fb-like-beg


ඔබ වෙනුවෙන් – 3 කොටස

මම : අනේ ඔයා ඇයි මේ අමාරුවේන් වගේ ඉන්නේ දැන්?

පලතුරු වෙළෙන්දිය : නැහැ නෝනා මට ඉතින් ඇඟට අමාරුයි

මම : ( මීට මාස 5 ට පෙර ඇය ගර්භාෂය ඉවත් කළ සැත්කම කළ බව දනිමි. ) ඔයාට දොස්තර මහත්තයා දුන්න හොර්මොන් පෙති බොනවද?

ප.වෙ: අපෝ නැහැ.

මම : ඇයි?

ප.වෙ: මෙතනට ආව ගොඩක් කට්ටිය කිවුවා බොන්න එපා කියල. ඕවා බොන්න හොඳ නැහැනේ නෝනා.

මම: එතකොට දොස්තරට වඩා ඒ ගොල්ලෝ දන්නවද? මේ ඔය දුන්න පෙති ඔක්කොම බොන්න .

ප.වෙ: ඕවා හොඳ නැහැලු. උෂ්නයි හරි.

මම : මේ ඔයාගේ ඇඟේ හෝර්මෝන හදන ඩිම්බ කෝෂ අයින් කරලා නිසා ඒවා පිටින් හරි ගන්න ඕනේ. ඉක්මනට වයසට යන්න ආසද? ආසයි නම් නොබී ඉන්න.

ප. වෙ: කොහොමත් මට දැන් 50 ක් නෙ. මම වයසයි. වයසට ගියාට කමක් නැහැ. (අහිංසකව සිනා සේ)

මම: මේ ඇන්ටි .. ඔයා දොස්තර කියන විදිහට බෙහෙත් බොන්නකෝ. තව ටික කාලෙකින් දනිස් අමාරු එහෙම හැදෙයි ඔන්න. එතකොට ඔයාට පොලේ එන්නත් බැරි වෙනවා. එතකොට ජොබ් එකත් කරන්න බැරි වෙනවා.

ප. වෙ. : අනේ නෝනා මට දැනටම දනිස් අමාරු හැදිලා තියෙන්නේ.

මම: මේ ආපහු දොස්තර මහත්තයා හම්බ වෙලා බෙහෙත් සේරම ලියා ගන්න. ඒ අතරේ විටමින් එකකුත් ඉල්ලා ගන්න.

මම මොනවා කීවත් ඇය හෝර්මෝන නොබොන බව දනිමි. වසර ගානක සිට බඩු ගන්නා ඇය පසුගිය මාස හය ඇතුලත බලාගෙන ඉද්දි වැහරුන බව දුටිමි. ඇත්තටම මෙවැනි බක පණ්ඩිතකම් පතුරන මිනිසුන්ගෙන් ප්‍රවේෂම් විය යුතුය.

මෙවැනි තව මිත්‍යා මත රැසක් තිබේ. මෙට්ෆෝමින් වලට වකුගඩු නරක් වෙනවා, සපත්තු දාගෙන අවිද්දහම දනිස් ගෙවෙනවා, දරුවෙක්ට ඩයිපර් අන්දවන්න හොඳ නැහැ, සිසේරියන් එකකින් දරුවෙක් වදන අම්මා හොද නැහැ මෙවැනි දුර්මත කීපයකි. මේවා පතුරන්නේ කුමන හේතුවටද මම නොදනිමි. නමුත් වෛද්‍ය වරුන්ට විශේෂ වගකීමක් තිබේ එනම් වෙලාව ගෙන රෝගීන්ට මේවා පැහැදිලි කර දීමයි.

SHARE