සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 34 කොටස

එදා සෙනසුරාදාවක්. ඇය නැගිටිද්දී චූටි අතකින් ඇයගේ කෙස් වැටිය හදනවා. බලද්දී අම්මි කවදාවත් නැතුව සාරියේ යට සාය පිටින් ඇඳේ වැටිලා නිදි දැක්ක විහස් කාමරේට ඇවිත් අම්මිට උනද බලනවා.

සමුදිට එකවරම අමතක වෙනවා එදා සෙනසුරාදා කියල. විහස්ගේ පුංචි අත අල්ලන සමුදී ඔහුව බදාගෙන සිප ගත්තා.

“මගේ උක්කුන්….කෝ මල්ලි?”

“මල්ලි අම්මිට කෝපි ගේන්න පහලට ගියා”

ඔවුන් දැන් 11 හැවිරිදි හුරතල් නිරෝගී දරු දෙන්නෙක්. පෙනුම හරියට කාබන් කොපි දෙකක් වගේ. ඔවුන් දෙන්නා පාසලේ ෆුට් බෝල් සෙල්ලම් කළා. පාරේ ඉන්න දඩාවතේ යමින් සිටියදී අල්ලාගත් ටීනයි, ටයිනියි කියන බල්ලා සහ බැල්ලව හදාගත්තා. යෝෂි අක්කි ආව දවසේ ඉඳලා ඔවුන් දෙන්නගේ ජීවිතේ හරි සැපයි. ඔවුන් දෙන්නා පාසල ඇරෙන්න වෙන අමතර පන්ති ගියේ නැහැ. හවසට යෝෂි අක්කි පාඩම් කරවනවා. ඊට පස්සේ තුන් දෙනාම කුස්සියට වැදිලා කැමති කෑමක් හදනවා. සෙල්ලම් කරනවා.

එක දවසක පෑන් කේක්, අනික් දවසේ වටලප්පන්, ඊලග දවසේ බිත්තර සැන්විච්. හැමදාම මොනවා හරි අලුත් දෙයක් යූ ටියුබ් එකෙන් බලාගෙන හදනවා. හදල කනවා. සමුදිට වැඩ නිසා ඇය මේවාට සම්බන්ධ වුනේ ගොඩක් අඩුවෙන්. ඇතැම් දිනවල තාරික ඇවිත් ඔවුන්ගේ සෙල්ලම් වලට සම්බන්ධ වෙනවා.

යෝශියි, විමාෂයි හයියෙන් හිනා වෙමින් සමුදිගේ කාමරේට ආවා. ඉවෙන් වගේ ඔවුනට වැටහිලා තිබුනේ සමුදී දුකෙන් ඉන්නේ කියල. විමාෂත් අම්මව සිප ගද්දි විහස් අම්මවයි මල්ලිවයි දෙන්නවම බදාගත්තා. යෝශිත් පොඩි දරුවෙක් නෙ තාම. සමුදී එන්න පුතේ කියල යෝශිටත් අත දිගු කළා. යෝශිත් දනින් වැටිලා සමුදිගේ ඔඩොක්කුවේ වැලමිටි තියා ගත්තා. ඉන් පස්සේ ඔවුන් උදේම හදල තිබ්බ පෑන් කේක් වලට පැණි දාල. එවුවට උඩින් මල් වගේ ස්ට්‍රෝබෙරි කපල දාල, ලස්සනට හදාගෙන කෝපිත් එක්ක ගෙනත් තිබ්බා.

සමුදිට වෙහෙස එක්ක ලොකු බඩගින්නක් දැනෙමින් තිබ්බේ. ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔවුන් ඉදිරියේම ඇය මේ ආහාර කෑවේ බොහොම සතුටින්.

“ Thank You රත්තරන්”. ඇය නැවත වරක් ඔවුනට ස්තුති කළා. යෝෂි සමුදිගේ සපත්තු පිළිවෙලට තිබ්බා. හැඩි වෙලා තිබ්බ කාමරය අස් කරා. පුතාල දෙන්නා ඇයට ලැබුන කුසලානය තමන්ගේ ක්‍රීඩා කුසලාන තියන කැබිනට් එක ඇතුලෙන් තිබ්බා.

තාරික කොහෙද කියන ලතැවිල්ල ඇගේ සිත පාරමින් තිබ්බේ. ඒත් ඔවුන් දෙන්නගේ ප්‍රශ්න දරුවන්ට අඟවන්න ඇය සතුටු වුනේ නැහැ. අපි දෙන්නා මොන ගැටුම හදා ගත්තත් ඒකට දරුවෝ ගාවන්න හොඳ නැහැ. ඒ එක්කම ව්‍යාපාරය වෙනුවෙන් තව තව මහන්සි වෙන්න ඕනේ කාලයක්. පිට රටට බඩු දෙද්දී ප්‍රමිතිය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

දොම්පේ ප්‍රදේශයේ විරැකියාවෙන් පෙළෙමින් සිටි ගැහැණු 50 ක් කිට්ටු වෙන්න දැන් සමුදී සහ කුසුමා ළඟ VVL වෙනුවෙන් වැඩ කරනවා. තමන් මේ දුවන රේස් එක නැවත්තුවොත් ඔවුනට යන එන මන් නැති වෙනවා. ඒ එක්කම ඇය තාරිකට මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කිහිප විටක්ම ආරාධනය කළා. මේ මත ගැටුම් වලට ලොකුම විසඳුම ඒක කියලයි සමුදී හිතුවේ.

“තාත්ති මට මේක දැන් තනියම කරන්න බැරි තරම් ලොකු වෙලා. අනේ ඔයා ජොබ් එකෙන් අස් වෙලා එන්න. අපි දෙන්න එකතු වෙලා කරමු. එතකොට මටත් හිතේ නිදහසේ ගෙදර ඉන්න පුළුවන්නේ. “

එතකොට මට පඩි දෙන්නේ ඔයාද?

“ඉතින් මමත් කරන වැඩට පඩියක් ගන්නවනේ. ඔයා දැන් උපයන ගානම ගෙවන්න පුළුවන්නේ තාත්ති”

“හඃ ගෑනුන්ගෙන් කාල ඉන්න..මම?” ඔහු උපහාසෙන් හිනා වුනා.

ඇත්තටම තාරිකට වෙලා තියෙන්නේ මොකද්ද කියල සමුදිට තේරුනේ නැහැ. ඔහුව උපදේශන සේවයකට ගෙනියන්න හදන හැම වතාවකම ඔහු සමුදී එක්ක බැන ගත්තා.

“ තමුසෙට තියන්නේ තන්හාව. ඒකට ඉතින් බෙහෙත් නැහැනේ. ඒක හදා නොගෙන මාව පිස්සෙක් කියළ පෙන්වන්නද තමුසේ හදන්නේ?”

මහ ලොකු ව්‍යවසායිකාව …. හැබැයි ගෙදර මිනිහා උන්නද මලාද කියල බලන්නේ නැහැ..

මේ අසාධාරණ කතා ඇනුම් පද අහලා සමුදි පුදුම හිත වේදනාවකින් හිටියේ නමුත් දරුවනට මේ දේවල් පෙන්වන්නත් බැහැ. ඒ අතරේම හිතවත් මිතුරෙක්ගේ මාර්ගයෙන් ඔහුව වෛද්‍යවරයෙක් ලඟට ගෙනියන්න සමුදී උප්පරවැට්ටියක් යෙදුවා.

ඇයට ඇත්තටම පවුල් ජීවිතේ එක්ක මේ ව්‍යාපාරයේ එන වගකීම් ගොඩක් වැඩියි. තාමත් පවුලේ සේරම විය හියදම් දැරුවේ තාරික විසින්. ව්‍යාපාරයේ ලාභ ඒකටම ආයෝජනය කළා. දුවෙක් නැති ගැටලුව සහ බිරිඳ ඒ ගැන දැක්කුව උදාසීන ආකල්පය තමා ඔවුන් දෙන්නා අතර ප්‍රශ්නය පටන් ගැනීම උනේ. එදා සිට තාරික වෙනස් වුනා. සමුදී කරන හැමදේම හෙලා දැක්කා. මේකට විසඳුම් ලෙස සමුදී යෝජනා කරණ හැමදේම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කළා.

තාරිකටත් වැටහුනේ නැහැ මේ තමාට වෙන මානසික විපර්යාසය. ඔහු හිටියේ දැඩි පීඩනයකින්. හැමදේටම වරද සමුදී බව ඔහු එක හෙලාම විස්වාස කළා. ඔහු ලොකු වුනේ ලොකු හාමිනේගේ එකම දරුවා ලෙසයි. සැමියා මල නිසා ලොකු හාමිනේගේ මුළු ජීවිතේම වුනේ ඔහුයි. තාරිකගේ අවධානය ලැබීමේ ගතිය, තම මතය හැර අන් මත නොඉවසීම වගේ ගුණාංග ඇති වුනේ මෙන්න මේ ලෝකෙටම එකා යන සංකල්පයෙන් ගෙදර හැදුන නිසයි. මේ ගැටුම සහ ව්‍යාපාරය නිසා සමුදි හිටියේ පුදුම මානසික වේදනාවකින්.

(ලබන සතියට)