“ජීවිතේ මේ වගෙයි.” – Part 40

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇගේ ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 40 කොටස

දවස් දෙකකට පස්සේ සමුදිට සනීප වුනා. ඇය ජනේලෙන් එහා ශෝකාකූල ලෙස බලාගෙන කල්පනා කලේ තාරික සමග ගෙදර යන්නේ නැතුව තාරික එන්න පෙර කුසුමා එක්ක යන්නයි. යෝශිතා දවස් තුනක් පිට පිට නිදි මරලා අසීමිත වෙහෙසකින් හිටියේ. ඇයට දැන් ඉතුරු වී තිබෙන්නේ දරුවෝ දෙන්නා සහ ව්‍යාපාරය විතරයි. දාඩියෙන්, කඳුලින් හදපු තමන්ගේ තුන් වෙනි දරුවා වුන ව්‍යාපාරය ගැන වෙනදාටත් වඩා වැඩි ඇල්මක් ඇගේ හිතේ හට ගත්තා.

බලාගෙන ඉද්දි කෙට්ටු වෙලා, සුදුමැලි වෙලා අත් දෙකේම විදපු කැනියුලා වලින් හටගත් තුවාල වලට ප්ලාස්ටර් දාගෙන හිටපු සමුදී දැක්ක ගමන් කුසුමාට බිම පෙරලිලා හඬන්න හිතුනා. එහෙම කරන එක නොසුදුසු නිසා ඇය බිල් ටික ගෙවන්න කවුන්ටරේට ගියා. සමුදිගේ බඩු සේරම අස් කර ගත්ත යෝශිතා “ පයින් යන්න පුලුවන්ද මිස් ?” කියල අහද්දී සමුදී හෙමින් පිටුපස බැලුවා.

දෙදෙනාගේ දෙනෙත තප්පර කීපෙකට ගැටිලා එකිනෙකා දෙස බලා සිටියා. මට අද ඉඳලා අම්මා කියන්න පුතේ…. “ ඇයගේ වලගැසුන දෙනෙත් හරහා ලොකු කඳුළු බින්දු දෙකක් පහලට කඩා වැටුනා.

“මට දුවල නැති බව ඇත්ත. හැබැයි ඔයා නිසා මට දැන් ඒ අඩුවත් නැති වුනා. හෙට ඉඳල තාරික අන්කල් අමතක කරලා අපි ජීවිතේ පටන් ගමු. ඔයයි, මායි, මල්ලිලා දෙන්නයි. අපි තමා හෙට ඉඳල අපේ පවුල”

යෝශිතා නැවත කඳුළු සලන්න පටන් ගත්තේ සමුදිට කිට්ටු වෙලා.

“ ජීවිතේ හැටි ඔහොම තමා පුතේ. අවින්ති තම්පි භවති – වින්ති තම්පි විනස්සති “

“ඒ කියන්නේ පුතේ හිතු දේ නොම වේ නොසිතු දේ සිදුවේ කියල” ඇය තමන් සනසගන්නම වගේ වචන ගොඩක් යෝශිතාට කීවා. ඇත්තටම ඒ හරියට තමන්ටම තමන් දෙන අවවාද වගේ.

යන්න සූදානම් වෙලා ඇය කුසුමට කීවා තාරිකට දන්වන්න කියල ඔවුන් රෝහලෙන් පිටව යන බව.

“මොකටද ? ඇවිල්ල අපහු හැරිලා යන්නේ නැතයි” කුසුමා කීවා.

“ එහෙම හරි නැහැනේ කුසුමා. තාරික මාව ඉස්පිරිතාලෙට ගෙනාව.. කොයි එක වුනත් ඒ දේ වටිනවනේ. ඒ නිසා එයාට කියන්න. ඒක මගේ ක්ලාස් එක. ඒ වගේම මනුස්සකම”

සුසුමක් හෙලලා කුසුමා එකඟ වුනා.

සමුදිගේ රෝගය තාරිකට මහත් දුකක් ගෙනාවා. ඇය තනියම යන එක එක අතකින් ඔහුට සතුටක්. මොකද ඇය ගෙදර ගෙන ගියොත් ටීනා ඔහු එක්ක රණ්ඩු වෙනවා. ගර්භනීව ඉන්න ඇයට මේ ප්‍රශ්න ඔරොත්තු දෙන්නේ නැහැ කියල ඔහු දන්නවා. සමුදී නැති අතරේ තාරික සේරම ඔහුගේ බඩු ටික ටීනගේ ගෙදරට යැවුවා. නැත්නම් ආයෙත් ඒවා අස් කරද්දී ඇයට කම්පනයක් ඇති වේවි කියල. ගෙදර ආව ගමන්ම ඇය මහන්සියට නිදා ගත්තා. සතියක විවේකයකින් පස්සේ ඇය ඇඳෙන් නැගිට්ටා. මුකුත් නොවුනා වගේ හොඳින් ඉන්න පටන් ගත්තා. උසාවියෙන් නොතේසි ආවා උසාවියට යන්න.

පලවෙනි නඩු වාරේ කතා කරපු දවසෙම එකඟවෙලා හිටි නිසා සේරම කිසිම ප්‍රශ්නයක් නැතුව විසඳ ගන්න හැකි වුනා. සමුදී එලියට ආවේ තරමක් සැහැල්ලුවෙන්. ආව ගමන්ම ඇය යෝශිතා එක්ක එකතු වෙලා ගේ පිළිවෙල කරන්න පටන් ගත්තා. පහල තාරික හිටපු Visitor Room එකේ පිළිවෙල මාරු කළා. ඇඳ රෙදි පවා වෙනස් කළා. ගෙදර වෙනම විදිහකට පේන්ට් කරන්න ඕනේ කියල ඇය ගෘහ නිර්මාණ ශිල්පය දන්නා ඇගේ මිතුරියකට කතා කළා. කාර්යාලයේ වැඩ වෙනදාටත් වඩා හොඳින් ඉටු කළා. ව්‍යාපාරය ඇයගේ පුද්ගලික ජීවිතේ වෙච්ච අභාග්‍ය එක්ක පහලට ගියේ නැහැ.

ඇගේ ෆැක්ටරිය තිබ්බ ගමේ ගැහැණු බොහොමයක් ඒ කාලේ විරැකියාවෙන් පෙළෙමින් හිට්යේ. නමුත් VVL එකත් එක්ක ඔවුන්ගේ අතමිට සරු වුනා. රට යාම නිසා බොහෝ පවුල් විනාශ වෙලා තිබ්බේ. නමුත් දැන් ඒ දේ වෙන්නේ නැහැ. මේ ගැන කල්පනා කරද්දී සමුදී තමා ගැන ආඩම්බරෙන් සහ උපහාසෙන් තමාටම හිනා වුනා.

“ එයාලගේ පවුල් හදන්න..මම මගේ පවුල දුන්නා.

ඇගේ මුහුණේ නැගුනේ සුන්දර මදහසක්. “Leadership is an isolated journey “ – නායකත්වය කියන්නේ හුදෙකලා ගමනක්… ඇය කියවපු පොතක මෙහෙම වාක්‍යක් තිබුන බව මතක් කළා. මොකද්ද ඒ ? ඇයට මතකට නගා ගන්නම බැරි වුනා. ඇය එකතු වෙලා තිබුන වැඩ සේරම ඉවර කරේ නිවාඩුවක් ගන්න අදහසින්. පහුගිය කාලේ වුන හැම දෙයක්ම ඇයට දරා ගන්න බැරි තරම් ලොකුයි. ඒ එක්කම ව්‍යාපාරය නිසා ඒ අමාරු කාලෙත් පහු වුනා. දැන් ඇයට හරිම මහන්සියි. සති දෙකක් විවේකෙන් ඉන්න ඕනේ කියල ඇය තීරණය කළා තනියම නිවාඩුවක් ගන්න.

තාරිකට කලින්ම දැන්නුවා දරුවෝ දෙන්නා ඒ සති දෙකේ ඔහුගේ ගෙදර තියා ගන්න කියල. දරුවෝ එක්ක ඇය තාරිකගේ කිසිම වරදක් කීවේ නැහැ. ඇත්තටම ඔහුගේ වරදට අනුබල දුන්නේ තමා කියන එක ඇය හිත යටින් පිළිගත්තා. ඒ නිසා කිසිම වෙලාවක තාරිකට වචනෙන්වත් බැනීමක් ඇය කලේ නැහැ. යෝශිතාට ගෙදර යන්න ඒ සති දෙකේ ඇඳුම් ගන්නත් සමුදී මුදල් දුන්නා. ඒ අතරේ දරුවෝ දෙන්නගේ පාඩම් වැඩ අතපසු වෙලා බව සමුදී මතක් කළා. එන වසරේ සැලසුම් ඔක්කොම නිවාඩුව අතරේ හදන්න ඇය තීරණය කළා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ යුතු දේවල් සේරම නොපිරිහෙලා ඉටු කළ යුතුයි.

ඒ අතරේ දික්කසාදය ගැන අහපු ඇගේ දෙමාපියෝ ලංකාවට එන්න හදද්දී ඇය ඒක වලකා දැමුවා.

“මම ටිකක් සෙට්ල් වෙනකන් ඔය දෙන්න එන්න එපා. එන්න ඕනේ දවස මම කියන්නම් ” කියල කියද්දී මව දුක් වුනත් පියා මොකුත්ම කීවේ නැහැ.

“එයාගේ ජීවිතේ..එයාගේ තීරණ…අපේ මහත්තයා ඔයා තමා එයාව මේ විදිහට හැදුවේ”
කියමින් සමුදිගේ අම්මා ඉකි ගසමින් හඬා වැටුනා.

“ එයාගේ කොන්ද කැඩුනා නම් අපේ නෝනා ඔහොම පොලවේ හැපුනට කමක් නැහැ. ඒ දරුවා හොඳින් ඉන්නේ. ලංකාවේ මිනිස්සු හිතන්නේ කසාදයක් කැඩුනා කියන්නේ ලෝක විනාසේ කියල. මොන විකාර කතාද ?

“ඒත්..ඉතින් මම කොහොමද අපේ පවුලේ එවුන්ට මූණ දෙන්නේ…” අම්මා තවත් හයියෙන් වැලපුනා.

“ එතකොට අපේ නෝනට ලොකු පිට මිනිස්සුන්ගේ කතාද? ඒ ළමයි දෙන්නා අකමැත්තෙන් වෛරක්කාරයෝ වගේ කසාදෙ තියා ගත්තට කාටවත් සෙතක් නැහැ. වෙන් වෙලා හරි හොඳින් ඉන්න එක නේද වෙන්න ඕනේ ? පිට මිනිස්සුන්ට බයෙන් ජීවත් වෙන නිසා තමා ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නේ. මම අවුරුදු 50 ක් අලුත්කඩේ නඩු කතා කරා. අපේ නෝනට වඩා මට ඕවා ගැන තේරෙනවා. දැන් නාඩා ඉන්නකෝ. අනික මේ අපේ දරුවා. එයාට මොනවා වුනත් අපි එයාගේ පැත්ත ගන්න ඕනේ.

සමුදිගේ අම්මා සෝෆාව උඩ වැටිලා ඉකි ගැහුවා. තාත්තා ඇයගේ ඔලුව අතගෑවා.

“ මිනිස්සු වැඩිම වුනොත් අවුරුදු 75 යි ජීවත් වෙන්නේ. එයිනුත් බාගයක් නිදියනවා. ඒ බාගෙනුත් තුනෙන් එකක් ළමා කාලේ. නෝනා ඉතුරු ටික මොකටද නිකන් විඳවන්නේ ? අපි මොනවා කරත් ලෝකෙට මොන දේ පෙන්නුවත් වැඩක් නැහැ අපි අසතුටින් නම්. අපේ දුව ලංකාවේ දක්ෂ ව්‍යාපාරිකාවක්. අපි දෙන්නා ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ. එයාට නැති වුන දේ ගැන කතා නොකර එයාට තියෙන දේ ගැන කතා කරන්න ඕනේ.

( ලබන සතියට )