සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 50 කොටස

ටීනා එදා හිටියේ තරමක් හිත් වේදනාවෙන්. රණ්ඩු කිරීම නම් ඇගේ ජීවිතේ සාමාන්‍ය අංගයක්. රණ්ඩු වලට තාරිකගේ හිත රිදුනට ටීනගේ හිත රිදුනේ නැහැ. ඇත්තටම හැම රන්ඩුවකටම පස්සේ ඇය යටි සිතින් අමුතු දිනුමක්, ජයග්‍රහණයක් භුක්ති වින්දා. එය ඇගේ චරිත ස්වභාවය. පාසලේදී, විශ්ව විද්යාලේදී, රෝහලේදී, කලින් විවාහයේදී හැම තැනදීම ඇය එක්ක ගැටුම් ඇති කරගත් අය සිටියා. එයට ලොකුම හේතුවක් වුනේ ඇගේ දැඩි අහංකාරය. ඒ වගේම ටීනා පරදින්න කැමති කෙනෙක් නෙවේ. හැම විටම තමන් හරි බවත් තාරික වැරදි බවත් පිළිගන්න ඇය හඬලා වැලපිලා තාරිකට බල කළා. ශාන්ත විවාහයක ජීවත් වුන අතාරිකට නම් ඇත්තටම රණ්ඩු වෙන එක හරිම මහන්සියි.

ඇත්තටම එදා ඔවුන් දෙන්නා රණ්ඩු වුනේ නිකන්ම වැඩක් නැති අනුන්ගේ දේකට. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම ගැන ටීනා ඉතාම විරුද්ධයි. ඇය හිතුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති වෙලා වෛද්‍යවරු වැඩි වුනොත් තමන් දැන් ලබන විශේෂ සැලකිලි, විශේෂ ආමන්ත්‍රණ තමන්ට නොලැබේවි කියලයි. රෝහලේ සායනවලට එන දුප්පත් රෝගීන් එයට දන්නේ නැති කමට මැඩම් නොකියා මිස් කීවොත් ඇය බල්ලන්ට වගේ බැනල ඔවුන්ව එලෙවුවා. “ ඒ බෙහෙත් කොහෙන්ද ගන්න ඕනේ ” කියල අහපු බැගෑපත් අම්මෙක්ට වරක් ඇය එලියට යැවුවේ කතා කරන්න දන්නේ නැහැ කියල හොඳටම බැනල. මොකක් කියන්නද කියල නොදත් ඒ නූගත් මහලු ගැහැණිය එලියට ගියේ හඬමින්. ඉතින් ඇයට ඕනේ වුනේ නැහැ මේ ලැබෙන වරප්‍රසාද වෛද්‍ය වරු ගණන වැඩි වෙලා අඩු වෙනවට.

එදා රෝහලේ ස්ට්‍රයික් වුනත් ඇය ගෙදර ඩිස්පැන්සරියේ බෙහෙත් දුන්නා. රෝහලේ ස්ට්‍රයික් නිසා ලෙඩ්ඩු ගැන ගොඩක් වැඩියි. හවස එක ඉවර වෙලා එද්දී පොඩි එකා නලවමින් තාරික සාලේ හිටියා. ඇය දකිද්දී ඔහුගේ තරහා වැඩි වුනේ මුළු හවසම වැදගත් මීටින් එකකට ඕනේ ලිපි වගයක් සකසන්න ඔහුට නොහැකි වුන නිසයි. නමුත් ඔහු ඒ තරහා ඇයට පෙන්නුවේ නැහැ. ඇය බබාව අතට අරගෙන ඔහු දෙස හැරිලා “ තාරික අයියේ ..තේ එකක් බොමුද ? කියා ඇසුවා ” එහෙම අහන්නේ සාමන්‍යයෙන් ඔහුට හදන්න කියලයි. ඇය කවදාවත් ඔහුට තේ හැදුවේ නැහැ. ඇයට ඕනේ වුනාම තාරික ලවා හදවා ගත්තා. ඔහු කුස්සියට ගියේ තරහෙන් වුනත් ඒ බව පෙන්නුවේ නැහැ.

“ තාරික අයියා ..අද නම් සැහෙන්න ගානක් හම්බ වුනා. හැමදාම ස්ට්‍රයික් තියනවා නම් කොච්චර හොඳද ? ඇය කුස්සියට ඇවිත් කීවේ දරුවා ඉස්සරහ තියලයි “

“ ඕකෙන් රිදෙන්නේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට නේද ? “ ඔහු ඇහුවේ සේරම තරහ ඒ පිටින් යවමින්.

“ නැහැ ..නැහැ..අපිට ඕනේ ආණ්ඩුවට රිද්දන්න. දොස්තරලා වැඩි වුනාම අපිට චැනලින් නැති වෙනවා. තව වැඩි වෙද්දී අපේ අගය බහිනවනේ. දැන් ඔය මිනිස්සු අපි මොනවා කියල බැන්නත් අහන් ඉන්නේ..අපි කොච්චර පරක්කු වුනත් වචනයක් නොකියන්නේ දොස්තරලා ගොඩක් අඩු නිසා. මම හිතන්නේ මිනිස්සු 1600 කට එක දොස්තර කෙනෙක් ඉන්නේ අපේ රටේ . ඒක නිසයි අපි ස්ට්‍රයික් කරන්නේ ඕනෙම දේකට. ” “

“ ඔච්චර මොකද්ද තියන අගේ “ ඔහු ඇහුවේ උපහාසෙට හිනා වෙමින් ..

මේ නිසා ටීනට තරහා ගියා.

“අප්පෝ ඔයාට දැන් මන් නිසා කොච්චර පිළිගැනීමක්ද ලැබිල තියෙන්නේ ? අර මහ ලොකු ව්‍යවසයිකාව ..පඩි වල බිම ඉඳගන්න, කුණු ගෑවිච්ච වට්ටි අම්මල එක්ක කරට අතදාගෙන ඉන්න … ලැජ්ජ නැද්ද ? බලන්න මම සමුදී වගේ තර්ඩ් ක්ලාස් නැහැ. මම කොතන ගියත් කාගේවත් මූණක් වත් බලන්නේ නැහැනේ.. ඒ මගේ වැදගත්කම “

ඒකට තාරික හිනා වුනා. බඩ අල්ලාගෙන හිනා වුනා.

“ කොච්චර වැදගත් වුනත් කමක් නැහැ. මිනිස්සු මරලා හරි තමන්ගේ අහන්කාරේ රැක ගත්තොත් ඇති “ ඔහු කීවේ හිනාව නවත්වලා.

“නැහැ මම මේ කල්පනා කලේ විහස් හරි විමාශ හරි දුව හරි ලොකු වෙලා මෙඩිසින් කරන්න ඕනේ කීවොත් දැන් ඉතින් රට අරින්න තමා වෙන්නේ. මොකද ලංකාවේ පුද්ගලිකව අනික් හැමදේම උගන්වන්න පුළුවන් නෙ. මම හිතන්නේ එහෙම වුනොත් කොටි තුනක් වත් පිට රටට අපේ රටේ සල්ලි යනවා. මේ රටේ කෝටියෙන් කරන දේ පිට රටක කරන්න තුන් ගුණයක් යනවා.”

ඒ ගමන ටීනට කල්පනා වුනා ලොකු මුදලක් නේද කියල.

“ දුවව නම් ඕනේ නම් යවමු. හැමෝටම මෙඩිසින් කරන්න බැහැ. මම හිතන්නේ නැහැ විහසුයි , විමාෂයි එච්චර දක්ෂයි කියල. සමුදිගේ මෝඩ මොලේ එහෙම්ම පිහිටලා ඇති. මෙඩිසින් කරන්න හැමෝටම බැහැනේ. ..ඇය කීවේ අවන්කවම “

“ ඔයා කොහොමද කියන්නේ පුතාල මෝඩයි කියලා? ඔහු ඇහුවේ වේදනාවෙන්.

“ නැහැ ඉතින් ඔයත් කොමස්, සමුදිත් කොමස්… සයන්ස් කරන අයට වගේ බුද්ධියක් නැහැ කොමස් කරන අයට. මැත්ස් කරන අයට වුනත් එක පැත්තක් විතරයි පුළුවන්. “

සුසුමක් හෙලපු තාරික කල්පනා කලේ බොහොම වේදනාවෙන්. සමුදී කියන්නේ කොමස් කරලා ගම්පහෙන් රෑන්ක් අරන් කැම්පස් ආව දක්ෂ ගැහැණු ළමයෙක්. ඇය විශ්ව විද්‍යාලයේදීත් ඉතාම දක්ෂයි. සයන්ස් කරා නම් ටීනා වගේ තුන් වෙනි වර නෙවේ පලවෙනි වර වුනත් මෙඩිසින් යන්න තිබ්බා. නමුත් ඇය වෛද්‍ය වුර්තියට කැමති වුනේ නැහැ. ටීනා හිතුවේ කොමස් ආර්ට් කරන මිනිස්සු මෝඩයෝ. සයන්ස් කරන්න බැරි කමට කරනවා කියලයි.

සමුදී කවදාවත් කාටවත් මෝඩය කියල හෙලා තලා කතා කරේ නැහැ. ඕනෙම නූගත් කෙනෙක් එක්ක ලස්සනට පෑහුනා. ඒ කෙනාගේ දක්ෂකම් මතු කරලා අරගෙන ලස්සනට ඔප දාල ව්‍යාපාරයට වැදගත් කෙනෙක් කළා. නමුත් මේ ටීනගේ පැහැදිලි කුහක ආකල්ප ඔහුගේ හිත සෑහෙන දුරට කළකිරවීමට සමත් වුනා.

“ මොකටද තමුසේ එහෙනම් මම වගේ මෝඩයෙක් බැන්දේ “ ඔහු ඇහුවේ කෝපයෙන්.

ඉන් පස්සේ ගෙට ගිහින් ෂර්ට් එකක් දා ගත්ත ඔහු හයියෙන් දොර වහගෙන එලියට ගියා. ඔහුගේ වාහනය නොපෙනී යන අයුරු ටීනා බලා සිටියා.

“ ගිහින් ඒවිනෙ…කොහේ යන්නද කෙල්ල දාල. “ ඇගේ හිත උපහාසයෙන් සිනාසුනා.

ඇය දන්නවා තාරික තමාගේ උගුලේ සිර වුනේ දුව නිසා කියල. සොෆාවේ වාඩි වෙලා ඇය අතීතය මෙනෙහි කළා. දවසක් තාරික ඇයගේ ඩිස්පැන්සරියට ආවේ අහම්බෙන්. ඒ ඔහුගේ ඇඟේ පතේ තිබෙන ලොකු වේදනාවන් නිසා. ඒ දිනවල සමුදිගේ කාර්යබහුලකම සහ ඇයගේ තත්වය තමා අභිභවා යාම නිසා හටගත් හීනමානෙන් පීඩා විඳිමින් තාරික හිටියේ. ඔහු දැඩි මානසික පීඩනයකට ලක්වෙලා සිටි නිසා ඔහුව චාටුවෙන් මනෝ වෛද්‍ය වරයෙක් වෙත රැගෙන යන්න සමුදී උත්සහ කරා. ඒ ගැන කිපුණු ඔහු තනිවම ටීනගේ වෛද්‍ය සායනය වෙත ගියේ තමන්ට තමන් බලාගත හැකි බව සමුදිට ඔප්පු කරන්නයි. ඒවගේම සමුදිගේ හිත රිදවන්නයි.

තාරිකගේ ලෙඩ ගැන අහලා , පරීක්ෂණ රැසක් කළත් ඔහුට රෝගයක් නැති බව ටීනා පැහැදිලි කළා. ඉන් පස්සේ ටිකෙන් ටික සතියක් විතර ඔවුන් දෙන්නා දුරකතනයෙන් එකිනෙකාගේ විශේෂයෙන්ම තාරිකගේ පවුල් අවුල ගැන කතා කළා. දුවෙක් නැති වීම, සමුදී කාර්ය බහුල වීම වගේ දේවල් අතිනුත් දාල ඔහු ටීනට කියල බොළඳ අනුකම්පාවක් ලැබුවා. ටීනට වැටහුනා ඔහු හරිම බොළඳ බව. ඒ වගේම දරුවන්ට ඉතාම ආදරේ බව.

ඇය මුළු රාත්‍රියකම නිදි වර්ජිතව කල්පනා කළා. ඇය පළමු විවාහය වෙලා වසරක් යන්න පෙර දික්කසාද වුනා. ඇගේ දෙමාපියෝ පවා ඇය එක්ක ඉන්න බැරි නිසා වෙනම ඉන්නවා. ඒ එක්කම නිකන්ම වෛද්‍ය වරයෙක් වුන කලින් සැමියාට පේන්න ලොකු සල්ලි තියන කෙනෙක් එක්ක විවාහ වෙන්න සිහින දකිමින් ඇය හිටියේ. මේ කාලයේදී ඇය හැමවිටම තාරික කෑවද, බීවද, පරිස්සමෙන් ගියාද වගේ නිතරම ඔහු එක්ක දුරකතනයෙන් කතා කළා. කල්පනා කරලා ඔහුට යන්න නොදී කොටු කර ගන්නා පිළිවෙල ගැන තීරනේකට එළඹුනා. එතකොට සමුදී එක්ක ඔහු විවාහ වෙලා හිටියේ. මේ දවස් හරියටම ඇය ඇමරිකාවේ යන්න සූදානමින් සිටි කාලයයි. තාරිකව එක්කන් ඇමරිකා යන්න හදද්දී ටීන හිතුවා තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න සුදුසු කාලයක් එනවා කියල. ඒ නිසා යන්න එපා කියා ඔහුට අවවාද කළා. සමුදී රටේ නැති වුනාම ගොඩක් ලේසියි.

( ලබන සතියට )