සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 54 කොටස

පුංචි රායා හරිම ලස්සනයි. ඇගේ දෙනෙත් නිල් මැණික් වගේ දිලිසුනා. ඇයට තිබුනේ ටීනගේ හැඩරුව සහ වර්ණය නමුත් ඇගේ නහයත් නිමුන් පුත්තු දෙන්නගේ වගේම කෙලින් අපූරුවට පිහිටා තිබුනා. ඒ කෙලින් නාහයන් කුඩා කළ ඇය කිරි දෙද්දී සහ හුරතල් කරද්දී ඇඟිල්ලෙන් පිරිමදිනවා. ඒ අතීතය මතක් වෙලා වගේ සමුදී නිරායාසයෙන්ම සැපට තමන්ගේ තුරුලේ නිදාගෙන ඉන්න බිළිදියගේ නහය හෙමින් පිරිමැද්දා. සමුදී ඇගේ කෙස් රොද වල සිට පාදාන්තය දක්වා පිරික්සමින් හිටියේ. තමා ඇයට බෙහෙවින්ම ආදරේ බව සමුදී ප්‍රත්‍යක්ෂ කර ගත්තා.

කවුරු හරි දන්නවා නම් තමන්ට හිනා වේවි නේද කියන සිතිවිල්ල ඇයට නැගුනා. තමන් පොලිසි ගෙන ගිය ගැහැණියගේ බිලිඳු දරුවාට ආදරය කිරීම ඇයට අදහන්න බැරි වුනා. ටීනා වුනත් කොයි තරම් නපුරු වුනත් විහස්ට සහ විමාෂට වෙනස් කමක් කලේ නැහැ නේද කියා ඇය මෙනෙහි කළා. හොඳින් බඩ පුරෝගෙන සැපට නිදාගෙන ඉන්න ඇයගේ නින්දට බාධා වෙයි කියල සමුදී පරිස්සමෙන් නැවිල ඇගේ මුදු මොලොක් නළල සිප ගත්තා.

මේ වෙලේ රෝහලේ මුළු රෑම නිදි මරලා අධික වෙහෙසට පත් වුන තාරික කුඩා දියණිය බලන්න ගෙදරට ගියා. ඔහු හිතුවේ සමුදී වැඩට ගිහින් ඇති, පොරොන්දු වුන විදිහට විහස් හෝ විමාශ දැරිය බලාගෙන ඉන්නවා ඇති කියලයි. ගෙට යන ඔහුට චකිතයක් ඇති වුනා. ඒ වගේම “ මම දාඩිය මහන්සියෙන් හදපු මගේ ගෙදර යන්න ඇයි බැරි ? “ කියා හිතල දිරි ගෙන ඔහු ගේට්ටුව ළඟ වාහනය නවත්වා පැත්තේ කුඩා දොරින් උද්‍යානයට ඇතුල් වුණා. ඔහු උද්‍යානයේ කුඩා දොරෙන් ඇතුල් වෙලා වටපිට බලද්දී මල් පිරුන කොනක විසාල ගසක් මුල සමුදී සුදු පුටුවක වාඩි වෙලා යමක් ගුලි කරගෙන ඉන්න බවත් ඒ ගුලිය අතරින් සිනිදු දෙපා එලියට පැන ඇති බවත් දුටුවා. ඔහු පුදුම වුනා. හෙමින් කිට්ටු කරද්දී ටිකක් ඈතින් ඔහු නතර වෙලා ඒ සුන්දර දසුන දෙස බලා සිටියා.

සමුදී දැන් මිල මුදල් ඇති නිසාත් තමන් ගැන සැලකිලිමත් නිසාත් ගොඩක් ලස්සනයි. තරුණ කාලේ ඇයට ඇය වෙනුවෙන් යොදන්න කාලයක් තිබුනේ නැහැ. නමුත් දැන් ඒ ඉඩ තිබෙනවා. ඒ වගේම ඇය කවදාවත් ටීන වගේ දවල් 12 වෙනකන් කුණුකෙල පිටින්, නයිටිය ඇඳගෙන, බනිමින් ඇවිද්දේ නැහැ. ඇය උදේම නාල ලස්සනට ඇඳගෙන තමා ඉස්සර වුනත් ගෙදර සිටියේ. ඇඳගෙන සිටි කෙටි කලිසම සහ සුදු ස්කිනි එක නිසා ඇයගේ කෙට්ටු කම කැපී පෙනුණා. ආදරෙන් තමාගේ දරුවා තුරුල් කරන ඇය පහත් වී දරුවා සිබිනු දුටු තාරිකට දැනුනේ පුදුම වේදනාවක්. ගිනි ගුලියක් ගිලිනවා වගේ ඔහු පපුව අල්ල ගත්තා.

ටීනා දන්නා දවසේ සිට සමුදිට හිරිහැර කළා. ඒත් විපතේ වැටුන වෙලේ දැන් සමුදී ටීනගේ දරුවා හදනවා. ආදරෙන්. ඇය එහෙම කළ යුතු වුනේ නැහැ.

“ මේ ගෑනි දෙවතාවියක්ද කොහෙද.” ඔහු සෙමින් හිතුවා.

ඈත සිට තමා දෙස බලන කෙනෙක් ඇති බව ඉවෙන් වගේ වැටහුන සමුදිත් එක එල්ලේම තාරික ඉන්න දිශාව බැලුවා. එකෙනෙහිම කෝප වෙන්නද, සිනා වෙන්නද කියා දෙගිඩියාවක් ඇගේ හිතේ ඇති වුණේ.

දරුවත් වඩාගෙනම ඇය පුටුවෙන් නැගිට්ටේ පරිස්සමෙන්. චූටි මල් කැකුල මොහොතකට වත් සැප නින්දෙන් මුදවන්න ඕනේ කමක් සමුදිට තිබ්බේ නැහැ. ඇය දරුවා වඩාගෙන ඔහු වෙත ගියා. තාරික කතාවක් නැතුවම දරුවාව ඔහුගේ අත් දෙකට ගත්තා.

ඔහු සමග හිනා නොවුන සමුදී “ ගෙට යන්න තාරික “ කියා කීවේ ආචාරශීලීව. ඒ වගේම සුහද කමකුත් නැතුව.

ඔවුන් දෙදෙනා සාලයේ පුටු වල වාඩි වෙලා කතාවක් නැතුව හිටියා. කලෙක තමාගේ ගෙදර වුන මේ පිළිවෙල සුන්දර නිවස්නයේ අද තමා ආගන්තුකයෙක් බව කල්පනා කරමින් තාරික දියණිය දෙස බැලුවා. ඒ වගේම ටීනගේ දරුවා සමුදී ලවා බැලවීම ගැන ඔහුගේ හිතේ ඇති වුනේ වරදකාර හැගීමක්.

“ සොරි සමුදී වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. පුතාල දෙන්න ඒකයි මෙයාව ගෙදර ගෙනාවේ….. “ තාරික ගොත ගැහුවා

ඔහුගේ මුහුණේ මතු වුනේ බැගෑපත් පෙනුමක්. සමුදිට අනුකම්පාවක් ඇති වුනා. ඔහු දැන් ඉස්සර වගේ නෙවේ. මූණ හරිම වෙහෙස පාටයි. දුකෙන්, ශෝකයෙන් ඉන්න මහලු මිනිසෙක් ඇගේ තාරික වෙනුවට දැන් ඇය ඉදිරියේ ඉන්නවා. ඔහුගේ කොන්ඩේ දෙපැත්ත ඉදිලා. තට්ටේ වේලාසනම මතු වෙමින් තිබ්බා. “පවු දෙවියනේ ..හරියට කනවා බොනවද දන්නේ නැහැ “ කියා සමුදිගේ හිත සැලුනා. නමුත් ඇය ඒ බව මූණෙන් පෙන්නුවේ නැහැ.

“එයාගේ අයියල දෙන්න ඇර එයාට වෙන නෑයෙක් නැහැනේ තාරික “ සමුදී කීවේ හිතේ උපන් ශෝකයෙන්.

“ මේක එයාගේ තාත්තා හදපු ගෙදර. එයා මෙහෙ එන එක වලක්වන්න මට අයිතියක් නැහැ.” ඇය තවදුරටත් කීවා.

ටීනා කළ ක්‍රියාව මතක් වෙලා සමුදිට දුකක්, ශෝකයක් වගේම බයක් දැනුණා. ඇය සුමනා ගෙනා තේ සහ ආහාර තාරිකට කන්න ඉඩ ලැබෙන්න නැවත දියණිය අතට ගත්තා.

“ සුමනා පොඩි බෙබිව ගිහින් උඩ කාමරෙන් තියන්න. නිදාගත්තා විතරයි” කියා දියණිය සුමනගේ අතට දුන්නා.

“දැන් ටීනට කොහොමද ?” ඇය ඇහුවේ හුදෙක් සීලාචාර කම නිසයි.

“ දැන් නම් කම්පන අවස්තාව මගහැරුනා. තව දවස් දෙක තුනකින් ගෙදර ගෙන්න පුළුවන්. “

“ කවුද එතකොට බලාගන්නේ ? “

“ මම හිතුවේ මාසයක් විතර නර්ස්ලා ගෙන්වන්න “ කියා තාරික කීවා.

“එයා එක්ක කාටවත් ඉන්න බැහැ. ඒ නිසා සර්වන්ට්ස්ලා යනවා. මම හරි දුකක් විඳින්නේ සමුදී “

ඔෆිස් එකේ කරදර දුක් කම්කටොලු හැමදේම එදා පැය දෙකක් තිස්සේ තාරික සමුදී එක්ක කීවා. හරියට කාන්තාරෙක අතරමන් වුන මිනිහෙක් ක්ශේම භූමියට ඇවිත් ජලය ටිකක් නාල සැනසෙනවා වගේ ඔහුට සහනයක් දැණුනා. හිතේ ඇති ඕනෙම දෙයක් ඉස්සර පවා ඔහු සමුදිට කියනවා. සමුදී කවදාවත් පැනල ඔහු එක්ක රණ්ඩු ඇල්ලුවේ නැති නිසා ඔහු ආරක්ෂිතව හැම දේමහෙළි කරනවා. නමුත් ඔහු හැමදේම ටීනගෙන් හංගන්න හුරු වෙලා උන්නේ. මොකද ටීනට වටහාගැනීම, අඹු සැමියන් අතරේ තියෙන්න ඕනේ යාළුකම වගේ ගැඹුරු සංකල්ප තේරුනේ නැහැ. මුර බල්ලෙක් වගේ පැය 24 ම ඔහු පස්සෙන් පැන්නීම ඇගේ ස්වභාවය වුනා. සමුදිට වගේ තාරිකගේ පුද්ගලික නිදහස, රුචි අරුචිකම් වගේ දේවල් ටීනට වැදගත් වුනේ නැහැ.

සමුදී හැමදේම සාවධානව අසා සිටියා. ඇයට දුකක් කම්පාවක් දැනුනේ නැහැ. ඇත්තටම ඔවුන්ට මේ වගේ කතා කරන්න ලැබුනේ ටීන දැඩි සත්කාර ඒකකයේ සිටි නිසයි. නැත්නම් කවදාවත් පැය දෙකක් දුරකතනයෙන් කතා කර තාරික ඉන්න තැන අහන්නේ නැතුව ඉන්නේ නැහැ.

දැන් ටීනා එලියට ඇවිත් මම බබාව පැහර ගත්තා කියල පොලිසි යාවිද දන්නේ නැහැ ? සමුදී ඇහුවේ උපහාසාත්මක හිනාවක් මූනට නගාගෙන.

“ නැහැ එයාට එහෙම කරන්න ඇඟට හයියක් නැහැ. ඒ වගේම කලින් පාර හොඳ පාඩමක් ඔයා ඉගැන්නුවනේ. දැන් බයයි.” ඔහු කීවා.

ඔහු ගෙවන ජීවිතේ ගැන කීවට සමුදී ගෙවන ජීවිතේ ගැන ඇය කිසිවක් නොකී නිසා තාරිකට ලොකු කුතුහලයක් ඇති වුනා. ඒත් ඔහු ඒ ගැන ඇහුවේ වටින් ගොඩින්.

දරුවා මමම බලා ගත්තේ අපේ දෙන්න වැඩි ආදරේට නංගිට අනතුරක් කරයි කියල බයට. තාම පොඩිනේ තාරික …. කොච්චර ආදරේ වුනත් ඒ දෙන්න පොඩි ළමයි. කවද්ද දුව ගෙනියන්නේ ?

ටීනට සනීප වුන ගමන් එහෙ ගෙනියන්නම්. අද හෝ හෙට එයාව ICU එකෙන් එලියට දානවා. එතකොට දුවව හොස්පිටල් ගෙනියන්නම්. ඔහු කීවේ දැඩි කණගාටුවෙන්. “ඔයාට මම කරන කරදර නේද ?” ඔහු ඇහුවේ අවංක වේදනාවෙන්.

“ නැහැ තාරික.. දරුවෙක් බලන එක කරදරයක් නෙවෙයි. මම ඇහුවේ නිකමට. මගේ වැඩ ප්ලෑන් කර ගන්න. විහස්ටයි විමාෂටයි නංගිව බලන්න බැහැ. ඔය පණ්ඩිත කමට කීවට. සුමනා අතින් වැටුනොත් වත් ..අන්තිමට නරක නාමේ එන්නේ මටනේ. .” සමුදී නෝක්කාඩු ස්වරයෙන් කීවා.

සැන්විච් එකක් කන අතරේ ඔහු ඇහුවේ ඇය හදපු මොකුත් අතුරු පසක් නැද්ද කියලයි.

“ ආ..දැන් නම් මම කෑම හදන්නේ නැහැ. ඔයා ගිය දවසේ ඉඳල එක දවසක් වත් කුස්සියට යන්න බැරි වුණා….” ඇය ගේ හිතට නැගුනේ කණගාටුවක්. මේ ගෙදරට එන්න පෙර කුලී ගෙදර ඉන්න කාලේ කොයි තරම් කෑම හදපු පවුලක්ද ?

තමන්ගේ දෛවය එක්ක සමාදානෙන් ඉන්න පිළිගත් තාරික සමුදී කොහොම ජීවිතයක් ගෙවනවද කියා දැනගන්න ආස කළා.

“ මම දැන් බිස්නස් එකට යොදන කාලේ වගේම මම වෙනුවෙනුත් කාලයක් යොදනවා. ඉස්සර වගේ නෙවෙයි. මට දැන් සේවකයෝ ඉන්නවා. පඩි ගෙවන්න සල්ලි තියනවා. “

ඔයා ආයෙත් බඳින් නැද්ද ? ඔහු කටටම උත්තරේ දීල ඇහුවා.

“ තවම හිතුවේ නැහැ තාරික ..හැබැයි ඒ ගැන හිතන්න ඕනේ දැන්. පුතාල දෙන්න තව අවුරුදු 5 කින් වගේ රට යන්න හිතාන ඉන්නේ. ඉන් පස්සේ මේ ගෙදර දෙන්නට වෙන් කරලා ලියල දීල මමත් නිදහස් වෙන්න ඕනේ. ….”

ඔයා මොකටද මෙහෙන් යන්නේ ? ඔයාට ඕනේ නම් මැරී කරලා මේ ගෙදර ඉන්න ඒකට කමක් නැහැ. “ තාරික කීවත් ඔහුගේ සිත ශෝකයෙන් බර වුනා. තමන් හදපු ගෙදර තමන්ගේ හිටපු බිරිඳ වෙන මිනිහෙක් එක්ක ජීවත් වෙනවා කියන දේ ඔහුගේ හිත සසල කළා. ඒ වගේම සමුදිව හදිස්සි වෙලා දාල යාම ගැන ඔහු නොමදව දුක් වුණා. ඇය ඇගේ ව්‍යාපාර ලෝකයේ ඉදිරියට ගියා.

දුව හොඳින් ඉන්න බව දන්නා තාරිකට දැනුනේ සැනසුමක්. හෙට සිහිය ආව ගමන්ම ටීනා ඇයව සොයන බව තාරික දන්නවා. ඒ වගේම දරුවා සමුදිගේ රැකවරණයේ ඉන්න නිසා ආරක්ෂාව ගැන බයක් දැනුනේ නැහැ ඔහුට. කාලෙකට පස්සේ යාළුවො වගේ දෙදෙනා නිදහසේ කතා කළ නිසා ඔහු සිටියේ සැහැල්ලුවෙන්. නමුත් හෙට සිට නැවත පුරුදු ජීවිතේ පටන් ගන්න නිසා තාරික ගොඩක් සතුටු වුනේ නැහැ.

“ඔයාට ගොඩක් ස්තුතියි සමුදී. වෙන ගෑණියෙක්ට නම් කරන්න තියා හිතන්නවත් බැරි දෙයක් ඔයා කළේ සමුදී. මන් දන්නේ නැහැ..ඔයා ඉස්සරහ මම මහ නිකන් කිසිම වැදගැම්මකට නැති ආත්මාර්ථකාමී මිනිහෙක් කියල හිතෙනවා සමුදී.” ඔහුගේ දෙනෙත් ලාවට දිලිසුනා.

“ තාරික …අපි කරන දේවල් වලට දරුවෝ පලි නැහැ. ඒ අහිංසක දරුවා එක්ක තරහා වෙලා මොනවා ලබන්නද මම ? “

“තාරික ටීනට සනීප වුන ගමන්ම බබා ගෙනියන්න. මන්ද…. වෙලාවකට මට මගේ හිතම තේරුම් ගන්න බැහැ. මම ඔයාටවත් ටීනට වත් කිසිම කැමැත්තක් නැති බව ඇත්ත. නමුත් මොනවහරි හේතුවකට මේ දරුවට ආදරේ හිතෙනවා. රායා නැගිටින්න කලින් එයාගේ කෑම ලැහැස්ති කරන්න ඕනේ. ගාර්ඩ්න් එකේ තියල නාවන්න ඕනේ. වැඩ නිසා පුතාල එක්ක මෙහෙම නිදහසේ ඉන්න බැරි වුනා මට. මේ දවස් දෙක මට සම්පූර්ණයෙන් ඕනේ. මටත් ජීවිතේ විඳින්න ඕනේ තාරික. ….. ඇය ගේ දෙනෙත් වලින් කඳුළු ගලා හැලුණා. ඔහුට පේන්න අඬන එක නොමනා නිසා ඇය අනික් පැත්තට හැරිලා මල් විසිතුරක දූවිලි පිස දැමුවා.

තාරික අවිඥානිකවම ලං වුනේ හරියට සමුදිගේ උරහිසෙන් අල්ලා තමන් වෙතට ඇද ගන්න වගේ. වහාම සිහි එලවා ගත් ඇය පහරක් ලද ගැහැනියක් වගේ ඔහුගේ අතින් ලිස්සලා එහාට පැන ගත්තා.

“ දැන් ඉතින් යන්න. මට වැඩ ගොඩයි “ කියා පසුපස නොබලා උඩු මහලට දිව ගියා. තාරිකත් කුඩා ගේට්ටුව හරහා උයනේ අනික් පැත්තෙන් පිට වුනේ කම්පනයෙන් යුතුවයි.

( ලබන සතියට )