සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 51 කොටස

අතීත මතක කල්පනා කරමින් ඇය සාලේ ඉද්දි පොඩි වර්ෂාවක් වැටුනා. එවිට තාරික කොහේ ගියාද කියා ටීනට කල්පනා වුනා. ඔහුට කීප වරක්ම කතා කලත් පිළිතුරක් නැති නිසා ඇය නොසන්සුන් වුනා. ව්‍යවසායිකාවගේ ගෙදර ගියාද දන්නේ නැහැ. ඇය ගොඩක් කලබල වුනේ ඒකයි. “ ගියත් ඔය ගෑනි එයාව ගන්නේ නැහැ. බල්ල වගේ එලවාවී “ ටීනා සිනාවෙලා නැවතත් කොපි එකක් වක් කරගෙන කල්පනාවට වැටුනා.

මේ වෙලාවේ තාරික හිටියේ පාලු පාරක වාහනේ නවතාගෙන බියර් එකක් තනිවම හිස් කරමින්. තමා කළ වරද ගැන සිතමින් ඔහු එදා වැස්සේ කඳුළු සලා හැඬුවා. “ දැන් පරක්කු වැඩියි. කොහොම උනත් මේ කෙල්ල දාල යන්න බැහැ මට. එයා තව පුංචියි. මේ පිස්සු ගෑනි දරුවට කන්නවත් දෙන්නේ නැති වේවි. අසරණ දුව. සමුදී වගේ ගෑනියෙක් ළඟ ළමයි දාල එනවා වගේ නෙවේ.” ඔහු කල්පනා කළා.

“ අනික හැමෝම මට හිනා වේවි. හොඳ වැඩේ කියාවි….. තව ටික කාලයක් කොහොම හරි පරිස්සමෙන් ඉන්නවා. මගේ කෙල්ල ඔලුව උස්ස ගන්නකන් හිටියොත් ඒ ඇති. …” ඔහු සුසුම් හෙලුවා.

මේ අතරේ ටීනා අතීතය මතක් කර උද්දාමයට පත් වුනා. තාරික කොච්චර ලොකු මිනිහෙක් වුනත් පහසුවෙන් ඇගේ උපක්‍රමයට යට වුනා. තමන් විදලා මැරුව මුවෙක් දිහා බලල සතුටු වෙනවා වගේ ඇය තාරික දිහා බලල සතුටු වුනා. ඔහු ගැන හිතෙන් ආඩම්බර වුනා. මරුටියකින් යමින් සිටි තමාට හදිස්සියේ රියදුරෝ, ජීප් රථ ලැබුනේ ඔහු නිසයි. ඇගේ සැමියා ලොකු සමාගමක අධ්‍යක්ෂක වරයෙක් කියා ඇය නිතරම අහංකාර වුනා. ඇගේ ෆේස් බුක් ගිණුමේ නිතරම ඔවුන් තුන් දෙනාගේ ෆොටෝ දැම්මේ යාළුවො හැමෝටම පේන්න. ඇගේ යාළුවො වුනත් ටීනාට හදිස්සියේ පාත් උන කප්රුක ගැන හිතෙන් ඉරිසියා කළා. ඇය දැන් අඳින්නේ පළඳින්නේ ඉහලම මිල ගණන් වල සාප්පු වලින්. සේවකයෝ කොතරම් සල්ලි ගෙවලාවත් තියා ගන්න බැරි වුනේ නම් ඇයගේ සැර පරුෂ කම නිසාමයි. නමුත් මාස දෙක තුනකට වතාවක් සේවකයෝ අලුතින් එනවා. සතියෙන් දෙකෙන් නැවත යනවා. එහෙම ඉන්න වෙලාවට ඇය ඥාතීන්ට, මිතුරන්ට ගෙදර එන්න අරාධනා කළා. ඔවුන් ඉදිරියේ බොහොම බල සම්පන්නව සේවකයන්ට ගර්ජනා කළා….

“ Oh… We have 3 maids and a driver …” කියල හැම කෙනාටම කතාවකදී කොහොම හරි කියන්න ඇය ඉඩ හදා ගත්තා. තාරික මේවට වචනයක් නොකීවත් හිතෙන් ඇයට උපහාස කළා.

ඉතින් සමුදී ඇමරිකාවට යන දවසට දින පහක සිට ඇය ඩිම්බ මෝරන්න ඕනේ බෙහෙත් පානය කළා. ඉන් පස්සේ ඇය රට යන්න පෙර දිනයේ සරු කාලය ඇති වෙන්න අවශ්‍ය හෝර්මෝන එන්නත් කර ගත්තා. එන්නතෙන් පැය 24 ක් ඇතුලත එක් විය යුතු බව ඇය දන්නවා. ඉන් පසු සමුදී රට ගිය දවසේ හවස ඔහුව ගෙදරදී හමු වුනා. ඔහුත් වේදනාවෙන් හිටියේ. සමුදී මේ වෙද්දී සුද්දන් සමග නයිට් ක්ලබ් වල විනෝද වෙනු ඇති බව ඇය ඔහුට ඒත්තු ගැන්නුවා. සමුදී ඔහුත් එක්කන් යන්න දරපු අසීමිත උත්සාහය නොසලකා තමයි නතර වුනේ කියල දැන සිටියත් තාරික සමුදී එක්ක අමනාපයට ඒ දේවල් එක සිතෙන් පිලි ගත්තා. හැබැයි සමුදී ඇත්තටම හිටියේ ගුවන් යානයේ. එතනත් ඇය වැඩ කරමින් හිටියේ.

ඔවුන් දෙන්නා එදා සිට දින තුනක්ම රාත්‍රියට හමු වුනා. හැම විටම ඇය කීවේ මේ සරු කාලය නොවෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලයි. ඇය වෛද්‍යවරියක් නිසා තාරික මේ ගැන බය වුනෙත් නැහැ. තමා විවාහක බව ඇය දන්නා නිසා ප්‍රශ්නයක් නැහැ කියා ඔහු හිතුවා. මාසය අවසන් වෙද්දී සමුදී තාරිකට බොහෝ බඩු අරගෙන ආවත්, ඒ වෙද්දී ටීනගේ සැලසුම අකුරටම වැඩ කරලයි තිබ්බේ. ඒ කාලයේදී ඇය ඔහුට වචනෙකින් වත් බැනල ඇගේ ඇත්ත තත්වය පෙන්නුවේ නැහැ. ලෝකේ ඉන්න වඩාත්ම කැපවුන පෙම්වතිය වගේ සිටියා. ඇත්තටම තාරික ඒ ප්‍රේමයෙන් වශී වුනා. සමුදී කවදාවත් ඔහු පිටුපස හඬමින් එන්නේ නැති නිසා ටීනගේ බොළඳ බව ඔහුට මල් වැස්සක් වුනා.

දරුවා ලැබෙන්න කියල ටීන ඔහුට කියද්දී ඔවුන් මුණගැහිලා හරියටම මාස එක හමාරක්. එයින් ඔහු තැති ගත්තා. නමුත් ටීනගේ හිත සැහැල්ලු වුනා. දැන් ඉතින් ඔහු මගේ උගුලේ. ඔහුට එන්නම වෙනවා. ලෝකය ඉදිරියේ ජයග්‍රහණය ලබන්න ඇය ඕනෙම විදිහේ දෙයක් කරන කෙනෙක්. තමන් තාරික එක්ක විවාහ වුනාම තමාගේ නෑදෑයෝ ඉරිසියා කරන එක සහ කලින් සැමියාට වඩා තත්වයෙන් වැඩි කෙනෙක් දෙවෙනි වර විවාහ කර ගැනීම ඇගේ සිත අමන්දානයට පත් කළා.

ඒ හැර සතුටින් විවාහ දිවියක් ගෙවීම වගේ අදහස් ඇගේ හිතේ තිබුනේ නැහැ. ආදරය යනු තාරික තමා කියන, කරන දේවල් වලට සතුටු වීම සහ තමාගේ තුරුලට වෙලා ආදරය කිරීම කියා ඇය හිතුවා. ඇයට වියදම් කරන්න සහ සමාජ සේවා වෙනුවෙන් මුදල් අවශ්‍ය වුනත් ඒ වෙනුවෙන් තාරික එලියට ගිහින් වැඩ කරනවට ටීන කැමති වුනේ නැහැ. ඔහුගේ රාජකාරි වලට ඇගෙන් කිසිම උපකාරයක් ලැබුනේ නැහැ. නමුත් ගෙදර වැඩ සහ කාර්යාලයේ වැඩ නිසා දැන් දැන් ඔහුගේ ගොඩක් වැඩ අවුල් ගැහුවා. ආයතනයේ කළමනාකාරීත්වය පවා මේ ගැන කැළඹිලා හිටියේ. ඒ නමුත් ඔහු පරණ සේවකයෙක් නිසා ඔවුන් හැමෝම කට පියාගෙන හිටියා.

අලුත උපන් බිලිඳු දියණිය නිසා තාරික තමා දාල යන්නේ නැති බව දන්නා ටීනා ඇගේ ගති ගුණ වෙනස් කරන්න ඕනේ කියා හිතුවේ නැහැ. ඒ වෙනුවට ඇයට ඕනේ වුනා දරුවා පාවිච්චි කරගෙන ඔහු ලවා තමා කැමති දේවල් විතරක් කරවන්න. ඒ අතරේ ටීන බල කරලා ඇගේ නෑදෑයන් තාරිකගේ ආයතනයේ වැඩට යැවුවා.

සමුදී මේ සිද්ධ වුන දේවල් වලින් නැගිටලා පෙරට වඩා හොඳින් ඉන්න එක සහ ඇතැම් විට තාරික ඇයගේ හොඳ කියනු අසා සිටි ටීනා සමුදී එක්ක අමනාප වුනා. සමුදී කොහොමත් රටේ පිළිගත් ව්‍යවසායිකාවක් කියන කාරණේ ටීනට මුල සිටම දරා ගන්න බැහැ. ඒ නිසා සමුදිගේ චරිතේ නැති වෙන විදිඅට බොරු චෝදනා වලින් ඇයට බනින්න කොයි වෙලාවක වුනත් ටීන පසුබට වුනෙත් නැහැ. ඇය සහ කලින් සැමියා වෙන් වුනේ මරාගෙන නයි පොලොඟු වගේ නිසා ඇය බලාපොරොත්තු වුනා සමුදී සහ තාරිකත් ඒ වගේ වෛර වේවි කියල. නමුත් එකිනෙකාට වෛර කරන්න හේතුවක් ඔවුනට තිබ්බේ නැහැ.

“ ඔයා ඒ ගෑණිව හැම වෙලේම සුද්ද කරනවා “ කියා ඇය දවසක් තාරිකට කීවේ නෝක්කාඩුවෙන්.

“ සුද්ද කරනවා නෙවේ අනේ. සුද්ද කරන්න ඒ ගෑනි මට වරදක් කරේ නැහැනේ. වෙන ගෑනියෙක් වුනා නම් ඔයා තාම බැඳලා නැහැ. ඔයා දන්නවද ලංකාවේ කසාද නීතිය හරි තදයි. ඒ විතරක් නෙවෙයි සමුදිට ඕනේ නම් Co- Respondent කරලා ඔයාව උසාවි ගෙනල්ලා නෝන්ඩි කරන්න තිබ්බා. නමුත් ළමයා ගැන ඇහුව ගමන්ම එයා සේරම එක පාරෙන් අතහැර දැම්මා. දාල මගෙන් රුපියලක්වත් නොඉල්ලා යන්න දුන්නා. ඒ ගුණේට ගරු කරන්න ටීනා. වෙන කෙනෙක් එක්ක හැප්පුනා නම් තාම ඔයා අවජාතක දරුවක් එක්ක උසාවි බඩ ගානවා. දරුවා ඉපදෙන්න කලින් අපිට මැරී කරන්න ලැබුනේ සමුදී නිසා. එයාගේ ගුණ යහපත්කම නිසා. ඔය දේවල් මට තෙරෙද්දී පරක්කුයි……”

මේක අහපු ටීනගේ තරහ දෙගුණ උනා “ තමුසේ මහ කොන්ද පන නැති මිනිහෙක්. තාම ඒකිගේ වරුනාව. මම මේක  ලේසියෙන් අරින්නේ නැහැ “ කියා බඩුවක් පොලේ ගැසුවා

සුසුමක් හෙලපු තාරික “කන්න දුන්නට මොලේ දෙන්න බැහැනේ සිතමින් ගෙට ගියා “

බහින් බස් වීම්, සක කිරීම් මේ පවුලේ අනිවාර්ය අංග ලෙස සැලකුණා. ඇත්තටම නීතියෙන් විවාහ වෙලා දින කීපෙකින් ඔවුනට දුව ලැබුනා. ඔවුන් දෙන්නට ජීවිතේ විඳින්න කාලයක් තිබ්බේ නැහැ. හැමදාම කරදර, අඬදබර, වැඩ, සේවකයෝ මාරු වීම, සමාව ගැනීම. ඒ අතරේ ආදරෙන් ගෙවුන දවස් නැතුවත් නෙවෙයි. තාරික ගොඩක් ඉවසීමෙන් වැඩ කළා. දියණිය දවසින් දවස ලොකු වුනා. කාලය එක්ක තාරිකට විහස් සහ විමාශ ගෙදර හමු වීම අසීරු වුනා. ඒ නිසා ඔහු ඉඳහිට විතරයි ඔවුන් දෙන්නා දැක්කේ. නමුත් ඔවුන් නංගි බලන්න යන්න නිතරම් ආස කළා. තාරිකට දරුවෝ බලන්න කියා බල නොකළ සමුදී දරුවන්ගේ දෙන්නගේ හැම බරක්ම තනියම දරාගෙන ඉදිරියට ගියා.

( ලබන සතියට )