සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 09 කොටස

නිශා නිශා…

සමුදී හයියෙන් කතා කරත් නිශා බර කල්පනාවක . ඒ පාර ළඟටම ගිහින් නිශාව කොනිත්තුවා. බය වෙලා බලපු නිශා ගැස්සුනා.

“ මොකද ළමයෝ බීරි වෙලාද?” සමුදී කාර්යාලයේ ඇගේ හොඳම මිතුරියගෙන් ඇහුවේ විහිලුවට

නිශාගේ ලස්සන ඇස අගින් කඳුළු වැටෙනවා. හරිම දුක හිතෙන විදිහට. සමුදී නිශාව බදා වැළඳ ගත්තා.

“ මම ඉන්නවනේ නිශා ඔයාට. මොකද්ද ප්‍රශ්නේ?”

“නැහැ . නැහැ…සමු මම ඔයාට කියන්න හිටියේ. ඔෆිස් එකේ ප්‍රශ්නයක් නෙවෙයි සමු. ගෙදර ප්‍රශ්නයක්…මට හරි කරදරයි සමු”

මේ වෙලාවේ කාර්යාලයේ අනික් අය දැක්කොත් මොකක් හරි බොරුවක් පතුරලා තමන්ගේ මිතුරිය අපහසුවට ලක් වෙන බව දන්නා සමුදී හෙමින් වටපිට බැලුවේ කවුරුත් නැද්ද කියල සැක හැර දැන ගැනීමටයි. ඊළඟ මීටින් එකට පැය භාගයක් තිබෙන නිසා ඇය හෙමින් ඔරලෝසුව දිහා බලල නිශා ලඟින් වාඩි වුනා.

කොතනින් පටන් ගන්නද කියා නිච්චියක් නැති නිශා සමුදී දිහා බලාගෙන ඉන්නවා.

ඉතින් කියන්නකෝ.

නැහැ සමුදී මම මේ පාර අවුරුද්දට ගමේ ගියානේ.

ඉතින්.

“අපේ නිහාල්ගේ අම්මා සහ නෑදෑයෝ මට ගොඩක් එක එක දේවල් කිවුවා. දරුවෝ හදන්නේ නැහැ කියල. මට ගොඩක් දුකයි.” ඇගේ ඉකිය වැඩි වුනා.

“ තමන්ගේ විනෝදෙ විතරක් හිතන ජරා ගෑණු”

කියල නිහාල්ගේ එකම අක්කා ඇනුම් පදයක් නිශාට කියල. ඒ විතරක් නෙවෙයි නිශා දරුවෝ හදන්නේ නැත්තේ රුපය ගැන සැලකිලිමත් වෙන නිසා බවත්. රූපය ගැන එතරම් සැලකිලිමත් වෙන්නේ ඇයට වෙන හොර මිනිස්සු ඉන්න නිසා බවත් නොයෙක් විට කියල තියනවා.

“ මම නම් ඔය ගෙදර යන්න කැමති නැහැ සමුදී. නමුත් අපේ නිහාල්ට ඔය ගෙදර අස්සෙම රිංගන්න ඕනේ”

සුසුමක් හෙලාපු සමුදී හිනා වුනා….

නිශා සමුදී වගේ ශක්තිමත් චරිතයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඇය හරි අහිංසකයි. ලඳ බොළඳයි. තමන්ට කෙනෙක් බැන්නත් වචනයක් කියන්නවත් හයියක් නැති කෙනෙක්. ඒ නිසා හැමෝම වගේ අහිංසක නිශාට රිද්දන්න බය නැහැ.

නිශා ඉහල රැකියාවක් කරේ. අගේ සැමියා නිහාල්ට ගරාජ් එකක් තිබුනා. අධ්‍යාපන මට්ටමෙන් නොගැලපුනත් දෙන්නා පාසලේ දහය වසරේ ඉඳලා යාලු වෙලා හිටපු නිසා විවාහ වුනා. ඔවුන් දෙන්නා හොඳින් හිටියත් නිහාල්ගේ නෑදෑයෝ නිශාට වෛර කරා. මොකද ඇගේ ගති පැවතුම් ඔවුනගේ පැවතුම් වලට පෑහෙන්නේ නැති නිසා. නිහාල්ගේ සොයුරියෝ කියන්නේ විවාහ වුන දවසේ ඉඳලම දරුවෝ හදාගෙන ජීවත් වුන අධ්‍යාපන මට්ටම ගොඩක් අඩු ගැහැණු පිරිසක්. ඔවුන් සැමියන්ට කෑ ගහනවා. “ඕයි මෙහෙ එනවා “වගේ වචන කියමින්. දවසම දැලි කුණු පෙරාගෙන නයිටි ඇඳගෙන ජීවත් වුන මේ ගැහැණු එක්ක පයුරු පාසානමක් තියා ගන්න වැදගත් පවුලකින් පැමිණි නිශාට ගොඩක් අමාරුයි. ඉතින් ඔවුන් නිශාට වෛර කරන එක හරිම ස්වාභාවිකයි.

දැන් නිශා ගොඩක් දුක් වෙනවා නිහාල් කොච්චර හොඳ වුනත් මේ විවාහය වුන එක ගැන. මේ විවාහයට නිශාගේ අම්මල අකමැති වුනේ හේතු සහිතව නේද කියල මතක් වෙද්දී නිශාගේ පපුව පත්තු වෙනවා.

විවාහ වුන අලුතම නිහාල් සහ නිශා තීරණයක් ගත්තා ගෙයක් හදල ගරාජ් එක යම් තරමකට දියුණු කර ගන්න තුරු දරුවෝ හදන්නේ නැහැ කියල. ඒක ඉතාම වැදගත් තීරණයක්. මොකද සූදානම් නැති වෙලාවක දරුවෝ පිලිගත්තහම දරුවට ලැබෙන ගුණාත්මක සැලකීම නැති වෙනවා. ඒ වගේම විවාහ වෙලා දෙදෙනා එකිනෙකා අවබෝධ කර ගන්න සහ ජීවිතේ නොකළ දේවල් ගොඩක් කරමින් අත්හදා බැලීම් කරන්න දරුවෝ ලැබුනහම අමාරුයි.

දැන් පවුලේ මිනිස්සුන්ට ඔවුන්ගේ තීරණය ලොකු ප්‍රශ්නයක් වෙලා. නිතරම නිශාට හිංසා කරන්න එකම හේතුව මේකයි.


කියවන්න :-

මේ දේවල් නිකමටවත් අනුන්ගෙන් අහන්න එපා


සමුදී කියන්නේ පිටට සුන්දරව හිටියට යකඩ ගැහැනියක්. ඇයගේ හිත රිදවන එක නම් කාටවත් පහසු නැහැ. අනික සමුදී පැහැදිලිවම ජීවත් වුනේ අනුන්ගේ කතා වලට බයෙන් නොවෙයි. තමන්ට වුවමනා විදිහටයි. එම නිසා බොහෝ දෙනෙක් හිතෙන් සමුදිට බය වුනා. ගෞරව කරා.

වෙන එකක් තියා ඔවුන් තනිවම දරුවෝ දාලා ගමන් බිමන් යද්දී වුනත් පිට මිනිස්සු කියන කතා සතේකට මායිම් කරන්නේ නැහැ ඇය. ලොකු හාමිනේ වුනත් සමුදීට ආදරෙයි වගේම ගොඩක් ඉරිසියයි තමාගේ පුතාව එක වචනෙන් නම්මාගෙන ඉන්න නිසා. එම නිසා ලොකු හාමිනේ යටින් හතුරුකම් කරත් උඩින් නම් කවදාවත් සමුදිට හතුරුකම් කරේ නැහැ.

නිශාගේ ප්‍රශ්නෙන් දුකට පැමිණි සමුදී තීරනය කළා මේ යුවලට උදවු කල යුතුයි කියල.

“ මේකයි නිශා විවාහය කියන්නේ, පවුල කියන්නේ ඔය දෙන්නා මිසක නිහාල් හෝ සහෝදරියෝ නෙවෙයි.

ඔයාට දරුවෝ ලැබුනත්, නැතත්… මොන හේතුවට හරි ඔයා තීරණය කරනවා නම් දරුවෝ නැතුව ජීවත් වෙනවා කියල ඒ තීරණයට ගරු කරන්නට අපි හැමෝම බැඳිලා ඉන්නවා. දරුවෙක් හදනවා කියන්නේ මොන තරම් ලොකු වගකීමක්ද? මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ මදිද?

අනික ඉතින් අපේ රටේ මිනිස්සු කෙල්ලෙක් කොල්ලෙක් හොඳට තරුණ කාලේ ඉන්නවා නම් අහන්නේ “කවද්ද බඳින්නේ” තාම නැද්ද කවුරුවත් කියල. බැන්දොත් අහන්නේ “ කවද්ද දරුවෙක් හදන්නේ” කියල. දරුවක් හම්බ වුනාම අහන්නේ “දැන් හරි නේද මල්ලියෙක්” ගේන්න වෙලාව කියල. දරුවෝ ගැන වුනත් එහෙමයි. කවදද ශිෂ්‍යත්වේ කියයි…. මෙවුවා අපේ රටේ මිනිස්සුන්ගේ දුර්වලකම්. අපි ඔවැනි දේවල් ගණන් අරගෙන අපේ ජීවිතේ උන්ට අවශ්‍ය විදිහට ගෙවන්න ගියොත් මුකුත්ම කරන්න වෙන්නේ නැහැ.

ඔයාට හොඳ දේ ඔයා කරන්න නිශා. නිහාල් එක්ක හවසට අපේ දිහා එන්නකෝ මම දෙන්නටම කියල දෙන්න ඔය මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වන පිළිවෙල.

ඔයා දන්නවා නේද අර තාත්තයි පුතයි බුරුවා විකුනපු කතාව… ඒකෙ විදිහට නම් අන්තිමට මිනිස්සුන්ගේ කතා අහලා බූරුවා ගඟට වැටෙනවා තාත්තයි පුතයි එක්කම…..

නිශා කඳුළු පිහ දාල සමුදිගේ කතාවට හිනා වෙනවා.

“ මීටින් එකට මිනිත්තු පහයි. මම බෝඩ් රූම් යනවා….

සමුදී නැගිටලා දුවද්දී තාමත් සුන්දරව තිබෙන ඇගේ ශරීරය දකින නිශා සිනා වෙනවා..