ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන්නේ මාර්තු 8 වෙනිදාට. ඒ කියන්නේ අද. ඇත්තටම මේ දවස ලොකුවට සමරන්නේ මාධ්‍යයි. ඊට අමතරව ව්‍යාපාරිකයන් මේ දවස වෙනුවෙන් විවිධ දේ සංවිධානය කරනවා. එත් ඔබට මෙය බොහෝ විට තවත් එක දවසක් විතරයි වෙන්න ඇති. හෙට දවසේ වෙනදා වගේම සුපුරුදු ජීවන රටාව ගත කරන්න ඔබ හිතාගෙන ඇති. එත් ඔබට ඔබ වෙනුවෙන්ම වෙන් වුනු මේ දවස අර්ථවත්ව ගත කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා කාන්තා දිනය අර්ථවත්ව ගත කරන්න පුළුවන් අදහස් කීපයක් ඔබත් එක්ක බෙදා ගන්න.


fb-like-beg


කාන්තා දිනය පටන් ගත්තේ කොහොමද කියලා හොයලා බලන්න.

ඔබ දන්නවද කාන්තා දිනය ආරම්භ වුනේ කොහොමද කියලා? මේ දිනය කාන්තාවන් සඳහා වෙන් කලේ නිව්යෝර්ක් වල ඇති වුනු වැඩ වර්ජනයකට පසුවයි. මේ දවස මුල් කාලයේදී හැඳින්වුයේ “ජාත්‍යන්තර කාන්තා කම්කරු දිනය” කියලයි. ඒ අතීතය ගැන පොඩ්ඩක් අන්තර්ජාලය හරහා හොයලා බලන්න.


කාන්තා වීරවරියන් ගැන හොයලා කියවන්න.

අතීතයේ ජීවත් වුනු වීරවරියන් ගැන විතරක් නෙවේ, වර්තමානයේ ක්‍රීඩා ලෝකය, ව්‍යාපාරික ලෝකය ජය ගත්තු කාන්තාවන් ගැන හොයලා බලන්න. පුංචිම තැනේ ඉඳලා, ගොඩාක් දුක් විඳලා ජීවිතය ජය ගත්තු කාන්තාවන්ගේ චරිත කතා ගැන හොයලා බලන්න. ඔවුන්ගේ ජිවිතයෙන් ඔබේ ජිවිතයට ගන්න පුළුවන් ආදර්ශ ලබා ගන්න.

උදා : Oprah Winfrey, J. K. Rowling


කාන්තාවන් ගැන ලියවුනු පොත් මිලදී ගන්න.

ජීවිතයේ අභියෝග ජයගත් කාන්තාවන් ගැන ලියවුනු රසවත් පොත් ඕනෑ තරම් තියෙනවා. ඒ වගේ පොතක් මිලදී ගන්න එක ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඔබ ඒ පොත් කියවලා, ඔබේ මිතුරියන් සමඟත් හුවමාරු කර ගන්න.

උදා : කාන්තාරයේ කුසුම, දෙවියන්ගේ අඩවිය


කාන්තාවන්ගේ ජීවිත කතා අඩංගු චිත්‍රපට නරඹන්න.

කාන්තාවකගේ ජීවිතයට ආදර්ශ ගත හැකි චිත්‍රපට ඕනෑ තරම් තිබෙනවා. මේ චිත්‍රපට අන්තර්ජාලය හරහා හෝ DVD තැටි මිලදී ගෙන නරඹන්න ඔබට පුලුවන්.

උදා : Desert Flower (2009), Not Without My Daughter (1991)


කාන්තාවන් සඳහා සංවිධානය කර ඇති වැඩ සටහනකට සහභාගී වෙන්න.

ව්‍යාපාර සහ සංවිධාන මඟින් සංවිධානය කර ඇති වැඩ සටහන් වලට සහභාගී වන්න. ඔබේ ජීවිතයට වැදගත් පණිවිඩ කොතනකින් හෝ ලැබිය හැක.


දිළිඳු කාන්තාවක් වෙනුවෙන් යමක් කරන්න.

මේ සඳහා ඔබට සාපේක්ෂව මුදල් අඩු කාන්තාවක් තෝරා ගන්න. තනිවම හෝ ඔබේ මිතුරියන් සමඟ එක් වී ඇයට අත්‍යවශ්‍ය වන යමක් ලබා දෙන්න. ඔබට පුළුවන් ඇයට මුදල්, ඇඳුම් හෝ ආහාර පරිත්‍යාග කරන්න.


ස්වෙච්චා සේවයක නිරත වන්න.

ඔබට පුළුවන් උදව් අවශ්‍ය තැනකට ගොස් ස්වේච්චාවෙන් ඒ සඳහා දායක වෙන්න. ඔබේ කාලය කවුරුන් හෝ වෙනුවෙන් කැප කරන්න.


ඔබේ කතාව බෙදා හදා ගන්න.

ඔබ තුලත් වීරවරියක් ජීවත් වෙනවා ඇති. සමහරවිට ඔබත් අද මේ තැනට ආවේ ගොඩාක් දුක් විඳලා වෙන්න පුළුවන්. ඔබත් දුක මැදින් ජීවිතය ජය ගත් කෙනෙක් නම් ඔබේ කතාව තවත් කාන්තාවකට ආදර්ශයක් වේවි. ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබේ කතාව අනිත් අය සමඟ බෙදා ගන්න. ඔබේ සැබෑ නම හෙළි කිරීමට අකමැති නම්, ඔබේ කතාව බොරු නමක් යටතේ අන් අය හා බෙදා ගන්න.

උදා : ෆේස් බුක් හරහා හෝ යූ ටියුබ් හරහා ඔබේ කතාව සමාජගත කරන්න.


ඔබේ ජිවිතයට සමීප කාන්තාවක් අගය කරන්න.

කෙනෙකුව සතුටු කල හැකි හොඳම මඟ අගය කිරීම සහ ස්තුතිපුර්වක වීමයි. ඔබේ මව, ඔබේ සහෝදරිය හෝ ඔබේ මිතුරියව අගයන්න. ඇය ඔබ වෙනුවෙන් මෙතෙක් කල දේවල් වලට ස්තුති කරන්න. ඔබට ඇයව කෙතරම් වටිනවාදැයි පැහැදිලි කර දෙන්න. ඔබේ ජිවිතයට ඇයව වටින්නේ ඇයිද යන්න පවසන්න. මීට අමතරව ඔබට පුළුවන් ඔබේ ජීවිතයේදී ආදර්ශ ලබා ගත් ප්‍රසිද්ධ කාන්තාවකටත් ස්තුති කරලා ඊමේල් එකක් යවන්න.

SHARE