“ජීවිතේ මේ වගෙයි.” – Part 39

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇගේ ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 39 කොටස

සමුදිගේ සද්දයක් නැති තැන සුමනා ටිකක් බය වුනා. ඒ නිසා ඇය පහත මාලයට ගිහින් තාරිකට කතා කළා. තාරික ඇවිත් දොරට තඩි බාද්දී ….

“ මට වද නොදී යන්න “ කියල සමුදී කෑ ගහන හඬ ඇසුනා. තාරික යන්තම් සැනසුම් සුසුමක් හෙලලා ඇයට කෑම කන්න දෙන්න ඕනේ කියල නැවත කතා කළා.

“ මේ එලියට ඇවිත් කන්නේ නැද්ද ? “ එවර සමුදී යකින්නක් වගේ කෝපෙන් දොර හැරියා. ඇත්තටම ඇය හිටියේ ඉවසාගන්න බැරි තරම් ලොකු ඔලුවේ කැක්කුමකින් පීඩා විඳිමින්. බෙහෙත් බීවත් ඔලුවේ කැක්කුම නිසා ඇයට දෙතුන් වරක් වමනේ ගියා.

ඇය හිටියේ තාම උදේ ඇඳ සිටි ඇඳුම පිටින්මයි. ඇගේ කාමරේ හැමතැනම බඩු විසික් කරලා. ඇඳ පාමුල වමනේ ගොඩින් කුණු ගඳක් හැමුවා. සමුදී මෙහෙම ජරාවට ඉන්නේ නැති බව තාරික දන්නවා. දරුවෝ ලැබෙන්න ඉද්දි තමා එක දිනක ඇයට වමනේ දැමීමට අත් දෙක ඇල්ලුව බව ඔහුට මතක් වුනා. නමුත් අද ඔහුට ඇති වුනේ විසාල අපුලක්. ඒ වගේම සමුදී ගැන අනුකම්පාවක්.

“ඔයාට මොකද ?” ඔහු ඇහුවේ අවංක වේදනාවෙන්.

මට නේද? මට මොනවා වුනත් ඔයාට මොකද ? ඇය සැරෙන් ඇසුවා.

එවර තාරික “යමු පහලට. අපි කාල එද්දී සුමනා කාමරේ අස් කරයි” කියල කීවේ ඇයව එලියට ගන්න ඕනේ කමට.

“නැහැ..නැහැ මම පහලට යන්නේ නැහැ. සුමනා ගිහින් නිදාගන්න” ඇය සැරෙන් කීවා.

දොර බාගෙට ඇරිලා තියෙද්දීම ඇය ඇඳට ගිහින් වැතිරුණා. ඇගේ දෙනෙත් දිගේ පහලට වැටෙන කඳුළු හරස් අතට බේරිලා ඇගේ කෙස් ගස් හරහා යනවා ඇයට දැනුණා. තාරික ඇයව නාන කාමරයට ගෙනිහින් කටවත් හෝදන්න ඕනේ කියා හිතුවා. එහෙම හිතලා ඔහු “ සමුදිතා ” කියමින් ඇගේ හිසට අත තිබ්බා.

ඇගේ යටි සිත ඉල්ලුවේ ඔහුගේ ඇඟට පැනලා බදාගෙන තමන්ගේ ඔලුව රිදෙන බව කියන්න. නමුත් ඇය උඩු සිතින් ඒ සිතුවිල්ල මගහැරියා. ඒ වෙනුවට සැපින්නක් මෙන් ඇස් වලින් ගිනි පිටවෙද්දී නැගිට්ටා.

“ උඹ මාව විනාස කරා….. දැන් මට ඉන්න දීල පලයන්. අදම පලයන්…. සඳුදා වෙද්දී වෙනසක් නැහැ. කියමින් ළඟ තිබ්බ ලොකු පොතකින් තාරිකට දමලා ගැහුවා. හොටු සහ කඳුළු වලින් ඇගේ ටී ෂර්ට් එක තෙමිලා.

ඉන් පස්සේ ඇය කාමරේ තිබ්බ සේරම බඩු බිම ගැහුවා. තාරික දොර වැහුවේ පොඩි වුන් දෙන්නට ඇහේවි කියා බයට.

එවර තාරික ඇයව තද කරලා අල්ල ගත්තා. ඇය ඔහුගේ මුහුණට, ගෙලට අහුවෙන තැනට ගැහුවා. හීරුවා. මූනට කෙල ගැහුවා.

එහෙමම ශරීර ශක්තිය වියැකෙද්දී පන නැතුව ගිය ඇයව ඔහු ඇඳ මත දිගා කළා. මුලින්ම ඇය ඔහුට බැන වැදුනා. ඒ සේරම අහගෙන තාරික ඇගේ හිස අතගෑවා. ඉන් පස්සේ ඇගේ බැනීම් ඉකි ගැසීමකට මාරුවුනා.

සුමනා ඇවිත් කාමරේ අස්කරා. රාත්‍රී 1 විතර වෙද්දී සමුදිට දැඩිව උන ගැනුනා. විටින් විට ඇයව තෙත් කලත් හොඳම දේ රෝහලට ගෙනයාම බව හිතපු තාරික ඇයව රෝහල් ගත කළා. පහුවෙනිදා ඔහු රැකියාවට ගියා. යෝශිතා සහ සුමනා සමුදී ළඟ හිටියා.

තාරිකට දැනුනේ පුදුම වේදනාවක්. අර පැත්තෙන් ටීනා සහ අලුත් ජීවිතය. මේ පැත්තේ සමුදී. කොතරම් ශක්තිමත් වුනත් ඇය කොතරම් වේදනාවෙන් ද ඉන්නේ කියා ඔහුට වැටහුනේ පලවෙනි පාරට. මුලින් ඔහු හිතාන හිටියේ සමුදී කියන්නේ කීර්තිය ගැන විතරක් හිතන ගැහැනියක් ඒ නිසා ඔහුගේ යාම ඇයට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ කියලයි.

ඊළඟ දවසේ මුළු දවසම සමුදී උන විකාරෙන් දෙඩෙවුවා. තාරික ඇයව රෝහල් ගත කරද්දී ඇඩ්මිෂන් එකේ ලිවුවේ සැමියා කියල. මේ ලියන අන්තිම වතාව නේද කියල හිතෙනකොට ඔහුට වේදනාවක් ඇති වුනා. හවස සමුදිව බලන්න යන්න වෙන්නේ නැති බව තාරික දැන සිටියා. ටීනා එයට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඔහු දවල් ගියා. රෝහලෙන් ආහාර දෙන නිසා ඒ ගැන හිතුවේ නැහැ. ඇයගේ කාමරයට යන්න පෙර ඔහු හෙදියන් හමුවෙලා ඇහුවා කොහොමද තත්වේ සහ කවුද ඇතුලේ ඉන්නේ කියා.

“තාම උන..එනවා යනවා. ඇඟේ කිසිම ලෙඩක් තාම හොයන්න බැරි වුනා. අපි හැකි සේරම කරනවා.”

සුදු මහත ප්‍රධාන හෙදිය ඔහුට කීවේ කරුණාවෙන්. ඒ එක්කම “මහත්තයා ඇතුලට යන්න ඔයාලගේ ලොකු දුව විතරයි ඉන්නේ” කීවා.

සාමන්‍යයෙන් කතා නොකලත් වේගයෙන් හිතවත්ව කතා කරමින් ඉන්න සමුදිගේ හඬ ඔහුට ඇසුනා. හරියට සනීප වෙලා වගේ…

“ඔවු ඔවු…මට වැරදුනා තමයි ඉතින්… ඇයි හිනා ? මම දුකෙන් ඉන්නවා කියලද ? නැහැ නැහැ… අර දයාන් ඔවු ඒ මිනිහා අපිට හූනියමක් කළා….. අම්මේ …අම්මේ…. රුක්මා…. ලොකු හාමිනේ කියන්නේ… ඒ මගේ අම්මා….. අම්මේ මමත් එනවා…… අපි දෙන්නම යමු ගලේ පන්සලට…. ඔවු අම්මා… යකෙක්.. යකෙක්… තාරිකව… අරන් ගියා… මගේ තාත්තිව…. අරන් ගියා….. විමාශ තවම කිරි බොනවා…. ඇයි විහස් ඉක්මනින් ලොකු වුනේ….. අපොයි මගේ ඔලුව පැලෙන්න එනවා…. ජනේලෙන් එහා තියෙන්නේ කෙහෙල් ගහක් නෙවෙයි… ඒ අලුත්ම රෙද්දක්…. පාට පොඩ්ඩක් වත් ලංකාවට ගැලපෙන්නේ නැහැ….. තාත්තිට කියන්න පුතේ ඉක්මනට එන්න කියල… තාත්ති නෑවිත් ඉන්නේ නැහැ….. ඔය දෙන්නා කෑ ගහන්න එපා… තාත්ති පාඩම් කරලා නිදි… යෝශිතා ඔයා කොම්පියුටර් ක්ලාස් ගියේ නැහැ නේද ? ළමයෝ මගෙන් ගුටි කන්න එපා. “

ළඟ සිටි යෝශිතා අමාරුවේන් ඇගේ නළලේ ඕඩිකොලොන් ගානවා තාරික දැක්කා… ඒ එක්කම සමුදිව සන්සුන් කර නිදි කරවන්න මේ දරුවා ලොකු වෙහෙසක් දරනවා තාරික එළියේ සිට බලා සිටියා…. බැරි වෙද්දී ඇය සෝෆා එකේ ඉඳගෙන අත්දෙකෙන් මුහුණ වසාගෙන අඬන්න පටන් ගත්තා.

තාරික නැවත හෙදිය වෙත ගියේ කඳුළු පිසිමින්… ඔහුගේ පපුව දැවෙන්න පටන් ගත්තා.

“මිස් අරයට නිදි බෙහෙත් දෙන්න වේවි නේද ? ඔහු අමනාපෙන් වගේ හෙදියට දැන්නුවා.

ඔවුන් ඇවිත් ඇය නිදි ගන්වන හැටි තාරික බලා සිටියා. ඉන් පස්සේ නිදන ඇය දෙස බලා ඔහු වෙලාව 5 වෙද්දී කාර්යාලයේ සිට යනවා වගේ ටීනව බලන්න රෝහලට ගියා. මනුස්සයන්ට ජීවිතේ වෙන විපත් ඔහු යන මග දිගට කල්පනා කරමින් ගියේ. මොනවා කරන්නද ඔහුට හිතා ගන්න නොහැකි වුනා. වාසනාවට හෙට වෙද්දී සේරම හරි යාවි ඔහු කල්පනා කළා. ඒ එක්කම ඩෙංගු උන ගැන ඔහුට තිබුනේ ලොකු බයක්. ළඟ ගෙදරක කිසිම පිළිවෙලක් නැතුව කුණු පාරේ දානවා. දරුවෝ දෙන්නට ඩෙංගු හැදෙයි කියා ඔහු ගොඩක් බය වුනා. ඉක්මනින්ම මුළු ගෙදරටම ජනෙල් වලට නෙට් දම්මවන්න ඔහු තීරණය කළා. සුසුමක් හෙලමින් ඔහු රෝහල පැත්තට වාහනේ හැරෙවුවේ ටීනව ගන්න. ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්. ඔහු කල්පනා කළා.

(ලබන සතියට )