“ජීවිතේ මේ වගෙයි.” – Part 44

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇය ව්‍යාපාරිකාවක්. ඇගේ හිටපු ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 44 කොටස

කාලෙකින් ව්‍යායාම කරපු නිසා සමුදිට ගොඩක් තෙහෙට්ටුවක් දැනුණා. ඇගේ ජිම් එකේ ව්‍යායාම උපදේශක තුමා වයස විසි හතරක තරුණයෙක්. ඔහු ගොඩක් මහන්සි වෙලා සමුදිව හරි තත්වෙට ගේන්න වෙහෙසුනා. කිලෝ 65 කට තිබෙන බර මාස 6 කින් 52 දක්වා ගෙන එන්න ඔවුන් සැලසුම් කළා. ඇගේ ඇදුන නිතඹ සහ උදරය වෙනුවෙන් විශාල වෙහෙසක් දරන්න සිදු වුනා. පහුගිය අවුරුදු දෙක තුනේ නොදැනීම ඇය විශාල වශයෙන් කෑම කෑවා. ව්‍යායාම කරේ නැහැ. දැන් ඉතින් කාලේ හරි වෙනස් වෙන්න. ඒ නිසා ඇය සතියට දින 6 ක් ජිම් ගියා.

ඒ අතරේ ඇගේ ආහාර වේලත් වෙනස් කළා. ප්‍රෝටීන් වැඩි කළා. කාර්බෝහයිඩ්රේට් අඩු කළා. ලංකාවේ මිනිස්සුන්ගේ තිබෙන ලොකුම ගැටලුව අධි කාර්බෝහයිඩ්රේට් සහිත ආහාර වේලක් ගැනීමයි. බත් වැඩියෙන් කන ඔවුන් එළවලු පලතුරු සහ මස් අඩුවෙන් කන්නේ. ශරීරයේ සෛල වල ප්‍රාථමික තැනුම් ඒකකය වුන ප්‍රෝටීන් ගන්නේ අඩුවෙන්. ආගමික මතවාද මෙයට හේතුවක් කියල සමුදී දන්නවා. ආහාරයේ ප්‍රෝටීන් අඩු වෙද්දී වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා.

ඒ නිසා ඇය පරිස්සමෙන් ආහාර ගත්තා. උදේට නම් බිත්තර 3 ක් තම්බලා යෝගට්, එකක් සහ පලතුරු ආහාරයට ගත්තා. දහවලට ඇය කෑවේ චිකන් මිශ්‍ර වුන ඔලිවු තෙල් දාපු හොඳ එළවලු සලාදයක් සහ බත් කෝප්පයක්. රාත්‍රී ආහාරය එතරම් පරක්කු නොවී හවස 7 වෙද්දී ගන්නවා. ඒකත් හොඳ සුප් එකක්. මේ රුටින් එක වෙනස් වුනේ සෙනසුරාදා ඉරිදා විතරයි. සෙනසුරාදට ඉරිදට ඇය සාමාන්‍ය ලෙස බත් කෑවා. නමුත් බත් අඩුවෙන් එළවලු, මස්, මාළු සහ බිත්තර වැඩියෙන්. කිරි, චීස්, බිත්තර, මස්, යෝගට් වගේ දේවල ප්‍රෝටීන් බහුලයි. ඒ නිසා ඒ දේවල් වැඩියෙන් ආහාරයට එක් වෙද්දී නිතරම එන බඩගින්න නැති වෙනවා. දැන් ඇයට නිතරම බඩගිනි එන්නේ නැහැ. බඩ පැලෙන්න බත් කන පුරුද්ද නැති කර ගන්න ඇයට බොහෝ අමාරු වුනා.

ව්‍යායාම කරලා එතනින් ස්වමින් ක්ලබ් එකට ගිය සමුදී විහස් සහ විමාශ අරගත්තා. විමාශ නැගපු ගමන් හෙමින් ඉස්සරහට බර වෙලා සමුදිගේ ෆෝන් එක ගත්තා. ගේම් එකක් ගහන්න. පස්ස හැරුන සමුදී රවා බැලුවා.

“පුතේ ..ඇයි අම්මිගේ ෆෝන් එක ගත්තේ ? “

“නැහැ අම්මි. ගේම් එකක් ගහන්න “

Can you please put it back? ඇය ඒ පාර සැරෙන් ඇහුවා. විමාශ හෙමින්ම ෆෝන් එක ආපහු ඉස්සරහ අසුනට දැම්මා.

සමුදිට හිනා ගියත් ඇය පෙන්නුවේ නැහැ.

“මගේ පුතේ..ඔය දෙන්නා තාම පොඩියි. ගේම් ගහන එක ඔයාලගේ මොලේට හොඳ නැහැ. ඒ නිසා තාත්ති රටින් ගෙනාව ගේම් ඔක්කොම මම හවසට විතරක් දීල ලාච්චුවේ දාල වහන්න කියල යෝෂි අක්කිට කියල තියෙන්නේ. දැන් අපි තුන් දෙනා දවසටම හම්බ වෙන වෙලාව. මේ වෙලේ අපි තුන් දෙනා කතා කරමු.

ඇය දුකෙන් වගේ මූණ හදාගෙන ඉන්න පැටවූ දෙන්නට කීවා.

ඔවුන්ගේ පාසලේ සමහර දරුවන්ට පවා ඉතාම මිල අධික ෆෝන් අරන් දෙන්න සමහර දෙමාපියෝ මෝඩ වුනා. දරුවන් එක්ක කාලය ගෙවන්නේ නැති එකේ වැරදිකාර හැගීම ඔවුන් තුනී කර ගත්තේ දරුවනට මිල අධික දේවල් ඔහේ විනාශ කරන්න ගෙනත් දෙන එකයි. මෙවැනි දේවල් ඇත්තටම දරුවන්ගේ බුද්ධි වර්ධනයට පවා අහිතකර ලෙස බලපානවා. නමුත් සමුදිගේ ජීවිතේ නම් නීති රීති තද වුනා. ඇය ඔවුනට ෆෝන් අල්ලන්න දුන්නේ නැහැ. ඒ වගේම ගේම් ගහන්න දෙන්නෙත් සවසට එක පැයක් විතරයි. මේ දරුවෝ ගොඩක් වෙලාවට පොත පත කියවූවා. එළියේ බැහැල දාඩිය නාගෙන කුණු පාට වෙනකම් සෙල්ලම් කරා.

“ඒ විතරද පුතේ…. අම්මි වුනත් තාත්ති වුනත් මිනිස්සු දෙන්නෙක්. අපේ ෆෝන් එක කියන්නේ පුද්ගලික දෙයක්. පුතාල ලොකු වුනාම තේරෙයි අනුන්ගේ පුද්ගලික දේවල් අල්ලන එක සුදුසු නැහැ කියල. අපේ ඊ මේල් තිබෙන්න පුළුවන් පුතා කියවන්න ඕනේ නැති. ෆොටෝ තියෙන්න පුළුවන් පුතාලට ගැලපෙන්නේ නැති. වැඩිහිටියෝ වුනාම ගැලපෙන දේ පුතේ පොඩි කාලේ ගැලපෙන්නේ නැහැ. ආයේ මගේ පුතාල අහන්නේ නැතුව තාත්තිගේ වත් මගේ වත් ෆෝන් වලට අත තියන්න එපා. ඕනෙම නම් අපෙන් අහල ගන්න.”

මේ දරුවෝ දෙන්නා හිස සලා පිළිගත්තා. සමුදී වුනත් තාරික වුනත් ඔවුන්ට ඉගැන්නුවේ බොහොම ආදරෙන්. ඒ වගේම ඕනෙම මාතෘකාවක් ඔවුන් සරල කරලා දරුවන්ට කීවා කිසිම දෙයක් හංගලා නැහැ. ගෙදර තාරික ඉද්දි වුනත් ඔවුන් දෙමාපියන්ගේ කාමරේට එන්න කලින් එන්නද කියා අහන්න හුරු කළා. මේ දරුවෝ දෙන්නගේ මැනර්ස් නිසා ටීනා පවා පුදුම වුනා.

දරුවෝ දෙන්නත් පැය දෙකක් පීනලා හොඳටම බඩගින්නේ හිටියේ. තුන් දෙනාම එළියෙන් කන්න එදා හිතුවා. පුතාලට සැන්විච් අරගෙන දුන්න සමුදී බීවේ සුප් එකක්. මේ දෙන්න කන වේගේ දැකල සමුදිට තාරික මතක් වුනා. ඔවුන් ගොඩක් තාරික වගේ. සමුදිගේ සමේ පාට විතරයි ඔවුනට තිබුනේ. නමුත් ඔවුන් හැදුනේ ලොකු හාමිනේ ළඟ නොවුන නිසා ඔවුන් ඉතාම ශාන්ත දරුවෝ වුනා.

මේ දෙන්න තව අවුරුදු 5 කින් ඉලන්දාරි නේද ? සමුදිට පුදුමයක් වගේම අහන්කාරයක් ඇති වුනා. තාත්ත ගිය එක ගැන මතක් කළ ඇය නැවත වරක් හිතෙන් කනගාටු වුනා. නමුත් තාරික ඇත්තටම මෙහෙම වෙන්න ලොකු හාමිනේ ඔහුව ලොකු කළ ආකාරයත් හේතු වුන බව ඇයට මනෝ උපදේශක වරිය කියා තිබුනා.

ඔහු සමුදී දුරස් වෙද්දී හිතේ ඇති වුන පීඩනය සහ ඇය ලොකු කෙනෙක් වෙද්දී ඇති වුන ඉරිසියාවෙන් අතරමන් වුනා. ඒ නිසා ඔහු යටි හිතෙන සමුදිගෙන් පලි ගන්න හිතාන වෙන සම්බන්ධයක් පටන් ගත්තා. ඔහු ඒ වෙනුවට සමුදී කීවා වගේ මනෝ උපදේශනයට යොමු වුනා නම් මේ විපත් කිසිවක් නොවෙන්න තිබ්බා.

තාරිකගේ පෞර්ෂයේ හැටි දන්නා නිසා සමුදී අවන්කවම හිතුවා ටීනා එක්ක විවාහ වුනේ ඇය ගැන දැනගෙන නෙවේ කියල. දරුවෙක් බඩට ආවේ ඔවුන් හිතවත් වෙලා මාසයක් යන්න පෙර. දරුවා නිසා ඔවුනට විවාහය ඉක්මන් කරන්න වුනා. වෛද්‍යවරියක් වෙලත් ඇයි ටීනා හිතුවේ නැත්තේ ඒ ගැන. අඩුම ගානේ දෙන්නට අඳුනා ගන්න වත් කාලයක් නොදුන්නේ. ඒ එක්කම සමුදිගේ හිතේ පොඩි සැකයක් හට ගත්තා. කාර්යාලයේ වුනත් ඕනෙම හොරක් ඉවෙන් අල්ලන්න සමුදී හරිම දක්ෂයි. ඒ නිසා පලවෙනි වතාවට ඇයගේ හිතේ බයක් ඇති වුනා.

මගේ දරුවෝ දෙන්නව කොයි එකටත් පරිස්සම් කර ගන්න ඕනේ. ඇය එතන සිට කල්පනා කලේ එකින් එක සිද්ධි ගැනයි. පුතාල දෙන්නම කාල ඉවර වෙලා. වතුර බොනවා. ඔවුන් තිදෙනා ආහාර ගත්තේ ලස්සන උද්‍යානයක තිබ්බ ආපනශාලවකින්. පරිසරය හරිම රස්නෙයි. ඇය ඇඳගෙන හිටියේ ජිම් එකට ගිය ඇඳුම් මයි. දාඩිය ගඳ ඇගේ සිරුරෙන් වෑහුනා.

විහස් අනික් පැත්තෙන් ඇවිත් කල්පනාවේ වැටිලා හිටපු සමුදිගේ බෙල්ල බදාගෙන සිප ගත්තා. විමාශ ලඟට ඇවිත් ඇගේ අත් දෙක අල්ල ගත්තා.

“අම්මි ඔයාට පාලුද ? ඇයි ඔයා නිතරම කල්පනා කරන්නේ ? ඔහු ඇහුවේ ඇගේ දෙනෙතට එබෙමින්.

“ විමාශ මගේ උක්කුන්…ලොකු වුනාම ඔයාට තේරෙයි හැමදේම. ඔවු අම්මිට ටිකක් පාලු තමා. හැබැයි ඔයාල එක පොරොන්දුවක් වෙන්න ඕනේ.”

මොකද්ද අම්මි ?

“මම ඉන්නේ දුකෙන් උනාට ටික කාලෙකින් හරි යාවි. මට ඔය දෙන්න ඉන්න නිසා මම පොඩ්ඩක්වත් බයක් නැහැ. පුතේ ඔය දෙන්න මා ගැන මොකුත් තාත්තට කියන්න එපා. තාත්තට එයා කැමති ජීවිතේ ගෙවන්න දෙන්න.”

( ලබන සතියට )