fb-like-beg


ඔබ වෙනුවෙන් – 14 කොටස

අපේ ලාංකික දෙමාපියෝ ගොඩක් කැමතියි දරුවෝ තමන්ගේ ඇඳේ තබාගෙන නිදියන්න. සමහර ලොකු පුතාල ඉන්නවා විවාහ වෙන්නේ හෙට කියලත් අම්ම එක්ක තමා නිදියන්නේ. අනේ ඉතින් අපේ අම්මලා මේ ගැන ගොඩක් ආඩම්බරයි.

” අපේ පුතා/ දුව හරි සීලාචාරයි කීකරුයි. තාම නිදියන්නේ මට තුරුල් වෙලා”

මවු කිරි වලින් පමණක් පෝෂණය වන දරුවෙක් දෙමාපියන්ගේ කාමරයේ වෙනම ඇඳක් මත තබාගෙන නිදි කරවීම වඩා උචිතයි. ඉන් පසු ඝන ආහාර වලට හුරු වෙද්දී රාත්‍රියේ කිරි දීම අවශ්‍ය නැහැ. ඉන් පසු පළමු වසර ගෙවෙන්න වෙනම කාමරයකට මාරු කිරීම තමා සුදුසුම. ඒකට හේතු පහතින් දක්වන්නම්.

1) සුව නින්ද දරුවාහේ කායික මානසික වර්ධනයට අත්‍යවශ්‍යයි.

විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වෙලා තිබෙනවා දෙමාපියන්ගේ කාමර වලින් පිට වෙලා නිදන දරුවෝ හොඳ සුවදායක නින්දක් ලබනවා කියල. ඒ වගේම මේ වයසේදී සුව නින්ද කියන්නේ දරුවාගේ මොලයේ සෛල වගේම ශරීරයත් නිසි ලෙස වර්ධනය වෙන්න හේතුවක්.

දෙමාපියන්ගේ කාමරේම ඉන්න දරුවෝ මා දැක තිබෙනවා අවුරුදු දෙක තුන ගිහිල්ලත් එලි වෙන තුරු අම්මගේ කිරි උරනවා. ඉන් පස්සේ කිසිම දෙයක් හරියට කන්නේ නැහැ. රාත්‍රියට හඬමින් නැගිටිනවා 5 පාරක් වත්. සුව නින්දක් නැතිකම සහ නිසි පෝෂණයක් නොලැබීම මත මේ දරුවොන්ගේ කායික මානසික වර්ධනය බාල වෙනවා.

2) රෑ පුරා දරුවා විටින් විට ඇහැරෙද්දි මවට ගොඩක් වෙහෙසයි

ඔබ රැකියාවකට ගියත් නැතත් සුව නින්දක් ලැබීම මවක් ලෙස ඔබේ මානසික සුවයට වැදගත් වෙනවා. රාත්‍රියේ හරි නින්දක් නොලබද්දී දිවා දවසේ වැඩ වලින් ඔබ වෙහෙසෙනවා. ඒ වගේම මානසික ආතතියට ලක් වෙනවා. ඒ එක්කම ඔබේ ආතතිය පිට වෙන්නේ දරුවාට කෝපයෙන් කෑ ගසීම්න් හෝ සැමියා ට බැනීමෙන් වෙන්න පුළුවන්.

3) දෙමාපියන්ගේ ඇඳේ නිදන දරුවෝ පෞරුෂ ආබාධ වලට ලක් වෙනවා

මොන්ටිසොරියේදී , පාසලේදී අම්මගේ සායේ එල්ලිල්ලා හොටු පෙරමින් අඬන දරුවෝ දැකල ඇති නේද? කිසිම දෙයක් තනිව කර ගන්නේ නැති දරුවෝ දැකල ඇති නේද? විවාහ වෙලත් අම්මගේ වචන විතරක් අහල වැඩ කරන පුත්තු දැකල ඇති නේද? කොහේදී හරි ජීවිතේ පොඩි ගැටළුවක් වුනොත් ජීවිතේම කඩා වැටෙන මිනිස්සු දැකල ඇති නේද ? බොහෝ විට දෙමාපියෝ ස්වාධීන පෞරුෂයක් ගොඩ නැගෙන්න නොදී කූඩැල්ලෝ වගේ දරුවෝ හැදුවහම මෙහෙම වෙනවා.

තනිව නිදන දරුවා නිර්භීතයි. ජීවිතේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙනවා. අපි දරුවෝ හදන්න ඕනේ අපේ වචනෙන් එහාට ජීවිතයක් නැති වෙන්න නෙවේ. අපි හෙට මලත් දරුවා මේ සමාජයේ survive වෙන විදිහට.

4) දරුවෝ නින්ද ඇඳේ තබා ගැනීම දෙමාපියෝ දෙන්නගේ සම්බන්ධයට හොඳ නැහැ.

ඇතැම් දරුවෝ නිදන්නේ දෙමාපියෝ දෙන්න මැද. අම්ම එක්ක තාත්තා කතා කරත් , ගෑවුනත් තරහයි. අම්මලා මේ ගැන ආඩම්බරෙන් කියනවා.

” අනේ අපේ බබා තාත්තිව සෝෆා එකටම එළවලා දැම්මා. එයා වැඩියෙන්ම ආදරේ මටනේ. අපිට ඔය අපේ සතුට වැඩක් නැහැ. අපේ ජීවිතේ දරුවාගේ සතුටනේ. ”

ඒ මදිවට වෙනම නිදන දෙමාපියන්ට අසීලාචාර ලෙස බනිනවා.

” අප්පෝ ඕගොල්ලෝ තමන්ගේ ජොලිය ගැන හිතල දරුවා එලියට දැම්මද ? මටයි අපේ මහත්තයටයි නම් නින්ද යන්නේ නැහැ දරුවා ඇඟේ ගෑවෙන්නේ නැතුව. මොකටද ඕගොල්ලෝ දරුවෝ හැදුවේ? “

මේ කතා වලින් ඔවුන්ගේ බුද්ධි මට්ටම නම් හොඳින්ම පේනවා. විවාහ වෙලා ඉද්දි කායික ජීවිතේ සාර්ථක වීම කියන දේ වටිනවා කියල ගොඩක් කාන්තාවෝ අපේ රටේ තේරුම් ගන්නේ නැහැ.

ඉතින් මිනිහා ගෙදර පූසා වගේ ඉන්නවා. එලියට බැහැපු ගමන් පාරේ යන ගෑනුන්ට කුණුහරුප කියනවා. කාර්යාලයේ තමන් යටතේ වැඩ කරන සේවිකාවන්ට බලහත්කාරකම් කරනවා. බස් එකකදී ජැක් ගහනවා. මොකද අසහනේ වැඩිවෙනවානේ. ඉන් පස්සේ මොකක් හරි අහු වුනාම ඒ ගෑනුන්ට සාප කර කරා ඇවිද්දට වැඩක් නැහැ.

භාර්යාවොත් ලිංගික ජීවිතේ ගෙවන්න බැරි ඇරියස් එක ගන්නේ අනික් ගැහැණුන්ගේ පිටින්. කෙනෙක් ඇන්දොත් වැරදියි. කෑවොත් වැරදියි. බලාගෙන ඉන්නේ මොකක් හරි කුණු කතාවක් කියන්නමයි.

5) දරුවෝ දෙමාපියන්ගේ ලිංගික ජීවිතේ දකිනවා

මොන්ටිසෝරි ගුරුවරියෝ ගොඩ දෙනෙක් මේ ගැටලුව ගැන දන්නවා. අවුරුදු 3 / 4 වයසේදී වුනත් ගොඩක් දරුවෝ දෙමාපියන්ගේ ලිංගික හැසිරීම් දකිනවා. ඒවා පාසල් ඇවිත් කියනවා. වෙනත් දරුවෝ එක්ක අත්හදා බලන්න යනවා. හිතන්න කුඩා දරුවන්ගේ ඔලු විකෘති වෙන දේවල්. ලොකු දරුවෝ ඇඳේ තබාගෙන නිදන අම්මෙක් වරෙක තර්ක කළා

” ලිංගික හැසිරීම් දරුවෝ දැක්කට කමක් නැහැ. ඒවා ස්වභාවික දේවල්, කියල දෙන්න ඕනේ ” කියල.

මෙවැනි විකාර අදහස් පහල වෙන මිනිස්සු තව නොවේවා කියල මම ප්‍රර්ථනා කරනවා. ඕනෙවට වඩා කුඩා වයසේ ලිංගික කටයුතු වලට expose වෙන දරුවෝ අනිවාර්යයෙන්ම ලොකු වෙලා නොයෙක් විකෘති ලිංගික චරියා වලට නැඹුරු වෙනවා.

අද කාලේ තාක්ෂනය දියුණුයි. Baby Monitor වගේ දේවල් අඩු මිලට ගෙන්වා ගත හැකියි. එමගින් දරුවා වෙන කාමරේක හිටියත් අපිට බලාගන්න පුළුවන්. නිසි ලෙස වෙනත් කාමරයක තනිව නිදා ගන්න හුරු කරවන දරුවා කායිකව, මානසිකව සහ සමාජීයව වඩාත් නිරෝගී පුරවැසියෙක් වෙනවා.

SHARE