fb-like-beg


ඔබ වෙනුවෙන් – 15 කොටස

තිළිණිගේ පැමිණිල්ල :

බලන්න අක්කේ මල්මි, මාරම අම්මෙක්. අපි නම් බැඳපු ගමන් මුකුත් කරේ නැහැනේ, ඊළඟ මාසේ බබා. එයා අවුරුදු කීයක් ගිහින්ද ඔය ළමයා හදා ගත්තේ. තමන්ට රට වටේ ට්‍රිප් යන එකයි ,ගෙවල් හදන එකයි, අර උපාධියයි, මේකයි කොර කොරා හිටියා. ඇති යන්තම් ඔය ළමයා වත් හම්බ වුනා.

එයා බබා හම්බ වෙන්න ඉද්දි අපි වගේ ගොඩක් කෑවේ නැහැ. හැමදාම වගේ exercise කරා. එයා ඉතින් කොහොමත් ඉස්සර ඉඳන් ඇඟේ හැඩේ ගැන හිතපු කෙනෙක්නෙ. ඒ වුනාට අම්මෙක් වුනාම දරුවා ගැන හිතන්න ඕනේ. තමන්ගේ රූප ලස්සන ලොකු කරගෙන, කෙට්ටුව තියා ගන්න බැලුව නිසා වෙන්න ඇති එයාගේ බඩත් පොඩිවට තිබ්බේ. බබත් හම්බ වෙද්දී පොඩියි.

ඒකට අපේ බබා. ඔයා දැක්කනේ මහත. අනේ පවු පොඩි එකා.

ඊට පස්සේ බබා හම්බ වෙලා මාස තුනෙන් ජිම් එකට යන්න ගත්තා. මුනුත් අම්මලාද? මේ බලන්න බබා හම්බවෙලා අවුරුදු 3 ක් ගියත් මම බබාගේ වැඩ කරගෙන ගෙදරටම වෙලා ඉන්නවා. අපිට කොහෙන්ද අක්කේ ඕවට වෙලා. අපේ මුළු ජීවිතේම දරුවොනේ.

හාපෝ මල්මි…. අනේ ඒ පැටියා හරිම හොඳ දරුවෙක්. යන්තම් අවුරුද්ද යද්දී වෙනම කාමරේක නිදි කරවන්න පුරුදු කරා. ඔය එයාල දෙන්නගේ ජොලියට බාධා වෙන නිසානේ. නැත්නම් ඉතින් අපේ ලොකු පුතාට දැන් 5 යි. එයා තාමත් රෑ එළිවෙනකම් මගේ කිරි උරනවා. කොච්චර ආදරේ නැතත් මල්මිලාටමයි හොඳ ළමයි හම්බ වෙන්නෙත්. ඒ දරු පැටියා හරිම හොඳයි.

කන්නේ තනියම. උස පුටුවක බැඳලා දාල. අනේ අපේ අම්ම ගැන මට පුදුම ආඩම්බරයක් ඇති වුනා. මොකද අපේ අම්මා ගස් වටේ පැය කීයක් රස්තියාදු වෙනවද මේ ලොකු ළමයෙක්ට වුනත් කවන්න. මට සමහරදාට උණ වගේ හවසට මෙයාට කවන යුද්දේ. අර දරුවට මොන දුකක් දැනෙනවා ඇතිද තනියම ඉඳගෙන හැන්දකින් කද්දී නේද ?

ඒ දරුවට පොඩි කාලෙම ඩයිපර් ඇන්දුවා. දරුවාගේ නැපි හේදුවේ වොෂින් මැෂින් එකේ. අම්මෙක් වුනාම කක්කා චූ අතගාන එක බැරි නම් මොකටද මේ වගේ මිනිස්සු ළමයි හදන්නේ. බබලගේ රෙදි හෝදලා බේසම් උස්සලා මගේ සීසර් එකේ මැහුන් ගැලවුනා මතකනේ අක්කේ. ඒත් මම බබාගේ රෙදි අතේ හේදුවේ. එකනේ මවු සෙනෙහස. නොර්මල් හම්බ වුනත් එයාල එහෙම කරේ නැහැ.

අපේ දරුවෝ අපිව දාල ඉස්කෝලේ ගියත් පෙරලි පෙරලි අඬනවා. ඒකට මල්මිගේ දරු පැටියා අනේ අවුරුදු 2 ඉඳල ඩේ කෙයා දැම්මා. අම්මෙක් කරන වැඩද? මල්මිලාගේ අම්මයි තාත්තයි ගෙදර හිටියට දරුවා බලන්න දුන්නේ නැහැ. කවුද ඉංග්‍රීසි නමක් තියන ගෑනියෙක් උගන්වනවා කියල මොකද්දෝ ගණන් වැඩි තැනකට උදේම පිට කරනවා. අනේ දරු පැටියත් සද්ද නැතුව යනවා. ඒ දරුවෝ දෙමාපියෝ අඳුරන්නේ නැහැ.

දවසක මල්මිට යන්න වෙන්නේ මහලු මඩමකට. ඕන් මම නොකිවුවා කියන්න එපා අක්කේ ඔය වගේ හදන ළමයි තමා ලොකු වෙලා තමන්ට ඕනේ විදිහේ දේවල් ඉගෙන ගන්නේ. තමන්ට ඕනේ කට්ටියව කසාද බඳින්නේ. අපි දරුවෝ ඉනේ ඉහේ ගහගෙන හදන නිසා අපේ දරුවෝ හැම දේම කරන්නේ අපිට ඕනේ විදිහට විතරනේ.

මල්මිගේ කතාව :

අනේ ඔවු. අපේ පුතා හැදුවේ බැඳලා අවුරුදු 5 කින්. අපේ වැඩ කරගෙන ඉවර වුනා සේරම. මොකද නැතනම් දරුවා වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වෙන්න බැරි වෙනවනේ. අනික අපි ජීවිතේ අපිට ඕනේ දේවල් කරගත්තේ නැත්නම් අන්තිමට ඒ පසුතැවීම පිට වෙන්නේ දරුවෝ හරහා. තමන් ඉගෙනීම මගින් නවත්වපු කට්ටිය තමා දරුවෝ පන්ති ගානේ එලවන්නේ. බැරිවුණ දේ ළමයි ලවා කරවන්න.

අප්පෝ මම නියමිත ලෙස විටමින් බීවා. එළවලු පලතුරු ගණන් වැඩි වුනත් හොඳම කාබනික දේවල් තමා කෑවේ. බත් ,පාන් පුළුවන් තරම් කාල බඩ පුරෝ ගත්තහම වැඩි වන කාබොහයිඩේ‍්‍රට දරුවටනේ හොඳ නැත්තේ. කොච්චර අමාරු වුනත් ව්‍යායාම කරා හැමදාම වගේ. ඒ නිසා වෙන්න ඇති බබාවත්, මමවත් අධි බරට ආවේ නැහැ. දියවැඩියාව, ප්‍රෙෂර් මට හැදුනෙත් නැහැ. බබා ලේසියෙන්ම හම්බ වුනා.

මගේ ඇඟේ හැඩේ ආපහු හදා ගන්න මම ජිම් ගියා බබාට මාස තුන වෙද්දීම. කිරි දෙන අම්මෙක් වුනාම හොඳ නින්දක්, ව්‍යායාම , ආහාර තියෙන්න ඕනේ. හැම දේටම වඩා ව්‍යායාම කරද්දී කොර්ටිසෝල් ලෙවල් එක පහල බැහැල අපේ මානසික තත්වෙ යහපත් වෙනවනේ. එහෙමෙ නැත්නම් මගේ ස්ට්රේස් එක දරුවා පිට වැටෙයි කියල මට බයයි. අපේ අමල් වුනත් කැමති නැහැ මම කැතට ඉන්නවට.

රෑ වෙනම නිදි කරවද්දී කිරි රෑ පුරාම බොන එක නැවතුනා. මාස 6න් පස්සේ එයා කිරි බීවේ දවාලට විතරනේ. රෑට හොඳට නිදන නිසා එයාගේ බර කවදාවත් අඩු උනේ නැහැ. හොඳට කෑම කනවා ඒ නිසා. කරදරයක් නැහැ. කක්කි දාන්න හුරු කරෙත් පොටි එකේ. ඒ නිසා ගෙවල් ජරා වුනෙත් නැහැ. පිරිසිඳුකම රැකුණා. එයත් වෙලාවට කන්න, කක්කි දාන්න රූටින් එකට හුරු වුනා.

අනේ ඔවු මම එයාට ඩයිපර් ඇන්දුවා. මොකද රෑට හරිහමන් නින්දක් නැති වුනොත් පුතාගේ වර්ධනේට බාධා වේවි කියන බයට. ටිකක් වියදම් තමයි. ඒත් ඉතින් දරුවටනේ. අනික මමත් නිදා ගන්න එපාය. හරියට නින්ද නොගියොත් නැගිටලා ඉන්න බැහැ උදේට මට. බොරු කතානේ වොෂින් මැෂින් වලින් රෙදි හෙදෙන්නේ නැහැ කියන්නේ. මේ රටේ විතරයි ඔය වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්නේ.

මම ඔය අනවශ්‍ය වැඩ කර කරා කාලේ කන්නේ නැති නිසා මුල ඉඳලම මම අර ඇප් දාගෙන බබාගේ Brain development activities කරා. එයා එක්ක කතා කරන කාලේ වැඩි කළා. බලන්නකෝ අවුරුදු 2 වෙද්දී එයා භාෂා දෙකෙන්ම කතා කරනවා. පාට තෝරනවා.

අනේ අපේ අම්මයි තාත්තයි පවු. ඒ මනුස්සයෝ දෙන්නට ආස වුනාට දරුවෝ දාල වද දෙන්න ඕනේ නැහැ. අනික එයාල ආදරේ වැඩිනේ. දන්නේ නැද්ද අපේ බබාගේ හැම දේම කරලා දෙන්න හදනවා. මම හිතුවා ඒක හොඳ නැහැ කියල. ළමයි ස්වාධීන වෙන්න ඕනෙනේ. ගොඩක් කල් ගෙදර තියා ගත්තම බාහිර සමාජය ඉස්සරහ මුලුගැන්වෙන්න බලනවා. ඒ නිසා එයාව මම හොඳට බලලා අධ්‍යාපන මනෝ විද්‍යාව කරපු මිසිස් සිගේරා ලඟට දැම්මා. දැන් හොඳට එයාට අනවශ්‍ය බරක් නොදී උගන්වනවා. අනෙක් ළමයි එක්ක හොඳට කටයුතු කරනවා. එයා ස්වාධීනව හැදෙන්න ඕනේ අපි මලත් තනියම ජීවිතේ අභියෝග වලට මූණ දෙන්න ඕනේ.

එයාව පුංචි කාලේ ඉඳලම එහෙම හදපු නිසා වෙන්න ඇති එයා වයසට හරි ශක්තිමත්. ඕනෙම දෙයක් තනියම මූණ දෙන්න බලනවා. අනේ අපි දෙන්නා දැනටම අපේ retirement එක plan කරලා තියෙන්නේ. එයා එක්ක ඉන්න අදහසක් නැහැ. එයා මේ ලෝකෙට ආව ස්වාධීන පුරවැසියෙක්. අපි මොකටද එයාගේ තීරණ එක්ක හැපෙන්නේ? හොඳ නරක ගැන කියා දෙනවා. එයාගේ ජීවිතේ එයාට ඕනේ විදිහට ගෙවන්න ඕනේ.

SHARE