සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 52 කොටස

දැන් ව්‍යාපාරේ ලොකු නිසා සමුදී හොඳින් ගෙවල දක්ෂ උගත් සේවකයෝ ගත්තා. දැන් ඇගේ වගකීම් තරමක් සැහැල්ලුයි. ඒ එක්කම තාරිකගේ වියෝව පසු වෙලා දැන් අවුරුදු දෙකකුත් ගිහින්. ඇය ඒ ගැන හිතන එක ගොඩක් දුරට අඩු කරලා හිටියේ. ඒ එක්කම අලුත් විනෝදාංශ, අලුත් යාළුවො මේ දේවල් එක්ක ඇය සතුටින් හිටියේ. ඉඳහිට පාළුව නොදැනුනා නෙවෙයි. අපේ වගේ රටක ගැහැනියක් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ගැහැණියකට කතා කියන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. දරුවෝ දෙන්න දැන් 15 ක් වගේ නිසා ඇයට ඔවුන්ගෙන් හිරිහැරයක් තිබ්බෙත් නැහැ. යෝෂි වුනත් දැන් සාර්ථකව අධ්‍යන කටයුතු කළා. ඒ අතරේ සමුදිගේ සේරම වැඩ බැලුවේ ඇය විසින්. ගෙදර සහ කාර්යාලය නිසි ලෙස ගියා. ඇය ඒ අතරේ රියදුරෙක් ඇගේ සේවයට ගත්තා.

මේ අතරේ දියණිය දෙවෙනි වසරට පා තබද්දී තාරිකගේ ජීවිතෙත් ගෙවුනා සුපුරුදු ලෙසම. එදා සමුදී සෙනසුරාදා දවසක් නිසා උදේම ව්‍යායාම කරලා භාවනා කරලා ගෙදර ඇවිත් සිටියේ. මනාව පිළිවෙලට තිබුන උද්‍යානයේ කොනක වාඩි වෙලා ඇය අලුත්ම තැඹිලි ගෙඩියක රස බලමින්, සුලන් වදිමින් පුවත්පතක් බැලුවා. දැන් ඇය වැඩි හරියක්ම කියවන්නේ ව්‍යාපාරික තොරතුරු විතරයි. පැත්තක තිබ්බ යෝධ අරලියා ගහෙ මල් වල සුවඳින් පරිසරේම සුවඳවත් වෙලා. හරිම මනහර උදැසනක්.

නාන්න ඇඳගෙන හිටපු යට කලිසම පිටින් විමාශ වේගෙන් දුවගෙන එනවා. ඔහු ඉලන්දාරියෙක් වෙන්න කිට්ටු වෙලා හිටි නිසා පියා වගේම උසයි. කටහඬ උනත් බාගෙට වෙනස් වෙමින් තිබ්බේ. තරුණ සෝමාලියානු ජාතියයෙක්ගේ වගේ ඔහුගේ ඇඟේ කටු පෑදිලා. ඔහු දුවගෙන එන විදිහට සමුදී බය වුනා.

“ අම්මි අම්මි… චූටි අම්මට ඩෙංගු හැදිලා ….”

“ ආ ඇත්තද පුතේ ? කවුද ඔයාට කීවේ ? “

“ මේ දැන් තාත්ති කතා කරා. ගොඩක් අමාරුලු. හොස්පිටල් දාන්න යන්නේ. අපි දෙන්න තාත්තිගේ උදවුවට යන්නද ?

සමුදී මොහොතක් කල්පනා කළා. ඔවුන්ට යන්න නොදුන්නොත් මේ වෙලේ ඒක කුරිරු කමක් වෙනවා. ඒ වගේම ඔවුන් තමා ගැන වැරදිවට හිතාවි.

“ එහෙනම් ඔය දෙන්නා බස් එකේ යන්න. මට නම් බැහැ එහෙ යන්න. ඔයා දන්නවනේ ඔයාලගේ චූටි අම්ම මට කරපු වැඩේ දැන් අවුරුද්දකට කලින් ? “ ඇය කීවේ අමනාපෙන්. ඒ එක්කම සුමනා පැමිණි නිසා ඇයට හොඳටම තරහා ගියා.

“ මේ පුතේ ..පිස්සෙක් වගේ යට ඇඳුම් පිටින් එහෙ මෙහෙ දුවන්නේ ඔයාට ලැජ්ජා නැද්ද ? අක්කි උඩ තට්ටුවේ හොඳ වෙලාවට ..අන්න සුමනා ඇන්ටි ආවා. දුවන්න ගෙට. හරියට හැසිරෙන්න ඉගෙන ගන්නවා. ….”

අම්මට තරහා ගිහින් බව තේරුණ විමාශ ගෙට දුවල ගියේ ලජ්ජාවෙන්. විනාඩි කීපයක් ඇතුලත දෙන්නා ඇඳගෙන පිටත් වුනේ ත්‍රීවිල් එකක ගොඩවෙලා බොරැල්ලට යන්න.

මේ අතරේ සමුදිට මතක් වුනා මීට වසරකට පෙර ටීනා ඇයට කළ නපුරු ක්‍රියාව. ඉන් පස්සේ ඇය තාරික සමග කතා කිරීම සහමුලින්ම නැවැත්තුවා. දවසක් ඔෆිස් එකේ ඇය ඉද්දි පොලිස් නිලධාරියෙක් ඇවිත් සැරෙන් ඇගේ නම කතා කරනවා. ඇය එලියට ගියේ බය වෙලා. ව්‍යාපාරයේ ප්‍රශ්නයක් ඇති වෙලා කියල. ඔහු දන්නේ නැහැ සමුදී කවුද කියලා.

සමුදී වික්‍රමසිංහ කියන්නේ කවුද ?

“මම.. මොකද්ද ගැටලුව” ඇයත් තදින් ඇහුවා.

පොලිස් කොස්තාපල් ඇයට නොතේසි භාර දීල කීවා තමන්ට විරුද්ධව පොලිස් පැමිණිල්ලක්. අහවල් දවසේ පෙනී ඉන්න ඕනේ මේ වෙලාවට.

“ ඒ … ඇයි රාලහාමි “ ඇය ඇහුවේ චකිතයෙන්.

“ තමන් දොස්තර නෝනා කෙනෙක්ගේ සැමියා එක්ක අනියම් සම්බන්ධකමක් තියනවලු නේද ? කේස් එක සැරයි. ඔහු කීවේ සමුදී බය වෙලා තියන බව දැනගෙනයි. සමුදිගේ සුන්දර පෙනුම දැක්ක ඔහුට හිතුනේ බය කරලා චාන්ස් එකක් ගන්න ඕනේ කියන පහත් චේතනාවයි.

ටීනා පොලිසියට ඇවිත් හඬමින් සමුදිගේ චරිතය සම්පූර්ණයෙන්ම විකුර්ති කරලා පොලිසියේ හැමෝටම කියා පැමිණිලි කරලා තිබ්බ නිසා ඔවුන් හිතුවේ සමුදී වැරදි කාරයෙක් කියලයි.

සමුදිට උඩ බිම බැලුනා. ඊට පෙර දිනයේ තමන් තාරිකගේ කාර්යාලයට ගිය බව ඇයට මතක් වුනා. ඒ ඔවුන් දෙන්නගේ නමට තිබ්බ හවුල් ගිණුමක් තව දුරටත් වලංගු නැති බවට අත්සනක් ගන්න ඔහුගෙන්. තාරිකගේ කාමරේට ගිහින් අත්සන අරගෙන කතා බහ කරලා විනාඩි 5 ක් ඇතුලත ඇය පිට වුනේ යුරෝපෙට වීසා ගන්න. ගිණුම් තොරතුරු පෙන්වද්දී ඔහුගේ ණය වලට තව දුරටත් ඇය හවුල් නැති බව පෙන්වන්න ඔහුගේ අත්සන ඕනේ වුනා. හදිස්සි නිසා ගියා මිස ඇය කවදාවත් යන්නේ නැහැ.

කාර්යාලයේ සිටි තාරිකගේ ඉරිසියාකාරයෙක් ටීනට කතා කරලා ලුණු ඇඹුල් ඇතිව කියා තිබුනා සමුදී ඇවිත් තාරිකගේ කාමරේ පැය දෙකක් හිටියා කියල. තාරිකට කෝල් කරලා හොඳටම රණ්ඩු වුන ටීනා “හිටපන් මම උඹල දෙන්නට හොඳ වැඩක් කරන්න” කියළ කෙලින්ම ගියේ පොලිසියට.

ඇය වැලපෙමින් සමුදිගේ චරිතෙට හානි වෙන ගොඩක් දේවල් කියල පැමිණිල්ලක් දැම්මා. තමන්ගේ සැමියා සමග මේ කාන්තාව අනියම් සම්බන්ධයක් පවත්වනවා කියා ඒ පැමිණිල්ලේ සඳහන් වුනා. ඒ විතරක් නෙවේ වැඩපලේ සේවකයෝ ඉස්සරහ ඇයට අපහාස වෙන්න ඕනේ නිසා කාර්යාලයේ ලිපිනය දීල තිබුනා.

සමුදී හඬා වැටුනා වේදනාවෙන්. කුසුමා ඇවිත් ඇගේ හිත සැනසුවා. “මමත් එනවා හෙට ඕකිට ඉන්ස්පෙක්ටර් මහත්තුරු ඉස්සරහ රෙද්ද ගැලවෙන්න දෙකක් කියන්න…. මයේ අම්මා දැන් නාඩා ඉන්නකෝ…………..” කියමින් ඇය සමුදී සැනසුවා.

“ ඇයි දෙවියනේ මට මේ වගේ සත්තුම ජීවිතේට හම්බ වුනේ ? මම වචනයක් නොකියා ඩිවොස් එක දුන්නා. සතයක් සල්ලි ඉල්ලුවේ නැහැ. එක එක තැන් වල කුණු කතා කීවේ නැහැ.. දැන් මෙන්න මේ ගෑනි මට කරන දේ. ….සමුදී කෑ ගහමින් වැලපුණා.

ටික වෙලාවක් වැලපිලා ඇය ඇගේ නීතිඥයාට කතා කරා. ඔහුත් හෙට ඇය සමග පොලිසි යන්න සූදානම් වුනා.

මේ ගැන දැනගත්තු වෙලාවේ තාරිකට යකා වැහිලා ඔහු ටීනගේ කනට ගැහුවා. පහු වෙනිදා පැමිණිල්ල විභාගයේදී ටීනා ඒකත් සමුදිගේ ඉගැන්වීම මත තමාට ගැසූ බව කියා තිබුනා.

විහස් සහ විමාෂට නොදන්වා ඇය පොලිසි ගියේ කුසුමා එක්ක. වටිනා හෑන්ඩ් ලූම් සාරි ඇඳගෙන රටේ ප්‍රසිද්ධ නීතිඥ මහතෙක් එක්ක පොලිසි ගිය ඔවුන් දෙන්නා දැක්ක ගමන් ටීනා පසුබා ගියා. ඇය ටීනගේ මූණවත් නොබලා කට උත්තරය ලියන්න පුටුවේ වාඩි වුනේ නීතිඥ මහතා එක්ක. ඒ අතරේ කුසුමා ටීනගේ පැත්ත හැරිලා රවමින් සිටියා.

සමුදී වෙච්ච හැම දේම ලේඛන එක්ක සහ ඇගේ දරුවාගේ ඉපදුන දිනය එක්ක දක්ෂ ලෙස පොලිස් නිලධාරීන්ට පැහැදිලි කරා. ඒ අනුව සමුදී කියන්නේ කවුද කියා දැන ගත්ත ස්ථානාධිපති ඇයට කතා කරේ මැඩම් කියලයි. කවුරු වුනත් සමුදී තුල තිබ්බ නිරහංකාර කම පොලිසියේ හැමෝගෙම වර්ණනාවට ලක් වුනා. ටීනට දැඩිව අවවාද කළා මේ වගේ විකාර වැඩ නොකරන ලෙස. ඒ වගේම තාරිකට මීට පස්සේ තමාට කිසිම දේකට කතා නොකරන ලෙස ඇය පොලිසියේදී ඉල්ලා සිටියා.

ඇය තමන්ගේ වැදගත්කම රැකගෙන ටීනගේ මූනවත් බැලුවේ නැහැ. ඉන් පස්සේ තාරිකගේත් මූණ නොබලා පොලිසියෙන් පිටත් වුනා. එදා සිට ඇය තාරික එක්ක වචනයක් වත් කතා කරේ නැහැ. ඒ වගේම ඇයගේ හිතේ ලොකු තරහක් ඇති වුනා. ඇයට කරපු නින්දාවට. තාරික සමාව ගන්න ඇගේ පිටුපසින් ආවා….කෝපයෙන් දිලිසෙන දෙනෙතින් පස්ස බැලුව ඇය….” You are disgusting… “ කියල රවල එලියට බැස්සා.

( ලබන සතියට )