පුං

චි දරුවෝ හරිම ආසයි කතන්දර අහන්න. හැබැයි ඔබ දරුවන්ට කියලා දෙන කතන්දර වලින් දරුවාට විනෝදයක් වගේම ආදර්ශයකුත් ලැබෙනවා නම් තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබේ දරුවාට ගැලපෙන කතන්දර කීපයක් කියා දෙන්න. මේ කතන්දර කීපය දරුවට කියා දීලා, ඒවායින් ගත හැකි ආදර්ශ ගැනත් දරුවට කියා දෙන්න ඔබට පුළුවන්.


fb-like-beg


රෝස පඳුරයි, පතොක් ගහයි

ඔන්න එක වත්තක ලස්සන රෝස පඳුරක් තිබුනා. මේ රෝස පඳුරේ කොළ නොපෙනෙන තරමට මල් පිපිලා තිබුනා. මේ රෝස පඳුර නිසා මුළු වත්තම ලස්සන වුනා. ඒ වගේම රෝස මල් වල සුවඳත් හැම අතම විහිදුනා. හැබැයි මේ රෝස පැළයට ලොකු ප්රශ්නයක් තිබුනා. ඒ ප්රශ්නේ තමයි තමන්ගේ එහා පැත්තෙන් සරුවට වැවිලා තිබුණු පතොක් ගහ. මේ කටු පිරුණු, අවලස්සන පතොක් ගහට රෝස පඳුර පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ. රෝස පඳුර හිතුවේ පතොක් ගහ නිසා තමන්වත් කැත වෙනවා කියලයි. ඉතින් රෝස පඳුර කොයි වෙලෙත් අර පතොක් ගහට අපහාස කළා.

“හැටි විතරක්. හැම තැනම කටු කටු. මහා ගොරහැඩියෙක්. මමත් කැත වෙනවා මෙතන ඉඳලා.”

රෝස පඳුර කොච්චර අපහාස කලත් පතොක් ගහ උත්තර දුන්නේ නැහැ.
ඉතින් කාලෙකදී තද නියඟයක් ආවා. වත්තේ තිබුණු ජල උල්පත් ඔක්කොම හිඳිලා ගියා. දැන් ඉතින් රෝස පඳුරට හරිම අමාරු කාලයක් තමයි උදා වුනේ. රෝස ගහ කණාටු වෙලා ගියා. මල් පිපෙන්නේත් නැතුව ගියා. රෝස ගහ අමාරුවෙන් ඉන්න අතරේ දැක්කා පුංචි කුරුල්ලෙක් පියාඹගෙන ඇවිත් පතොක් ගැහෙ වහනවා.
“අනේ පතොක් ගහ, මට හරිම තිබහයි. මට වතුර ටිකක් දෙනවද?” කුරුල්ලා අහනකොට පතොක් ගහ තමන්ගේ පත්ර ඇතුලේ ගබඩා වෙලා තියෙන වතුර වලින් ටිකක් අරන් කුරුල්ලට දුන්නා.

ඉතින් රෝස පැලයත් ලැජ්ජාව පැත්තකින් තියලා පතොක් පැලයෙන් වතුර ටිකක් ඉල්ලා ගත්තා. නියඟය ඉවර වෙද්දී රෝස පැලයයි, පතොක් පැලයයි හොඳම යාළුවො වෙලා හිටියා.

වලස් අවවාදය

ඔන්න කැලයක් මැද්දෙන් යාළුවො දෙන්නෙක් ගමනක් යමින් හිටියා. එක පාරටම කොහේදෝ ඉඳගෙන ලොකූ වලස් තඩියෙක් මේ යාළුවො දෙන්නා ඉදිරියට දුවගෙන ආවා. එක යාලුවෙක් හොඳටම කලබල වෙලා ගහක් උඩට නැග්ගේ තමන් එක්ක තවත් සගයෙක් හිටපු බව අමතකම කරලා දාලයි.

ඉතින් අනිත් යාළුවාට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ. ජිවිත ආශාව අත ඇරපු ඔහු බිම දිගා වෙලා දෑස් දෙක පියා ගත්තා. වලහා ඔහුගේ ලඟට ඇවිත් ඔහුව ඉව කරලා යන්න ගියේ දෛවයේ හාස්කමකින් වගෙයි. වලසා නොපෙනී යන තුරු ඉඳලා ගහ උද හිටපු යාලුවා ඉක්මනින් ගහෙන් බැහැලා තමන්ගේ යාලුවට කිට්ටු කළා.
“මොනවද අර වලහා ඔයා ලඟට ඇවිත් කලේ?”

“වලහා මට රහසක් කිව්වා.” යාලුවා කිව්වා.

“ඒ මොකද්ද?” අනෙකා ඇහුවේ පුදුමයෙන්.

“විපතේදී ඔබව හැර යන මිතුරන්ව විශ්වාස කරන්න එපා කියලා ඌ මට කිව්වා.”

SHARE