“ජීවිතේ මේ වගෙයි.” – Part 41

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇගේ හිටපු ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 41 කොටස

තාරික මතක් වෙද්දී කොපමණ ලොකු දුකක් දැනුණත් සමුදී වැඩ වලම යෙදුනා. ඇත්තටම ඕනෙම කෙනෙක්ට ඕනෙම දුකකින් මිදෙන්න පුළුවන් ලොකුම ක්‍රමය තමා ජීවිතේට අරමුණක් තියා ගැනීම. විවාහ වෙලා ඉද්දි වුනත් ඇය පවුල වෙනුවෙන් උපරිමෙන් කැප වුනා. නමුත් ඇයට ඇගේම ජීවිතයක් තිබුනා. ඇගේම අරමුණු තිබුණා. හැමවෙලේම ස්වාධීන බවක් තිබුනා. ලංකාවේ බොහෝ කාන්තාවෝ විවාහයෙන් පස්සේ තමන්ව අතහරිනවා. තමන්ගේ හීන අතහරිනවා. පස්සේ මැද කාලේදී වැටහෙනවා සැමියා සේරම හොඳ දේ අරගෙන උඩටම ගිහින් කියල. එවිට අඹු සැමි දෙදෙනා තරාතිරමෙන් වෙනස් වෙනවා. මෙහෙම උනත් බොහෝ පවුල් හොඳින් ඉන්නවා. නමුත් සමහර සැමියෝ තමාගේ බිරිඳට ඉන් පස්සේ සලකන්නේ බොහොම නරක විදිහට.

ජීවිත ගමනේ ඕනෙම වෙලාවක ඕනම දෙයක් වෙන්න හැකි නිසා හැම කාන්තාවක්ම තමන්ට අදායමක්, වෙනම ජීවිතයක්, ස්වාධීනකමක් තියා ගැනීම වටිනවා. සැමියාගෙන් වෙන් නොවුනත් හැමදේටම සැමියාගෙන් මුදල් ඉල්ලීම සුදුසු නැහැ. ඒ වගේමයි භාර්යාවගේ පවුලේ අයට සලකන්න ඕනේ. ඒ නිසා කාන්තාවක් ස්වාධීන වීම ගොඩක් වටිනවා. රැකියාව නැති වුනත් සමුදී තමන්ගේ දෙපයින් නැගිට්ටා. තව කාන්තාවෝ රැසක් දෙපයින් නැගිට්ටුවා. ජීවිතේ බැලන්ස් එක නැත්නම් තුලනය තිය ගන්න අසීරු වීම සහ තාරික හරියට තේරුම් නොගැනීම නිසා ඇගේ විවාහය කඩා වැටුනා. ඒත් ඇය සැලුනේ නැහැ.

සමුදී කාමරේ කණ්ණාඩියෙන් මුහුණ බැලුවේ කොන්ඩේ වේලාන ගමන්…. ඇයට හිතුනා ඇය කැත වෙලා කියල. තවත් සමීප වෙලා ඇය ඒ පාර රේඛාවෙන් රේඛාව තමන්ගේ මුහුණ පරීක්ෂා කළා. ඇස් යට රැලි ලාවට මතු වෙමින් තිබෙනවා. දිනපතා දරන පීඩනේ සහ ලඟදි මුහුණ දුන්න වේදනාව නිසා කම්මුල්වල සම මලානික වෙලා. ඒ එක්කම පහුගිය දවස් වල කෙළවරක් නැතුව කෑවනේ. පීඩනේ වැඩි වෙද්දී අපි නොදැනීම වැඩියෙන් ආහාර ගන්න පෙළඹෙනවා. දැන් ඉතින් බඩත් ඇවිත්. තමන් වෙනස් වෙන්න ඕනේ කියල සමුදී තීරණය කළා. ඇගේ හිතේ පොඩි ඉරිසියාවකුත් නැතිව නෙවේ. ටීනා පෙනුමෙන් කුඩා දැරියක් වගේ. ඇගේ වයසත් සමුදිට වඩා බාලයිනේ.

වසර අවසානය නිසා VVL එකේ හැමෝම සතුටින් හිටියේ. එයාලට මාස තුනක බෝනස් ලැබිලා. සමුදිටත් ගොඩක් සතුටක් දැනුණා. දාඩිය මහන්සියෙන් වැඩ කරන ඔවුනට ප්‍රතිලාභ ලැබෙද්දී. ”මම තනියෙන් කන්න නෙවෙයිනේ මේ සේරම හැදුවේ. අපි හැමෝටම කන්න” කියල ඇය ගොඩක් ප්‍රීති වුනා. දරුවෝ දෙන්නත් සතුටින් හිටියේ තාත්ති එක්ක සති දෙකක්ම ඉන්න ලැබෙන නිසා.

ඇය ලොකු වෙනස්කම් ගොඩක් ජීවිතේ කරන්න හිතා ගත්තා. පළමුව ඇගේ බර BMI එකේ අගයට වඩා කිලෝ 10 ක් නොදැනීම වැඩි වෙලා. මේ බර නැවත යතා තත්වයට ගෙන්න ඕනේ. ඇය ජිම් එකේ සාමාජිකත්වය ගත්තා. වැඩ ඇරිලා එද්දී හවසට ජිම් යන්න ඇය තීරනය කළා. ඒ එක්කම දරුවෝ දෙන්න මගහැරිලා නිසා ඇය හිතුවා දරුවෝ දෙන්න පීනන්න දාල දෙන්න එක්ක ජිම් එකෙන් පස්සේ පැයක් විතර කතා කරමින් ස්විමින් ක්ලබ් එකේ ඉන්නවා කියල.

ඇය වෛද්‍යවරයෙක් හමු වෙන්න ගිහින් සේරම වෛද්‍ය වාර්තා අරගෙන බැලුවා. දැන් කවදාටත් වඩා තමන්ගේ සෞක්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඇගේ සතුටට හැම වාර්තාවක්ම සාමාන්‍යයි. ඉන් පස්සේ ඇය සැලුන් එකට යන එක මාසෙකට සැරයක් වත් කළ යුතුයි කියා හිතුවා. ඊළඟ දවසම කළේ සැලුන් එකේ ගත කිරීම. ඇය අලුත් විලාසිතාවකට කොන්ඩේ කැපුවා. කකුල් දෙකට සත්කාර කළා. ෆේෂල් එකක් කරලා මැරුණ සම අයින් කළා. හවස වෙද්දී ඇයට දැනුනේ ලොකු සනීපයක්. ආහාර වේල් නැවත තරුණ කාලේ වගේ ගුණාත්මකව ගන්න ඇය තීරණය කළා.

තාරික මතක් වෙන හැම වෙලේම ගින්දරක් වගේ දෙයක් පපුව හරහා ගියත් ඇය තදින් හිතල ඒ දේ අමතක කර දැම්මා.

“දැන් එයා වෙන තැනක සතුටින්. වෙන්නත් ඕනේ ඒකනේ. මා එක්ක සතුටක් නැත්නම් ඉතින් වෙන මොනවා කරන්නද ? “ ඇය එහෙම හිතලා වෛරය ඉරිසියාව හිතට වැද්ද ගත්තේ නැහැ. ඒ වෙනුවට තමා ගැනම හිතුවා.

ඒ එක්කම ඇය තීරණය කළා හිතේ පීඩනය පහ වෙන්න මනෝ උපදේශිකාවක් හම්බ වෙලා කතා බහ කරන්න. නිවාඩුව තමාට හොඳ සහනයක් දේවි කියල ඇය බලාපොරොත්තු වුනා. අනාගතේ ගැන ඇයට හරි තීරණයක් තිබ්බේ නැහැ. ඒ ගැන දැන්ම නොහිතා පස්සේ තීරණය කරන්න ඇය හිතුවා.

අවුරුදු 15 කට පස්සේ ඇය අයෙත් තනි වෙලා. ඒ එක්කම ලොකු නිදහසක් දැනුණා. ඉස්සර ගෙදර අඬදබර දැන් නැහැ, යන තැන කියන්න ඕනේ නැහැ, ඕනේ තරම් රෑ වෙනකන් වැඩ කරන්න පුළුවන්. මේ සේරම සහනයක් වගේ ඇගේ හිතට දැනුනේ. නැවත වරක් කෙනෙක් ජීවිතේට ගන්නවද නැද්ද කියන ප්‍රශ්නේ ඇගේ හිතට ආවේ නැහැ. ඒ ගැන තීරණයකට එළඹෙන්න කල් වැඩියි. ඒ එක්කම තමා දැන් අසරණයි කියා ඇයට වැටහුනා. ඒ නිසා තවත් ශක්තිමත් විය යුතුයි.

ඇය තරුණ කාලේ බලපු කුමාරයාණෙනි කතාවේ තේමා ගීතය ඇයට මතක් වුනා.

“අත්වැල ගිලිහී ලොව තනි වූ දා – දකිනා පෙරමග ලකුණු නැති.“ යු ටියුබ් එකෙන් ඇය ඒ සින්දුව නැවත නැවත ඇහුවා. සංගීතය තමා දැන් ඇගේ එකම ආදරවන්තයා වුනේ.

සැලුන් එකට ගිහින් ගෙදර එද්දී විහස්, විමාශ සහ යෝශිතා තුන් දෙනාම සාලෙට වෙලා ඉන්නවා. බලද්දී ඔවුන් සමුදිට පාටියක් ලැහැස්ති කරලා. තුන් දෙනා එකතු වෙලා පීසා හදල. හෙට ඔවුන් තුන් ගොල්ල නිවාඩුවට තැන් තුනකට විසිරෙනවා.

ඔවුන් 4 දෙනාම එකතු වෙලා සතුටින් ආහාර ගත්තා. විමාශ සේරම අස් කරා. විහස් යෝෂි එක්ක පිඟන් සේදුවා. ගෙදර ඉන්න ගැහණු කෙනා නිවාඩු ගිහින්. පුතුන් දෙන්නා දැන් ඇදිලා ගිහින් වගේ. හැබැයි ඔවුන් බොහොම සතුටින් ඉන්න බව පෙනුනා. දැන් ඔවුන් ඉස්සර වගේ ඇගේ, ඇඟේ නගින්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් දෙන්නම අම්මට අනුකම්පා කළා. අනික් පැත්තෙන් තාත්තිට ආදරේ කරා. තාරිකගේ අවංක පැහැදිලි කිරීම් සහ සමුදිගේ බුද්ධිමත් හැසිරීම නිසා මේ වෙලාවේ අහිංසක දරුවෝ දෙන්නට වෙන හානිය අවම වෙලා ගියා.

ඔවුන් දෙදෙනා ගොඩක් සතුටින් හිටියේ හෙට සිට සති දෙකක් තාත්ති එක්ක ඉන්න ලැබෙන නිසා. ඒ එක්කම අම්මි තනි වෙනවා නේද කියල ඔවුන් දෙන්න දුක් වුනා. ඔවුන් දෙදෙනා උදේම යන නිසා සමුදිව සිපගෙන නිදාගන්න ගියා. යෝශිට ලබන අවුරුද්දේ සැලසුම් ගැන ටිකක් පැහැදිලි කරපු සමුදී ඇයව මල්ලිලාගේ කාමරේ ළඟ තිබුන ඇගේ කාමරේට ඇරලලා තමන්ගේ කාමරේට ආවා. ඇඟ හෝදගෙන ගොඩක් වෙලා සින්දු අහල ඇය නිදා ගද්දි එකත් පහු වෙලා.

හෙට සිට තමන්ගේ ජීවිතේ ගොඩක් වෙනස් වේවි ඇය මොහොතකට සැනසුම් සුසුමක් හෙලුවා.

( ලබන සතියට )