“ජීවිතේ මේ වගෙයි.” – Part 49

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇය ව්‍යාපාරිකාවක්. ඇගේ හිටපු ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 49 කොටස

“අම්මා මම අද සොනාලිට බැන්න “ යෝෂි කීවේ තමන් කරපු ලොකු වැඩේ ගැන පුරාජේරුවෙන්.

වැඩකට හිත යොමාගෙන ඉන්න අතරේ “ ඒ මොකද ? “ කියල සමුදී ඇහුවේ සැරෙන්.

“ නැහැ ..මට හැමදාම එයා මොනවා හරි කියනවා. එක්කෝ මම කෙට්ටු වැඩියි. එක්කෝ මගේ මූණ පාන්ඩු පාටයි…මේ හැමදේම කියන්නේ මගේ හොඳට වගේ. යාළුකමට වගේ පෙන්නගෙන. හැබැයි එයා යාලුකමට හොඳ දෙයක් කවදාවත් කියන්නේ නැහැ.”

ඉතින් අද මොකද පන්තියේදී එයා කීවේ ? සමුදී තව ටිකක් සැරෙන් වගේ ඇහුවා.

“අද කීවේ ඔයාගේ මූනේ හොඳටම කුරුලෑ බලන්නවත් බැහැ කියල “

ඉතින් ඔයා මොනවා කියලද එයාට බැන්නේ ? සමුදී ඇහුවේ හිනාව මැඩගෙනයි.

“ මම කීවා ඔයාට එකෙන් ඇති වැඩක් නැහැ නේ… මට කණ්ණාඩියෙන් පේනවා මගේ මූනේ කුරුලෑ තියනවා කියල. ඔයා ඒක ආයෙත් කියන්නේ මගේ ඇස් දෙක පේන්නේ නැහැ කියල හිතාගෙනද ?” කියල මම එයාගෙන් ඇහුවා. එයාට උත්තර නැති වුනා අනේ….”

එවර සමුදිගේ මූනේ මතු වුනේ මැඩගත් හිනාව. That’s my girl කියල හිතෙන හිතුව ඇය යෝශිතා දිහා බැලුවේ අහන්කාරෙන්.

ගමෙන් ආව කාලේ අහිංසක ගැහැණු ළමයෙක් වුන යෝශිතා සමුදී එක්ක ජීවත් වෙලා දැන් තරමක් තද හිතක් ඇති කෙනෙක් වෙලා. තැන තැන කතා කරන එක යෝශිගේ සිරිතක් නෙවෙයි. ඒ වගේම ඕනෙම දෙයක් මූණට කියල විසඳන්න ඇයට පුළුවන්. ඒ ගති ගුණ ඇයට හුරු වුනේ සමුදිගෙන්.

“පුතේ අපේ රටේ මිනිස්සුන්ට තියන නරකම සිරිතක් තමා අනුන්ගේ ඇද පලුදු පේන එක. ඒ ඉතින් එයාලගේ සිරිතක්. සමහර විට එහෙම කරලා ඒ මිනිස්සු සන්තෝස වෙනවා ඇති. ඔයා යාලුවට ඒ විදිහට බැන්න එක හොඳයි. ආයෙත් එහෙම නොකරන්න පාඩමක් ඉගෙන ගනීවි නේ. අනික පුතේ ඔය වගේ අනුන්ගේ ඇද නිකන් කියන මිනිස්සුන්ගේ ජීවිත වල ඊට වඩා ඇද ගොඩක් තියනවා.

“ ඔවු අම්මා ….මම අම්මට කියන්න හිටියේ පින්කි නැන්දා ලඟදි අම්මිට බනිනවා ඇහුනා. මල්ලිලා දෙන්න විතරක් හදාගෙන ..වෙන ළමයි හැදුවේ නැහැ කියල. ඒ නිසාලු තාරික අන්කල් ගියේ….”

සමුදී වේදනාවෙන් සුසුමක් හෙලලා යෝශිගේ හිස අතගෑවා.

“පුතේ ලොකු උනාම ඔයත් හිතට ගන්න. වෙලාව කාලය වගේ දේවල් දෙන්න බැරිව අනුන්ට ඕනෙවට ළමයෙක් හදන එක තේරුමක් නැති වැඩක්. ළමයෙක් මේ ලෝකෙට ගෙන්න කලින් පරිස්සමට හිතන්න ඕනේ පුතේ. ළමයෙක් කියන්නේ කෙලින්ම අවුරුදු 20 කැ ප්‍රොජෙක්ට් එකක්.”

පින්කි නැන්දට බනින්න බැරි වුනානේ මට. චික්….

“ අනේ පුතේ බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. ඔයා එයාට බනින්න යන්න එපා. එයා පවුලේ කෙනෙක්නේ. අනික පින්කි නැන්දා ඉස්සර ඉඳලම මගෙත් එක්ක ඉරිසියයි. තරහයි. මොකද එයා නිකන්ම ගෙදරට වෙලා ඉද්දි මම බින්දුවේ ඉඳල ගගක් වගේ දාඩිය හලලා මේ දේවල් කර ගත්ත නිසා….”

අතීතය මතක් වීම නිසා සමුදිට දැනුනේ වේදනාවක්. ඇඳේ ඇය ඉඳගෙන ඉද්දි යෝශිතා ඇගේ ඔඩොක්කුවේ ඔලුව තියා ගත්තා. පන්ති ගිහින් ආව ගමන් නිසා ඇගේ ඇඟේ දාඩිය ගඳ.

“ පුතේ අද ඩියෝද්‍රන්ඩ් දැම්මේ නැද්ද ? ඔයා ළඟ මට ගඳ ආවට කමක් නැහැ. හොඳ පෞර්ෂයක් තියන ගැහැණු ළමයෙක් කවදාවත් ගඳ ගහන්න හොඳ නැහැ. “ නමුත් යෝශිට ඒ ගැන සිහියක් නැහැ. 20ට කිට්ටු කරාට ඇය තාම හරිම දඟයි. කොල්ලෝ දෙන්නා එක්ක එකතු වෙලා නටන එක තමා ඇගේ එකම සතුට.

“ අම්මි දැන් දුකෙන්ද ඉන්නේ ..නංගි කෙනෙක් හැදුවේ නැති නිසා… මට ඇහුනා ලොකු මාමි පින්කි නැන්දිට කියනවා. “

සමුදිගේ මුහුණේ මතු වුනේ උපහාසාත්මක හිනාවක්.

“අපෝ නැහැ පුතේ. කොහෙත්ම නැහැ. තාරික අන්කල් ගිය එක ගැන මට දුකයි. අන්තිමට එයාව නවත්වා ගන්න එයාගේ බලේට මම තව දරුවෙක් හදන්න ලැහැස්ති වුනා. එතකොට මට වයස ගෙවිලානේ. ඒත් බැරි ගානේ හරි හදන්න හැදුවේ ප්‍රශ්න නැතිව පවුල රැකගන්න. ඒත් ඒ හැමදේම නූලෙන් ගියා. දැන් හිතෙනවා අන්කල් ගිය එක හොඳයි කියල”

“ඒ ඇයි අම්මි ?”

“මන්ද මේවා ඔයාට තේරෙයිද කියල . ඒත් තාරික අන්කල් ඒ වගේ වයසකදී ඔය විදිහට හැසිරෙන තරම් තේරුමක් නැති ආත්මාර්ථකාමී මිනිහෙක් නම් අන්කල් ගිය එක වඩා හොඳයි. මම තනිවුනා තමා පුතේ. හැබැයි අන්කල් දැනගන්න ඕනේ මේ සේරම අපි දෙන්න වැලි කටේ ඉඳල හැදුවේ පුදුම මහන්සියකින්. මගේ වරදක් වෙනවා නම් ඒ වරද පෙන්වලා දෙන එක සහ ඇත්ත තත්වේ තේරුම් ගන්න එක පැත්තක තියල එයා වෙන කසාදයක් බැන්ද එක වගේ මෝඩ වැඩක් කරා නම්..මට තාරික අන්කල් ගැලපෙන්නේ නැහැ…. “

සමුදී තරහෙන් කියවාගෙන ගියා. ඇගේ දෙනෙතේ කඳුලක් මෝදු වුනා.

“ මල්ලිලා දෙන්න තමා මගේ ජීවිතේ. හැබැයි එයාල දෙන්න නිසා දැන් මම කොටු වෙලා ඉන්නේ. මට දෙවියෝ දුන්න තෑග්ග තමා මල්ලිලා දෙන්නා. සමහර වෙලාවකට මට හිතෙනවා මල්ලිලා දෙන්නා නොහිටියා නම් දැන් මගේ ජීවිතේ මීට වඩා ගොඩක් වෙනස් කියල”

යෝශිගේ ලපටි මූනේ දාඩිය බින්දු නැගුනා. සමුදී කවදාවත් ළමයින්ට සැර වැර වත් කරන අම්මෙක් නෙවෙයි. ඇත්තටම ඇය මල්ලිලට අකමැති ද කියල යෝෂි කල්පනා කළා. ඇයට නම් මල්ලිලා දෙන්න නැති ජීවිතේ ගැන හිතන්නවත් බැහැ.

“ මගේ වයසේදී ඔයාටත් තේරේවි. නිදහස වගේ දේවල් විඳින්න තරුණ කාලෙම මහන්සි වෙලා හරකෙක් වගේ වැඩ කරලා පස්ස හැරෙද්දී මම කොටු වුනා. දරුවෝ දෙන්න නැත්නම් මම රටින් රටට සංචාරය කරනවා. දැන් ටිකක් ඉන්න වෙනවා මේ දෙන්න ලොකු කර ගන්නකම් ..ඒ වගේම ඔයාව බන්දවනකම් කියලා සමුදී ඇගේ කම්මුල හෙමින් මිරිකුවා.

“ මට බඳින්න බැහැ. මම බඳින්න බයයි දැන්. අම්මයි තාරික අන්කලුයි හිටිය හැටි දැකල ඒ පවුල කැඩුනහම මටත් දැන් බයයි. මමත් තනියම ඉන්නවා.”

“ ළමයෝ. ඔය දේවල් වෙන්නේ අපි කරන කාර්ම වලට අනුව. මම දුක් වෙන්නේ නැහැ ගෙවුන කාලේ ගැන. මොකද මම හැමදේම තාරික අන්කල් වෙනුවෙන් කරේ ඇත්තටම සතුටින්. යන්න දුන්නෙත් කිසිම කරදරයක් නොකර. මොකද යන වෙලාවට යන්න දෙන්න ඕනේ කියන තරම් මගේ ආදරේ ලොකු වුනා.”

සමුදිගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙද්දී යොශි හිතුවේ “ අනේ හොඳයි. හිත සැහැල්ලු වෙයි කියලයි.”

හිතේ අමාරුවටම ඇය හිතේ තියන දේවල් යෝශිට කීවා. යෝශිත් ඇස් දෙක ලොකු කරගෙන කියන හතර බීරි කතා තේරුම් ගන්න උත්සහ කරා.

“මම කවදාවත් කා එක්කවත් තාරික අන්කල්ගේ වැරදි කියල නැහැ. තාරික අන්කල් වුනත් මගේ වැරදි කා එක්කවත් කියල නැහැ. අපි දෙන්න මල්ලිලාගේ වැඩක් තියනවා නම් කතා කරනවා. දැන් ටීනා ආන්ටි නෙ එයාගේ වයිෆ්. ටීනා ආන්ටි ටිකක් අමුතුයි. ඒ නිසා මම අන්කල් එක්ක කතා කරන්නේ අවශ්‍යම දෙයක් විතරයි. ඒත් මල්ලිලට කියල තමා බොහෝ විට කතා කරන්නේ. රෑ වෙලා නම් කවදාවත් මම කතා කරන්නේ නැහැ. මල්ලිලාගේ කාමරේ ෆෝන් එකක් අන්කල් දාල දුන්නෙත් ඒකයි. මගේ ෆෝන් එකෙන් කතා කරන්න වුනොත් ටීනා ආන්ටි රණ්ඩු වෙනවලු. එයා දැන් තාරික අන්කල්ගේ වයිෆ් නිසා මට අයිතියක් නැහැ එයාගේ කැමැත්තට පිටින් යන්න..”

එදා සෙනසුරාදා දෙන්න ගොඩක් වෙලා කතා කරමින් හිටියේ විහස් සහ විමාශ නංගි බලන්න ගිහින් හිටිය නිසා. සුමනා ගමේ ගිහින් හිටිය නිසා යෝෂි එක්ක සමුදී හවස ගෝල් ෆේස් ගියා. දෙන්නා FDO ගිහින් ජෑස් සංගීතය ඇහුවා. නැටුවා. ගෙදර එද්දී රෑ 2 ත් පහු වෙලා.

( ලබන සතියට )