සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 48 කොටස

“මොනාද අයිසේ මේ ගෑණු එක්ක වලි දා ගන්නේ ? දැන් ඒකෙන් කරදරෙත් මටනේ. “ තාරික ඔහුගේ හිටපු රියදුරා වෙච්චි ජයසුමන දිහා බැලුවේ තරහෙන් නෙවෙයි.

“ සර් ..මට රස්සාව නැති වුනාට කමක් නැහැ. මට වෙන එකක් හොයල දෙන්න. මම දරු පවුල් කාරයා “ ජයසුමන කීවේ බැගෑපත්ව.

සතියකට කලින් ජයසුමන ටීනා එක්ක බහින් බස් වීමක් වෙලා ගෙදර ගිහින් තිබුණා. ටීනා ජයසුමනට කොහෙත්ම කැමති නැහැ. ඒ වගේම ජයසුමන කියන්නේ ඕනේ නැති දේවල් කතා නොකරන අහිංසක මිනිහෙක් බව තාරික දන්නවා. ගොඩක් වෙලාවට විහස් ගෙයි විමාෂගෙයි ගමන් බිමන් සහ තාරික වැඩ වෙලාවට ටීනගේ ගමන් බිමන් බැලුවේ ඔහුයි. කාර්යබහුල අධ්‍යක්ෂක වරයෙක් ලෙස දරුවන්ගේ සහ ටීනගේ හැම ගමනටම ඔහුට යන්න බැහැනේ. දැන් ජයසුමන නැති නිසා ඔහුට විශාල මුදලක් ටීනා සහ දරුවෝ වෙනුවෙන් කැබ් වලට වැය කරන්න වුනා. පොඩි කාර් වල, බජට් කැබ් වල යන්න ටීන කැමති නැහැ. ඩ්‍රයිවර් එක්ක ජීප් එක නැත්නම් ඇය ලොකු මිල අධික කැබ් වල විතරයි ගමන් ගියේ.

පලවෙනි විවාහය අසාර්ථක වෙලා තනිව හිටපු ඇය රෝහලේ හැමෝටම පෙන්නගෙන හිටියේ ඔවුන්ට ගොඩක් සල්ලි තිබෙනවා. ඇගේ සැමියා ලොකු නිලධාරියෙක් කියලයි. අන්න ඒ මහන්තත්වය නැති වෙන නිසා ඇය පොඩි වාහන වල යන එක ලැජ්ජාවක් ලෙස සැලකුවා. ඒ ගැන දවසක් දෙන්න අතරේ වාදෙකුත් ඇති වුනා.

“ මොන ලජ්ජා නැති වැඩක්ද ? මම නම් දුප්පත් මිනිස්සු යන කැබ් කබල් වල යන්නේ නැහැ ..” ඇය තාරිකට සැරෙන් කීවා.

“ අප්පෝ ඔවු මාව හම්බ වෙන්න කලින් කබල් මරුටියෙන් ලස්සනට ගියේ. දැන් මොකෝ හදිස්සියේ අන් ආවද ? “ ඔහු ඇහුවේ දරා ගන්න බැරි කෝපයෙන්.

“මම කීවනේ මම යන්නේ නැහැ. මට ලැජ්ජයි. “

තාරිකට හුඟක් තරහා ගියා. කැබ් වලට දරන්න වෙන විශාල වියදම වගේම ඇය රියදුරා එලවා ගැනීම නිසාත් ඔහු කෝපයෙන් පිපිරී පිපිරී හිටියේ.

“ තමුසේ නිකන් දොස්තර නිසා ට්‍රීවිල් කැබ් වල යන්න කැමති නැහැ. හැබැයි ඔයිට වඩා ලොකු ගෑනුත් හොඳට පාරේ බැහැල යනවා. කැමති නැත්නම් මොකටද ඩ්‍රයිවර් ව එලවා ගත්තේ ? මා ගාව අවුරුදු ගානක් වැඩ කරපු මිනිහා. තමුසෙගෙ හැටිද මේ ? නැත්තන් ඔය තරම් උද්දච්ච නොවී ඉන්නවා. පස්ස බිම ඇනෙයි “ කියල මහ හයියෙන් ටීනට බැන වැදුනා. ගෙදර වැඩ, කාර්යාලයේ වැඩ වගේම මේ අනවශ්‍ය ප්‍රශ්න නිසා තාරික හිටියේ පුදුම පීඩනෙකින්. ඔහු මේ විදිහට බර දරන්න හුරු කෙනෙක් නෙවෙයි.

“හඃ තමුසෙට පුරුදු අර මහ ලොකු ව්‍යවසායිකාවනේ. ඒකිට නම් විලි ලජ්ජා නැහැ. මම දැක්කා ගිය සතියේ පාරේ පයින් යනවා. කොල්ලන්ට පේන්න ස්කිනි එකක් ඇඳගෙන .. නාකි විසේ … මම ඒකි වගේ නෙවෙයි. මම දොස්තර කෙනෙක්. ”

මේ වෙලාවේ කෝපයෙන් සිටි තාරික ඉස්සරහට පැන්නා.

“කියපන් බලන්න සමුදිට තව එක වචනයක්. උඹේ දත් ටික හලන්නේ නැද්ද බලන්න. ඒ ගෑනිට උඹට වගේ ඔලුවේ අන් දෙකක් නැහැ”

ජීවිතේ පලවෙනි වතාවට තාරික සමුදිගේ ගුණ ගැන කියනවා අහපු ටීනා හයියෙන් හඬන්න පටන් ගත්තා. කෑ ගසමින් ඇය වැලපෙද්දී තාරිකට ඇති වුනේ දුකක්. ඒ වගේම නින්දෙන් ඇහැරුණ පුංචි දුව උගුර යටින් කෑ ගැහුවා. මේ නිසා ඇගෙන් සමාව ගෙන මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න ඕනේ කියල තාරික තීරණය කළා. රියදුරන් කීප දෙනෙක්ම ගෙන්නුවත් ඒ එක්කෙනක් වත් ජයසුමන වගේ හොඳ නැහැ. ඒ නිසා තමයි ඔහු නැවත වරක් ජයසුමනට එන්න කීවේ.

සමුදී කවදාකවත් සේවකයෙක්ට පහත් ලෙස කතා කලේ නැහැ. ඒ නිසා සේවකයෝ වසර ගනන් රැඳුනා. ඇගේ මනුස්සකම් ඒ වගේම තරිකව නිදහසින් තැබීමේ චේතනා නිසා ඇය හැමදේම බර ජීවිතේට ගත්තා. ඇයට ඔය ලොකුකම් තිබ්බේ නැහැ. අද වුනත් පාරේ කෝච්චියක, බසයක වුනත් ඕනේ වුනොත් යන්න සමුදී සූදානම් බව තාරික දන්නවා. ව්‍යාපාරේ පටන් ගත්ත මුල් කාලේ ඇය ත්‍රීවිල් වල බස් වල ගිහින් රෙදි ඕඩර් භාර දුන්න හැටි තාරිකට මතක් වුනා. ඒ කාලේ දුක වැඩි කමට ඔහු හවසට ඇගේ කකුල් වල තෙල් දාල අතගානවා. එතකොට ඔහු අහනවා ඔයාට ලැජ්ජා හිතෙන්නේ නැද්ද මේ විදිහට ට්‍රීවිල් වල බස් වල බඩගාන්න කියල.

“ අනේ තාත්ති බස් එකක ගිහින් හොරකමක් කරා නම් නැත්නම් කාටහරි වරදක් කරා නම් එහෙමත් නැත්නම් තාත්තිට හොරෙන් මිනිහෙක් එක්ක හෝටල් ගානේ ගියා නම් මම ලජ්ජා වෙන්න ඕනේ…. දාඩිය මහන්සියෙන් හම්බ කරගන්න යන මම ඇයි ලජ්ජා වෙන්නේ ?” ඒ ඇය උත්තර දුන්න පිළිවෙලයි. අදත් ඇය මීට වඩා වෙනසක් නැති බව තාරික දන්නවා.

සමුදී වගේ ධනවත් නොවුනත් ටීනා ගොඩක් වෙනස්. ඇය හරිම අහන්කාරයි. හැම පොඩි දේම දැන් මහා බරපතල ප්‍රශ්න වෙලා.

ඒ කාලේ ජීවිතේ කොයි තරම් පහසුද කියල කල්පනා කරමින් තාරික බිම බලාගෙන හිටියේ.

“ සර් මම යන්නද ? “ කියා ජයසුමන අහද්දී තාරික ධ්‍යානයෙන් මිදුනා.

අයිසේ ජයසුමන තමුසේ මා ගාව වුරුදු 8 ක් වැඩ කරපු මිනිහා. බේබිල දෙන්න කැමතිත් තමුසෙට. ඔන්න විමාශ ගිය සතියෙම හොටු පෙරනවා ජයසුමන අන්කල් ගේන්න කියල.

ජයසුමනගේ මූනේ නැගුනේ ලොකු හිනාවක් .
“ විමාශ බේබි ..අම්ම වගේම සිරියාවයි. සර්ගේ කපාපු පාළුව වුනාට” ඔහුගේ කටින් පිට වුනේ නොදනුමත්වමයි.

“ දැන් තමුසේ ඔය ටීන නෝනගේ විකාර අමතක කරලා හෙට ඉඳල වැඩට එනවා. එයාගේ හැටි අපි හැමෝම දන්නවනේ. අර පොඩි වුන් දෙන්නට තියන මොලේ මේ තමුසෙට නැහැනේ. “

ජයසුමන වරෙක ඔලුව කැසුවා. ඊළඟ පාර කොලර් එක හැදුවා. කොතරම් දුප්පත් වුනත් නැවත වැඩට යන්න ජයසුමනට හිතුනෙම නැහැ.

“මම සර් කියන හන්දා එන්නම්. ඒත් සර් ආයෙත් මේ ප්‍රශ්නේ ඇති වෙයි. “ ඔහු කීවේ බියසුලුව.

“ අයිසේ ඔය ගෑනුන්ගේ කෙහෙවලු පටල ගන්න ඒවා මැද්දට පිරිමි අපි පනින්න ඕනේ නැහැනේ. තමුසේ කට පියාන ඉන්නවා. නැත්නම් මේ පොඩි වුන් දෙන්නගේ වැඩයි නෝනගේ වැඩයි ඔක්කොම මගේ පිට වැටෙන්නේ.”

“ සර් ..අවුරුදු 8 ක් මම සර් ගාව වැඩ කළා. 7 ක්ම සමුදී නෝනා ළඟ. දෙවියන්පා වචනෙකින් වත් මගේ හිත රිද්දුවේ නැති නෝනට බනිද්දි මම කොහොමෙයි වාවන් ඉන්නේ ? “ මෙහෙම ඇහුවට ජයසුමන හිතෙන් හිතුවේ වෙන දෙයක්. උඹට කොන්දක් නැති වුනාට ..මට එහෙම අහගෙන ඉන්න බැහැ කියා ඔහු හිතෙන් දහස් වාරයක් තාරිකට දොස් කීවා.

තාරික ජය සුමනට තව වැඩියෙනුත් රුපියල් දහ දාහක් දුන්නා. ඒ ඔහුව නැවත එන්න කැමති කරවා ගන්නයි. තාරිකගේ මුහුණ දෙස බලා සිටි ජයසුමනට දුක හිතුනා.

“ බුදු අම්මේ අර මල යක්ෂනී එක්ක කොහොම ජීවත් වෙනවද දන්නේ නැහැ. එක අතකට ඔහොම වෙලා මදි අපේ නෝනට කරපු දේට” කියල යටි හිතෙන් ඔහු හිතුවා. ඒ එක්කම නැවත සේවයට එන්න පොරොන්දු වෙලා ඔහු පිටත් වුනා.

සුසුමක් හෙලපු තාරික “ එකෙක් යන්තම් මෙල්ල කරා. දැන් බලමු ගෙදර එක්කෙනාට සැර දාල. “ කියල හිතුවා. ටීනගේ මේ ගති ගුණ වලට මෙතරම් කාලයක් තරහා නොගත්ත වුනත් දැන් දැන් නම් ඔහු කෙළවරක් නැතුව ඇය එක්ක කිපුනා.

( ලබන සතියට )