“ජීවිතේ මේ වගෙයි.” – Part 43

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇය ව්‍යාපාරිකාවක්. ඇගේ හිටපු ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 43 කොටස

“මට හිතෙන්නේ අපේ නංගි චූටි අම්මට ගොඩක් කරදර කරනවා “ විහස් විමාෂට කීවේ කල්පනාකාරීව.

“අපි දෙන්න නංගිට කියමු දඟලන්නේ නැතුව ඉන්න කියල ” විමාශ උත්තර දුන්නේ ගොඩක් බයෙන්.

තාරිකගේ ගෙදර සෙනසුරාදා ඉන්න විහස් සහ විමාශ නංගි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඔවුන් දෙන්නා හරි සුහද අහිංසක ළමයි. සමුදී කවදාවත් ඔලුවට විස කවලා නැති නිසා ඔවුන් ටීනා එක්ක අමනාප වුනෙත් නැහැ. ඒ එක්කම ඔවුන් ටීනා ගේ දරුවා ගැන ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ. රෑට දත් මදින්න හොර විමාශ නංගි ගැන අහපු දවසේ ඉඳලා දත් මදින්න පවා කැමති වුනා. ඔවුන් දෙන්නා දන්නවා ඔවුන් දෙන්නා ඉපදුනේ එකට කියල. ඒ නිසා නංගි දෙන්නගෙම දේපොලක් ලෙස ඔවුන් සිතුවා.

ඔවුන් දෙන්නා ගොඩක් එකතු තාරික එක්ක. තාරික ඔවුන් දෙන්න එක්ක හැමදේම කීවා. ටීනා මේ දරුවෝ දෙන්න එක්ක තාරික තිබෙන දැඩි සම්බන්ධයට අකමැති වුනත් පස්සේ පස්සේ මේ දෙන්නගේ මුදු මොලොක් කම නිසා එතරම් අකමැත්තක් පෙන්නුවේ නැහැ. ඔවුන් දෙන්නා තමන්ම හිතලා ටීනට චූටි අම්මා කියන්න පටන් ගත්තා. සමුදී ඒ ගැන ඇහුවේවත් නැහැ. ටීනා මේ දවස් වල ගර්භනී කමේ අට වෙනි මාසේ ගෙවමින් හිටියේ. ශරීරයෙන් කුඩා ඇය කොහොමත් ගර්භනී වීම එක්ක විහිලු ස්වරූපයක් ගත් බව ළමයි හිතුවා. ඇය කිසිම වැඩක් කලේ නැහැ. සේරම කටයුතු කරන්න වුනේ තාරිකට. සමුදී නම් ගර්භනී වුන බව වත් බඩ ලොකු වෙනකන් කවුරුත් දැනන් හිටියේ නැහැ. මොකද සමුදී අමාරු අපහසු කම් ගැන නොසිතා හැම වෙලේම හිතුවේ තාරිකගේ සුව පහසුවනේ. නමුත් ටීනා එහෙම නැහැ. ඇය හැම වෙලේම තාරික හැමදේම තමාට දිය යුතු බව සිතුවා. නොලැබුනොත් රණ්ඩු වුනා.

කාර්යාලයේ වැඩ වලට ඔහු රෑ වුනොත් එහෙම සමුදී දරුවෝ ඉස්සර ඩේ කෙයා එකෙන් ගන්නවා. ඇවිත් සේරම ගෙදර වැඩ ඉවර කරනවා. නමුත් ටීනා මග අතරතුර හැම වෙලේම තාරික ගෙදර එනකම්ම රණ්ඩු වුනා. හැඬුවා. දරුවෝ හිතුවේ ඇය හඬන්නේ නංගි ඇයට කරදර කරන නිසා විය යුතුයි කියල.

ඒ එක්කම සමුදී පාලනය කරන පිරිසිඳු පිළිවෙල නිවසේ ඉඳලා පුරුදු මේ දරුවෝ තැන තැන කසල ගොඩ වුන අපිළිවෙල මේ ගෙදර තත්වයට බය වුනා. නමුත් තමන්ගේ පියා ඉන්න ගෙදර නිසා ඔවුන් එහි ගියා. ඔවුන්ට තාරික නැතුව ඉන්න අමාරුයි. මේ ගෙදර තාරික හැමදාම කඩේ ගියා. ඒත් මොනවා හරි හැමදාම නැහැ. ඉවර වුනාම තමා දන්නේ නැහැ කියල. මෙතුවක් කල් තාරික හිතාන හිටියේ ඔහුගේ කිළුටු ඇඳුම් හේදිලා අල්මාරියේ හැන්ගර්ස් වලට යන්නේ ඉබේම කියල. ඒ වගේම මේසෙට ආහාර ආවේ නිකන්ම කියල. ගෙදර ගෑස් එක ඉවර වුනාම ඉබේම පිරෙනවා කියා හිතාන වගේ ඔහු හිටියේ. නමුත් ජීවිතේ පලවෙනි වතාවට තාරිකට ඉපයීමට අමතරව ගෙයක බර දැනුණා.

වෙලාව උදේ 10 යි. ටීනා නැගිටලා නයිටිය පිටින්ම සාලේ සෝෆා එකෙන් වාඩි වුනා.

“ තේ එකක් ගේනවද ? “ ඇය තරිකගෙන් ඇහුවේ ඇහි පිය පිහින ගමන්. උදේ නැගිටලා දරුවෝ එක්ක දුවල තාරික ඇවිත් හිටියේ හැමෝටම කඩෙන් ඉඳිආප්ප අරගෙනයි. ඔහු කුස්සියට යද්දී පුතාල දෙන්නත් පිටිපස්සෙන් ගියා. කලින් දවසේ රෑ කාල හෝදපු නැති භාජන සේරම කුස්සියේ. ඉඳුල් ගඳයි. දිනපතා උදේ හවස වැඩට එන මනුස්සයා ඊයේ රණ්ඩු වෙලා ගිහින් තිබ්බා. කොච්චර ගේ අපිළිවෙල උනත් ටීනට රෝහලේදී ලෙඩ්ඩුන්ට කෑ ගහන පිළිවෙලටම ගෙදර සේවකයන්ට කෑ ගහන්න ඕනේ. ඒ නිසා වැඩි කාලයක් සේවකයෝ මෙහෙ හිටියේ නැහැ.

වතුර එක නටද්දී විහස් “ මම තේ හදන්නම් ” කියල තේ එක හැදුවා. ඔහුට රසට තේ හදන්න පුළුවන්. ඉන් පස්සේ දෙන්නම තේ එක පීරිදි කෝප්පේ තියල ඉස්සරහට උස්සන් ගියා. තාරික බලාන හිටියේ හිනා වෙමින්.

“චූටි අම්මා ..මම ඔයාට තේ හැදුවා. මම මයි හැදුවේ. අයියත් උදවු කරා “

ටීනාට හිනා. ඇය තේ එක අරගෙන විහස්ට හිනා වුනා.

ඇය තේ එක බොන දිහා සාවධානව බලා සිටි විමාශ හෙමින් කිට්ටු කරා. ටීනගේ කනට කරලා රහසින් ඇහුවා.
“නංගි නැගිටලාද “ කියල …

“ඔවු ..ඔවු දැන් නැගිට්ටේ .”කියල ටීන උත්තර දුන්නේ හිනාව නවත්වා ගනිමින්.

ඔවුන් දෙන්නා අපිළිවෙලට හරිම නුපුරුදුයි නෙ. ඒ නිසා දෙන්නම එකතු වෙලා ගේ අතු ගෑවා. තාරික ටීනගේ සහ ඔහුගේ ඇඳුම් වොෂින් මැෂින් දැම්මා. ළමයි හෙමින් කුස්සියට ගිහින් පිඟන් හේදුවා. සමුදී කවදාවත් උදේ ඇහැරුනාට පස්සේ නයිටිය පිටින් ඉඳලා නැහැ. නමුත් ටීනා ඔවුන් මේ වැඩ ඉවර වෙද්දීත් තාම නටිටිය පිටින්. දරුවෝ දෙන්නා මේවා දැකල ඇයට ගොඩක් අනුකම්පා කළා. චූටි අම්මට ගොඩක් අමාරු නංගි පයින් ගහන නිසා කියල දෙන්නම ඒකමතික තීරණයකට එළඹුනා.

හවස තාරික ඔවුන් සේරම රාත්‍රී ආහාරයට එලියට අරගෙන ගියා. හෙට උදේම නැවත දරුවෝ ගෙදර යනවනේ. මොකද ඉරිදා ඔවුනට ඉංග්‍රීසි සහ දෙමල පන්තිය. ඔවුන් ඒකට ආස කළා. වයසක ගුරුතුමිය ඔවුන්ට ගොඩක් කතා කියා දුන්නා.

සමුදී ටීනා එක්ක අමනාපයක් නොවුනත් කිසිම දේකට රන්ඩු ඇති නොවුනත් ටීනා සමුදී එක්ක අමනාපෙන් හිටියේ. ඔයාගේ මහලොකු ව්‍යවසායිකාව කියල අපහාසෙන් ඇයව හැඳින්නුවා. ටීනා සාමන්‍යයෙන් ගොඩක් ආඩම්බර කාන්තාවක්. ඇය වෛද්‍යවරියක් වීම නිසා ඇය විශ්වාස කලේ ලෝකේ අනික් හැම කෙනෙක්ම තමා වෙත ගරු සැලකිලි දක්වන්න ඕනේ කියල. රෝහලේදී පවා ඇය ලෙඩුන්ට නිතරම බැන්නා. සුළු සේවකයන්ට සැර කළා. සමුදී කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක් කියන දේ නිතරම ඇගේ හිත කටුවකින් ඇනලා හිරි වැට්ටුවා.

අපෝ මොනවා වුනත් ඒකි පවුල කඩා ගත්තා. ලෝකෙට හොඳ වුනාට වැඩක් නැහැ. අනික එයා සාමාන්‍ය කෙනෙක් විතරයි. හැබැයි මම ඩොක්ටර් කෙනෙක්. ඒ නිසා මම එයාට වඩා වැදගත් කියල ඇය තමන්ගේ හිත හදා ගත්තා. හැබැයි ඉඩ ලැබෙන හැම වෙලේම සමුදිට දොස් කියන්න මැලි වුනේ නැහැ. දරුවෝ ගියාට පස්සේ ඇය තාරික වෙත ඇවිත් වාඩි වුනා.

“ පේනවා නේද අම්මණ්ඩි මිනිස්සු එක්ක යන්න ලේසියට ළමයි දෙන්න මෙහෙ පටවනවා. මටනේ කරදරේ “

මේ කතාවෙන් හිතුවේ නැති විදිහට තාරිකට තරහා ගියා.

“ බබා…දරුවෝ දෙන්නා එන්නේ මම නිසා. නැතුව සමුදී කවදාවත් දරුවෝ එවන්න කියල මගෙන් අහල නැහැ. අනික දරුවෝ දෙන්නා මොකද්ද ඔයාට කරන කරදරේ ? “

“ඇයි ගිය මාසේ සති දෙකක්ම එයාට හොලිඩේ යන්න අපි ළඟ හිටියේ. මම හින්ද හොඳයි .” ටීනා හයියෙන් කීවා. ඔයාටත් මහලොකු සමුදිට වචනයක් කීවොත් තරහා යනවා.

මගේ ළමයි දෙන්නා මන් ලඟට නොයවා කා ගාවට යවන්නද ?” තාරික තරහෙන් ඇහුවා.

“ඒක තමා මම කියන්නේ. එකත් එකටම ඔය ගෑනිට හොර මිනිස්සු ඇති. නැත්නම් ඔච්චර ලේසියෙන් ඩිවෝස් එකක් දෙනවද ? මම නම් මරාගෙන මැරෙනවා. “
තාරිකගේ මුහුණේ උපහාසාත්මක හිනාවක් මතු වුනා. නමුත් සමුදී ගැන කතා කරන්න ඔහුට වුවමනා වුනේ නැහැ.

“ ඒ තමුසේ වගේ මෝඩ ගෑනු හැසිරෙන හැටි. සමුදී තමුසෙගෙ ජාතියේ නෙවේ “ කියන්න හිතුනත් තාරික කෝපය සඟවා ගත්තා. ඒ වෙනුවට ඔහු ඇය දෙස සහ නෙරා ඇවිත් තිබෙන උදරය දිහා බලල ටීනගේ ඔලුව අතගෑවා.

“දැන් සමුදී අපේ ජීවිත වල නැහැ. ඒ මනුස්සයා පාඩුවේ ඉන්නවා. ඔයා නිතරම තරහෙන් ඉද්දි බබාට නේද හොඳ නැත්තේ පැටියෝ ? “

( ලබන සතියට )