fb-like-beg


ඔබ වෙනුවෙන් – 1 කොටස

මම ගස් වලට ගොඩක් ආදරෙයි. මට ගහක් මනුස්සයෙක් ගෙන් වෙන් කරන්න හරි අමාරුයි. ඒ නිසා මම බොහෝ විට ගස් වලට කතා කරන්නේ අරයා, මෙයා, සුදු මහත්තයා, ඇට්ටේරියා බබා වගේ නම් වලින්. ඇත්තටම ගස් වලට කතා කරන එක අස්වාභාවික දෙයක් නෙවෙයි. ජපානේ මිනිස්සු ගස් දේවත්වයෙන් සලකනවා. රටේ වැඩි කොටස වනාන්තර වලට අතහැර දාලා.

අපේ රට තුරු ලතා බහුල රටක්. අපි දවසින් දවස වනය කපනවා. ඉන් පස්සේ වැස්ස නැහැ. වැස්ස වැඩියෙන් වැස්සා, ගං වතුර ගැලුවා, නාය ගියා කියල ස්වභාව ධර්මෙට සාප කරනවා.

මට අනුව නම් ගස් කියන්නේ පුදුමාකාර ගුණ තිබෙන සත් පුරුෂයෝ කොටසක්. පල දරන්නෙත් අනුන් වෙනුවෙන්, හෙවන හදන්නෙත් අනුන් වෙනුවෙන්. තමන්ට සලකන කෙනාටයි තමාව කපන කෙනාටයි දෙන්නගෙන් කාටවත් ගස කිසිම වෙනසක් කරන්නේ නැහැ. ගහකින් කොලයක් කඩන එක වුනත් මට නම් අපහසුයි. කන බොන දේට කැඩුවට නිකරුනේ ගසක අත්තක් කැපුවත් ඒක නොකළ යුතු වැඩක්. ඒ අපිට හුස්ම ගන්න ඔක්සිජන් ටිකක් හරි නිපදවන කොලයක්. මැරිලා වැටුනහම පොලවට පස් වෙන කොලයක්.

අපි හැමෝම ගෙවල් වල පුළුවන් විදිහට ගස් වවමු. ගෙවල් හදද්දී හැකි තරම් ගස් වෙනුවට යෙදිය හැකි ආදේශක යොදමු. අපේ රට එන්න එන්නම උණුසුම් වෙනවා. හුස්ම ගන්න බැහැ ඔක්සිජන් අවම වෙනවා. වැස්ස නැති වෙනවා.

ඇමරිකාවේ හැම තැනම water patches …. ගෙවල් වල පවා වහලෙන් එන ජලය ගල් පුරවපු බැරල් එකක් හරහා පොලව අභ්‍යන්තරයට බස්සවනවා. රජයේ ප්‍රතිපත්තියක් ලෙස ඔවුන් භූගත ජලය ඉහළ දමන්න පොලවට ජලය ලබා දෙනවා. නමුත් අපි සිමෙන්ති පේමන්ට් දාලා වතුර ටික ඔක්කොම කාණුවට බස්සනවා. ගංගා වල රොන් මඩ. අහන්න ලැබුනා කුකුලේ ගඟ ජලාශයේ ගැඹුර මීටර් දෙකයි කියල ( ඇත්තද බොරුද දන්නේ නැහැ) මඩ හොරොවූ, බිසෝ කොටු දාගෙන අපේ මුතුන් මිත්තෝ රැකපු ජළ සම්පත රැක ගන්න අපිට බැහැ. අපි එච්චර අසමත් මිනිස්සු රැලක් වෙලා. වහින වැස්ස මුහුදට ගලනවා.

ඔක්කොම අස්සේ අපි ඉතින් මොකද තේක්ක පුටු සෙට් එක සාලේ තියාගෙන TV එකෙන් දෙමලෙන් ජාතික ගීය කියන්න දුන්න එකට දෙමළට බනිනවා. දෙමල, සිංහල, මුස්ලිම් ඔක්කොටම බෙදා ගන්න වැටවල් ගහගන්න මොර දෙන මහ පොලව රිදිලා බලාගෙන ඉන්නවා. පරිසරය රකිනවා වගේ දේවල් අපේ රටේ මිනිස්සුන්ට වටිනා මාතෘකා නෙවෙයි. අපි දිගටම ඔහොම යමු………

SHARE