“ජීවිතේ මේ වගෙයි.” – Part 46

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇය ව්‍යාපාරිකාවක්. ඇගේ හිටපු ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 46 කොටස

සමුදී මේ වෙද්දී ඇගේ ශරීරය බර අඩු කරවන ආහාර සහ ව්‍යායාම වල තදින් යෙදෙමින් සිටි කාලයක්. ව්‍යාපාරයේ එදිනෙදා ප්‍රශ්නත් කිව නොහැකි තරම් ලොකුයි. විදේශ වෙළඳපොළට බඩු යවද්දී වෙනදට වඩා තත්වය ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඒ නිසා සමුදී ටිකක් පීඩනෙන් හිටියේ. මානසික පීඩනය ඇගේ ජීවිතේ කොටසක්. ඒ එක්කම ටීනගේ චූටි බබාගේ උපත ඇයව කිව නොහැකි තරම් අසරණ කරා. ඒ නිසයි ඇය අද හවස මනෝ උපදේශක සර්වනා ගාවට ගියේ.

වයස පනස් ගණන් වල මැද භාගයේ හිටපු සර්වනා යාලුවෙක් වගේ සමුදී එක්ක හැමදේම කතා කරා. සමුදිට ලොකු සහනයක් දැනුනේ. අපේ රටේ ගොඩක් මිනිස්සු මනෝ උපදේශකයෝ සහ වෛද්‍යවරයෝ වෙත යන්න බයයි. ඒ තමන් පිස්සෙක් කියල හංවඩු ගැහෙන බවට ඇති බය නිසා. නමුත් බටහිර රට වල නම් මනෝ උපදේශනය ඉතාම සාමන්‍ය දෙයක්. ජීවිතේ ප්‍රශ්න තිබෙන වෙලාවට ඒ ප්‍රශ්න විසඳන ආකාරය ගැන දැනුමක් නැති මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න එක ගොඩක් හානි දායකයි. ඒ මිනිස්සු උපදෙස් දෙන්නේ ඒ මිනිස්සුන්ගේ දැනුමට අනුව. ඒ එක්කම මිතුරු වෙසින් ඉන්න ඉරිසියා කාරයෝ ඉන්න තැනිනුත් පහළට ඇද දමනවා.

සමුදිගේ ලොකු අයියාගේ බිරිඳ ඒ වගේ කෙනෙක්. මේ පාර නිවාඩුවට ඔවුන් තකහනියක්ම ආවේ සමුදිව බලලා යන්න. සමුදී ඩිවෝස් උනා කියල අහල අයියා දුක් වුනත් නෑනා හිත යටින් සතුටු වුනා. ඇය කොහොමත් සමුදිගේ දක්ෂකම් ගැන ඉස්සර සිටම ඉරිසියයි. සමුදී ඕවා ගණන් ගත්තේ නැහැ. නමුත් මේ පාර සමුදිගේ පවුල කැඩුනා වගේ විශාල අභාගයක් වෙලා තිබීම නෑනාව අමන්දානයට පත් කරවන්න සමත් වුනා.

“අයියල දෙන්නට නම් මහ රැජිනට වඩා ලොකුයි. හැබැයි කණවැන්දුම්” කියල ඇය හිතෙන් හිනා වුනා. මේ වෙද්දී වෙන එකෙක් සෙට් කරන ඇති කියන අදහස ඇගේ හිතේ වැඩ කරා. කොයි එකටත් කියල තාරික මල්ලිට කතා කරලා අහන්න ඇය හිතාන හිටියේ. කෝල් එක ගත්තු ගමන්ම “ අනේ තාරික මල්ලියේ… “කියල ඇය හයියෙන් අඬන්න ගත්තා. සමුදිගේ වැරදි ගොඩක් තාරිකට කීවේ ඔහුගෙන් වුන දේ ඇත්ත නැත්ත විපරම් කරන්නයි.

“බලන්න මල්ලි මේ අපි දරුවෝ හම්බ වුන දවසේ ඉඳලා..ගෙයින් එලියට අඩියක් තිබ්බේ නැහැ. මොකද අපි වගේ ගෑනුන්ට තියන එකම සම්පත මහත්තයයි දරුවොයි. හැබැයි සමුදිලාට සල්ලි තන්හාව. නල්ලමලේ අයියල දෙන්න තමා එයාව උඩ තියාන නරක් කරන්නේ “

මේ වචන අහපු තාරිකට හොඳටම තරහා ගියා. ඔවුන් දෙන්න වෙන් වෙලා හිටියත් ජන්ම වෛරක්කාරයෝ නෙවෙයි. පිට මිනිස්සු එක්ක සමුදිගේ වැරදි කියන්න තරම් තාරිකගේ පහත් ගතිගුණ තිබුනේ නැහැ. ඒ නිසා ඔහු බොහොම ඉවසීමෙන් උත්තර දුන්නා.

“ මේ දේවි අක්කේ…ප්‍රශ්න නිසා අපි දෙන්නා වෙන් වුනා. ඒක අපි දෙන්නගේ පුද්ගලික ප්‍රශ්නයක්. හැබැයි ඒකට පිට මිනිස්සු මැදිහත් වෙන්න ඕනේ නැහැ. ඒ එක්කම අපි දෙන්නා දැන් ඥාතියෝ නෙවෙයි. මගේ වයිෆ් කැමති නැහැ මම සමුදිගේ පවුලේ අය එක්ක කතා කරනවට “ කියා ඔහු තදින් කියල ෆෝන් එක තිබ්බා. අනික් පැත්තට සමුදිට කතා කරා.

“ අම්මි ..මේ අර ගෑනි එක්ක අයෙත් කතා කරන්න එපා….”

අන්ඳුන් කුන්දුන් උන සමුදී “තාරික මේ වැරදි අංකයකට කතා කරන්නේ “ කියල තත්පර කීපෙක නිහැඩියාවකින් කීවා.

“සමුදී.. ආහ්හ්…නැහැ …නැහැ..ඔයාට තමා ..” ඔහු ගොත ගැහුවේ පුරුද්දට සමුදිට අම්මි කීම වැරදියි කියල වටහාගෙන.

ඊළඟ මොහොතේ සුපුරුදු රළු ස්වරයට පැමිණි ඔහු. දේවිලා ලංකාවේ නේද ? හෙන ඕපයක් කියාගෙන ආවා. මම දෙකක් කියල දැම්මා. ඔයාට කියන්න හිතුවා ඔය ගෑනිගෙන් පරිස්සම් වෙන්න කියල.

මේ අනතුරු ඇඟවීම නිසා කොතෙක් ඉවසා දරාගෙන හිටියත් සමුදිගේ හදිස්සි කෝපේ ඇවිලුනා. තනියම හඬන හැමවෙලේම තාරික වැරදි නැති බව හිතෙන් හිතුවත් ඇය ඔහු එක්ක මේ වගේ වෙලාවට අසීමිතව කේන්ති ගත්තා.

“ එයා කොහොමත් යාවි තව සතියකින්. මම එයා ගැන දන්නවා ….හැබැයි එයා විතරක් නෙවේ ගොඩක් කට්ටියගෙන් මම කුණු කතා අහනවා. මම ගොඩක් පරිස්සමෙන් ඉන්නේ තාරික. අපේ රටෙ දික්කසාද වුන ගැහැණියෙක්ට සුදුසු රටක් නෙවේ” කියල තරහෙන් කීවා.

තාරික නිහඩව අහගෙන හිටියේ ඇය කියන්නේ සත්‍යය නිසයි.

ඉන් පස්සේ ”ඉන්නකෝ ඔය ගෑනි ඊළඟ දවසේ මොනාහරි කියාගෙන ආවොත් ආයේ කතා නොකරන්නම මම බනින්නම්” කියල ඔහු ෆෝන් එක තිබ්බා.

දරුවාගේ උපත එක්ක ඔහුට ගෙදර වැඩ සහ කාර්යාලයේ වැඩ සේරම බර වෙලා. නිබුන් දරුවෝ ලැබිලාවත් සමුදී නිසා කවදාවත් ඔහුට මෙහෙම බරක් ලැබුනේ නැහැ. ජීවිතේ ඉවරයක් නැති, නිදහසක් නැති මිනිහෙක් ලෙස ජීවත් වුන තාරික හිටි ගමන් අතීතෙට ගිහින් කල්පනා කරනවා. සමුදී හැමවෙලේම ඔහුගේ පස්සේ කූඩැල්ලෙක් වගේ වැටිලා හිටියේ නැහැ. නමුත් ඔහුට නිදහසේ රාජකාරිය කරලා ඉදිරියට එන්න ඇය හැමවිටම අත්වැල සැපයුවා. පුදුම වෙහෙසක් දරාගෙන පවුලේ බර ඇද්දා. සමුදිගේ පිළිවෙල නිවසේ ජීවත් වෙලා හුරු තාරික මේ අපිළිවෙලට හුරු වුනේ ගොඩක් අමාරුවේන්. නමුත් කුඩා මලක් වගේ දියණිය නිසා ඔහු සතුටු වුනා. ටීනා නිතරම ඔහුට අවධානය දුන්නා. යන එන තැන බැලුවා. තාරික ගැන ඉරිසියා කළා. තමාට ඔහු නැති වෙයි කියන බය නිසා යන එන තැන් හොයා බැලුවා. පුතුන් කුඩා කාලේ එක ළඟ තොටිලි දෙක තියාන සමුදී විභාග වලට පාඩම් කරපු හැටි ඔහු කල්පනා කළේ නිදාන ඉන්න කුඩා දුව දෙස බලාගෙනයි. ඇත්තටම ටීනා කරේ දුවට කිරි දෙන එක විතරයි.

“තාරික අයියා…බබාගේ නැපි ටික වේලිලා. මැදලා දාන්නකෝ. අයියෝ ඩෙටෝල් නැතුවද හේදුවේ ? ආයෙත් හෝදන්න වෙනවා. කොහෙද ඉතින් මහලොකු ව්‍යවසායිකාව මොනවද දන්නේ ? මෝඩයෝ ළමයි හදන්නේ කිසි පිරිසිදුකමක් නැතුව “

තාරික අයියා… අනේ මේ ඇඳ ගසන්න. බබා නැගිටියි දැන්. අයියෝ තාරික අයියේ බබාගේ ඩයිපර් ඉවර වෙලා. ටක් ගාල ගිහින් ගේන්නකෝ. ..ඔය වගේ කෙළවරක් නැති ගේ දොර වැඩ නිසා ඔහු අසීමිත වෙහෙසට පත් වුනා. සමහර වෙලාවට මේ කඩේට ගිහින් එද්දී තව දෙයක් ටීනට අමතක වෙලා. ආයෙත් යනවා. මේ වැඩ වල කෙළවරක් නැතුවා වගේම හැම වැඩකදීම පැත්තක ඉන්න සමුදී මතක් කරලා ඇය නූගත් බව කියා බැන වැදීම ටීනගේ සිරිතක් වුනා. තාරික වැරදිලාවත් එයට විරුද්ධ වුනොත් ටීනා තාරික එක්ක රණ්ඩු වුනා.

රණ්ඩු වීම හුරු නැති සමුදිට ඕනෙම දෙයක් කියන තාරික ටීනාගේ රණ්ඩු වීමේ හැකියාව නිසා බය වුනා. බයෙන් ඔහු ඇයට විරුද්ධව කට අරින්නේ නැතුව හිටියා. අවුරුදු ගානක් සේවය කරපු තාරිකගේ රියදුරා ලඟදි ටීන එක්ක රණ්ඩු වෙලා තාරික හැර ගියා. තාරික මීටින් එකක ඉන්න අතරේ ටීනව එක්කන් බබාට බෙහෙත් විදින්න ගිය ඔහුත් එක්ක ටීනා සමුදිට දොස් කියල. ඔහු නෑහුනා වගේ අහගෙන ඉඳල තිබෙනවා.

“ ඔයාලගේ මහලොකු රෙදි නැන්දාට වෙන මිනිස්සු ඉන්නවා නේද ? ඒ වුනාට මායම් දාල හැමෝවම රවට්ටන් ඉන්නේ නේද ? “වගේ දේවල් අහගෙන හිටපු රියදුරා මුකුත් නොකීව නිසා බහින ගමන් ටීනට හොඳටම තරහා ගියා. බැහැල ඇය රියදුරාට බැන වැදිලා.

“ තමුසේ තාම හිතවත් සමුදිට නේද ? තමුසේ දැන ගන්නවා මම තමා මහත්තයාගේ නෝනා කියල. අනික මම ඩොක්ටර් කෙනෙක්. ඔය තමුසෙගෙ මහ ලොකු රෙදි නැන්දා වගේ නෙවේ. සල්ලි තිබ්බට එයාට කිසිම ක්ලාස් එකක් නැහැ. මහත්තයා එයාව ඩිවෝස් කරේ ඒකයි. “ සේරම ඔහු අහිංසකව අහගෙන ඉඳලා. අන්තිමට ඉවසීමේ සීමාව පැන්න අහිංසක මනුස්සයා රස්සාව ගැන ආසාව අතහැරලා ටීනට හොඳට බැන වැදී තිබුනා.

නමුත් ටීනා තාරිකට කීවේ ඔහු නිකන්ම තමාට බැන වැදී යන්න ගියා කියල.

“මේකනේ තාරික අයියා. රෙදි නැන්ද උගන්වලා එවන්න ඇත්තේ…. මට බනින්න කියල “ ඇය තාරිකට කීවේ හඬමින්. ඔහු සේරම හෙට හොයා ගන්නම් කියල හිතල ටීනගේ හිස අතගාල සැනසුවා.

“ඔයා අඬන්නේ නැතුව ඉන්නකෝ. බබාට කිරි මදි වෙයි. අනික හෙට සෙනසුරාද නිසා පුතාල ඒවි. මම හෙට ගිහාම සමුදිට හොඳට බනිනවා. “ කියල පොරොන්දු වුනේ මේ ප්‍රශ්නය විසඳන්න විදිහක් හිතමින්. ඒ එක්කම දැන් අලුතින් රියදුරෙක් හොයා ගන්න ඕනේ. ගෙදර වැඩ මදිවට මේ අලුතින් එන වැඩ ගොඩත් ඔහුගේ හිතට එක් කලේ බයක්.

තව ටික දවසකින් සේරම සෙට්ල් වෙයි කියා හිතමින් ..ඔහු හෙමීට මිදුලේ ඇවිද්දා….

ඒ එක්කම සතියකින් ඔහු විහස් සහ විමාශ දැක්කේ නැහැ. හෙට මොනාද කරන්නේ කියල ඔහු කල්පනා කළා. මේ කරදරකාර ජීවිතේ දැකල දරු දෙන්නගේ හිත බිදෙයිද ඔහු විටෙක කල්පනා කළා.