ජීවිතය වේගවත්ව ගලාගෙන යන විට ඔබට ජිවිතයේ විවිධ කාරනා අතපසු වෙනවා. ඔබ ඒ පිළිබඳව වැඩි දුර නොසිතුවත්, පසුකාලීනව ඒ දේවල් මඟ හැරී යාම පිළිබඳව ඔබට පසුතැවිල්ලක් ඇති වීමේ අවදානමක් පවතිනවා. සාමාන්‍යයන් මිනිස්සු වයසට ගියාට පස්සේ පසුතැවෙන කාරනා ගැන දැනුවත් වෙලා ඉන්න එක තරුණ වයසේ සිටින හැම කෙනෙක්ටම හොඳයි. එතකොට ඔබට පුළුවන් ඔබේ වයස්ගත සමය සතුටින් ගත කිරීම වෙනුවෙන් කල යුතු දෑ අදම කිරීමට පටන් ගන්න.


fb-like-beg


1 තරුණ අවධියේදී ඇති වූ වැරදි සම්බන්ධතා නැවත්වීමට නොහැකි වීම ගැන

අපට මුණ ගැසෙන පුද්ගලයන් විවිධාකාරයි. යමෙකුගේ ගතිගුණ ගැන හරි හැටි නොදැන සම්බන්ධතා වලට එළඹීම බොහෝ දෙනෙකුගේ අතින් සිදු වන අඩු පාඩුවක්. කාලය ගත වත්ම තමා ජිවිතයට සමීප කර ගත් පුද්ගලයා තමාට නොගැලපෙන බව හෝ ඔහු තුල යහපත් ගතිගුණ නොමැති බව හෝ අවබෝධ වෙනවා. නමුත් එම කරදරකාරී සබඳතා වලට තිත තබන්නට බහුතරයක් දෙනා අසමත් වෙනවා. තනි වීමට ඇති බිය, සිතේ ඒ වන විටත් ඇති වී තිබෙන ආදරය, සමාජයේ විවේචන වලට මුහුණ දීමට ඇති බිය ආදී කාරණා මිනිසුන්ව වැරදි සම්බන්ධතා තුල සිර කර තබනවා. නමුත් අනිවාර්යයෙන්ම ඔවුන් වයස්ගත වූ පසු වැරදි පුද්ගලයෙක් සමඟ දිවි ගෙවීමට සිදු වීම ගැන සහ විඳීමට වූ වේදනාවන් ගැන පසුතැවිලි වෙනවා.

2 ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමට නොහැකි වීම ගැන

තරුණ වියේදී මුහුණ දීමට සිදු වන තරඟකාරී ජිවන රටාවත් සමඟ ඔවුන් යාන්ත්‍රිකරණය වෙනවා. රැකියාවේ රාජාකාරී නිවසට ඇවිත් කරනවා මිස නිවසේ වෙසෙන සාමාජිකයන් ගැන සෙවිල්ලක් බැලිල්ලක් නැහැ. තවත් සමහරු ගෙදරින් පිට ජීවිතය ගත කරනවා, ඔවුන්ට තමන්ගේ නිවසට යන්න වෙලාවක් නැහැ. තවත් සමහරුන්ගේ ජීවිතය තියෙන්නේ සමාජ ජාලා වල. නිවසේ ඉන්න අය එක්ක කතා බහක්වත් නැතුව ෆේස් බුක් යනවා, ගේම්ස් ප්ලේ කරනවා. ඔවුන් තාක්ෂණික ලෝකයේ සහ රැකියාවේ සිර වෙලා ආදරණියයන්ගෙන් ටික ටික ඈත් වෙමින් පවතිනවා. ඒත් ඔවුන් වයසට යන විට ඔවුන්ට බැඳීම් වල අවශ්‍යතාවය දැනෙනවා. බොහෝ විට ඒ වන විට ඔවුන්ගේ දෙමාපියන් මිය ගිහින්. දරුවන් ලොකු වෙලා තමන්ගේම ලෝක තනාගෙන අවසන්. එවිට ඔවුන්ට සිදු වන්නේ පසුගිය කාල සීමාව තුල ආදරණිය සාමාජිකයන් සමඟ ජීවිතය බෙදා ගැනීමට නොහැකි වීම ගැන සිතමින් පසුතැවිලි වන්නටයි.

3 කාලය නාස්ති කර දැමීම පිළිබඳව

තරුණ වසයේ ගත කරන්නන් තමන්ගේ කාලය වැඩිපුරම යොදවන්නේ විනෝදජනක දේවල් වෙනුවෙනුයි. චිත්‍රපට නැරඹීම, රූපවාහිනිය නැරඹීම, සමාජ ජාලා වල ඇලී ගැලී සිටීම වැනි දේවල් නිසා ඔවුන්ගේ කාලය ගත වී යන බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන්ගේ ජිවිත වල සුවිශේෂී ඉලක්ක නැහැ. ඇතැම් විට ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ඔවුන් ක්‍රීඩා කරමින් සිටින වීඩියෝ ගේම් එකේ මීළඟ මට්ටම ජයග්‍රහණය කිරීම වෙන්න පුළුවන්. එයින් ඔවුන්ට ලැබෙන දෙයක් නැහැ. නව පාඨමාලාවක් හැදෑරීමට, වෘත්තීය ජිවිතයේ ඉහලට යාමට ඇති අවස්තාව මේ නිසාම ඔවුන්ගෙන් ගිලිහි යනවා. මේ බව ඔවුන්ට වැටහෙන්නේ වැඩිහිටි වියේදීය. තමාගේ වයසේ පුද්ගලයන් තමාට වඩා ඉහල තැන් වල වැජඹෙන බව දකින විට ඔවුන්ට කිරීමට දෙයක් නැහැ. පාඨමාලා හැදෑරීමට, ඉහලට යාමට සුදුසුම වයස ඔවුන්ගෙන් ඒ වන වටත් ගිලිහී අවසන්.

4 සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත නොකිරීම පිළිබඳව

මහලු විය කියන්නේ රෝග රැසකට අත වනන කාලයක්. මහලු වියේදී ඇති විය හැකි රෝගී තත්වයන්ගෙන් වැළකෙන්නට නම්, තරුණ වියේදී සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කල යුතු වෙනවා. තරුණ වියේදී මත්ද්‍රව්‍ය වලට සහ දුම්පානයට ඇබ්බැහි වීම, පාලනයක් රහිතව සීනි සහ මේදය අධික ආහාර ලබා ගැනීම, ආහාර වල ගුණය නොසලකා හැර රසයට මුල් තැන දීම, මුදල් වියදම් කිරීමට ඇති අකමැත්ත නිසා පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් වැලකි සිටීම, ව්‍යායාම වල නිරත වීමට කම්මැලි වීම වැනි පුරුදු නිසා ඔබ පසුකාලීනව රෝගී විය හැකියි. වර්තමානයේදී එවැන්නෙකු තුල සෞඛ්‍ය ගැටළු දක්නට නොලැබුනත්, පසුකාලීනව රෝගී වීම වලක්වාලිය නොහැකියි.

SHARE