fb-like-beg


ඔබ වෙනුවෙන් – 13 කොටස

ලංකාවේ බහුතරයක් කාන්තාවන් අතරේ තිබෙන ප්‍රධාන දුබලකමක් ලෙස මා දකිනවා එකිනෙකා කෙරෙහි වෛර කිරීම . මේ වෛර වලට මූලිකම හේතුව තමා ” මට නැති දේ තව කෙනෙක්ට ලැබුණා ” කියන තරහ. අපි බාල කාලේ සිට පුරුදු වෙන්නේ අනික් කෙනා පරදවා විශ්ව විද්‍යාලෙට යන්න නේ. අනෙක් කෙනා පැරදවීම කියන දේට මොලේ සීසන් කර ගත්තු ගැහණු අතරේ මේ තත්වය වැඩි වෙන එකේ පුදුමයක් නැහැ.

මේ සමාජ ජාල වල කවදාවත් නුදුටු ගැහැණු දෙන්නෙක් දැක්ක ගමන් මිනී මරා ගන්නවා. දෙවියනේ මේවා දකිද්දී මට හිතෙන්නේ මුන්දලා ගෙවල් වල ඉන්නවා ඇත්තේ යකින්නියෝ වගේ නේද කියලයි.

එක දවසක් එක නන්ගි කෙනක් අගේ සැමියා ඇයට සලකන ආකාරය පොස්ට් එකකින් දාල තිබුණා. මෙන්න මේක දැක්කා විතරයි තව කෙනක් වයින් වෙලා නොදන්නා ඇයට අමු සිංහලෙන් දේශනා කර තිබුණා ” තමුසේ නිකන් බොරුවට පම්පෝරි ගහනවා කියල ” ඒ ආදරේ කියවූවම මට නම් ඇති වුනේ ලොකු සතුටක්. මම හිතෙන් ඒ දෙන්නට ආශීර්වාද කළා හැමදාම මේ ලෙසම ඉන්න ලැබේවා කියල. නමුත් තව කෙනක් ඒක දැකල උමතු වැටුනා. මට නැති ආදරණීය ජීවිතයක් අර ගෑනිට තියනවා කියල. මම දන්නවා ඒ ගිය තරහෙ හැටියට ළඟ පාතක හිටියා නම් සැමියාට කේලමක් කියයි අර පවුල කඩන්න. නැත්නම් අඩුම ගානේ හූනියමක් වත් කරයි.

තව අම්මෙක් තමන්ගේ ආදරණීය පුතා ගැන ඉතාම ලස්සනට ලිවුවා. ඒ සුන්දර ලියවිලි දැකල මම නම් සතුටු වුනා ඒ අම්ම ලෝකෙම ඉන්න අම්මලට ආදර්ශයක් නේද කියල. මෙන්න තව කෙනෙක් දකින දකින තැන බනිනවා අර දරුවා බඩු කඩා දමනවා ..අපි හැමෝම ඒක අගය කරනවා කියල. මේකට හේතුව මොකද්ද දන්නවද ? ඒ කාන්තාව තමන්ගේ දරුවට ගහල , ටොකු ඇනල බයකරගෙන ඉන්න කෘර ගැහැනියක්. ඇයගේ හිත ඇයට දොස් කියනවා අර අම්මගේ ආදරණීය සටහන් දකිද්දී. මම හොඳ අම්මෙක් නෙවේ කියන සිතුවිල්ල නිසා වෛරයෙන් කිරි සප්පයෙක්ට සහ ආදරණීය මවට බනිනවා.

කාර්යාල වල ලස්සන , දක්ෂ , තරුණ නිලධාරිනියන්ට තියන කැපිල්ල කියන්න වචන නැහැ. බොරු කතා , කේලම්, ඕපදූප වල කෙළවරක් නැහැ.

අපි ගැහැණු වෙලා ජීවත් වෙද්දී ත්රුම් ගන්න ඕනේ අනුන්ට ඉරිසියා කළා කියල අපිට ලැබෙන දෙයක් නැහැ. තව කෙනෙක්ට ගැරහුවා කියා අපේ තත්වේ දශමෙකින් වත් උසස් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට නැති දේවල් තවත් අයට තිබෙනවා. ඒක ඒ මනුස්සයගේ වාසනාව හෝ කර්මය හෝ වෙන දෙයක්. ඒ මනුස්සයා පහත දැම්ම කියල අපිට ඒ දේ ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ට තිබෙන දේවල් ගැන සිතන්න. ඔබට තිබෙන ගොඩක් දේවල් ඒ මනුස්සයට නැතුව ඇති.

අනුන්ට ඇති දේකට අවංකව සතුටු වෙන්න හුරු වෙන්න. එවිට ඔබේ ජීවිතේටත් ඒ දේවල් එනවා. නැතුව එකිනෙකාට වෛර කරමින් ජීවත් වුනා කියා කිසිවක් ලැබෙන්නේ නැහැ. හැම වෙලේම පොර කිකිලියෝ වගේ කොටා ගන්න, විවේචනය කරන්න, බනින්න, කොටින්ම කීවොත් අන් පටලා ගන්න හැම වෙලේම ලැහැස්ති වෙලා ඉන්න එපා.

ගැහැණු වෙලා ස්වභාව ධර්මයෙනුත් පීඩා විඳින අපි එකිනෙකා නගා සිටුවා ගන්න මිස පහත හෙලන්න උත්සහ නොකරමු.

SHARE