“ජීවිතේ මේ වගෙයි.” – Part 42

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇය ව්‍යාපාරිකාවක්. ඇගේ හිටපු ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 42 කොටස

කල්පිටියට වාහනයක් තනියම කවදාවත් එළවලා නැති වුනාට සමුදිට හිතුනා මේ සැරේ එහෙම කරන්න. රියදුරෙක් පාවිච්චි කරන්න ඇය කොහෙත්ම කැමති නැහැ. විශේෂයෙන්ම දැන් තමා තනි වෙලා නිසා ආත්ම ගෞරවය ගැන වෙනදට වඩා හිතන්න ඕනේ. ලංකාවේ ගැහැනියක් දික්කසාද වෙනවා කියන්නේ ගොඩක් පිරිමි හිතන්නේ හොඳ අවස්තාවක් ඇයව පාවිච්චි කරන්න කියල. දික්කසාද වුන අලුත බොහෝ ගැහැණු නොගැලපෙන සම්බන්ධකම් වල පැටලිලා ජීවිතේම විනාස කර ගන්නවා. මේ වගේ රටක මොන දේ කරත් පිරිමියා හරි. ගැහැණිය තමා වැරදි. සමුදිට මතක් වුනා කාර්යාලයේ ඇති වුන ප්‍රශ්නයක්.

ඇගේ දික්කසාද වුන යෙහෙලියක් පස්සේ එක විවාහක නිලධාරියෙක් ආවා. මේ අහිංසක ගැහැණිය මෙය මහත් කරදරයක් ලෙසයි සැලකුවේ. අන්තිමට ඒ නිලධාරියාගේ බිරිඳ හැමෝම ඉදිරියේම වරදක් නොකළ ඇයට බැන්නා. “උඹේ පවුල කඩා ගත්ත නිසාද උඹ මගේ මිනිහට කොමල කරන්නේ කියල?” සමුදී හිතුවේ මේවා ලෝක විහිලු කියල. තමන්ගේ සැමියාගේ වරද වුනත් හැමවිටම කාන්තාවෝ බලන්නේ අනික් කාන්තාව පහත් කරන්න. ඒ නිසා තමන්ගේ දැන් තිබෙන තත්වේ බොහොම පරිස්සමෙන් සහ කල්පනාවෙන් වැඩ කළ යුතු තත්වයක් බව සමුදී දැන හිටියා. ඇය කොහොමත් හිත තද කෙනෙක්.

සේරම බඩු ටික පටවන් ඇය තමා අන්තිමට ගෙදරින් පිට වුනේ. පුතාලව තාරික උදේම ඇවිත් අරන් ගිහින්. යෝශිව කෝච්චියට දාල සමුදී නැවත ඇවිත් බඩු ජීප් එකට පටවා ගත්තා. ඉන් පස්සේ ඇය කැමතිම සින්දු හයියෙන් දාගෙන ගමන පටන් ගත්තා. මග දිගට අහුවෙන දේවල් සේරම කෑවා. මේ ට්‍රිප් එකෙන් පස්සේ පරිස්සමට කන්න තමාට පොරොන්දු වුනා. ඒ නිසා මේ සති දෙක සේරම කන්න ඇයට ඕනේ වුනා. ඇත්තටම ඇය බුක් කලේ විදේශිකයෝ විතරක් එන හොඳම තරු 5 හෝටලයක්. පොත් 5 ක් විතර ඇයට කියවන්න තිබ්බා.

ඇය හෝටලයට ලඟා වෙද්දී හවස තුනට විතර ඇති. ඇඟ හෝදගෙන හොඳට කාල නින්දක් දැම්මා. ඇත්තටම ඇයට තෙහෙට්ටුයි. තාරික ඇගේ පිටි පස්සට අතින් ගහනවා. “නිදිය ගන්න දෙන්නකෝ තාත්ති. මට මහන්සියි “ ඒ එක්කම සුදු සාරියක් ඇඳගෙන එතනට එන ලොකු හාමිනේ සමුදිගේ කනට වේගෙන් ගැහුවා. තරු විසික් වෙලා ඇය නැගිටිද්දී කාමරේට කරුවල වැටිලා.

“මම මේ කොහෙද ” එක වරම ඇයට සිහි එලවා ගන්න බැරි වුනා. වහාම කාමරයේ ලයිට් දැම්මේ බයෙන් ඇලලෙමින්. ලොකු හාමිනේ මැරිලා දැන් අවුරුද්දකටත් වැඩියි. තාරික දැන් තව දුරටත් තමාගේ සැමියා නෙවෙයි. ඔහු වෙනතක. ඇයි මෙහෙම දෙයක් හීනෙන් පෙනුනේ කියල ඇගේ හිත රිදුම් දුන්නා. තමා අතින් ලොකු හාමිනේට කවදාවත් වරදක් වෙලා නැහැ. තමාගේ කාර්ය බහුලකම නිසා ඇයව මග හැරුණා.

“මගේ හිතේ තිබෙන දේවල් පේනවා ඇති. ඕක ගැන හිතන එක තේරුමක් නැහැ” කියල හිතුව ඇය ඇඟ හෝදා ගත්තා. පොතකුත් අරගෙන සුන්දර වෙරල තීරයේ කලපුවට මායිම්ව හදලා තිබුන ලී වේදිකාවය ගියා. මුහුදු හුලන් ඇගේ ඇඳ සිටි කෙටි කලිසම සහ ටී ෂර්ට් එක අතරින් ඇඟ ඇතුලට යද්දී දැනුනේ පුදුම සැහැල්ලුවක්. පොත කියවීම පසෙක තියල ඇය ඇස් දෙක පියාගෙන පරිසරයේ ශබ්ද වලට සවන් දුන්නා. උණුසුම් සුළඟ පපුව පුරා ආශ්වාස කරන එකත් එක අතකට ලොකු සැහැල්ලුවක්.

වයින් වීදුරුවක් හිස් කළ ඇය හොඳ ලොකු ඉස්සෝ පිඟානක්ම බොහොම කැමැත්තෙන් ඉවරම කරලා දැම්මා. ඉන් පස්සේ සංගීත කණ්ඩායම ගයන තාලයට ලස්සන සින්දු රාත්‍රී දොළහත් පහු වෙනකන් අසාගෙන සිටියා.

පහු වෙනිදා උදේ නැගිටිද්දී පරක්කු වෙලා. විගහින් ඇය කාල ඇඳුම් ඇඳගෙන කෙලින්ම ගියේ Kite Surfing වලට. ලෝකේ තිබෙන හොඳම Kite Surfing කරන තැනක් කල්පිටියේ ඇති බව ඇය දැනගෙන හිටියේ නැහැ. මේ අත්දැකීම හරිම ලස්සනයි. ඒ වගේම ත්‍රාසය ජනකයි. ඇය එක්ක තවත් යුරෝපෙන් ආව වෛද්‍ය ශිෂ්‍යාවෝ කණ්ඩායමක් එකතු වුනා. එතනින් මැටී සමුදිගේම වයසේ. ඇය තුන් දරු මවක්. ඇගේ විවාහයත් ලඟදි කැඩිලා. හිත හදා ගන්න ඇය 40 ගණන් වල නැවතත් උපාධියක් කරන්න පටන් අරන්. දරුවෝ දාල වෙන රටකට චාරිකාවක් ඇවිත්. මේ නිසා සමුදී ඇය එක්ක ගොඩක් හිතවත් වුනා. මේ කට්ටිය සේරම මුළු දවසම වැල්ලේ වතුරේ අවුවේ බැහැගෙන සෙල්ලම් කරා.

යුරෝපීය ජාතිකයෝ ඇත්තටම අපි වගේ ගෙවල් හදන්න ධනය ගොඩ ගහන්න නෙවෙයි හැමවෙලේම හිතන්නේ. ඔවුන් ජීවිතේ සතුට ගැන හිතනවා. විනෝද වෙනවා. චාරිකා යනවා. අපි වගේ දික්කසාදයක් වුනා නම් වැටිලා ඉන්නේ නැහැ. ඔවුනට ඉගෙන ගන්න වයසක් නැහැ. ඕනේ දේ ජීවිතේ ඕනෙම කාලෙක කරනවා. ඔවුන් අපි වගේ සමාජ මතය ගැන කරදර වෙන්නේ නැති නිසා සතුටින් ඉන්නේ. වැඩිහිටි අම්මලා වුනත් විලාසිතා කරගෙන, පොඩි වුන් වගේ ගස් ගල් වල නගිමින් ඉන්න හැටි…ඒ නිදහස අපිට නැති නිසා වෙන්න ඇති අපේ රටේ කාන්තාවෝ මෙතරම් පීඩනෙන් හැම වෙලේම තරහෙන් ඉන්නේ කියල සමුදී හිතුවා.

සාම්ප්‍රධායික විදිහට ජීවත් නොවෙන සමුදී හැම කෙනාගෙම හොඳ තමාගේ ජීවිතේට ගත්තා. ඔවුන් වෙන් වුනේ හෙට දවසේ ඩොල්ෆින්ලා බලන්න යන්න තීරණය කරගෙන.

පලවෙනි සතිය ඉවර වෙද්දී ඇගේ යහළුවෝ යන්න ගියා. මැටී යද්දී සමුදිට ගොඩක් දුක හිතුනා. මැටී ඇය එක්ක ගොඩක් දේවල් බෙදාගෙන තිබ්බා.

දෙවෙනි සතිය පටන් ගනිද්දී සමුදිගේ හිත ගොඩක් සතුටින් සහ සැහැල්ලුවෙන් පිරිලා තිබුනේ. ඇය එදා ඉඳල උදේම බීච් එකේ ඇවිදිනවා. ඉන් පස්සේ ශරීරය සම්බාහනය කර ගන්නවා. තිබුණු ඇඟේ පතේ වේදනාවන් කොහෙන් ගියාද දන්නේ නැහැ. හොඳින් කනවා බොනවා. දවල් 11 වෙද්දී ඇය පටන් ගන්නවා එලියට වෙලා ජීවිතේ ඉදිරිය ගැන සැලසුම් කරන්නට. පුතාලගේ පාසලේ ගුරුතුමිය කියුව විදිහට ඔවුන් දෙන්නා භාෂාවලට එතරම් දක්ෂ නැහැ. ඒ ඔවුන් තාරික වගේ නිසා බව ඇය දන්නවා. සමුදිට එය ලොකු දෙයක් නොවුනට ගුරුවරු දරුවන්ගේ ඔලුවේ ලොකු පීඩනයක් ඇති කළා.

එයාල දවසක ලොකු වෙලා තාත්ත වගේ ගිණුම් කරණය කරයි. නැත්නම් ඉංජිනේරුවරු වෙයි. එයාලට භාෂාවන් බැරි වුනාට ලොකු දෙයක් නෙවේ කියල තමා සමුදී හිතුවේ. නමුත් ලංකාවේ ගුරුවරු දරුවනට හැකි දේ ගැන නෙවෙයි කලබල වෙන්නේ නොහැකි එකම දේ ගැන ඔවුන් කෑ ගහනවා. මේ ගැන පුතාලට කතා කරලා පැහැදිලි කරලා දෙන්න ඕනේ කියල සමුදී තීරණය කළා. ඒ එක්කම ඔවුන්ට ඉංග්‍රීසි සහ දමිල භාෂාව උගන්වන්න ඇගේ ගුරුතුමෙක් වුන සෙල්වනායගම් මහත්මියව ගෙන්වන්න හිතුවා. සෙල්වනායගම් මහත්මිය කියන්නේ නියම ගුරුවරියක්. ඇයට දමිල සහ සිංහල දෙකම චතුරව ඉගැන්විය හැකියි.

ඒ එක්කම තමන්ගේ අනාගතය ගැන ඇය බය වුනා. අයෙත් හිතුවා මගේ පුතාල දෙන්න තව අවුරුදු දහයකින් ලොකුයි. යෝෂි දැනටම ලොකුයි. ඒත් ඉතින් එයාල ලංකාවේ නොඉන්නත් පුළුවන්. බැහැ ….බැහැ දැන්ම තීරණයක් ගන්න බැහැ. ආයෙත් මට හොඳ කෙනෙක් නොලැබෙන්න පුළුවන්. තනියම ඉද්දි තියන සතුට නිදහස කොයි තරම් ලොකුයිද? ඒ ගැන හැර අනික් හැමදේම ගැන ඇයට පැහැදිලි අදහසක් තිබ්බා.

ව්‍යාපාරය තව තව දියුණු වෙනවා. හැමදාම ගැටළු. ඇය නොනවත්වා වෙහෙසෙන්න ඕනේ. ඒ දේවල් එක්ක සමුදිට කාලයක් නැහැ. කොළඹ ගිහාම ඇය නැවත තනි වෙනවා. යාළුවො හැමෝම වගේ දරුවන්ගේ වැඩ එක්ක කාර්ය බහුලයි. සේරම දේවල් ඇය එකින් එක නෝට් කර ගත්තා. ඒ එක්කම පුත්‍රයෝ දෙන්න සහ යෝෂි මතක් වෙද්දී ඇගේ සිත ඉපිලුනා. ඔවුන් නැතුව ඇයට පාලුයි.

ගෙදර ගිය ගමන්ම ඇය තාරිකට පණිවිඩයක් යැවුවා කොල්ලෝ දෙන්න ගේන්න කියල. විහසුයි විමාෂයි එද්දී ඈත තියාම ඇය දැක්කේ කෙට්ටු වෙලා කියල. ඒ සමග ඇගේ හිත වේදනාවට පත් වුනා.

පැය කාලක් විතර තුන් දෙනා ඇඳේ බදාගෙන එකිනෙකා සිප ගත්තා. ඉන් පස්සේ සමුදී චාරිකාව ගැන ඔවුනට පැහැදිලි කළා. මැටී නැන්දා බලන්න අවුරුද්දේ අන්තිමට එංගලන්තයට යන්න තිදෙනා කතා කර ගත්තා. ඔවුන් තුන් දෙනා මුළු හවසම ගෙදරට බඩු ගේන්න ගිහින් වැය කළා. ඔවුන් එලොලු ගන්නේ පොලෙන්. සාමන්‍ය ජීවිතේ ගැන දරුවන්ට උගන්වන්න හොඳම මාවත පොලවේ පය ගහලා ඉන්න කියාදීම බව සමුදී දැන සිටියා.

(ලබන සතියට)