“ජීවිතේ මේ වගෙයි.” – Part 38

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇගේ ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 38 කොටස

බිම එලිය වැටෙන්නත් කලින් සමුදී වේගයෙන් ජීප් එක පදවාගෙන දොම්පේ ෆැක්ටරියට ගියා. ගේට්ටුවෙන් ඇය රථය දාද්දි පුදුමයෙන් වගේ සිකුරිටි නිදිමතේ ඇස් පිහ පිහා ඇවිත් ගේට්ටුව ඇරියේ ඇයට ආචාර කරමින්. ෆැක්ටරියේ රෙදි විවීමෙන් ඉවත දමන ජලය සේරම පිරිපහදු කරන ක්‍රමයක් තිබුනා. ඒ පිරිසිඳු කරන ජලය යොදලා කාබනික වගාවක් ආරම්භ කරලයි තිබුනේ. ෆැක්ටරියේ වැඩ කරපු හැමෝටම දවල් ආහාරය පිසුනේ ඒ එළවලු වලින්. සේරම අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරපු නිසා VVL එකට ප්‍රදේශයේ ජනතාවගේ නොමද සහයෝගය ලැබුනා. අද උදේ ෆැක්ටරියේ මැෂින් නිහඩයි. රථයෙන් හෙමින් බැස්ස සමුදී නැවත ඇතුලට ගියේ වාහනේ ලයිට් දාල තිබුන නිසා. ඇයට ලයිට් නිවන්න පවා අමතක වෙන තරමට හිතේ දැඩි වේදනාවකින් හිටියේ.

පරිසරයේ පාළුව සහ පින්නේ දැඩි ශීතල නිසා සමුදී සෙමෙන් වෙවුලුවා. මේ ෆැක්ටරිය පටන් ගන්න ඉඩම ගන්න ආව මුල් දවස මතක් වුනා ඇයට. එය එතකොට විශාල කැලයක්. තාරික ඉත්තෑවෙක්ගේ ගුලක් තමාට පෙන්නමින් හිනා වුන හැටි ඇයට මතක් වුනා. ඔවුන් ගෙදර යද්දී මගින් රඹුටන් ගත්තු හැටි, ඒ කාලේ තිබ්බ පුංචි කාර් එක… සේරම දැන් අතීතෙට ගිහින් ඉවරයි.

“ අද මම තනි වෙලා.. ඔවු මම තනි වෙලා…” හමන සුළඟ ඇයට කීවා….. දරුවෝ දෙන්නා තමා දාල තාත්තා එක්ක යන්න අහපු එක මේ වෙලේ ඇගේ හිත දෙගුණයක් පෑරුවා.

හදවතේ තනපු ප්‍රේමය අද ඇගෙන් වියෝ වෙලා ගිහින් ඉවරයි. යලිත් එක් නොවෙන්නම වියෝ වෙලා ඉවරයි. ඒ එක්කම ඇයට ඇති වුනේ දැඩි පසු තැවීමක්. තාරිකගේ හැසිරීම වැරදි වුනත් එයට අනුබල ලැබුනේ තමා නිසා බව ඇය අකමැත්තෙන් නමුත් පිළිගත්තා. දෙනෙතින් කඳුළු ගලා හැලෙද්දී “ everything gonna be alright… කියමින් ඇය තමාවම අස්වසන්න පටන් ගත්තා”

කුසුමා එද්දී වෙලාව 7ට විතර ඇති. තාමත් වැඩ කරන අය ඇවිත් නැහැ. මේ වෙලේ කුසුමා එළියේ ඇවිදිමින් විධාන දෙද්දී සමුදිට ලොකු හාමිනේ මතක් වුනා. ඇය මේ විපත දකින්නට ජීවත් නොවීම කොතරම් වාසනාවක්ද? හිටියා නම් ඇය කොහෙත්ම මේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මොනවා වුනත් මේ වගේ වෙලාවක ඇය තමාගේ පැත්ත ගන්නවා කියල සමුදී දැන සිටියා.

සමුදී තනියම හඬමින් ඉද්දි කුසුමා කාමරේට සැපත් වුනා. සමුදී සේරම කෙටියෙන් සිය ලබැඳි මිතුරියට කීවා.

“ අපි දෙන්නා ගිහින් ඔය ගෑණිව ඉස්පිරිතාලේ වාටුවේදී ගහමු ” කුසුමගේ ක්ෂණික ප්‍රතිචාරය වුනේ ඒක. ඇය සමුදී නිසා තාරික සහ ටීනා එක්ක ගොඩක් තරහා වුනා.

“ ඇයි එතකොට තාරික මහත්තයා අයෙත් මට ආදරේ කරාවිද? “ සමුදී ඇහුවේ උපහාසෙන්.

“නැහැ මම කියන්නේ..ඕකිට පාඩමක් උගන්වමු” කුසුමා නැවත දත් මිටි කන්න වුනා.

“ කුසුමා… ආදරේ කියන දේ නැති වුනාම මට එතන ඉන්නේ ටීනද වෙන කෙනෙක්ද කියල වැඩක් නැහැ. මම දන්නා එකම දේ තාරික මහත්තයා මට ආදරේ නැහැ කියල විතරයි. ගහගෙන මරාගෙන ආදරේ කියන එක ගන්න පුළුවන් නම් කොච්චර ලේසිද කුසුමා?

“ ඔන්න ඔන්න බන පටන් ගත්තා. ඔය මිනිහට මම වගේ නම් හොඳ පාඩමක් උගන්වනවා. අම්මපා. “

“ කුසුමා මම තාරික මහත්තයට ආදරේ කරා. ඒක කැඩුනා. දැන් වෙන් වුන වෙලේ මට මහත්තයා විනාශ කරන්න පුළුවන් නම් මගේ ආදරේ බොරුවක් නෙවේද? මම මහත්තයට පරිස්සමෙන් යන්න දුන්නේ එකක් මගේ දරුවෝ දෙන්නා මේකෙන් හිත රිද්ද ගනියි කියල. අපි දෙන්නා නයි පොලොන්ඟු වගේ ඇවිස්සුනොත් කාගේ පැත්ත ගන්නද කියල දරුවෝ දෙන්නා අසරණ වෙනවා. අපි දෙන්නා වෙන් වුනත් අපි තාම විහස් ගෙයි විමාශ ගෙයි අම්මයි තාත්තයි. ඒ දෙන්නා වෙනුවෙන් කළ යුතු දේවල් අපි කළ යුතුයි. ඒ නිසා මෝඩ වැඩ කරන්නේ නැතුව මම තනියෙන් මේ ගින්දර ඉහිලුවා……”

ඇය විශාල පුටුව බදාගෙන ඉකි ගහන්න පටන් ගත්තා. කුසුමා ඇගේ හිස අත ගෑවා. තමාගේ ජීවිතේ වෙනස් කළ, තමා ව්‍යාපාරිකාවක් කරලා ජීවිතේ පාර පෙන්නුව සමුදී අද විපතේ වැටිලා ඉද්දි කුසුමට ඉහිලුම් නැහැ. දරුවෝ ඉස්සරහ වැලපෙන්නේ නැතුව අමාරුවෙන් සිටි සමුදී හිතේ තියන ගින්න නිවෙන තුරු කුසුමාගේ ඔෆිස් එකට වෙලා පැය ගානක් වැලපුනා.

ඉන් පස්සේ කොලයක් අරගෙන සේරම නිදහසේ ලියන්න පටන් ගත්තා. තාරිකගෙන් වෙන් වෙන්න ලෝයර් කෙනෙක් ගාවට යන්න තමාට කවදාවත් වේවි කියල ඇය හිතුවේ නැහැ. නමුත් දැන් ඒ දේ වෙලා තියනවා. මම මේ වලේ වැටුනොත් මේ වැඩ කරන මිනිස්සු සේරම වැටෙනවා. හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නෙ…. තාරික මේ වයසේදී ආදරය හොයන්න තරම් බොළඳ වේවි කියල ඇය කවදාවත් හිතුවේ නැහැ. මොනවා වුනත් දරුවෝ දෙන්නා තාරික එක්ක ඇති සම්බන්ධය කැඩෙන්නේ නැති විදිහට මේ සේරම පිළිවෙල කරන්න ඕනේ කියල ඇය දැඩි ලෙස අධිෂ්ටාන කළා. මොනවා කලත් විටින් විට ඇයට ඉකි ගැසුනා. ඒ එක්කම දැන් තාරිකගෙන් ලැබෙන මුදල් ගැන නොසිතා ගෙදර දොර වියදම් තමාගේ අතට ගන්න ඕනේ. දරුවන්ට ඉගෙන ගන්න ඕනේ සල්ලි විතරක් ඔහුගෙන් ගන්න ඇය තීරණය කළා. සේරම කරලා රට ඉන්න අම්මලට සහ සහෝදරයන්ට දන්වන්න ඇය තීරණය කළා.

තුනට නීතිඥයා හමුවෙලා සේරටම අත්සන් තියල ඇය ආපහු ගෙදරට පිටත් වුනා. මේ ගෙදරට මම යන්නේ මොකටද ? නොයා ඉන්න තිබ්බා නම් කොච්චර හොඳද? ඇය හිතුවා. ඒත් අන්තිම දවස වෙනකන් මේ සේරටම මුහුණ දෙන්න ඕනේ. දැන් පුතුන් දෙන්නා ඇවිත් ප්‍රශ්න කරාවි. ඒ නිසා ඇය හිතුවා කලින්ම ගිහින් කාමරේ දොර වහ ගන්නවා කියල. සමුදිගේ ජීවිතේ ඇති වේදනාව ගැන වැටහුනා තාරික එදා පුතුන් දෙන්නව වික්ටෝරියා උද්‍යානයට ගෙන ගියා.

තාරික කොහොමත් දරුවෝ එක්ක ඉතාම සුහදයි කුඩා කාලේ සිටම. ඔවුන් යාළුවො වගේනේ. ඒ නිසා සිද්ධ වෙලා තිබ්බ සේරම ඔහු දන්නා විදිහට සරල කරලා පුතුන් දෙන්නට කියල දුන්නා. ටීනා ගැනත් අලුත් බබා ගැනත් කියා දුන්නා. වාසනාවට ඔවුන් දෙන්නා ප්‍රයෝගික දේවල් පිළිගන්නා දරුවෝ. තමා නැති නිසා අම්මව බලා ගන්න ලෙස තාරික ඔවුන් දෙන්නව පොළඹවා ගත්තා. අම්මා දුකෙන් ඉන්න නිසා ඇයට කරදර නොකරන ලෙසත් තාරික ඔවුනට විශේෂයෙන් කියා දුන්නා.

එදා ඔවුන් තුන්දෙනා පිටින් කාල ආවේ. තාරික දෙන්න ඇඟ හේදුවට පස්සේ නිදි කළා. යෝශිතා වෙනදට තාරික එක්ක ආදරෙන් කතා කලාට දැන් තාරික එක්ක මූණවත් බලන්නේ නැහැ. සමුදී බඩගින්නේ නිදන නිසා තාරික ගෙදර වැඩපල කරන ගැහැණියට නෝනට කන්න දෙන්න කියලත් කියා තිබුනා.

අනේ අප්පේ මොන ගින්දරක් තියාගෙන මේ ඉන්නේ.. කියල හිතපු සුමනා කරුණාවෙන් කාමරේ දොරට තඩි බෑවේ සමුදිට මොනවා හරි දෙයක් කන්න දෙන්න.

( ලබන සතියට )