදරේ බව ඔහු පසක් කළා. අයගේ හිස අතගාමින් බොහෝ වෙලාවක් ඔහු ඇඳ ලඟට වෙලා හිටියා. ඇයව කෙළවරක් නැතුව සිප ගත්තා. ටීනා කොහොමත් සරීරෙන් කුඩයි. ඇය දැන් සුදුමැලි වෙලා පොඩි බෝනික්කෙක් වගේ ඔහුට පෙනුණේ. තමා වශී වුනේ මේ අපූරු සුන්දරත්වයට නේද කියා තාරික නැවත කල්පනා කළා.

දුව ගැන ඇහුවහම ඔහු කීවේ දන්නා තැනක නතර කළා. දැන් ගිහින් ගේන්නම් කියලයි.

හවස ඔහු පුතුන් දෙන්නට කතා කරලා කීවා නංගිත් එක්ක චූටි අම්මා බලන්න එන්න කියල. රායා යවන්න සමුදිට ඇතිවුනේ පුදුම ලෝභයක්. පුතුන් දෙන්නව නංගි එක්ක රෝහලට අරලින්න සමුදී තීරණය කළා. ඒ අවසාන මිනිත්තුව පවා රායා ළඟ දැවටෙන්න ඕනෙකමට. රියදුරා හවස කරුවලේ රථය පදවද්දී සමුදී පිටුපස අසුනේ රායව තුරුල් කරගෙන හිටියා. විහස් ඉදිරිපස අසුනේ වාඩි වෙලා හිටියේ. විමාශ සමුදී එක්ක හිටියා.

රායා කීප විටක් සිපගෙන විහස් ගේ අතට දුන්න සමුදී ඔවුනට සල්ලි දීල ආපිට හැරුණා.

“ පුතේ තාත්තිට බස්සවන්න කියා කරදර කරන්න එපා. ඔය දෙන්න ත්‍රීවිල් එකකින් එන්න.”

ඇය ඔවුන් දෙන්නව හැදුවේ පොලවේ පය ගහල ඉන්නයි. බස් වල, ත්‍රීවිල් වල යන්න, කඩේ පිලේ යන්න, තමන්ගේ හැම දේම කර ගන්න ඇය දරුවෝ දෙන්න කුඩා කළ සිට හුරු කළා.

රායා දැන් අම්මා ලඟට ගිය විගස තමා අමතක වෙන බව සමුදී දැන සිටියා. කුඩා දරුවෝ එහෙමනේ.

මග දිගට අඳුර එක්ක පුංචි වැස්සක් වැටුනා. ට්‍රැෆික් එක නිසා වාහනය ගියේ ගොඩක් සෙමින්. සමුදිගේ සිත සැලුනා. දැන් දුව අම්මා තුරුලට වෙලා ඇති. තාරික ලඟට වෙලා ටීනව සිප ගන්නවා ඇති. ….මේ සේරම මතක් වෙද්දී සමුදී ගේ දෙනෙතින් කඳුළු වැටුනා.

“ නැහැ නැහැ….ඇයි මම දුක් වෙන්නේ ? මම කාටවත් වරදක් කලේ නැහැ. මගේ බිස්නස් එක හැදුවා. හරකෙක් වගේ මැරීගෙන තාරික සහ දරුවෝ වෙනුවෙන් වෙහෙසුනා. හොඳ නමක් හදා ගත්තා. පවුල කැඩුනත් මගේ මනුස්සකම බිඳගෙන වැඩ කලේ නැහැ. ඒත් මම මේ දේවල් සේරම දරාගෙන අන්තිමට තාරිකගේ දරුවත් බැලුවා. ඒ දරුවට ආදරේ කළා. මම තනි වුනා… මම කවුරුත් නැහැ…” කියා හිතමින් ඇය හෙමින් හෙමින් වැලපුණා.


ඇය ගෙදර ගිහින් ඇඳේ වැටිලා කල්පනා කරමින් ඉද්දි ෆෝන් එක රින්ග් වෙනවා. මේ වගේ වෙලාවකට කවුද ? මොන කරුමයක්ද ? සමුදී කල්පනා කළා. ඇය ෆෝන් එක බලද්දී නොදන්නා අංකයක්.

“හෙලෝ…

“ඔය සමුදී වික්‍රමසිංහ මහත්මියද “ එහා පැත්තෙන් විදේශික කාන්තාවකගේ හඬක් ඇසුනා.

“ ඔවු….මොකද්ද අවශ්‍යතාවය ? “

“ මම ජේන් .. මහාචාර්ය ඇල්බට් කොනලි මැතිතුමාගේ ලේඛම් තුමිය. එතුමා ලංකාවට ඇවිත් ඉන්නේ. මේ වෙලේ ඔබතුමිය සම්බන්ධ කර ගන්න පුලුවන්ද ? “

“ ඔවු… ඔවු…. මම එතුමට කතා කරන්නම්. අංකය දෙන්න පුලුවන්ද කරුණාකරලා ?

සුදු කාන්තාව ඉක්මනින්ම සමුදිට මහාචාර්ය තුමාගේ අංකය දුන්නා. හෙට තමා නොයන නිසා එතුමා මෙවර හමු නොවේවි කියා සමුදී හිතුවේ. නමුත් ඔහුට ඇය සහ ඇගේ ව්‍යාපාරය මතක හිටිලා. ඒ කියන්නේ තමන්ගේ කුඩා ව්‍යාපාරය සිලිකන් නිම්නය හරහා ගෙනියන්න ලැබේවි, කියා සමුදී හිතුවා.

ඇය කඩි මුඩියේ ඔහුට කතා කළා.

ආගිය තොරතුරු කතා කළ ඔවුන් දෙන්නා..දැන් ගැන කතා කළා.

“ මම මේ වෙලේ තනියම ඉන්නේ. දරුවෝ තාත්තා බලන්න ගිහින්. “ සමුදී කීවේ ඔහුගේ ප්‍රශ්නයට උත්තරයක් ලෙසයි.

“ මම මේ වෙලාවේ ඉන්නේ ගෝල් ෆේස් හෝටලයේ…මාව ලංකාවේ තිබෙන විශේෂ ආහාර තියන තැනකට එක්ක යන්න පුලුවන්ද ? මහාචාර්ය තුමා සමුදිගෙන් ඇහුවා.

මදක් පැකිලුන ඇය වහාම “ ඔවු “ කිවුවේ සතුටින්. පුතුන් එනතුරු තනිවම ගෙදරට වෙලා හඬමින් සිටීම ඇයට ගැටළුවක් වුනා. යෝශිත් ගමේ ගිහින් නිසා සමුදී හිටියේ දැඩි පාලුවකින්.

ඇය සැහැල්ලු කළු කෙටි ගවුමකින් සැරසුණා. රත්රන් කරාඹු දෙකක් සහ වලල්ලක් විතරයි දැම්මේ. ඇගේ කුඩා ප්‍රාඩා පර්ස් එකත් අරගෙන ඇය පිට වුනා. සමුදිගේ රුචිකත්වය කවදත් චාම්. මේකප් වුනත් ඇය දැම්මේ පුංචි ස්වභාවික මේකප් එකක්. රියදුරා මද වැස්සේම ඇයව ගෝල ෆේස් හෝටලේට එක්කන් ගියා.

මහාචාර්ය ඇල්බට් කොනලි මැති තුමා ඇය එනතුරු බලාගෙන හිටියේ. ඔහුත් සැහැල්ලු ඉස්තරම්ම කපු කමිසයකින් සහ දිග කලිසමකින් සැරසී සිටියා. වයස 55 වුනත් ඉතාම කඩවසම්, ශක්තිමත් පුරුෂයෙක් වෙච්ච මහාචාර්ය තුමා උත්තුංග දේහ ධාරියෙක්. සමුදි ලංකාවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරු දැකලා බය වුනාට ඇල්බට් කොනලි මැතිතුමාට බයක් දැනුනේ නැහැ. අපේ රට වල වගේ නෙවෙයි ඔවුන් පදවි තානාන්තර දැරුවත් සැහැල්ලුවෙන් සිටි මිනිස්සු. ඒ වගේම හොඳ ධනවත්තු. ලංකාවේ නම් පිරිමි යන්තම් 30 වෙද්දී බඩ ආරලා අකලට වයසට යනවනේ. නමුත් මහාචාර්ය තුමා තරුණයෙක් වගේ සුන්දර සිරුරක් නඩත්තු කළ පුද්ගලයෙක්. තවමත් ඩිෆ් 75 ක් එකවර ගසන්නට ශරීර සනීපයක් ඔහුට තිබුණා. ඒ වගේම මාළු බාන්න යන්න එතුමා කැමති බව සමුදී මැගසින් එකක කියවා තිබුණා.

රියදුරා ගෙදර යැවූ සමුදී මහාචාර්ය තුමා එක්ක මුහුද අද්දර සී ෆුඩ් රෙස්ටුරන්ට් එකකට ගියා. එතන තිබුන ජෑස් සංගීතය ඇගේ සිත මත් කළා… කෙහෙ රැලි අතර මුහුදු සුලන් වදිද්දී දෙදෙනා ටිකිලා ෂොට් කීපයක් සහ වයින් බෝතලයක්ම ඉවර කෙරුවා. සමුදී කාලෙකින් නිදහසේ ඔහු සමග කතා බැහ කළා. දුකෙන් වසර ගණනක් සිටි ඇයට සැහැල්ලුවක් දැණුනා. අවසානයේ ඔවුන් දෙදෙනා නැගිටිද්දී වෙලාව රාත්‍රී 2 ට විතර ඇති.

ඔහුව හෝටලයෙන් බස්සලා ඇය ගෙදර එන්න හදද්දී ඔහු ටිකක් දුර ගිහින් නැවත ආපසු ආවා. මදක් වෙරි වුනත් දිදුලන නෙතින් සිටි සමුදී දිහා බැලුව ඔහු එක වරම ඇයව බදාගෙන සිප ගත්තා. සමුදිත් ඔහුට විරුද්ධත්වයක් දැක්කුවේ නැහැ. ඒ වෙනුවට වසර ගානක් තනිව සිටි ඇගේ ශරීරයෙන් ගින්දරක් මතු වෙනවා ඇයට දැණුනා.

“ ඔබ විවාහක නැහැ නේද ? “ ඇය මුමුණා ඇසුවා……

“ මම ඔබට කීවේ ..මගේ බිරිඳ මැරිලා දැන් වසර දෙකක්. මුළු රටම දන්නවා ඒ ගැන…..

ඔවුන් දෙන්නා එකිනෙකා බදාගෙන සෙමෙන් සෙමෙන් කොරිඩොරයෙන් මිදී ඇල්බට් කොනලි මැති තුමාගේ විශේෂ කාමරයට පැමිණියා…..

( ලබන සතියට )