මිනිස්සු අනුන්ව විවේචනය කරන්න කැමති වුණාට, අනුන් තමාව විවේචනය කරනවා අහගෙන ඉන්න කැමති නෑ. බැඳීම් ඇතුලේ දුරස් වීම් ඇති වෙන්න තවත් එක හේතුවක් තමයි විවේචන භාර නොගැනීම. කෙනෙක් අනිත් කෙනාගේ වරදක් පෙන්වලා දෙන්න හදපුවම දෙදෙනාටම නොදැනී ඒක මහා රණ්ඩුවක් වෙලා නැවතෙන අවස්ථා එමටයි. ඉතින් අපි අද තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


වරද ඔබේ නෙවෙයි නම්

මුලින්ම, අනිත් කෙනා මේ ඇත්තටම පෙන්වලා දෙන්නේ ඔබේ වරදක්ද කියලා අවධානයෙන් බලන්න. මොකද සමහරවිට ඔවුන් ඔබ නොකළ වරදක් ගැන වැරදියට තේරුම් අරන් කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔබ වගකිව යුතු නොවන දෙයක් ගැන වෙන්න ඇති මේ කියන්නේ. එහෙම නම් ඔවුන්ට ඒ බව ඉවසිලිවන්තව පැහැදිලි කරන්න.


වරද ඔබේ නම්

♦ සබඳතා කියන්නේ ගේම් එකක් නෙවෙයි.

මේ වගේ අවස්ථාවකදී වැදගත් වෙන්නේ කොහොමහරි ඔබ ජයග්‍රහණය කරන එක නෙවෙයි. ඇත්තටම වරද ඔබේ නම්, ඒ බව පිළිගන්න තියෙන ලැජ්ජාවට අනෙකා එක්ක ගැටුම් ඇති කර ගන්න යන්න එපා. අපේ වැරදි පිළිගන්න අපි නිහතමානී වෙන්න ඕනේ.

♦ මැදින් පනින්න යන්න එපා.

සමහරවිට ඔබේ ක්‍රියාවක් නිසා අනිත් කෙනාගේ හිත රිදිලා වෙන්න පුළුවන්. ඉතින් ඔහුට හෝ ඇයට සංසුන්ව සවන් දෙන්න. ඒ චෝදනාවට නිදහසට කරුණු කීම වෙනුවෙන්වත්, සමාව ඉල්ලීම වෙනුවෙන්වත් අතර මගදී ඒ කෙනාගේ කතාවට බාධා කරන්න යන්න එපා.

♦ ඔබේ තරහව පාලනය කර ගන්න.

වරද ඔබේ අතේ නම්, ඔබ තරහා ගන්න එක ගොඩක් අසාධාරණයි. ඔබට තරහක් දැනෙනවා නම්, සිතින් එකේ සිට දහයට ගණන් කරන්න.

♦ එය මිත්‍රශීලී සංවාදයක් බවට හරවා ගන්න.

“මේ වගේ පුංචි දෙයක් ඔය ලොකු කර ගත්තේ ඇයි?”

“මම විතරක්ද? ඔයත් කවදාවත් ඔයාගේ ගරාජ් එක අස් කරන්නේ නැහැ.” වගේ ප්‍රශ්නය වැඩි කරවන වදන් පාවිච්චි කරන්න එපා.

ඒ වෙනුවට
“මම ඔයාව වේදනාවට පත් කරන්න හිතුවේ නැහැ.”

“අපි මේ ගැන තව කතා කරමු. මටත් දැන ගන්න ඕනේ ඔයාට ඒක වේදනාවක් වුණේ ඇයි කියලා”

වගේ මිත්‍රශීලී වදන් පාවිච්චි කරන්න.

♦ එය මිත්‍රශීලී සංවාදයක් බවට හරවා ගන්න.

  • ඔබේ කටහඬ උස් වීමෙන් ඔබ මේ සංවාදයට විරුද්ධ බවක් හැඟවෙනවා.
  • ඔබ අත් බැඳගෙන සිටීමෙන් අනෙකා කියන දේ ගණන් නොගන්නා බවක් හැඟවෙනවා.
  • ඔබ බිම බලා සිටීමෙන් හෝ ඉවත බැලීමෙන් ඔබ මේ වරද ගැන ලැජ්ජ වන බවත්, ඔබ කුමක් හෝ සඟවන බවත් හැඟවෙනවා.
  • තොල් උල් කිරීමෙන් හා ඇහි පිය ඉස්සීමෙන් ඔබ අනෙකා පවසන දෙයට විරුද්ධ වන බව හැඟවෙනවා.

ඒ නිසා අනෙකාගේ දෑස් දෙස කෙලින් බලාගෙන සැහැල්ලු ඉරියව්වකින් කතා කරන්න.

♦ සංවාදය කල් දමා ගැනීමට විමසන්න නොපැකිලෙන්න.

ඔබට වේදනාවක්, තරහක් ඇති වන්නේ නම් හෝ ඒ මොහොතේ ඒ ගැන සාකච්චා කිරීමට අපහසුවක් සහ නොසන්සුකමක් දැනෙන්නේ නම් සංවාදය පැයකට හෝ දෙකකට කල් දාන්න. කල් දමනවා කියන්නේ සංවාදය මඟ හැර යනවා නෙවෙයි. ඔබ සංවාදය මඟ හැර ගියොත් අනෙකාට ඔබ කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙනවා.

♦ අනෙකා පවසන දෙයට සම්බන්ධ උදාහරණ විමසන්න.

අනෙකා ඔබේ යම් ගතිගුණයක් ගැන විවේචනය කරනවා නම්, ඔබේ එම ගතිගුණය ඔහුට දකින්නට ලැබුණු අවස්ථා ගැන විමසන්න. මෙයින් ඔබ මේ සංවාදය ගැන උනන්දුවෙන් ඉන්න බව අනෙකාට දැනෙනවා වගේම, ඔහු මේ කියන්නේ මොනවා ගැනද කියලා හරියටම තේරුම් ගන්න අවස්ථාවකුත් ඔබට ලැබෙනවා.

♦ ඔබ එය තේරුම් ගත් බව පවසන්න.

ඔවුන් අමාරුවෙන් තේරුම් කරන්න හදපු දේ ඔබ තේරුම් අරන් කියලා දැන ගත්තම ඔවුන් සතුටු වේවි. ගොඩක් අය තමාගේ වරද අවබෝධ කර ගත්තත් අනෙකා ඉස්සරහා ඒ බව පිළි ගන්න මැලි වෙනවා.

අඩුම තරමේ මෙහෙම හරි කියන්න.

“ඔයා කියපු දෙයට මම සම්පුර්ණයෙන්ම එකඟ වුණේ නැතත්, මම ඒ දේ තේරුම් ගත්තා. ඒ ප්‍රශ්නේ ගැන ඔයාට දැනෙන දේ මට කිව්වට ස්තූතියි.”

SHARE