පුංචි කාලේ ඉඳන් අපි මොන තරම් නම් සිහින මවනවාද? පුංචි කාලේදී මවපු සිහින වැඩිවියට එළඹෙනකොට අපිට අමතක වෙලා යනවා. එහෙම නැත්තම් අලුතින්ම සිහින ඇති කරගෙන ඒවා ඉටු කර ගන්නවා. අපි විසින්ම මවපු සිහින අපි විසින්ම අමතක කරන එකේ වරදක් නැහැ. හැබැයි අපි ඒවා අමතක කල යුත්තේ හොඳ අවබෝධයකිනුයි. ඇත්තටම ඉටු කර ගත නොහැකි සිහින ඉටු කර නොගැනීම හෝ තිබෙන සිහින වෙනුවට වඩාත් හොඳ නව සිහින ඇති කර ගැනීම වරදක් නොවේ. නමුත් කිසිම තේරුමක් නැති නිසා ඔබ ඔබේ සිහින ඉටු කර නොගෙන සිටිනවා නම් ඇත්තටම ඔබ වැරදියි.


fb-like-beg


සමාජයේ බලපෑම

ඔබ ඔබේ සිහින අත හරින්නේ සමාජයේ බලපෑමට යටත් වෙලා නම් ඔබ ලොකු වැරදිකරුවෙක්. ඔබ යා යුතු මඟ තීරණය කල යුත්තේ ඔබ මිසක් සමාජය නොවේ. නමුත් අද බොහෝ විට ඔබේ ජිවිත මඟ තීරණය කරන්නේ බාහිර සමාජයයි. ඔබ අධ්‍යාපනය ලැබිය යුතු අංශය, ඔබ විවාහ විය යුතු වයස, ඔබ කල යුතු රැකියාව, ඔබ දරුවන් සෑදිය යුතු වයස තීරණය කරන්නට ඔබ සමාජයට ඉඩ දෙනවා නම් ඔබට හැමදාමත් ජිවත් වන්නට සිදු වන්නේ අතෘප්තිමත්වයි.

වෙනත් අයව ආදර්ශයට ගැනීම නිසා

ඔබ පිය නැඟිය යුත්තේ ඔබටම ආවේනික වූ මාර්ගයකයි. ඔබ ජිවිතයේ තීරණ ගන්නේ වෙනත් පුද්ගලයන් ජිවත් වෙන ආකාරය දිහා බලලා නම් ඔබ වැරදියි. ඔබ කැමති සහ ඔබ දක්ෂ දේ නොකර, වෙනත් අයෙකු හැදෑරු විෂයන් හැදෑරීමට යාම, වෙනත් අයෙකු නියැලෙන රැකියාව කිරීමට උත්සාහ දැරීම නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. ඔබේ මිතුරියන් හෝ සහෝදරියන් විවාහ වූ වයසේදීම ඔබත් විවාහ විය යුතුමයැයි නීතියක් නැහැ. ඔබට ඉටු කර ගැනීමට සිහින තිබෙනවා නම්, ඒවා ඉටු කර ගන්න.

පහසුව සෙවීම

සිහින වල ගුණාත්මක බව සුවිසල් වන තරමට ඒවා ඉටු කර ගැනීමේ පහසුව අඩු වී යනවා. ඔබ පහසුව ගැන සොයන කෙනෙක් නම්, ඔබට බොහෝ විට සිදු වන්නේ එකම තැන පල් වීමටයි. ඔබ ඔබේ ජිවිතයේ ඉහලට යාමට ආශා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබට ඒ වෙනුවෙන් කැප වී වැඩ කරන්නට සිදු වෙනවා. ජිවිතයේ ඉහලට පැමිණි බොහෝ පුද්ගලයන්ගේ ගමන් මඟ ගැන සලකා බැලුවහොත් ඔවුන් පහසුව සෙවීම පසෙක ලූ අයයි.

කාලය පිලිබඳ ගැටළු

තරුණ වියේ පසු වන බොහෝ දෙනෙක් තමන්ගේ තරුණ විය ගත කරන්නේ සිහින මවමින්. හැබැයි ඔවුන් සිහිනය ඉටු කර ගැනීමට මුල් පියවරවත් තබන්නේ නැහැ. ඔවුන් සිතන්නේ තමාගේ නියමිත කාලය තාමත් එළඹිලා නැහැ කියලයි. මුල් පියවර අරඹන්න නියමිත අවස්තාව එන තුරු බලා සිටිම වැදගත් තමයි. එත් අනවශ්‍ය විදිහට කල් මරන්න ගියත් සිදු වන්නේ ඔබට ඔබේ සිහිනය ඉටු කර ගන්න බැරි වීමයි.

ඒ වගේම තමයි තමන් ප්‍රමාද වැඩියි කියලා හිතන එකත්. සමහරුන්ට ඉහලට යන්න හරි ආශාවක් තියෙනවා. එත් වයස, විවාහය, දරුවන් සිටීම වගේ හේතු නිසා ඔවුන් හිතනවා තමන් සිහින ඉටු කර ගන්න ප්‍රමාද වැඩියි කියලා. එත් සත්‍යය නම්, ඔබට උවමනාව තිබෙනවා නම් ඕනෑම දෙයක් කල හැකි වීමයි.

පරාජයට පත් වීමට ඇති බිය

සමහර පුද්ගලයන් පරාජය වෙන්න හරිම බයයි. ඔවුන් හිතන්නේ ඒක මදි පුංචි කමක් කියලයි. ගොඩක් වෙලාවට ඔවුන්ට එහෙම වෙන්නෙත් සමාජයේ බලපෑම නිසාමයි. එක වරක් පරාජය වුනු කෙනා නැවත වරක් පරාජය වෙන්න හරිම බයයි. මොකද පරාජය වුනු කෙනෙක්ට සමාජයෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර නම් නෙවෙයි. අපේ සමාජය පුරුදු වෙලා ඉන්නේ වැටුණු කෙනාව දිරිමත් කිරීම වෙනුවට, සමච්චලයට ලක් කිරිමටයි. ඒත් සමාජය සහ පරාජයට පත් වීමට ඇති බිය කියන කරුණු දෙක නොසලකා හැරලා උත්සාහ කලොත් ඔබට යම් දිනෙක අනිවාර්යයෙන්ම ජය ගන්න හැකියි. එවිට ඔබට හිනා වුනු සමාජයම, ගරු බුහුමන් දක්වන බවත් අමතක කරන්න නම් එපා.      

SHARE