සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 47 කොටස

“ මිස් දැන් ඉස්සර වගේම ලස්සනයි “

කියන හඬින් සමුදී හැරිලා බැලුවා. බලද්දී ශාක්‍ය. ඇයගේ වැඩපොළේ ඉන්න ඉංජිනේරුවරයෙක්. ඔහු වැඩකරේ සතියට එක දවසයි. රට යන්න ලං වෙලා හිටපු ඔහු හිටියේ ඔහුගේ PHD එක ඉවර කරන්න ආසන්නයේ. සමුදිට වඩා වසර 8 ක් විතර ලාබාල ඔහු ඉස්සර තාරික ඉන්න කාලේ පවා බොහොම ගෞරවයෙන් නිතරම සමුදිව වර්ණනා කරනවා. මේ අහිංසක තරුණයාගේ මේ ආකර්ෂණය හුදෙක් අගය කිරීමක් බව දන්නා නිසා සමුදී ඔහුට බොහොම කරුණාවෙන් කතා කළා. වයසේ වැඩි බව පෙන්වන්න හැමවෙලේම ඇය ඔහුට කතා කලේ “ ශාක්‍යා ..පුතේ … දරුවෝ…ළමයෝ….” වගේ වචන වලින්.

පහුගිය කාලේ සමුදිට වෙච්චි ප්‍රශ්න එක්ක ඇය වැහරුන හැටි, අවලස්සන වුන හැටි දැක්ක ශාක්‍ය අවන්කවම කනගාටු වුනා. ශික් මම තව අවුරුදු 10 ක් කලින් ඉපදුනානම් කියල පවා ඉස්සර ඔහු කණගාටු වුන අවස්ථාවන් තිබුනා. නමුත් ඔහු තුල සමුදී කෙරෙහි තිබ්බේ උසස් හැගීමක්. එතනින් එහාට ඔහු ඇයට කිට්ටු වෙන්න කවදාවත් හිතුවේ නැහැ. තම ප්‍රධානියා වුන සමුදිගේ දක්ෂතා, ඇගේ කරුණාවන්තකම මේ හැමදේම ශාක්‍යා අගය කළා. විශ්ව විද්‍යාලෙදි ඔහුගේ පෙම්වතිය ඔහුට වංචා කරාට පස්සේ ඔහුගේ හිත පුදුම විදිහට ඉගෙනීමට නැමුනා. ගැහුණු ඉදිරියේ හැකි හැමවිටම පසුබැසීම ඔහුගේ සිරිතක් වෙලා තිබ්බේ.

අද ඔහු සමුදිව දැක්කේ මාස 6 කින් විතර. ඇගේ පෙනුම වෙනස් වෙලා නිසා ඔහුට පුදුමයක් වගේම ලොකු සතුටකුත් දැනුණා.

“ආ ශාක්‍යා කොහොමද ස්ටඩීස් ?” ඇය ඇහුවේ වර්ණනාවෙන් ඇති වුන සතුට එලියට නොපෙන්වා. අවුරුද්දකට වඩා වැඩි කාලයක් පිරිමියෙක්ගෙන් කොයිම ආකාරයකවත් කරුණාවක් නොලද ඇයට ඒ වචනේ ගොඩක් දැණුනා.

“ නැහැ මිස් සමුදී …දැන් මම නිදහස්. …” කියල ඔහු හිනා වුනා.

කාමරේට ගියත් සමුදිගේ හිත සන්සුන් වුනේ නැහැ. හිත නොසන්සුන් වුනා. නාන කාමරේට ගිහින් ඔලුව පීරන අතරේ ඇය තමන්ගේ ශරීරය දිහා නැවත බැලුවා. දැන් ඇය ආයෙත් ගොඩක් කෙට්ටු වෙලා. හරියට විසි ගණන් වල මැද වගේ. දැන් ඇයට මුදල් තිබෙන නිසා ඉහලම සැලුන් වල සේවය ලබාගත්තා. තරුණ කාලේ විතරක් නෙවේ මැද වයසේදී වුනත් බොහෝ පිරිමින්ගේ ආකර්ශනය නොමදව විඳපු ඇය හැමවෙලේම ඒ දේවල් තේරෙන්නේ නැහැ වගේ හදවත ඇතුලෙම කොටු කර ගත්තා. ඒ ඇය විවාහක වැදගත් ගැහැනියක් නිසා. ශාක්‍යා ගේ වර්ණනාව අද ඇගේ අවධි වුන ස්ත්‍රීත්වය වෙලාගෙන ගියා. ඇය ශාක්‍යා ගැන කල්පනාවට වැටුනා. ශාක්‍යා එක්ක කොහේ හරි බීච් එකක හුලන් වැදී ගෙන ඇවිදින හැටි ඇගේ හිතේ මැවුනා. ඒ එක්කම වරදකාරී හැගීමක් ඇගේ හිත වෙලා ගත්තා. ඒ ගැන හිතමින් ඉද්දි ඇගේ මුහුණේ හිනාවක් මතු වුනේ නිකන්මයි. ඈත සිට කාර්යාලට එන කුසුමාව දැක්කේ නැහැ ඒ නිසා.

“ අම්මේ…හිනාවෙ හැටියට නම් මොක හරි තියනවා…”

“ මුකුත් නැහැ අනේ ..” කියල සමුදී ලජ්ජාවෙන් හිනා වුනා.

“නැහැ..නැහැ…..මොනා හරි තියෙනවා ” කුසුමා අතහරින පාටක් නැහැ.

“ පිස්සුද කුසුමා..මේ කොල්ලෝ දෙන්න හෙට අනිද්දා ඉලන්දාරි. මම දීග යන එකද දැන් තියෙන්නේ “ අහමින් සමුදී හිනා වුනා.

ඈත තියා සමුදී දෙස බලා සිටි කුසුමාගේ ඇස් වලට කඳුළු පිරුණා. ඇය ලංවෙලා සමුදී දිහා බැලුවේ හද කකියවන විලාසයකින්.

“ අපේ වගේ රටක හරි විදිහට නම් මිනිහෙක් දාල ගියපු ගෑනියෙක් මුහුදක පනින්න ඕනේ…මගේ අම්මා මාව මේ තත්වෙට ගෙන්න කලින් මම වින්ද දුක් කරදර, කටකතා දන්නේ මම විතරයි. ගෙන් ගෙට යන වෙලෙන්දිට කරදර කරන්න ඕනේ කෙනෙක් පසුබට වෙන්නේ නැහැ. එකෙන් තමා මට අයෙත් පිරිමි සංහතියම එපා වුනේ. අපි දෙන්නා සල්ලි තියන නිසා අද ඉහ ගහගෙන ඉන්නවා. නැත්නම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද ?”

“ ජීවිතේ හැටි ඔහොම තමයි කුසුමා..මේ සේරගේම තියෙන්නේ අපි දෙන්නගේ දාඩිය…” ඇය කුසුමාගේ අතකින් ඇල්ලුවා.

“ සමුදී ඔයා ආයේ කසාද බඳින්න. ඉගෙන ගත්තු මහත්තයෙක්. තාරික මහත්තයා දැන් වෙන ලෝකෙක. මොනවටද සතුටින් ඉන්න ඕනේ ජීවිතේ දුකෙන් ඉන්නේ “

“මට පුතාල ගැන බයයි කුසුමා “

“බය වෙන්නේ මොනවටද ? මගේ ළමයි දෙන්න දැන් මා එක්ක නෙවේනේ ඉන්නේ. ළමයි ලොකු වෙලා යන්න යනවා. එතකොට මම වගේ තනි වෙන්න වේවි.

“ඉතින් ඔයා බදින්නේ නැත්තේ ඇයි ? කියා සමුදී ඇහුවා.

දැන් පහු වුනා වැඩියි… ඔයාටත් මට වෙච්චි දේ වෙනවට මම කැමති නැහැ….

මම අද ටිකක් වේලාසනින් යනවා කියල සමුදී නැගිට්ටේ කතාව ඉවර කර ගන්න. පොඩි වුන් දෙන්නා ස්විමින් වලට ගෙනියන්න ඕනේ. ඇය ජිම් එකට යන්න ඕනේ…..එන අතර රේඩියෝවේ මියුරු සංගීතයට සවන් දෙන අතරේ ඇයගේ හිත නැවත අතීත ආවර්ජනයට යොමු වුනා.

“ නුපුරුදුයි මට නුපුරුදුයි… ඒ හැඟුම් ආදර හැඟුම් “ කියල අමරදේව මහත්මයා ගයද්දී ඇයට නොදැනීම කඳුළු කැට කොපුල් හරහා වැටුනා. එක අතකට මම ජීවිතේ ආදරේ කියන දේ ලං කර ගත්තොත් මොකක් වෙයිද ? ඒ එක්කම තරුණියක් කාලේ විවාහ වෙනවා වගේ නෙවේ බොහෝ බාධක වලින් මිදෙන්න ඕනේ නේද කියල ඇයට හිතුණා. එක එක්කෙනා විවිධ අදහස් වලින් ලං වෙනවා. ඒ සේරම අතරේ විවාහ වෙන එක ලොකු අනතුරක් වුනා.

ඒ සේරම අමතක වෙන්න ඇය අද ගොඩක් හොඳින් ව්‍යායාම කළා. මස් පිඬු ශක්තිමත් වෙද්දී දැන් ඇයට ව්‍යායාම කිරීම වෙනදට වඩා ලේසියි. ඉන් පස්සේ දරුවෝ එක්ක ගෙදර ගිහින් ඔවුන් කාමරේට ගියාට පස්සේ අයත් නිදියන්න හදද්දිම දුරකථන ඇමතුමක් ආවා. බලද්දී ශාක්‍යා ……

තප්පර කීපයක් හිතලා ඇය දුරකථනය සයිලන්ට් කරා. මේ වෙලේ කතා කරන එක සුදුසු නැහැ. ඒ වගේම තමාගේ සේවකයෙක් වුනත් පිරිමියෙක් වෙන ඔහු ඇයි කතා කරන්නේ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙකමක් ඇයට තිබුනේ නැහැ. ඒ එක්කම ඔහු එක්ක කතා කරන්න ආසාවකුත් ඇයට ඇති වුනා.

ශාක්‍යා තව මාස කීපෙකින් රට යාවි. අනික මට වඩා බාලයි. එයා මා එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් ඒ දේ එයාගේ අනාගතේට හොඳ නැහැ. මෙතන වැඩිහිටියා මම. නරක හැසිරීමක් වෙන්න කොහෙත්ම ඉඩ දෙන්න හොඳ නැහැ. ඇය තමන්ටම අවවාද කළා. මට ඉන්නෙත් පුත්තු මම කැමතිද වයසක ගෑනියෙක් එක්ක මගේ පුත්තු පැටලෙනවා දකින්න. නැහැනේ.

ඇය නිදා ගන්නා ඇඳ ලොකු නිසා මුල්ලකට ගිහින් බෙඩ් ශීට් එක පොරවා ගත්තා.

මේ වෙලේ තාරික හිටියේ රාත්‍රී ආහාර ගත්ත භාජන සෝදමින්. ටීනා සාලේ දරුවා නිදිකරවමින් හිටියා. තාරිකට හරිම මහන්සියි. වගකීම් අධික රැකියාවක් කළ ඔහුට මේ ගෙවල් දොරවල් වල වැඩ වල පීඩනය දරා ගන්න බැරි වුනා.

ඉස්සර ඔහු ගෙදර එද්දී සරම් පවා සුවඳ ගහන්න මැදලා නවල අල්මාරියේ. ඔහුගේ ගෙදර බුදු පහන පත්තු කරලා හඳුන් කූරු සුවඳ ගේ පුරාම. සමුදී සේවකයෝ එක්ක සමගියෙන් හිටි නිසා සහ ඇගේ සංවිධාන ශක්තිය නිසා ඔහු කොතරම් සහනෙන් හිටියද කියල තාරිකට මතක් වුනා. වෙන එකක් තියා ඔහු මහන්සි වෙලා නම් එදාට දරුවෝ පවා වේලාසනින් නිදි කරන්න සමුදී හුරු වෙලා හිටියා.

“සමහර විට එයා මේ හැම දේම බර තනියම ගත්ත නිසා වෙන්න ඇති මට එයාව මගහැරුනේ. මම කවදාවත් එයාගේ ගමන් බිමන්, සුව පහසුව ගැන ඇහුවේ නැහැ. මොකද එයා ඒ දේවල් කරන්න කියල ඉල්ලුවේ නැති නිසා මම හැමදේම පැහැර හැරියා. එයා ඒ කිසිම දේකට මා එක්ක රණ්ඩු කරේ නැහැ. ගොනෙක් වගේ ගෙදර බර ඇද්දා. දැන් ටීනා හැමදේම ඉල්ලන …බල කරන…රණ්ඩු වෙන හැටියට සමුදිට කොයි තරම් දේවල් තමන්ගේ අතින් මගහැරුනද කියල මතක් වෙද්දී තාරික අවන්කවම කනගාටු වුනා.

“ මොනවා කරන්නද නරක වෙලාව. දුව ඉපදුන නිසානේ මම මේ මාසෙන් දැකපු ගෑනිට කරගහන්න වුනේ… “ දැන් ඉතින් කමක් නැහැ. මට දුවෙක් ලැබුණා…

I paid a big price…. ඔහු සුසුමක් හෙලලා ඉස්සරහට ගියේ බබාගේ නිදන ඇඳ ගසන්න.

( ලබන සතියට )