සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 45 කොටස

සේනානායක හන්දියෙන් වාහනය ඉස්සරහට ගන්න බැරිව හිරවෙලා ඉන්න සමුදී වාහනේ ස්ටියරින් වීල් එකට නොයිවසිල්ලෙන් තට්ටු කළා. ඇය වේගයන් යමින් සිටියේ කොළඹ මහ රෝහලට. ඇගේ දොම්පේ ෆැක්ටරිය තිබුන ප්‍රදේශය අධි ඩෙංගු කලාපයක් ලෙස නම් කර තිබුනේ. කුසුමා සහ සමුදී මුළු ෆැක්ටරි ප්‍රදේශයම මදුරුවන්ගෙන් නිදහස් කරන්න විශාල වෙහෙසක් යෙදුවා. VVL පරිශ්‍රයේ මදුරුවෝ බෝ නොවුනත් ගමේ ඇතැම් ස්ථාන නිසා මදුරුවන් බෝ වීම් වැඩි වුනා. පසුගිය සතියේ ෆැක්ටරියේ ළමයි 10 දෙනෙක්ට ඩෙංගු වැලඳුන නිසා දින තුනකට වරක් දුම් ගසා පාලනය වෙමින් තිබ්බේ. දස දෙනාගෙන් තුන් දෙනෙක්ට අසාධ්‍ය වෙලා නිසා සමුදී සහ කුසුමා එක් වෙලා ඔවුන් කොළඹ මහ රෝහලට මාරු කළා. අද එයින් එක්කෙනක් මිය ගිය බව උදේම අහන්න ලැබුණා.

ජීවිතේ පලවෙනි වතාවට තමා ඇය මෙවැනි ගැටලුවකට මුහුණ දුන්නේ. තාරික නැති නිසා සමුදී තනිවම රෝහලට පිටත් වුනා. කුසුමා රාත්‍රියේ රෝහලේ සිට තිබුන නිසා ඇය තවම ගිහින් නැහැ. සමුදී ජීප් එක රථ ගාලට දාල දුවගෙන රෝහල වෙත ගියා. ඇය දැක්ක කුසුමා වේගයෙන් ඉදිරියට ආවා. ඇතිවුන කම්පනය සහ ගැස්මෙන් දෙදෙනා එකිනෙකා බදාගෙන තත්පර කීපයක් ගත කළා. ළමයාගේ මෘත දේහය මෝචරියට දාල අදාළ ලිපි ලේඛන අරගෙන ඔවුන් දෙන්නම ළමයාගේ ගෙදර ගියා.

වරිච්චි බිත්ති බැන්ද ඒ පැල්පතේ හිටියේ මියගිය සේවිකාවගේ අංශභාග රෝගී පියා සහ මහලු මව විතරයි. මරණේ අහපු අසල්වැසියෝ යුහුසුළුව මිනිය තියන්න මඩුවක් සකසමින් හිටියා. මේ දරුවා ආර්ථික අමාරුකම් නිසා උසස් පෙලින් පස්සේ දෙමාපියෝ බලා ගත්තේ VVL එකේ වැඩ කරලා. ඇය අවංක දක්ෂ සේවිකාවක්. රෙදි නිෂ්පාදනය ගැන වැඩිදුර ඉගෙන ගන්න පුහුණු කරවන්න රට යවන්න ආසන්නයේ ඇය හිටියේ. වහල් සේවයට මැද පෙරදිග යන්න හිටි ගමේ ළමයි රාශියක් VVL නිසා ස්ථිර ජීවන මාර්ගයක් හදා ගත්තා. නමුත් අවසානයේ මදුරුවෙක් ඇගේ ධෛර්යට හරස් කැපුවා නේද කියා මතක් වෙද්දී සමුදිගේ ඇස් දෙකේ කඳුළු මෝදු වුනා.

උදේ අයගේ මෘත දේහය මොචරියේ දමා තිබුන පිළිවෙල ඇගේ දෙනෙත ඉදිරියේ මැවී පෙනුනා. ලාබාල බොළඳ මුහුණ කිරි පාටට සුදු මැලි වෙලා. තදට පිට වුන දෙතොල් පවා සුදු මැලියි. ඒ අතරේ ඇගේ කැරලි ගැසුන ලෙස රොදක් කෙට්ටු මුහුණ හරහා වැටී තිබුණා. හොඳින් ඉද්දි ජව සම්පන්නව ෆැක්ටරිය පුරා දුවමින් රෙදි වියපු ඇය සහ වැටී ඉන්න පැන සුන් සිරුර එකට සම්බන්ධ කරන්න සමුදිට කොහෙත්ම බැරි වුනා.

“ මේ සේරටම මුල අපේම නොසැලකිල්ල. හැම තැනම මිනිස්සු කුණු දානවා. පොඩි වැස්සට උනත් වතුර පිරිලා මදුරුවෝ බෝ වෙනවා. ” සමුදී දොස් නැගුවේ වේදනාව තුනී කර ගන්න.

“අපි දාපු කුණක් නෙවේ. මේ ළඟ තිබෙන උන ගාලේ දැන් ගැහුවත් මදුරුවෝ 1000 ක් වත් උඩ යාවි” කියමින් කුසුමා කතාවට එක් වුනා. “ ඒ මදිවට වැහි පීලි. එකෙක්වත් මේවා සුද්ධ කරගන්නේ නැහැ. රජයට බැන බැන ඉන්නවා. මේ රටේ උන්ට හරි යන්නේ නැත්තේ මේකනේ. “ කුසුමා දුක වසා ගන්න වගේ හයියෙන් රොස් පරොස් කියමින් හැමෝටම බැන්නා.

මරණයේ වැඩ ටික පිළිවෙල කරලා ගෙදර එද්දී රෑ 8 ත් පහු වෙලා. ඇයගේ හිත මේ වෙලේ උණු වෙමින් තිබ්බේ කාමරේ ගුලි වෙලා නිදියන විහස් සහ විමාශ ගැනයි.

“අනේ දෙවියනේ දවසම තනියම. මදුරුවෙක්වත් කවුව ගත්තොත්? හොඳ වෙලාවට යෝෂි අක්කි ඉන්නේ.”

අම්මෙක් ලෙස ඔවුන් දෙන්නා තනිව හදා ගැනීම සමුදිට වේදනාවක් ගෙන දුන්නා. ඔවුන්ට හොඳින් උගන්වන්න ඕනේ, ඔවුන් දෙන්නාගේ ආකල්ප වර්ධනය කරන්න ඕනේ , ඔවුන්ගේ නිවස බලන්න ඕනේ ඒ වගේම ඔවුන්ගේ සෞක්‍යය ගැන බලන්නත් ඕනේ.

වෙන් වෙලා හිටියත් තාරික දරුවෝ ගැන බලන එක ඇයට සහනයක් වුනා. ඔහු හැමවිටම තමාට වඩා එක පියවරක් ඉදිරියෙන් නේද කියා සමුදී කල්පනා කළා. යන්න පෙර ගෙදර සේරම දොර ජනෙල වලට නෙට් දැම්මුවේ ඔහු හිතලාමයි. දරුවෝ දෙන්නගේ ආරක්ෂාව ගැන තමා මීට වඩා සිතන්න ඕනේ කියල අද වුන සිද්ධිය ඇයට කියා දුන්නා. යමක් වෙන්න පෙර පියවර ගැනීම කොතරම් වටිනවද? ඩෙංගු උන ඇතැම් විට මාරාන්තික වෙනවා. ඒ විතරද වැළඳුනොත් එය දරුවන්ගේ කායික මානසික වර්ධනයට වගේම අධ්‍යාපනයට පවා හිතකර නැහැ.

මේ දෙන්නා ඉස්කෝලෙදි හැම අස්සේ මුල්ලේම යනවා. සෙල්ලම් කරනවා. මොකද කරන්නේ ඇය උභතෝකෝටික ප්‍රශ්නෙක හිටියේ. වාසනාවට යෝෂි හවස සුපර් මාකට් එකෙන් මල්ලිලට ගාන්න මදුරුවන්ට ගැන ලෝෂන් එකක් ගෙනාවා.

“කෝ බලන්න “

කියල සමුදී උදුරා ගත්තේ එහි Deet කියන රසායනය අඩංගුද කියල බලන්න. නමුත් එහෙම නැහැ.

” හරි පුදුමයිනේ.”

කියල ඇය එය කියෙවුවා. 100% ක් ස්වභාවික නිසා සමට අසාත්මික නොවෙන බවත් එහි සඳහන් වුනා. කරාඹු නැටි සහ ලෙමන් යුකැලිප්ටස් කියන ගස් වලින් හදල තියෙන මේ බෙහෙත ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ නව නිපැයුමක්. රසායන නැති නිසාත් පැය 6 ක් යනකන් මදුරුවෝ කන්නේ නැති නිසාත් හෙට ඉඳල මේක ගාන්න කියල සමුදී යෝශිට අවවාද කරා. ඇයත් එයින් එක බෝතලයක් ඉල්ලා ගත්තා. ගේ පුරාම පැඟිරි තෙල් වලින් පහන් පත්තු කරන්නත් ඇය සුමනට උපදෙස් දුන්නා.

රාත්‍රියේ ඇය කල්පනා කළා දොම්පේ පළාත වෙනුවෙන්ම ඩෙංගු මර්ධන වැඩ පිළිවෙලක් දියත් කරන්න. ගම් වැසියෝ ගොඩ දෙනෙක් ජීවත් වුනේ VVL එකට සම්මාදම් වෙමින්. ඒ නිසා ඇය හිතුවා හැම සෙනසුරාදාම ඩෙංගු දැනුමත් කිරීම් වැඩසටහනක් දියත් කරන්න. රසායන භාවිතය නිසා පරිසර පද්ධතිය වගේම මිනිස්සුන්ගේ සෞකයත් අනතුරට ලක් වෙනවා. ඒ එක්කම සේර සහ දහස්පෙතියා ගෙවල් අවට වැවීම මදුරුවන් පලවා හරින්න සමත් වෙන බව ඇය අසා තිබුනත් ඒ ගැන වැඩිදුර හොයන්න තීරණය කළා. දැනට මුළු ගමම රසායන සහ දුම මගින් ආරක්ෂා කරමින් තිබ්බේ. ඒ නිසා මේ රකුසා සැහෙන්න දුරට මැඩ පැවත්විලා. නමුත් මේ දේ පවත්වාගෙන යන්න නම් පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියල ඒ වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් යොදවන්න සමුදී තීරණය කළා.

මේ සේරම ප්‍රශ්න මැද්දේ ඉදිරියට යද්දී ටීනගේ අලුත් දරුවා හම්බ වෙන පුවත ඇයට ලැබුනේ සිකුරාදා. විහස් සහ විමාශ සිටියේ උඩ පනිමින්. දෙන්නම දෙන්නගේ කුඩා කාලේ සෙල්ලම් බඩු සේරම උරේකට එකතු කළා. විමාශ කැමතිම ඔහුගේ මෝටර් බයිසිකලය පවා ඔහු වෙනම තියා ගත්තේ නංගි කැමති වේවි කියල. සමුදී මේ සැලසුම් දැනගෙන හිටියේ නැහැ. එදා රෑ ඇය කාමරේට නිදියන්න යද්දී දෙන්නගේ කාමරෙන් හිකි… හිකි ..සද්දයක් ඇහෙනවා. ඒ නිසා ඇය නිකමට එබී බැලුවා.

ඇයි ඔය දෙන්නා නිදි නැත්තේ?

අම්මි …අපේ නංගි හම්බ වෙලා. අපි දෙන්නා මේ නංගිට ගෙනියන්න තෑගී ඔතනවා.

මොන හේතුවටද කියන්න බැරි වේදනාවක් සමුදිගේ මුළු සියොළඟම වෙලාගෙන ගියා වගේ ඇයට දැනුණා. නමුත් ඇය දරුවනට පේන්න කඳුළු නොපෙනෙන්න අනික් පැත්ත හැරුණා. බිම වැටුන සෙල්ලම් බඩුවක් අහුලන්න වගේ. ඉන් පස්සේ අන්තිම ශක්තියත් හිතට අරගෙන දරුවන්ට කතා කළා.

“පුතේ නංගි කෙනෙක් හම්බ වෙලා ටික කාලෙකින් තමා සෙල්ලං කරන්නේ. ඒ නිසා ඕවා එකතු කරලා තියන්න. අනික නංගිලා කැමති බෝනික්කෝ වගේ සෙල්ලම් බඩු වලට”

“එහෙනම් අපි හෙට කඩෙන් බෝනික්කෝ ගමු නේද අයියේ? විමාශ ඇහුවේ උනන්දුවෙන්.

“ පුංචි බබාලා ටික කාලයක් යනකම් කිරි බිබී නිදියනවා. ඒ නිසා බෝනික්කෝ පස්සේ ගෙනිච්චහම ඇති. දැන් ඔය දෙන්නා නිදා ගන්න” කියල සමුදී ඇගේ කාමරයට ගියේ වෙහෙස සහ දුක තුනී කර ගන්න.

ඇඳට වැටිලා බොහෝ වෙලාවක් යනකම් ඇයට නින්ද ගියේ නැහැ…. අන්තිමේ ඇය කොට්ටේ මූණ ඔබාගෙන හඬන්න පටන් ගත්තා.

“නංගි බබෙක් ..ඔවු නංගි බබෙක් …නිසා මේ දෙන්නා කොච්චර සතුටින්ද? මට දුවෙක් හම්බ වුනා නම් තාරික කොච්චර සතුටු වෙන්න තිබ්බද? මගේ පුතාල දෙන්න කොච්චර සතුටු වෙන්න තිබ්බද? හැබැයි මම තාරිකගේ ආසාව නොසලකා හැරියා. මගේ දියුණු වීමේ ආසාව වැඩි වුනා. ආන්තිමට මගේ ලෝකෙම කඩා වැටුණා. ඇයි දෙවියනේ මම මොහොතකට වත් නොහිතුවේ?

බෙඩ් ශීට් එකෙන් ඔලුවත් වසාගෙන ඇය ගුලිවෙලා බොහෝ වෙලා ඉකි බින්දා…..

“මගේ වරද ..ඔවු මගේ වරද….. මගේ වරද නිසා මගේ දරුවන්ගේ වහලේ බිඳුනා. තාරික මට නැති වුනා. “

(ලබන සතියට)