සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 53 කොටස

අතීතය මතක් කරද්දී සමුදිගේ හිත එදා වගේම කෝපයෙන් පිපිරුණා. තමාගේ කාර්ය මණ්ඩලය ඉස්සරහ තමාට කළ නින්දාව ඇයට දරා ගන්න බැරි වුනා. ඒ වගේම දරුවෝ දෙන්න තාරික එක්ක කෙටෙවුවේ නැති වුනාට ඔවුන් දෙන්නා “චූටි අම්ම” කියමින් ටීන පස්සේ යන එකත් අයගේ දැඩි කෝපයට හේතු වුනා. නමුත් ඇය මේ කෝපය කොයි වෙලේ වත් මතු වෙන්න ඉඩක් දුන්නේ නැහැ.

ටීනට ඩෙංගු හැදිලා අසාධ්‍ය වීම ගැන ඇයට දුකක් දැනුනේ නැහැ. නමුත් පුතාල දෙන්න අනතුරක්වත් කර ගනී කියල ලොකු බයක් දැණුනා. ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ඒ වෙද්දී උගන්වමින් සිටි ශාක්‍යා ඉඳහිට සමුදී එක්ක ස්කයිප් එකෙන් කතා කළා. එදත් ඔහු කතා කරාට ඇය උත්තර දෙන්න ගියේ නැහැ.

“ ශික් මගේ නිවාඩු දවසම විනාසයි. මුන් දෙන්න තාත්තයි, චූටි අම්මයි ගාවට දැම්මා නම් මට කරදරයක් නැහැ …කියා සිතමින් ඇය නොමදව පුතුන්ට දොස් නගමින් හිටියේ.

එදා තාරික ගොඩක් අසරණ වුන දවසක්. ටීනගේ මහලු පියා හැර වෙන කිසි සමීප නෑයෙක් ඇය එක්ක සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ. ඇය තාරික එක්ක විවාහ වුනාට පස්සේ ආඩම්බර වෙලා හැමෝ එක්කම තරහා වුනා. ඒ නිසා බිලිඳු දියණිය තියන්න තැනක් තිබ්බේ නැහැ. පුතාල දෙන්න ඇවිත් බහිද්දිම ඔහු ඉදිරියට දිවුවා.

“ ඔය දෙන්න නංගි එක්ක ගෙදර ඉන්න..මම චූටි අම්මව හොස්පිටල් දාල එන්නම් “ මේ වෙද්දී ටීනා රැකියාවෙන් ඉවත් වෙලා සිටියේ. ඒ නිසා පුද්ගලික රෝහලකට ඔහු වේගයෙන් රිය පැදෙවුවා. ටීනා හිටියේ තරමක් අසාධ්‍ය තත්වයෙන්.

විහස් වතුර උණු කරලා නංගිට සීරියල් එකක් හදලා කැවුවා.. දෙන්නම එකතු වෙලා පුංචි ඇයව සෝදලා අලුත් ඇඳුම් ඇන්දුවා. උදේ මූණවත් නොසෝදා සිටි දරුවා අයියල දෙන්නගේ දිග කොන්ඩ මාරුවෙන් මාරුවට ඇද්දා…ඔවුන්ව සපා කෑවා. ඇය කුඩා කළ එක්කෙනෙක් කියා දෙන්නට රැවටෙනවා. පස්සේ ඇය හෙමින් තේරුම් ගත්තා මේ දෙන්නෙක් කියල.

කුඩා දැරිය ගොඩක් සතුටින් හිටියේ. අයියල දෙන්න ඉන්නවා නම් ඇයට වෙන කවුරුත් ඕනේ නැහැ. නංගිව දවල් නිදි කරලා දෙන්න ගේ අස් කරා. ටීනගෙයි තාරිකගෙයි ඇඳුම් සේරම මැෂින් දාල හේදුවා. වේලෙන්න දැම්මා. ගේ අතුගෑවා. ගෙදරම අපායක් වෙලා තිබ්බේ. දවල් දෙකට විතර තාරික ගෙදර ආවා. ටීනගේ තත්වේ හොඳ නැති නිසා ඔහු ඇඳුම් අරන් නැවත රෝහල වෙත යන්න ඕනේ. ඒ එක්කම පුතාල දෙන්න යෝජනා කළා නංගිවත් අරන් ගෙදර යන්න…

“ අම්මි මටත් බනියි “ තාරික කීවේ බයෙන්.

“ කරන්න දෙයක් දැන් නැහැනේ තාත්ති. නංගිව තනියෙන් දාල යන්නත් බැහැ. අම්මිට හොඳටම තරහ යයි අපි තුන් දෙනා තනියම හිටියොත් එහෙම. අපේ අම්මිව ශේප් කර ගන්නම් අපි. තාත්ති පුළුවන් නම් අපිව බස්සවන්න යන ගමන් “ විමාශ කියාගෙන ගියා.

නංගිගේ ඇඳුම්, කිරි බෝතල් , ඩයපර් ඔක්කොම එක්ක බෑග් එකකුත් අරන් දෙන්න තාරික එක්කම ගෙදරින් පිට වුනා.

ඔවුන් දෙන්නා තාරිකට උපදෙස් දුන්නේ ඔවුන් බස්සලා පසු නොබලා යන ලෙසයි.

ඔවුන් දෙන්න හොර පූසෝ දෙන්නෙක් වගේ හෙමින්ම ගෙට ගියා. ඒ අතරේ චූටි බබා මිදුලේ තිබ්බ පාට පාට බෝගන්විලා, ජෙරනිමූස් මල් දැකලා ඒවා ඉල්ලලා හඬන්න පටන් ගත්තා. සමුදී එලියට ආවේ ඒ සද්දෙන්.

“ මේ මොකෝ … ? “

“අම්මි මේ අපේ නංගිට යන්න තැනක් නැහැනේ. අපේ ගෙදර ගෙනාව ඒ නිසා…” විහස් කීවේ ඉතාම බැගෑපත්ව.

අම්මි දවස දෙක තුනයි. අපි ඉස්කෝලේ නොයා මාරුවෙන් මාරුවට බලා ගන්නම්. ..අම්මිට කරදර කරන්නේ නැහැ …..විමාශ අලගු තිබ්බා.

“දැන් ඔයාලගේ චූටි අම්මා සනීප වෙලා ආව ගමන් උසාවි යාවි.. තමුසෙලා දෙන්නටම වෙන්න ඕනේ මාව හිරේ දාන එක නම් ඒක කරනවා. මම මෙහෙන් යන්නම්. “ ඇය තරහෙන් පිපිරෙමින් කීවේ.

ඉන් පස්සේ ඇය සොඵාවට ගිහින් හඬන්න පටන් ගත්තා. විහස් විමාෂට අතින් සන් කළා නංගිව උඩ තට්ටුවේ ඔවුන්ගේ කාමරේට ගෙනියන්න. ඉන් පස්සේ ඔහු අම්ම ළඟ වාඩි වෙලා ඇගේ හිස අතගෑවා.

“ අම්මි මේ අහන්නකො…….”

“ මට මොකුත් අහන්න ඕනේ නැහැ. උඹල පස් දෙනා එක කණ්ඩායමක්. මම හැමවෙලේම පිට. අමතක කරන්න එපා පුතේ මම දාල ගියා නම් ඔයාලට යන එන මන් නැති වෙනවා…. මට කරන්න පුළුවන් හැම නින්දාවම තාත්තා කළා..ඊට පස්සේ අර ගෑනි කළා… දැන් හදන්නේ ඒ ලමයවත් මා ලවා බලවන්නද ? උඹල හිතන්නේ මට හිතක් නැහැ මගේ හිත යකඩ කියලද ? උඹලගේ තාත්තා ගෑනු එක්ක යද්දී මමත් ගියා නම් දෙන්න කාණු වල කුණු වෙලා.

ඇය වැලපෙද්දී විහස් හෙමින් ඔහුගේ ඇඟිලි අම්මගේ කෙස් රොද හරහා යැවුවා…

“ අම්මි රත්තරන් ..දැන් අහන්නකො. මේ ළමයා අපේ නංගි. ඒ එක්කම චූටි අම්ම නපුරු බව ….මෝඩ බව අපි සේරම දන්නවා. තාත්තිට වුනේ අත්වැරැද්දක්. ඒකට තාත්ති ගොඩක් විඳවනවා අම්මි. එක වරදක් කලාට තාත්ති අපිට කරපු දේවල් අමතක කරන්න බැහැනේ. ..මේ වෙලේ තාත්තිට අපි හැර වෙන කවුරුත් නැහැ….අනික මේ කිසිම දෙකට නංගි පලි නැහැ … අම්මි අපිට කියා දුන්නේ බල්ලෝ අපිව කෑවට අපි බල්ලන්ව කන්නේ නැහැ කියලනේ. …ඒ නිසා මේ දවස් ටික ඉවසමු අම්මි….

“ ඕනේ දෙයක් පුතේ… හැබැයි ප්‍රශ්නයක් ආවොත් ඔය දෙන්න බලා ගන්න” කියමින් සමුදී විහස් බදාගෙන වැලපුනා.

හවස වෙද්දී ගෙදර තත්වය සමනය වුනා. තාරික ටීනගේ ළඟ තනි රැක්කා. ඇයට විටින් විට අමාරු වුනා. ඒ අතරේ ඔහු හවස පුතාලට කතා කරලා නංගිගේ සහ ගෙදර තත්වේ ඇහුවා.

රාත්‍රී 7 විතර වෙද්දී චූටි රායා පැද්දී පැද්දී සමුදී වෙත ගිහින් ඇගේ ඇඟේ නැග ගත්තා…. හවස රායව හේදුවෙත් සමුදී. මේ නොදරුවට වෙනම ආහාර හදන්න කියල ඇය සුමනට කීවා.

සඳුදා ඔවුන් දෙන්නට පාසල් යන්න දීල සමුදී රායව බලා ගන්න ගෙදර නැවතුනා. සුමනා ළඟ දාල ගිහින් අනතුරක් වුනොත් ලොකු වගකීමක් තමාට පැටවෙන බව ඇය දැන සිටියා. එහෙනම් කෙලින්ම ටීනා තමා කූඩු කරාවි කියල ඇගේ හිත කීවා.

ඔය ටීනට උදවු කරනවට වඩා නයෙක්ට කිරි දෙන එක ආරක්ෂිතයි. දුර්ජනයට මොන උපකාරේ කරත් ඒක ඒ මොහොතින් අමතක වෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න කියා ඇගේ හිත අනතුරු ඇගෙවුවා. රායා හරිම හුරතල්. සමුදිට තමන් ගැනම ඇතිවුනේ පුදුම ආත්මානුකම්පාවක්.

( ලබන සතියට )