fb-like-beg


ඔබ වෙනුවෙන් – 14 කොටස

“I choose a lazy person to do a hard job. Because a lazy person will find an easy way to do it.” මේ බිල් ගේට්ස් ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්. ඔහු අමාරු වැඩට යොදා ගන්නේ කම්මැලි නිලධාරියෙක්. මොකද කම්මැලියා ඕනේ වැඩකට ලේසි ක්‍රමය සොයා ගන්නවා. මේක දැකල ඇත්තටම මට මතක් වුනේ මාව මයි.

ඉස්සර මම රැකියාවක් කරමින් ගෙයක් බලමින් ජීවත් වුන කාලේ හරි අපූරු සිස්ටම් තිබුනා මට. මගේ ගේ හැම විටම ඉතාම පිළිවෙලට තිබුණා. හැඩි කරන්න කෙනෙක් නොසිටි නිසා වෙන්නත් ඇති. කොහොමත් අපිළිවෙල මට දරා ගන්න ගොඩක් අමාරුයි. ඒ වගේම මුකුත් නොකර පාඩුවේ සතුටින් ඉන්න එකත් මට වෙන්න ඕනෙම දෙයක්. එහෙම නොකලොත් අනික් වැඩ වල කාර්යක්ෂමතාව අඩු වෙනවා.

රැකියාවට ගිහින් සිකුරාදා හවස මම ගෙදර එන්නේ ඉවර නොකළ වැඩ සේරම මගේ ඩයරි එකේ ලියල හිත නිදහස් කරගෙන. මගින්ම බැහැල වෙලන්දසලින් සතියට ඕනේ කරන බඩු ඒ හුස්මටම ගන්නවා. ( ඒ කාලේ දැන් වගේ පොලේ යන්න වෙලාවක් තිබුනේ නැහැ . යන්න තේරුමකුත් නැහැ.) ගෙදර ඇවිත් සේරම එක හුස්මට අස් කරනවා. මාළු මස් හෝදලා එහෙම්ම ෆ්‍රිජ් එකේ.

ඉන් පස්සේ මුළු ගේම අස් කරන්න ගන්නවා. ඒ අතරේ රෙදි සේරම මැෂින් දානවා. බෙඩ් ශීට් මාරු කරනවා. අන්තිමට ගේ මොප් කරලා මල් ගස් වලට වතුර දාල ඕනේ නම් පොහොර දාල ඉවර වෙද්දී රෑ දොළහට එකට ඇති. ඔන්න ඇඟ හෝදලා නිදා ගන්නේ බොහොම වගකීමක් නැති නිදහස් මනුස්සයෙක් ලෙසයි. ඊට පස්සේ සෙනසුරාදා දවස කිසිම වැඩක් නොකර විවේකෙන් ඉන්නවා.

ඉරිදා දවසේ මස් සහ මාළු පොල් කිරි නොදමා උයනවා. උයල බොක්ස් වල දාල ෆ්‍රිජ් එකේ දානවා. එළවලු කපලා ඒවත් අසුරනවා. ඉතින් සතියේ දවස් වල උයන එක හරිම ලේසි වැඩක් වුනා. රෙදි සේරම එකවර මදිනවා. කඩෙන් කන්න වෙන්නේ නැති නිසා පිරිසින්දුකම , ආරක්ෂාව අතින් වගේම වියදම අතිනුත් ලේසි වුනා.

මේවා දැකල අපේ අම්මා ඒ දවස් වල මට බනිනවා. මයික්‍රෝ වේවූ දාල රත්කරලා කන එකෙන් පිළිකා හැදෙනවා. කෑම වල ගුණ නැති වෙනවාෙ මෙකී නොකී අටෝ රාශියක් ප්‍රශ්න තිබුනත් මම ලේසියෙන් පහසුවෙන් හොඳින් ජීවත් වුනා.

ඒ විතරද පොල් ගාන්න අලි හොරා නිසා පොල් ගෙඩිය පළල පොල් කුඩා කැබලි වලට කපනවා. කපල වතුර එක්ක බ්ලෙන්ඩරේට දාල විනාඩි 3 න් නියමෙට පොල් කිරි හදා ගන්නවා.

තාක්ෂනය දියුණු වුනේ අපේ ජීවිත ලේසි කරන්න. නලව නලවා ඉන්න අද කාලේ අපිට වෙලා නැහැ. රැකියා කරන්න , ඉගෙන ගන්න ඒ වගේම ජීවිතේ සැහැල්ලුවෙන් නිදහසේ ඉන්නත් වෙලාවක් ඕනේ. ඒ අතරේ වියදම පාලනය කරන්න ඕනේ. සෞක්‍ය තත්වය ගැන හිතල වැඩ කරන්න ඕනේ.

දැනටත් මම මාසෙකට දෙවතාවයි ආර්ථික මධ්‍යස්තානෙට යන්නේ. පුදුම ලාභයක් සහ ඉස්තරම්ම බඩු , එළවලු , පලතුරු ලැබෙනවා. ඒ වගේම වෙළෙන්දෝ සමග කතා කරලා බඩු ගන්න එක හරි සුන්දර අත්දැකීමක්. ඒ අත්දැකීම සුපිරි වෙළඳසල් 10 කින් වත් ගන්න බැහැ. රෙදි හෝදන ,මදින දවස් ලියල අදාළ අයට පේන්න එල්ලලා තියෙන්නේ. කුණු බැහැර කරන දවස් පවා එළියේ කැපුම් කෙටුම් වලට ගන්න කුඩා කුස්සියේ දොරේ අලවලා තිබෙන්නේ. උයන්න ඕනේ දේවල් වේල් තුනම ලියල ෆ්‍රිජ් එකේ එල්ලලා තිබෙන්නේ.

මට ඔය Micro තීරණ වලට හැපී හැපී ඉන්න වෙලාවක් නැහැ. මට ඒක පුදුමාකාර මානසික මහන්සියක්. ඇයි ජීවත් වෙන කාලේ නිකන් බොරුවට දුක් විඳින්නේ ?

ඔබ ජීවත් වෙද්දී වටිනා අරමුණක් තිබෙනවා. තීරණ ගනිද්දී අපි හැමෝටම මානසික වෙහෙසක් දරන්න වෙනවා .. මට මතකයි ඉස්සර මම කුයවපු පොතක තිබුනා decision making fatigue කියා වචනයක්. ඒ වෙහෙස වැදගැම්මකට නැති එදිනෙදා දේට බහුලව යොදවද්දී, පොඩි දේත් ලොකු කරගෙන දඟලද්දී ලොකු වැඩ කරන්න මානසික ශක්තියක් විවේකයක් අපිට නැති වෙනවා.

කම්මැලිකම වාසියකට හරවා ගන්න…… මාගේ අලස කම යනු මා ලද ත්‍යාගයකි.

SHARE