විපතට පත් වූවන්, එහෙම නැත්තම් හිංසනයක ගොදුරක් වූවන් කියන්නේ අනිවාර්යයෙන්ම මානසිකව බිඳ වැටුණු පුද්ගලයන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන් ඔවුන්ට සිදු වූ විපත ගැන දුක් වෙද්දී, සමාජයත් බොහෝ විට වරද පටවන්නේ ඔවුන් මතමයි. විශේෂයෙන්ම විවිධ ආකාර වලින් හිංසනයන්ට ලක් වූ තරුණියන්ට සමාජය ඇඟිල්ල දිගු කරන්නේ ඇයගේ අපරිස්සම්කාරි ස්වභාවය ගැන චෝදනා කරමිනුයි. මේ ස්වභාවය හඳුන්වන්නේ Victim Blaming Behaviour යනුවෙනුයි. අද අපි කතා කරන්නට උත්සාහ කරන්නේ මේ පිළිබඳවයි.


fb-like-beg


2002 වසරේදී අවුරුදු දා හතරක දැරියක් වුනු Elizabeth Smart ව David Mitchell කියන පුද්ගලයා විසින් පැහැර ගනු ලැබුවා. Mitchell සහ ඔහුගේ බිරිඳ වූ Wanda Barzee විසින් මේ දැරියව රඳවාගෙන සිටිනු ලැබුවා. බලධාරීන් විසින් මේ දැරියව ගළවා ගන්නා විට ඇය මාස 9ක් පුරාවට අතවරයට ලක් වී තිබුණා.

සමාජයෙන් ඇයට මුලදී ලැබුණු ප්‍රතිචාර පුදුමාකාර වී තිබුණා. මාස 9ක් ගත වන තුරු ඇය පැන ඒමට උත්සාහ නොකිරීම පිළිබඳව සමාජය විසින් ඇයගෙන් ප්‍රශ්න කර තිබුනේ චෝදනාත්මක ස්වරූපයකිනුයි.

ඇත්තෙන්ම ඇය පැන යන්නට උත්සාහ කිරීමේදී අපරාධකාර යුවල ඇයව සහ ඇගේ පවුලේ සාමාජිකයන්ව ඝාතනය කරන බවට තර්ජනය කර තිබුණා.

වර්තමානයේදී වුවත් අතවරයකට හෝ දුෂණයකට ගොදුරු වන කාන්තාවක් පිළිබඳව සමාජය පවසන්නේ හරි පුදුමාකාර දේවල්. අතවරයට හේතුව ඇය ඇඳ සිටි ඇඳුමමේ ස්වභාවය හෝ ඇගේ හැසිරීමේ ස්වභාවය යැයි පවසන්නට බොහෝ දෙනෙක් ඉක්මන් වෙනවා.

කාන්තාවකගේ නිරුවත් ජායාරූපයක් සමාජගත වූවොත්, සමාජය බැන වදින්නේ අදාළ කාන්තාවට මිස එය සමාජ ජාලයට එක් කල පුද්ගලයාට නොවේ.

මෙවැනි තත්වයකට බලපාන මනෝ විද්‍යාත්මක හේතු

  • Attributing Other People’s Behaviors

මෙය මිනිසුන් තුල පවතින සුවිශේෂී ලක්ෂණයක්. වෙනත් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපය මේ ආකාර විය යුතු යැයි සිතන්නට පෙළඹීම තමයි මේ සෘණාත්මක ලක්ෂණය. උදාහරණ ලෙස ඔබේ පංතියේ මිතුරෙකුගේ විභාගයක ලකුණු අඩු වූ විට ඔබ සිතන්නට පෙළඹෙන්නේ ඔබේ මිතුරා උනන්දුවෙන් පාඩම් නොකිරීම එයට හේතු වූ බවයි. නමුත් ඔබේ ලකුණු අඩු වුවොත් ඔබ සිතන්නේ එය ගුරුවරයාගේ විස්තර කර දීමේ නොහැකියාව නිසා සිදු වුවක් හෝ පංතියේ සුවපහසු බව අඩු වීම නිසා සිදු වුවක් ලෙසටයි.

  • Hindsight Bias

මෙයත් මිනිසුන් තුල ඇති වන අමුතු ආකාරයේ සිතුවිල්ලක්. යමක් සිදු වූ පසු මිනිසාට තමා එය සිදු වන බව මුල සිටම දැන සිටි බවක් හැඟෙන්නට පටන් ගන්නවා. එය සිදු වන්නේ ඉබේටමයි.

ඉතින් යමෙකු අසනීප වූ විට ඔබට හැඟෙන්නට පටන් ගන්නවා මෙය සිදු වන බව ඔබ කලින් දැන සිටි බව. ඒ නිසා අසනීප පුද්ගලයාගේ ජිවන රටාවේ පැවති වැරදි ඔබ හුවා දක්වන්නට පටන් ගන්නවා.

රෝගියාට පිළිකාවක් වැළඳීමට බලපෑ ප්‍රධානතම හේතුව දුම් බීම බවත්, හදවත් රෝගයක් ඇති වීමට බලපෑ ප්‍රධානතම හේතුව ඔහු ව්‍යායාම නොකළ නිසා බවත්, ආහාර විෂ වීමට හේතුව රෝගියා නොදන්නා හෝටලයකින් ආහාර මිලදී ගත් නිසා බවත් පවසමින් සමාජය විසින් චෝදනා නගන්නට පෙළඹෙනවා.

  • ගොදුරක් බවට පත් වීමට ඇති බිය

මනෝ විද්‍යාඥ  Melvin Lerner විසින් කල සමාජ පරීක්ෂණයකට අනුව අප සමාජය නපුරු තැනක් බව සහ ඕනෑම අවස්තාවක අපට නපුරක් විය හැකි බව පිළිගන්නට තද බියක් දක්වනවා. සමාජය නපුරු බවත්, අප සෑම විටම ඉන්නේ අනතුරක බව දැන දැනත් එය එසේ නොවන්නේ යැයි සිතා සිත සනසවා ගන්නට මිනිසුන් බොහෝ කැමතියි. අප වැනි තවත් අයෙකු යම් අනතුරකට පත් වූ විට, එම අනතුර අපට සිදු වන්නේ නැත යැයි සිත සනසවා ගැනීම වෙනුවෙනුත් අප විපතට පත් වූ පුද්ගලයාට චෝදනා නගන්නට පෙළඹෙන බව කියවෙනවා. උදාහරණ ලෙස දුෂණයට ලක් වූ තරුණියකගේ පුවතක් අසන්නට ලැබුණු විට කාන්තාවන් බියට පත් වෙනවා. ඉන් පසුව ඇය උත්සාහ කරන්නේ ඇය සහ දුෂණයට ලක් වූ තරුණිය අතර ඇති වෙනස්කම් සෙවීමටයි. තමා විලාසිතා වලට බර නැති බවත්, දුෂණයට ලක් වූ තරුණිය විලාසිතා වලට බර තැනැත්තියක් බවත් සිතා තමා දුෂණයකට ලක් නොවන බව උපකල්පනය කරමින් සිත සනසවා ගන්නවා.

SHARE