fb-like-beg


ඔබ වෙනුවෙන් – 2 කොටස

ඇත්තටම මම සැලුන් යනවා බොහොම අඩුයි. ඒ වෙලාවක් නැති කමට වඩා මගේ තිබෙන කම්මැලි කම නිසා. ඒ වගේම මම අනවශ්‍ය ලෙස කිසිම දේකට මුදල් වැය කරන්න කැමති නැහැ. මා හැමදාම පෙනී හිටියේ හැම කෙනාම ලස්සනට සිටිය යුතුයි කියන මතය වෙනුවෙන්.


1) ලස්සන කියන්නේ ආකල්පයක්

ඔබේ සමේ වර්ණය කුමක් වුනත්, ඇඟේ හැඩය කොයි වගේ උනත්, නාසයේ පිහිටීම මොන වගේ උනත් ඔබ ස්වභාව ධර්මයේ අපුරු නිර්මාණයක්. ස්වභාවධර්මය කිසිම දෙයක් කැතට හදන්නේ නැහැ. එයාගේ නිර්මාණ අතරින් තවත් අද්විතීය නිර්මානයක් වෙන ඔබ ලස්සන කෙනෙක්. ඒ ආත්ම විශ්වාසය හිතේ ඇති කර ගද්දි, ඔබ ඔබවම පිලිගද්දී තමයි ඒ පෞර්ෂය පිටතට පේන්න ගන්නේ. පළමුව මම ලස්සනයි කියන ආකල්පය ඇති කර ගන්න.


2) නිරෝගී කමේ දැවැද්ද තමයි ලස්සන කියන්නේ

කායිකව සහ මානසිකව නිරෝගී වෙන්න හැම විටම උත්සහ කරන්න ඕනේ. ඔබ කායිකව රෝගී නම්. කවදාවත් මොන සැලුන් එකට ගියත් ඔබ ලස්සන වෙන්නේ නැහැ. නිරෝගී වෙන්න ඔබ වෙහෙසෙද්දී නිරෝගී කම පෙන්වන ලක්ෂණයක් ලෙස ලස්සන ඉදිරියට එනවා.


3) හැම විටම ව්‍යායාම කරන්න

අපි වනාන්තරයේ හිටපු වානර විශේෂයක්. අපි ස්වාභාවිකවම ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍ය සත්ව විශේෂයක්. නමුත් දැන් නගරය කියන සත්තු වත්තේ කොටු වෙලා කායික ක්‍රියාකාරකම් නැවත්වීම තමයි අපිට ඇති ලොකුම ගැටලුව. මම නම් දවසට අනිවාර්යයෙන්ම කිලෝ මීටර 5 ක් ඇවිදිනවා. වයස 30 පැන්නට පස්සේ ශරීරයේ පරිවුර්තීය ක්‍රියා මන්දගාමී වෙනවා. එය වලක්වන්න දිනපතාම පිහිනීම, ඇවිදීම වගේ ස්වභාවික ව්‍යායාම වල යෙදිය යුතු මයි.


4) සමබර ආහාර වේලක්

මේ ගැන නම් මේ වගේ වස විස බහුල රටක පුදුම පරිස්සමක් වෙන්න වෙනවා. කාර්බෝහයිඩ්රේට් වලට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි කනවා. ඔබ කන බත්, පාන් ප්‍රමාණය බාගෙකින් අඩු කරන්න. ඒ වෙනුවට එළවලු, පලතුරු කන්න. හැකි තරම් අමුවෙන් කන්න. මේවා වියදම් යන වැඩ නෙවෙයි. එකම දේ කැප වෙන්න ඕනේ. සුදු ළූණු, රතු ළූණු, ගොටුකොල සහ දෙහි, දොඩම් කියන්නේ ශරීරයට ඉතාම ගුණ ඒ වගේම වියදමක් යන්නේ නැති ආහාර වර්ග. හැකි තරම් මේවා ආහාරයට එකතු කර ගන්න. ශරීරයට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර නිතරම ගන්න.

ඒ වගේමයි කෘමි නාශක අධික මේ රටේ එළවලු කද්දී ලුණු වතුරේ විනාඩි 15 ක් ගිල්වලා තියලා පිසින්න.

ග්ලුටන් අපේ ආසියාතික ආමාශ වලට එතරම් ගැලපෙන්නේ නැහැ. හැකි තරම් පාන් පිටි වලින් මිදෙන එක කාටත් හොඳයි.


5) ඉර එලිය පිටුදකින්න

උදේ පායන ලා හිරු එලිය නම් ඔබේ මානසික තත්වය පවා ඉහළට ගන්න උදවු කරනවා. නමුත් අපේ රටට දවාලට පතිත වෙන දැඩි හිරු එලිය එක්ක නම් ගැටෙන්න එපා. සම විනාශ කරන ලොකුම හතුරා. හැම විටම කුඩයක් හෝ තොප්පියක් අතේ තබා ගන්න.


6) සම ගැන සැලකිල්ලෙන්

සමේ තෙතමනය රැක ගන්න ඕනේ. ඒ එක්කම ඔබේ සමේ මැරුණ ශෛල ඉවත් කරන එක කරොත් තමා පැහැපත් බව රැකෙන්නේ. ඒකට පුළුවන් නම් සැලුන් යන්න. බැරි නම් දඟලන්න දෙයක් නැහැ ගෙදරම ක්ලීන් අප් එකක් කරන්න ලේසියි. ඒ ගැන පසුව ලියන්නම්. ඒ වගේම බ්ලැක් හෙඩ්ස් අයින් කරන එක ලොකුවට ඔලුවට ගන්න එපා. විනාඩි 20 න් ලේසියෙන් අයින් කරන ක්‍රම තිබෙනවා. රූපලාවන්‍ය වේදීන් මේ දේවල් ඔබ එක්ක බෙදා ගන්නේ නැහැ. මොකද එයින් බිස්නස් එකට පහර වදින නිසා.


7) කොණ්ඩය නම් රසායන දාල වනසා ගන්න එපා

ලස්සනට ලේයර් එකක් කපන්න. සතියට වරක් තෙල් සාත්තුවක් කරන්න. ගාන තෙල් වලට විටමින් E කරලක් කඩලා දාන්න. හමෙන් අවශෝෂණය කරනවා. මාස තුනෙන් ඔබේ කෙස් කළඹ ශක්තිමත් වෙනවා. ෂැම්පු දිනපතා දමන්න එපා. සතියකට දෙවරක් දැම්මොත් ඇති.

සැලුන් එකට ගිහින් සල්ලි වැය කරත් නොකරත් ලස්සන රැක ගන්න පුළුවන්. හැම දේම පටන් ගන්නේ ඔබේ ශරීරය ඇතුලින්. ඒ නිසා ව්‍යායාම සහ පෝෂණය කියන දෙක කියන්නේ ලස්සනේ අම්ම සහ තාත්තා වගේ.

SHARE