fb-like-beg


ඔබ වෙනුවෙන් – 7 කොටස

ජීවිත ගමනේදී සම්බන්ධකම් බිඳිලා යනවා. විරහව කියන්නේ මේ ලෝකේ සියලුම මනුස්සයට පොදු ධර්මතාවයක්. සමහර සම්බන්ධකම් බිඳෙන එක ජීවිතේට හොඳක්. මොකද වැරදි කෙනෙක් එක්ක ජීවත් වෙමින් මුළු ජීවිතේම කාලකන්නි වෙනවට වඩා හොඳයි එය ඉවර වෙන එක දහස් ගුණයක්. ඒ වගේම අනික් කෙනාට ඔබව එපා නම් එපා තමයි. ඒ ගැන ඒ මනුස්සයට බැනල, තර්ජනය කරලා, නින්දා කරලා ඇති වැඩක් වෙන්නේ නැහැ. මොන බලහත්කාරකමෙන් හරී කෙනෙක්ව තමන් ලඟ බලෙන් තියා ගන්න හදනවා නම් එතන ආදරයක් නැහැ. ආදරේ නම් ඒ මනුස්සයගේ නිදහසට ගරු කරන්න ඕනේ.

අනික එක සම්බන්ධයක් කැඩෙනවා කියන්නේ ජීවිතේ බිඳෙනවා නෙවේ. නමුත් මහා ලොකු වේදනාවක් හිතේ ඇති වෙනවා. ඒ වේදනාව ඔබ ගන්න විදිහ ඔබේ ජීවිතේ සාර්ථක අසාර්ථක බව තීරණය කරනවා.

  • ADELE මහා ගායිකාවක් වුනේ කොහොමද ?

ඔබ දන්නවා ADELE කියන්නේ ලෝකේ එතෙක් මෙතෙක් බිහි වුන ශ්‍රේෂ්ටතම ගායිකාවක්. ඇය ගේ ළමා කාලය ගැටළු මැද්දේ ගෙවුනේ.පස්සේ අප්‍රකට තරුණියක් වෙලා අහිංසකව ජීවත් වෙද්දී ඇය ප්‍රේමයෙන් බැඳෙනවා මදක් වයස පිරිමියෙක් එක්ක. මේ මිනිසා නිසා ඇය නැති වුන දෙමාපිය ප්‍රේමය ලබනවා. ඔහුගෙන් තොර ජීවිතයක් ඇයට නැහැ. නමුත් මාස 18 කින් ඔහු ඇය ….මේ මහත…. නොන්ජල්. ..පවුලක් නැති …. කෙල්ල දාල වෙන ගැහැනියක් එක්ක විවාහ වෙනවා.

මුළු ජීවිතේම දරුණුම වේදනාවට මුහුණ දෙන ඇඩෙල් ඇයගේ එදා මෙදා තුර වැඩියෙන්ම ජනප්‍රිය ගීය Someone like you ලියනවා. එය නොහිතුව විදිහට ඇය මහා ගායිකාවක් බවට පත් කරනවා.

බලන්න ඒ ගීයේ පද දිහා වෛරයක සේයාවක් වත් නැහැ. තරඟයක් නැහැ. උඹට වඩා හොඳ කෙනෙක් හොයනවා කියන්නේ නැහැ. “ඔයා වගේ කෙනෙක් මම හොයා ගන්නම්. ඒකට කමක් නැහැ. ඔයාට යහපතක් වෙන්න කියනවා.” ඇගේ මුදු මොලොක් හිතේ ඔහුට ඇති ආදරයත් , දැඩි වේදනාවත්, පුළුවන් කමට නෙවේ බැරි කමට අතහරින බවත් වචනෙන් වචනේ පෙනෙනවා.

  • කුකුල් පොහොරත් දියුණු වෙන කෙනෙක්ට හොඳ අවස්තාවක්

අජාන් බ්‍රහ්මවන්සෝ තෙරුන් වහන්සේ ලියන විදිහට ජීවිතේ ව්‍යවසනයක් කියන්නේ හරියට ගේ දොර ඉස්සරහට වැටුන කුකුල් පොහොර ලෝඩ් එකක් වගේ. ඕක හැම තැනම ගාල, ඇඟේ ගාගෙන, මුළු ලෝකෙම මිනිස්සු ගඳ ගස්සවන්නත් පුළුවන්. එතකොට වෙන්නේ හැමෝටම ඔබව එපා වෙන එකයි. මොකද කුකුල් බෙටි ගඳට මිනිස්සු කැමති නැහැ. වගේම හෙමින් හෙමින් ඒ කුකුල් පොහොර ටික වත්ත පිටිපස්සට ඇදල පලතුරු ගස් වටේට දාන්නත් පුළුවන්. ටික කලකින් දිරල ඒ පොහොර වලින් රස පලතුරු ලැබෙනවා.

තීරණය ඔබ අතේ. සම්බන්ධයක් බිඳුනා කියා තමන්ගේ රැකියාව, ජීවිතේ, අවට සිටින අනික් හැමෝම වගේම තමන්ගේ ජීවිතේ විනාස කරගෙන අගතියට යන්නත් පුළුවන්. ඒ වගේම ඒ අත්දැකීමෙන් තව ශක්තිමත් වෙලා ජීවිතේ හදා ගන්නත් පුළුවන්. උසස් ජයග්‍රහණ කරා යන්නත් පුළුවන්.
ඔබ තීරණය ගත යුතුයි.

SHARE